ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩසටහන සඳහා බංගලාදේශයේ සහාය ලබාදෙන බව එරට අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය පැවසුවා.
ඉන්දියාවේ නවදිල්ලිහි දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවේ දී බංගලාදේශ අග්‍රාමාත්‍යවරිය ඒ බව සඳහන් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම්දීමේ උත්සවය සඳහා නවදිල්ලි නුවරට ගොස් සිටින අතර එහිදී එම හමුව සිදුව තිබෙනවා.
සමූපකාර ක්‍රමවේදය අනුව බංගලාදේශයේ ක්‍රියාත්මක වන කෘෂිකර්ම නවීකරණ වැඩසටහන අධ්‍යයනය කොට එහි අත්දැකීම් ද ලබාගනිමින් ශ්‍රී ලංකාවේ කෘෂි නවීකරණ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ලාංකික කෘෂි ප්‍රවීණයන්ගෙන් සමන්විත කණ්ඩායමක් බංගලාදේශයට යැවීමට ජනාධිපතිවරයා මෙහිදී එකඟතාවය පළ කර ඇති බව සඳහන්.
බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් තැබීම සම්බන්ධයෙන්ද නායකයන් දෙපළ සාකච්ඡා කර තිබෙනවා.
ඒ අනුව ඉන්දීය නිදහස් වෙළෙඳ ගිවිසුමේ කටයුතු අවසන් වූ පසුව බංගලාදේශ සමඟද නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් තැබීමට හැකියාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දී තිබුණා.
බංගලාදේශයේ පෞද්ගලික ආයෝජකයන් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා යොමු කරන බවට ද බංගලාදේශ අග්‍රාමාත්‍යවරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පොරොන්දු වී තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ බංගලාදේශ අතර මගී ප්‍රවාහන නෞකා සේවයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
මැතිවරණයෙන් පසුව තමා බංගලාදේශයේ සංචාරයකට පැමිණෙන බවට ද ජනාධිපතිවරයා බංගලාදේශ අග්‍රාමාත්‍යවරිය වෙත ප්‍රකාශ කර ඇති බව සඳහන් වනවා.