චීනයේ අන්තර්ජාතික වෙළඳාම ආරක්ෂා කිරීම වෙනුවෙන්, වරාය සහ වරාය යටිතල පහසුකම් ස්ථාපිත කිරීම සඳහා චීන වාණිජ සමාගම් විශාල වශයෙන් ආයෝජනය කර ඇත්තේ කුමන රටවලදැයි යන්න සොයාබැලීම සඳහා සිදුකෙරුණු අධ්‍යයනයක වාර්තාව මේ වන විට නිකුත් වී තිබෙනවා.
වර්ජිනියාවේ විලියම් සහ මේරි විද්‍යාලයේ AidData නම් පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර ඇති, “ගෝලීය අභිලාෂයන් ආරක්ෂා කිරීම: චීනයේ වරාය ගමන්මග සහ අනාගත විදේශීය නාවික කඳවුරු සඳහා බලපෑම්” යන මාතෘකාවෙන් යුත් 2023 ජූලි වාර්තාව ඔස්සේ චීනය තමන්ගේ මීලඟ නාවික කඳවුර ස්ථාපිත කිරීමට බොහෝ දුරට ඉඩ ඇති වරායන් 8ක් පිළිබඳ අනාවරණය කරනු ලැබුවා. එම රටවල් ලැයිස්තුවේ ශ්‍රී ලංකාව ඉහළින්ම සිටිනවා.
චීන මහජන විමුක්ති හමුදාව ඩොලර් මිලියන 590 ක වියදමින් 2016 දී නැගෙනහිර අප්‍රිකාවේ ජිබුටි හි සිය ප්‍රථම විදේශීය නාවික මුරපොළ ඉදිකළා. එහි රඳවා ඇති 2,000ක පමණ චීන හමුදා ඛණ්ඩයක් විසින් අප්‍රිකාව අවට මුහුදේ යාත්‍රා කරන චීන භාණ්ඩ ප්‍රවාහන යාත්‍රා කොල්ලකෑම් මැඩපැවැත්වීම සඳහා කටයුතු කරනවා.
වාණිජමය වශයෙන් චීනය ලෝක මුහුදේ ආධිපත්‍යය දරනවා. නැව් මාර්ග ආරක්ෂා කිරීමට සහ එක්සත් ජනපදයෙන් සහ එහි මිත්‍ර පාක්ෂිකයින්ගේ සම්බාධකවලට එරෙහි වීමේ හැකියාව ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බැවින්, චීනයේ හමුදාව විදේශීය නාවික කඳවුරු රාශියක් ගොඩනැගීමට සැලසුම් කරමින් සිටින බව AidData අනාවරණය කර තිබෙනවා.
වාර්තාවේ කතුවරුන්, වරාය ව්‍යාපෘති සඳහා චීන රජය සතු බැංකු විසින් නිකුත් කරන ලද සංවර්ධන මූල්‍ය ප්‍රමාණය, පවතින යටිතල පහසුකම්වල උපායමාර්ගික වටිනාකම සහ සත්කාරක රටේ ආණ්ඩු සමඟ ශක්තිමත් සබඳතා, යන සාධක අනාගත චීන නාවික කඳවුරු සඳහා ප්‍රමුඛ විකල්ප අටක ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමේදී සලකා බලා තිබෙනවා.
එක්සත් ජනපදය මෙන් නොව, චීනය ජාත්‍යන්තර ආරක්ෂක සන්ධානවලට පාර්ශවකරුවෙකු නොවන අතර එහි එකම විධිමත් ආරක්ෂක ගිවිසුම ඇත්තේ උතුරු කොරියාව සමඟයි. එය චීනයේ මිලිටරි සංවර්ධනය සඳහා විදේශීය නාවික කඳවුරු සංවර්ධනය කිරීම ප්‍රමුඛතාවයක් බවට පත් කරයි, AidData පර්යේෂකයන් තර්ක කරනවා.
