32 C
Colombo
Sunday, June 4, 2023

දුමින්ද සිල්වා, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ආධාරකයක් ලෙස

- Advertisement -

මිනීමරු දුමින්ද සිල්වා මහතා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති තනතුරට පත්කිරීම සමාජ මාධ්‍ය අවකාශයේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති සෙයක් පෙනේ.

ඒ බොහෝ අදහස්වල ඇත්තේ සිදුවීම කෙරෙහි පුරවැසියන් ලෙස හටගත් ක්ෂණික කෝපයයි.

එය සාධාරණය. හැට නව ලක්ෂයක ජනවරමක් ආයුධය කරගත් නිරිඳෙකු සමස්ත රටවැසියාගේ හිස මත සිට අසූචි පිට කරන තත්ත්වයක් ඉවසීම මහජනයාට පහසු නොවේ.

එහෙත් එසේ ක්ෂණික කෝපය පිටකිරීමෙන් ඔබ්බට මහජනයාට කළහැක්කේ කුමක්ද කියා නිදහසේ සිතීමත් මෙවැනි විටෙක කළ යුතු වේ.

ඒ අර්ථයෙන් ගත්කළ දුමින්ද සිල්වා අරභයා ජනාධිපතිවරයාගේ හිතුවක්කාරය රටට ආයෝජනයකි.

ඒ නිවාස සංවර්ධනය පැත්තෙන් නම් නොවේ.

ජනතා ඡන්දයෙන්ම තේරීපත් වී ජනතා කැමැත්ත සුණු විසුණු කරමින් කෙරෙන හිට්ලර් පාලනයන් සදාකල් නතර කරගන්නේ කෙසේදැයි සිතීම සම්බන්ධයෙනි.

විධායක ජනාධිපති ක්‍රමයේ ඇති නපුර යට යවා ඊට එරෙහිව තද පාලකයකුගේ අවශ්‍යතාව කෘතිම ලෙස මහජන මතයක් හැටියට නිෂ්පාදනය කළ දෘෂ්ටිවාදය ගැන සිතීම සම්බන්ධයෙනි.

විධායක ජනාධිපති ක්‍රමය සම්මත කළ දිනයේ සිට ඊට එරෙහිව දැඩිව හඬ නැගූවේ වත්මන් පාලනය හොබවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලික කරගත් මතවාදය හා බැඳුණු දේශපාලන බලවේගයයි.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන වඩාත් නිවැරැදිම අනාවැකිය පළ කරනු ලැබුවේ ට්‍රොස්කිවාදියකු හා මාක්ස්වාදියකු ලෙස හැඳින්වූ ආචාර්ය එන්.එම් පෙරේරා විසිනි.

කෙසේ වෙතත් අද ආණ්ඩුවට ටැග්ගැහී සිටින එන්.එම්ලාගේ අවශේෂයන්ට සාපේක්ෂව එන්.එම්ලා ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ධර්මතා ගැන සෘජුව අදහස් පළ කළ බව ඉතිහාසය පරීක්ෂා කරද්දී අපට පෙනී යයි.

රටේ සමෘද්ධිමත් අනාගතයක් ගැන අපේක්ෂාවෙන් තීන්දු ගත් එන්.එම්ලාගේ මගෙන් වෙන්ව ඔවුන්ගේ ගෝලබාලයන් පසුකාලීනව උනන්දු වූයේ සිය පුද්ගල ජීවිත ගැනය.

‘ව්‍යවස්ථාව වෙනස් කිරීමට තුනෙන් දෙකේ බලය ලබාගැනීමට අපේ ඡන්ද පහද අවශ්‍ය වුණි. විධායක ජනාධිපති ධුරය අහෝසි කර පාර්ලිමේන්තුවට බලය දෙන විධායක අගමැති ධුරයක් ඇතිකරනවාට විපක්ෂ නායකවරයා ද එකඟ වුණි.

එහෙත් පසුව එ.ජා.පයේ කණ්ඩායමක් සහ මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවට එක් වී මන්ත්‍රී සංඛ්‍යාව 160 ට වැඩි වූ විට අපේ ඡන්ද තීරණාත්මක වූයේ නැත.

එහෙත් ආණ්ඩුවේත් ජනාධිපතිවරයාගේත් රටේත් අනාගතය සලකා අප දැඩිව ඉල්ලාසිටින්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන හැටියටය.’

