ඝාතනයට ලක්වූ මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ අත් පා ගැටගසා, බරපතළ තත්ත්වයෙන් සිටිය දී සොයාගත් ස්ථානයෙන් සහ ඔහුගේ සිරුරෙන් හමුවූ ඇඟිලි සලකුණු සම්බන්ධ වාර්තා හෙට (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට නියමිතව තිබෙනවා.
ඔහුගේ සිරුරෙන් සහ මෝටර් රථයෙන් ලබාගත් ඇඟිලි සළකුණු සම්බන්ධව මේවන විට විශ්ලේෂණයක් කරමින් පවතින අතර එම අපරාධ වාර්තා කොට්ඨාශයේ ඇති අපරාධකරුවන්ගේ ඇඟිලි සළකුණු සමඟ ගැලපීම සිදු කෙරනු ඇති.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ ඉදිරියේ දී දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ පවුලේ ඥාතීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා බවයි.
ඒ අනුව ඔහුගේ බිරිඳගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිතයි.
මේ වන විට දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට 30ට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
ඔහු ඝාතනය වූ දිනයේ ඒ මහතා ගමන් කළ මාර්ගය මෙන්ම බොරැල්ල සුසාන භුමියේ ප්‍රවේශ මාර්ගවල ඇති ආරක්‍ෂිත කැමරා 42ක් පමණ දර්ශන විමර්ශන කණ්ඩායම් විසින් මේ වන විට පුළුල් විමර්ශනයකට ලක් කරමින් සිටිනවා.
ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන දිනේෂ් ෂාෆ්ටර් ක්‍රිකට් පරිපාලකයෙකු මෙන්ම ව්‍යාපාරිකයෙක් වන චන්ද්‍ර ෂාෆ්ටර් මහතාගේ පුත්‍රයෙක් ද වනවා.
පසුගිය 15 වනදා බොරැල්ල පොදු සුසාන භුමියේ දී අත් පා ගැට ගසා බරපතළ තුවාල සහිතව මෝටර් රථයක් තුළ සිටියදී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු ජීවිතක්ෂයට පත් වුණා.