PLAN හි අනාගත අභිලාෂයන් චීනයේ තීරය සහ මාර්ග මුලපිරීම සමඟ සමීපව සමපාත විය හැකියි. පැසිෆික් සහ ඉන්දියන් සාගර චීනයේ ඉහළම ප්‍රමුඛ සමුද්‍ර පරිසරයයි. ඉන්දියන් සාගරයට චීනය සිය ස්වභාවික සම්පත් බොහොමයක් ලබා ගන්නා SLOCs ඇතුළත් වන අතර, ඒවායින් වඩාත් වැදගත් වන්නේ මලක්කා සමුද්‍ර සන්ධියේ සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ ඇති උපායමාර්ගික වැදගත්කමයි. ඉන්දියන් සාගරය මධ්‍යධරණී මුහුද සහ යුරෝපීය වෙලඳපොලවල් වෙත පිවිසීම සඳහා සූවස් ඇල වෙත ප්‍රවේශය සපයනවා. ඉන්දියන් සාගරයේ කඳවුරු එකක් හෝ කිහිපයක් තිබීම ප්‍රතිවාදී ඉන්දියාවට මෙන්ම කලාපය තුළ යොදවා ඇති එක්සත් ජනපද හමුදාවන්ට ප්‍රතිවිරෝධතාවක් බීජිනයට සපයනු ඇති. පකිස්ථානයේ ග්වාදර් සහ ශ්‍රී ලංකාවේ හම්බන්තොට යනු සත්කාරක රට සමඟ හවුල් වී චීනය විසින් සංවර්ධනය කරන ලද ප්‍රධාන වරායන් පිළිබඳ මනා නිදර්ශන ද්විත්වයක් වනවා.
AidData ට අනුව, ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය නුදුරු අනාගතයේ දී PLAN කඳවුරක් සඳහා බොහෝ දුරට ඉඩ ඇති ස්ථානය ලෙස සැලකෙනවා. 2010 දී විවෘත කරන ලද වරාය, චීන රජය සතු සංවර්ධන බැංකුවක් වන චයිනා එක්සිම් බැංකුවෙන් ඩොලර් මිලියන 306.7 ක ණයක් ලබාගෙන ඇත. AidData පවසන්නේ බීජිං “පහසුකම පිළිබඳ සෘජු පාලනය” ක්‍රියාත්මක කරන බවයි. AidData ට අනුව චීනය විසින් ලොව වැඩිම අරමුදල් සම්පාදනය කළ වරාය හම්බන්තොට වරායයි. එම ප්‍රමාණය ඩොලර් බිලියන 2.9කි. 2017 දී, ශ්‍රී ලංකා රජය සිය විදේශ ණය ගෙවීමේ දුෂ්කරතාවයට පත්වීමෙන් පසුව, 99 අවුරුදු බදු දීමේ වරායේ පාලනය චීන සමාගමක් විසින් පවරා ගනු ලැබුවා. චීනයේ “ණය උගුල් රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ” උදාහරණයක් ලෙස හම්බන්තොට බොහෝ විට උපුටා දක්වනු ලබනවා.
එහි මූලෝපායික පිහිටීම, ප්‍රභූන් සමග චීනයේ සම්බන්ධය සහ එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල ඡන්දයේදී ශ්‍රී ලංකාව චීනය සමඟ පෙලගැසී සිටීම, හම්බන්තොට අනාගත නාවික කඳවුරක් ඉදිකිරීමේ ප්‍රමුඛතම ස්ථානය ලෙස තෝරා ගැනීමට AidData වෙත බල කර තිබෙනවා. එමෙන්ම 2018 වසරේ දී චීනය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට විදේශීය මිලිටරි අලෙවියකට (FMS) වඩා ත්‍යාගයක් ලෙස 053 වර්ගයේ නෞකාවක් පිරිනැමීමත් සමඟ නාවික සහයෝගීතාව තවදුරටත් තහවුරු වීමත් මෙහිදී සැලකිල්ලට ලක් වූ තවත් කාරණයක්.
යම් ලෙසකින් හම්බන්තොට චීන හමුදා කඳවුරක් ඉදිකළහොත් එය ඉන්දියන් සාගරයේ සාමය සහ ස්ථාවරත්වයට බරපතල අනතුරක් වන බව අවිවාදිතයි. ඒ හරහා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා ද බිඳ වැටීම කිසිසේත් වැළැක්විය නොහැකි වනු ඇති.