මතු දැක්වෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ බලය වැඩිකරමින් විසින් 18 වැනි සංශෝධනය සම්මත කරගැනීමෙන් පසු මහාචාර්ය තිස්ස විතාරණ මහතා කළ ප්‍රකාශයකි.

එමගින් ඔහු කියන්නට උත්සාහ කරන්නේ පක්ෂයක් හැටියට තමන්ට තිබූ කේවල් කිරීමේ බලය නැති කර ඇත්තේ විපක්ෂය යැයි කියාය. වාමාංශික හෝ විමුක්තිකාමී දේශපාලනය අර්ථයෙන් ගත්තත් මේවා හුදු වචන සෙල්ලම් මිස අර්ථයක් ඇති ප්‍රකාශ නොවේ.

ආසන්න දශක ගණන පුරාම විමුක්ති දේශපාලනය වෙනුවට එ.ජා.ප විරෝධය පදනම කරගත් මේ පැරැණි වම පාවිච්චි කෙරුණේ රාජපක්ෂ දේශපාලනයේ සැරසිල්ලක් හැටියට පමණි.

තිස්ස, වාසු, ඩිව් ත්‍රිමූර්තිය දිගටම අනුගමනය කළේ ද විධායක ජනාධිපති ධුරයට එකහෙලා එරෙහි වූ සිය පක්ෂවල පැරැණි ආස්ථානයෙන් වෙනස්ව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක්, ආණ්ඩුකාර ධුරයක් වැනි වරදානවලින් සංතෘප්ත වූ දේශපාලන ජීවිතය.

අනෙක් අතට යම් තීරණාත්මක අවස්ථාවක ඔවුන් කළ මැදිහත්වීම් විධායක ජනාධිපති අණින්ම පුස් වෙඩිලි බවට පත්වෙද්දී වුව කොන්ද කෙලින් තියාගෙන දේශපාලනය කිරීමක් ඔවුහු ප්‍රදර්ශනය කළේ නැත.

චන්ද්‍රිකා ආණ්ඩුව සමයේ රාජ්‍ය දේපළ කොල්ලකෑමට එරෙහිව එදා පී.බී ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වැරැදිකරු කෙරුණේ වාසුදේවලා නඩු දැමූ නිසාය.

එහෙත් රාජ්‍ය සේවය තහනම් වූ ජයසුන්දරව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යාංශ ලේකම් කරනු ලබද්දී වාසු ඊට එරෙහි වූයේ නැත.

ඔහු ඒ වෙනුවට කළේ මහින්දගේ දෑත ශක්තිමත් කරමින් ඇමැති ධුරය පරිභෝජනය කිරීමය.

මේ නිසා පී.බී ජයසුන්දර සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව හුදු කඩදාසි සටහනක් වූ අතර දූෂණයට එරෙහිව කළ සටනක ප්‍රතිඵලය විධායක ජනාධිපතිගේ එක පෑන් පහරින් ආපසු හරවනු ද ලැබිණි.

ඒ අර්ථයෙන් ගත්කළ මේ මොහොතේ මිනීමරු දුමින්ද සිල්වාගේ සිපිරි ජීවිතය නිමා කර රාජ්‍ය සංස්ථාවක ප්‍රධානියකු බවට පත්කිරීමේ තීන්දුවේ ඇත්තේ ඉතිහාසය නැවත නැවතත් සිදුවීමය.

සිදුවීම් ගැන කලබල නොවී මේ ඛේදයෙන් ගොඩඑන ක්‍රමය ගැන අප සිතිය යුතුව ඇතැයි කල්තියා කීවේ එහෙයිනි.

විධායක ජනාධිපති ක්‍රමයට පක්ෂ විපක්ෂ වශයෙන් රට තුළ මත දෙකක් ඇති බව පෙනෙන්නට ඇති අතර ඒ සම්බන්ධයෙන් වූ ආසන්න මහජන මතය ප්‍රකාශ වූයේ 2019 ජනාධිපතිවරණයෙනි.

පාර්ලිමේන්තු ක්‍රමය වෙනුවට අසහාය තනි පුද්ගල පාලනයක් පිළිබඳ මතය නැවතත් සරු ලෙස වර්ධනය කෙරුණේ 2015-2019 යහපාලන දුර්දශාව සමගය.

මෙම මත නිෂ්පාදනයෙහි ප්‍රමුඛ කාර්යක් කළේ මේ රටේ අතලොස්සක් වූ ප්‍රධාන ධාරාව නියෝජනය කරන බව කියන ජනමාධ්‍යයෙනි.

