29 C
Colombo
Sunday, June 4, 2023

ඔසාමා බින් ලාඩන් පාකිස්තානයට වීරයෙක්ද?

- Advertisement -

අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ට සරණක් වූ පාකිස්තානය දශකයකට පසු තවමත් බින් ලාඩන් යනු ත්‍රස්වාදියෙක්ද නැතහොත් වීරයෙක්ද යන්න වටහාගත නොහැකි තත්ත්වයක පසුවේ.

මේ සම්බන්ධයෙන් යළි කතා බහක් නිර්මාණය වන්නේ පාකිස්තානයේ පළමු පුරවැසියා, එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිය කතාවකදී බින් ලාඩන් ආගම වෙනුවෙන් දිවි පිදූවෙක් ලෙස හැඳින්වීමත් සමගිනි.

එහිදී අග්‍රාමාත්‍යවරයා පැවසුවේ මෙසේය,
“ඇමෙරිකානුවන් ඇබොටොබාද් වෙත පිවිස ඔසාමා බින් ලාඩන් මරා දැමූ විට පාකිස්තානුවන් ලෙස අපි කොතරම් අවමානයකට ලක්වීද යන්න මට කිසි⁣දිනෙක අමතක කළ නොහැකියි. ඔහු ආගම වෙනුවෙන් දිවි පිදුවා.” එහිදී අග්‍රාමාත්‍යවරයා භාවිත කරන්නේ ඉස්ලාමය වෙනුවෙන් දිවි පූජා කරන්නවුන් හඳුන්වන අරාබි වචනයක් වන “Shaheed” යන වදනයි.

වඩාත් හාස්‍යයට ලක්වන කරුණ නම් සිය නායකයාගේ ප්‍රකාශය බොහෝ සැහැල්ලුවට ගත් පාකිස්තාන විදේශ අමාත්‍ය මහමුද් කුරේෂිගේ පැහැදිලි කිරීමයි. තම නායකයා වැරදියට උපුටා දක්වා ඇති බව පවසන විදේශ අමාත්‍ය කුරේෂි කිසිදු අවස්ථාවක බින් ලාඩන් ත්‍රස්තවාදීයෙකු ලෙස නොහැඳින්වීමට වග බලා ගන්නවා. එහිදී තමන් සුහුරු වූවයැයි කුරේෂි සිතුවත් මේ වනවිට පාකිස්තාන රජය රට තුලින්ම හා ජාත්‍යන්තරව එල්ලවන දැඩි විරෝධයකට මැදිව සිටිනවා. ඇත්ත වශයෙන්ම පාකිස්තානයේ ස්ථාවරය කුමක්ද? මධ්‍යස්ත මතදාරී පාකිස්තානුවන් මෙන්ම බාහිර ලෝකය නිරන්තරයෙන් විමසන එහෙත් නිසි පිළිතුරක් තවමත් නැති ප්‍රශ්නයක්.

පාකිස්තානයේ ඉහළ පෙලේ නායකයින් බින් ලාඩන් වැනි සටන්කාමීන් ගැන සිදුකර හැඳින්වීම් පරිපූර්ණ හා පැහැදිලි වියයුතු බව පාකිස්තානයේ “Dawn” පුවත්පතද පසුගිය ජුනි 22වනදා සිය කතුවැකියෙන් අවධාරණය කර තිබුණා. එහි වැඩිදුරටත් දැක්වුණේ අවශ්‍ය නම් අල්කයිඩා සංවිධානයේ මහමොළකරු ත්‍රස්තවාදියෙක් ලෙස පාකිස්තානය විසින් සලකන බව ලොවට පැවසීමට විදේශ අමාත්‍ය කුරේෂිට මෙය අනගි අවසථාවක් බවයි. නමුත් කු⁣රේෂිගේ අභව්‍ය ප්‍රකාශ තුලින් ගෝලීය ප්‍රජාවට යැවුණේ වැරදි පණිවිඩයක් බවද Dawn කතුවරයා පෙන්වා දෙනවා.

2011 මැයි 22 වනදා ඇමෙරිකානු විශේෂ බලකා සෙබලු සැලසුම්සහගත හා රහසිගත මෙහෙයුමක් දියත් කරමින් පාකිස්තානයේ ඇබොටාබාද් හිදී අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් මරා දැමුවා. නමුත් බින් ලාඩන් එහි සිටියේ කෙසේද?, එහි සිටියේ ඇයි?, කොපමණ කල් එහි සිටියාද?, ඒ සඳහා ඔහුට පාකිස්තානයේ පෙර පැවති රජයන්ගේ සහය ලැබුණාද නැද්ද?, ඔවුන් ඒ බව දැන සිටියාද යන ප්‍රශ්න අදටත් විසඳී නැහැ.

