දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.
නිවෙස් සහ කාමරවල වල තාවකාලිකව නවාතැන් ලබා ගන්නා පුද්ගලයන් එක්ලක්ෂ හැත්තෑ අටදහස් හයසිය දහතුන්දෙනකු සිටින බව පැවසෙනවා.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි දියත් කළ මෙම මෙහෙයුම, කුලියට පදිංචිව සිටින අය විවිධ අපරාධවලට සම්බන්ධ වී ඇත්ද යන්න පිළිබඳ පරීක්ෂා කිරීම අරමුණ බවට වාර්තා වනවා.
දිවයින පුරා විවිධ ආකාරයේ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයන් ස්ථිර පදිංචි පොලිස් වසම්වලින් බැහැරව කුලී නිවාස සහ කුලී කාමරවල රැඳී සිටිමින් නීතිවිරෝධී කටයුතුවල නිරතවන බවට නිරීක්ෂණය වී ඇති බව පොලිසිය පවසනවා.
දිවයින පුරා දින 02 කදී පොලිසිය විසින් එක් එක් ග්‍රාම නිලධාරි වසම්වල තාවකාලික පදිංචිකරුවන් සම්බන්ධයෙන් තොරතුරු රැස්කර ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.
එහිදී දිවයින පුරා කුලී හා බදු පදනම මත ලබාගත් නිවාසවල පදිංචි පවුල් 37,183 ක පුද්ගලයන් 112,963 දෙනෙකුද, කුලී හා බදු පදනම මත ලබාගත් කාමරවල පදිංචි පවුල් 10,755ක පුද්ගලයන් 34,133 දෙනෙකුද, නිවාස, ආයතනවල මුරකරුවන්, ගෘහ සේවක සේවිකාවන්, සාත්තු සේවිකාවන් ලෙස තාවකාලිකව පදිංචිව සිටින පුද්ගලයන් 31,517 දෙනෙකුද වශයෙන් තොරතුරු රැස් කරගත බව පැවසෙනවා.
මෙහිදී අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් නියාමනය කිරීමේ දත්ත පද්ධතිය, ස්වයංක්‍රීය ඇඟිලි සලකුණු හඳුනා ගැනීමේ පද්ධතිය වෙත යොමු කර වාර්තා ලබා ගැනීමටත්, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ දත්ත පද්ධතියට යොමු කිරීමට කටයුතු කළ බව සඳහන්.