පකිස්ථානයේ නිල සංචාරයක නිරත ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා පාකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් මහතා හමුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම හමුවේදී ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ පකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් මහතා ද්වීපාර්ශ්වික කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි.
ත්‍රස්තවාදයට එරෙහිව සහයෝගයෙන් සටන් කිරීමට දෙපාර්ශ්වයම මෙහිදී එකඟතාව පළ කළ බවද සඳහන්.
ගාසා තීරයේ හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායලට විසින් සිදු කරන ප්‍රහාරයන් මෙහිදී නායකයින්ගේ හෙළා දැකීමට ලක්ව තිබෙනවා.
මාධ්‍ය අමතමින් ඉරාන ජනාධිපතිවරයා පැවසුවේ, දෙරට අතර විදේශ වෙළෙඳාම අමෙරිකානු ඩොලර් බිලියන 10කින් වර්ධනය කිරීමට බලාපොරාත්තු වන බවයි.
තෙදින නිල සංචාරයක් සඳහා ඉරාන ජනාධිපතිවරයා ඊයේ (22) දිනයේදී පකිස්ථානයට පැමිණියා.
දේශසීමා ආශ්‍රිතව ක්‍රියාත්මක බෙදුම්වාදී සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් අසල්වැසි රටවල් වූ ඉරාන හා පකිස්තාන හමුදා පසුගිය සමයේ එකිනෙකාට මිසයිල ප්‍රහාර එල්ල කර ගත් අතර මෙම ප්‍රහාරයන් හේතුවෙන් දෙරටේ හොඳහිත පළුදු වූ නමුත් සාකච්ඡා මාර්ගයෙන් එම අර්බුදය විසඳා ගැනීම සිදුවුණා.
ඉරාන ජනාධිපති පාකිස්ථානයට පැමිණියේ ඉරාන පකිස්තාන මිතුදම් තවත් ශක්තිමත් කිරීමේ අරමුණින් බවත් ඉරාන ධූත පිරිස වෙනුවෙන් පකිස්ථානය පුරා දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මේ අතර ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ද හෙට (24) දින ශ්‍රී ලංකාවට පැමිණෙන බව තහවුරු කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.
උමාඔය බහුකාර්යය යෝජනා ක්‍රමය විවෘත කිරීම සඳහා ඉරාන ජනාධිපතිවරයා මෙරටට පැමිණීමට නියමිතයි.