පුවත්පත් හා රූපවාහිනී නාලිකා මගින් එක දිගට වසර ගණනක් තිස්සේ තමන්ට වාසි ඇති දේශපාලන කඳවුරක් වෙනුවෙන් නිෂ්පාදනය කෙරුණු මෙම මතවාදයට මහජන මනස යටවීමේ ප්‍රතිඵලය වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ රාජ්‍ය නායකයා බවට පත්වීමය.

අධිචෝදනා ලබා නඩු පිට නඩු වැටී සිටි රාජපක්ෂවරුන්ට විධායක ජනාධිපති ධුරය අත්පත් කරගැනීම බෝනස් එකක් වුවත් සාමාන්‍ය මහජනතාවට මේ දේශපාලන ක්‍රීඩාව වැටහුණේ නැත. එහි වරදක් ද නැත.

පීඩාවට පත්ව ඇති ආර්ථික ජීවිතවලට ජාතිවාදය මුසු කොට ජනමාධ්‍ය විසින් එන්නත් කරනු ලැබූ විෂ ඒ වනවිටත් සියොලඟම වෙලාගෙන තිබූ බැවිනි.

එහෙත් රටක් මුලා කොට ලබාගත් බලය නඩත්තු කිරීම පහසු නැත.

විශේෂයෙන්ම සිය පුද්ගලික වාසිය තකා වුව ආණ්ඩු හදන්නට ඒකරාශි වන දේශපාලන බලවේග පවුල් පාලනය සමගින් සිය කොටස නොලැබෙන විට කුමන්ත්‍රණ පටන්ගන්නා බැවිනි.

වර්තමානය වනවිට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ද කිසියම් ආකාරයකට මුහුණ පා තිබෙන්නේ එවැනි තත්ත්වයකටය.

දිනෙන් දින නරක අතට හැරෙන ආර්ථිකයේ කඩාවැටීම විසින් පාලකයන් උමතු කරනු ලබන්නේ සැබැවින්ම ඔවුන්ට දිගුකාලීන සැලැසුම් නැති නිසාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන ධාරාවේ මෑතකාලීන මජර උරුමයක් වූ දුමින්ද සිල්වා වැනි චරිතයක් මිනීමරු ලේබලය එසේම තිබියදී රාජ්‍ය ආයතනයක ප්‍රධානියකු කිරීම එහි ප්‍රකාශනයකි.

මෙවැනි තීරණයක් ගැනීමකදී ඊට සමාජයෙන් නැගෙන ප්‍රතිවිරෝධය සමනය කරගැනීමට රාජ්‍ය නායකයාට දේශපාලනික වශයෙන් හොඳ තර්කයක් තිබිය යුතුය.

එහෙත් දුමින්ද සිල්වා පිරිසිදු කිරීමට එවැනි ශක්තිමත් තර්කයක් බැලූ බැල්මටම නැත.

අනෙක් අතට කළ යුතු, මග හැරුණු වැඩ දහසක් තිබියදී ගන්නා තීන්දුවකට එවැනි තර්ක ඉදිරිපත් කළ ද ඒවා සුජාත කරගැනීමට පහසු දේශපාලන පරිසරයක් ද දැන් නැත.

එසේ බලද්දී පෙනෙන්නේ ජනාධිපතිවරයා උන්නත් දාහයි මළත් දාහයි වැනි පිළිවෙතකට පරාභවය වී ඇති බවය.

එසේ නම් එවැනි විටෙක ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනයා විමසිය යුත්තේ එහි වාසිය කවර ආකාරයකින් භාවිත කරන්නේද යන්නයි.

එහිදී ආඥාදායක පාලනයක්, තනි පාලනයක්, ඒකාධිපතියෙක්, හිට්ලර් කෙනෙක් ආදී වශයෙන් වූ ව්‍යාජ ප්‍රතිරූපකයේ සැබෑව නිරාවරණය කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කාරියකි.

එහෙත් එකී මතවාදය පරාජය කළයුත්තේ ජනතාවට වඩාත් වගකියන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයකට තල්ලු කරන මහජන ව්‍යාපාරයක් බලමු`ඵ ගැන්වීමෙනි.

නොඑසේව හුදු ගෙඩිය කඩාගෙන වැටෙන විට ඔඩොක්කුව ඇල්ලීමට බලා සිටින විපක්ෂයකට කොට්ටෝරුකම් කිරීමෙන් නොවේ.

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...