ඉන්දියන් සාගරයේ එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපද හමුදා කඳවුරු පිළිබඳ ඔත්තු බැලීම සඳහා චීනය ශ්‍රී ලංකාවේ නව රේඩාර් කඳවුරක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය මේ වසරේ අප්‍රේල් මාසයේදී අනාවරණ කළා. චීන විද්‍යා ඇකඩමියේ අභ්‍යවකාශ තොරතුරු පර්යේෂණ මගින් දුරස්ථ චන්ද්‍රිකා ග්‍රහණ භූමි මධ්‍යස්ථානය සැලසුම් කිරීම මෙහෙයවනු ලබන අතර, දිවයිනේ දකුණු කෙළවරේ පිහිටි දෙවුන්දර බොක්ක ආසන්නයේ ඝන කැලෑබද ප්‍රදේශයේ මෙම රේඩාර් කඳවුර ඉදිකරනු ලැබීමට නියමිත බව එම වාර්තාවල දැක්වුණේ. එම පිහිටීම චීනයට ඉන්දියන් සාගරයේ බටහිර කොටසේ බුද්ධි තොරතුරු එක්රැස් කිරීමේ මෙහෙයුම් විශාල වශයෙන් වැඩි කිරීමට ඉඩ සලසනවා. වඩාත් බැරෑරුම් ලෙස, එය ඩියාගෝ ගාර්ෂියා හි එක්සත් ජනපද හා බ්‍රිතාන්‍ය ආරක්ෂක කඳවුරු පිළිබඳ මෙන්ම ඉන්දියාව පිළිබඳ ඔත්තු බැලීමේ විභවය චීනයට ඉඩ දෙනු ඇතැයි සඳහන්වුණා.
ශ්‍රීහරිකෝටා හි ඉන්දියාවේ අභ්‍යවකාශ තොටුපළ, ඔඩීෂාහි මිසයිල අත්හදා බැලීමේ පරාසය සහ අර්ධද්වීප කලාපයේ තවත් ආරක්ෂක හමුදා මර්මස්ථාන කිහිපයක් යන සියල්ලම නිරීක්ෂණ සීමාව තුළට ඇතුළත්වන බව විදෙස් මාධ්‍ය වාර්තාවන්හි සඳහන් වුණා. කූඩන්කුලම් සහ කල්පක්කම් න්‍යෂ්ටික බලාගාර ඇතුළු දකුණු ඉන්දියාවේ උපාය මාර්ගික මර්මස්ථානවලට අමතරව ඉන්දීය සාගර කලාපයේ ඉන්දියාවේ පැවැත්ම සහ ඉන්දීය නාවික හමුදාවේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා මෙම රේඩාර් මධ්‍යස්ථානය යොදා ගනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය එවක වාර්තා කළා.
චීනය වසර 99කට හම්බන්තොට වරාය බදුදීම සහ කලාපය තුළ ඉන්දියාවේ අවශ්‍යතා සඳහා අහිතකර බලපෑම් ඇති කරන චීන හමුදා බුද්ධි තොරතුරු නෞකාවක් පසුගිය වසරේ සංචාරය කිරීම ඉන්දියාව විසින් සමීපව නිරීක්ෂණය කරනු ලැබුවා. යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොට වරායේ නැංගුරම් දැමුවේ දැඩි ඉන්දීය විරෝධය හමුවේ වුව ද ශ්‍රී ලංකාව චීනයේ දැඩි පීඩනයට හසුවීම හේතුවෙන්. නෞකාවට ශ්‍රී ලංකා මුහුදේ සිටියදී පර්යේෂණ සිදු නොකිරීමේ කොන්දේසිය මත අවසර ලබා දුන් අතර එය ස්වයංක්‍රීය හඳුනාගැනීමේ පද්ධතිය ක්‍රියාත්මක කර ඇති බව ඉන්දීය මාධ්‍ය පසුව වාර්තා කර තිබුණා. ඉන්ධන පිරවීම සහ අනෙකුත් සැපයුම් ලබා ගැනීම සඳහා දින හයක් නෞකාව හම්බන්තොට රැඳී සිටියා.
මේ ආකාරයට හම්බන්තොට චීනයට පවරා දීමත් සමග ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රිකව දැඩි උගුලකට හසු වී සිටිනවා. යම් හෙයකින් චීන හමුදා කඳවුරක් හම්බන්තොට ඉදි වුවහොත් එය ඉන්දියාව කිසි විටෙකත් සුලුවෙන් නොතකනු ඇති. ඒ තුළ ඉන්දියන් සාගරයේ සාමය සහ ස්ථාවරත්වය මුලුමනින්ම බිඳ වැටෙන අතර බරපතල අර්බුද රැසක් උද්ගත කරනු ඇති.
චීන ණය උගුලේ සිරවී සිටින සහ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේදී චීනයේ සහය අත්‍යවශ්‍යව සිටින ශ්‍රී ලංකාවට මේ ගැටලුව කොතෙක් දුරට කලමනාකරණය කරගත හැකි ද යන තත්ත්වය මත ඉන්දියන් සාගර කලාපයේ අනාගතය රැඳී තිබෙනවා.