තිරිඟු පිටි ආනයනය කරන මුවාවෙන් මෙරටට නීතිවිරෝධි ලෙස ආනයනය කර තිබූ කහකුඩු කිලෝ 7,500 තොගයක් අද (04) දින රේගු භාරයට ගෙන තිබෙනවා.
රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ පසුගිය මස 20 වනදා ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද බහාලුමක තිබී එම කහකුඩු තොගය සොයා ගත් බවයි.
රේගු දෙපාර්තමේන්තුවේ “අවදානම් කළමනාකරණ අංශය” විසින් සිදුකළ විමර්ශනයක දී අනාවරණය වූ තොරතුරු මත එම බහාලුම පරික්ෂාවට ලක්කර ඇති අතර එහිදී රුපියල් කෝටි එක හමාරක පමණ වටිනාකමින් යුතු මෙම කහ තොගය සොයාගෙන තිබෙනවා.
රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසන්නේ කහ තොගය ගෙන්වා ඇති පුද්ගලයා මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු මීට පෙර ද මෙවැනි නීතිවිරෝධි කටයුතුවල නිරතවූවෙකු බවට හඳුනාගෙන ඇති බවයි.
ඔහු මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර ඔහු සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් ලබාදී තිබෙනවා.