ඔසාමා බින් ලාඩන් යනු පාකිස්තාන ස⁣ටන්කාමීන්ගේ දෘෂ්ටිවාදී වීරයා බව නොපිලිගන්නා කි⁣සිවෙකුත් නොමැති තරම්. මෑත යුගයේ වඩාත් බලපෑම් සහගත ආගම පදනම් කරගත් වෙනත් කිසිදු සටන්කාමියෙක් ඔසාමා බින් ලාඩන් හා සැසඳිය නෙහැකියි. ලොව පුරා ත්‍රස්ත කණ්ඩායම් රැසකට ඔසාමාගේ මතවාද හා උපක්‍රම බලපෑම් සහගත පෙළඹවීම් ලොවට රහසක් නොවේ. නමුත් ඔසාමා බින් ලාඩන් යනු ලොවට අත්‍යවශ්‍යව සිටි මිලේච්ඡ ත්‍රස්තවාදීයෙක් ලෙස හැඳින්වනු ලැබූවද පාකිස්තානයේ බොහෝ මාධ්‍ය ආයතන මෙන්ම උගත් ප්‍රජාවද ඒ සම්බන්ධයෙන් ස්ථීර අදහසක් ප්‍රකාශ නොකර නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ප්‍රශ්නසහගතයි.
තලෙයිබාන් සටන්කාමීන්ට අනුග්‍රහය දක්වන බවට ඇෆ්ගනිස්තානය දිගින් දිගටම පාකිස්තානයට චෝදනා එල්ල කළා. අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඔසාමා බින් ලාඩන් වීරයෙකු ලෙස හඟවන ප්‍රකාශ කිරීමත්, විදේශ අමාත්‍යවරයා ඊට දැක්වූ ඇල්මැරුණු ප්‍රතිචාරයත් ඇෆ්ගනිස්තානයට මේ මොහොතේ වඩා ත්‍රීව ලෙස දැනෙන්නේ ඇමෙරිකානු හා නේටෝ හමුදා එරටින් ඉවත් වීමත් සමග තලෙයිබාන් ත්‍රස්තයන් විශාල වශයෙන් එරට ප්‍රදේශ අත්පත් කරගනිමින් බලය තහවුරු කරගනිමින් සිටින නිසාවෙනි. එවැනි පීඩාකාරී අවස්ථාවක කාබුල් පාලනය ඉස්ලාමාබාද් ප්‍රතිපත්තිය හමුවේ උභතෝකෝටිකයක පැටලී සිටින බවට සැක නැහැ.

ඇෆ්ගනිස්තානය එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මෙන්ම විදේශ අමාත්‍යාංශය තලෙයිබාන් ගැටුම් ඇෆ්ගන් අභ්‍යන්තර ආරවුලක් ලෙස ලඝු කරනවා. කෙසේ වෙතත් තලෙයිබාන් සංවිධානය සාකච්ඡා මේසයට කැඳවාගෙන ඒමේ සියලු ගෞරව තමන් වෙත තබා ගැනීම⁣ට ඉස්ලාමාබාද් පාලනය කටයුතු කිරීම විමති දනවන රාජතාන්ත්‍රිකභාවයක්. නමුත් ඇෆ්ගනිස්තානය හා සෙසු ජාත්‍යන්තර ප්‍රජාව පාකිස්තානයේ ස්ථාවරය කුමක්ද යන්න පිළිබඳ විමසුම් සහගතව පසුවනවා.

සටන්කාමීන් සිය “වත්කම්” ලෙස සැලකූ පාකිස්තාන ඉතිහාසය සිහි තබා ගනිමින් ජාත්‍යන්තර ප්‍රජාව ඉම්රාන් ඛාන්ගේ වර්තමාන ප්‍රකාශය විශ්ලේෂණය කළ යුතු වනවා. පසුගිය වසරේ රූපවාහිනී නාලිකවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමෙරිකාවේ හිටපු පාකිස්තාන තානාපතිනියක වන අබීඩා හුසෙයින් චෝදනා කළේ නවාස් ෂරීෆ් රජය ඔසාමා බින් ලාඩන්ට සහය සහ අරමුදල් සැපයූ බවයි. පාකිස්තාන සටන්කාමීන් කෙරෙහි දක්වන ලද අනුකම්පා සහගත ස්ථාවරය හේතුවෙන් ජෙනරල් ෆර්වේස් මුෂාරෆ් සෑම විටම “තලෙයිබාන් ඛාන්” ලෙසින් හැඳින්වූ ඉම්රාන් ඛාන් විසින්ම අද ඔසාමා වීරත්වයට නැංවීම හුදු අත්වැරැද්දක් ලෙස නොසලකා හැරිය නොහැකියි.

ආගම වෙනුවෙන් දිවි පිදූවෙක් ලෙස ඔසාමා හඳුන්වන පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා තලෙයිබාන් ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම්වලට දායකත්වයක් නොදක්වන්නේ එය ඇෆ්ගන් අභ්‍යන්තර ගැටලුවක් බව හඟවමින්. නමුත් තවත් විටෙක ඇමෙරිකානු විරෝධී දැඩි ස්ථාවරයක සිටිමින් ඉස්ලාමාබාද් පාලනය ඇෆ්ගනිස්තානයේ කඩාවැටීම සඳහා පහසුකම් සලසමින් සිටිනවා. එවැනි තත්ත්වයක් තුල පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා විසින් ඔසාමා බින් ලාඩන් “Shaheed” ලෙස හැඳින්වීම තවදුරටත් උත්ප්‍රාසජනක නොවේ.

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ- සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

RECENT ARTICLES - ENGLISH

Excellent win for Sri Lanka

Sri Lanka defeated Afghanistan by 132 runs in 42.1 overs in the second one-day international against Afghanistan. Afghanistan were...

Risk notices for three districts

0
Landslide warnings have been issued in three districts due to inclement weather. According to the National Building Research Organization,...

Jaffna University bans 31 students

A total of 31 students studying at the University of Jaffna have been temporarily barred from entering the university.