31 C
Colombo
Wednesday, March 29, 2023

ජාතික නිදහස් පෙරමුණ ඉදිරි මැතිවරණවලට වෙනම ද?

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එල්ල වන අනවරත ප්‍රහාර හමුවේ ඉදිරියේදී එන මැතිවරණවලදී වෙනම තරග කිරීමේ වාසි අවාසි ගැන ජාතික නිදහස් පෙරමුණ මේ වනවිට ගණන් හදමින් සිටින බව වාර්තා වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තෝරාගැනීම් අනුව අපේක්ෂකත්වය හිමිව මන්ත්‍රීවරුන් වූ පිරිසත් කොමියුනිස්ට් සමසමාජ ශ්‍රී ලංකා මහජන පක්ෂය ආදී කොටසුත් ඒකාබද්ධ කරගත් වෙනම කණ්ඩායමක් නිර්මාණය ගැන ද ඒ සමගම සාකච්ඡාවට ගෙන තිබේ.

කෙසේ වෙතත් මෙම දේශපාලන ගැටුම ගැන මත පළ කරන ඇතැමුන් එය අර්ථදක්වන්නේ ජීවන වියදම, බඩු මිල සහ කොවිඩ් මර්දන වැඩපිළිවෙල කඩාවැටීම ඇතුඵව රජය මුහුණදෙමින් සිටින අසාර්ථකභාවයේ ප්‍රකාශන වසාදැමීමේ සඵවක් හැටියටය.

කිසියම් ආකාරයකට විමල් බැසිල් ගැටුමට ලැබෙන ජනමාධ්‍ය ඉඩ හා පුවත් මැවීම් දෙස බලනවිට එවැනි සිතුවිල්ලක් මතුවීම ස්වාභාවිකය. මන්දයත් පාලක පන්තියේ කැමැත්ත මත යැපෙන ප්‍රධාන යැයි කියන ජනමාධ්‍යට ආණ්ඩුවේ අභ්‍යන්තර ආරාවුල් හෙළිකරන මුවාවෙන් රටේ සැබෑ ජනතා ප්‍රශ්න වසාදැමීමට ද අවස්ථාවක් එයින් ලැබෙන බැවිනි. ජනප්‍රිය තර්කයේ පරිදි විමල් බැසිල් ගැටුම කෘතිම නිර්මාණයකැයි සිතුව ද එමගින් දෙපාර්ශ්වයට හිමි වන ප්‍රතිලාභ දෙස බැලීමේදී නම් වෙනත් කරුණු ගැන ද අවධානය යොමු වේ.

විමල් වීරවංශගේ හා බැසිල් රාජපක්ෂගේ දේශපාලන ගමන්මග හා ඉලක්ක ගැන සිතුවොත් මෙම තත්ත්වය තේරුම්ගැනීම පහසුය. සාමාන්‍ය පහළ පන්තියේ පවුලකින් ජවිපෙ කාඩරය නියෝජනය කරමින් ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණි විමල්ට පක්ෂයේ පඩිපෙළ හැදෙන්නේ ද නිර්මාණශීලීත්වය නිසාය. මුඛරිකම නිසාම ජවිපෙ ප්‍රචාරක ලේකම් වූ විමල්ට පක්ෂය නැති කළ වුවද පැවැත්මක් හිමිවූයේ තනතුර හිමි කාලයේ එය නිවැරැදිව ආයෝජනය කිරීමට තිබූ දේශපාලන ඥානය නිසාය.

යුදවාදී පිළිවෙත් සමග සිංහල බෞද්ධ ජාතිකවාදයට ජනතා විමුක්ති පෙරමුණ ද වේගයෙන් තල්ලු කිරීමට දායක වූ හෙතෙම එක්සත් ජනතා නිදහස් සන්ධානයෙහි මහින්ද රාජපක්ෂට හිතෛශී වූයේ පවුලේ අයකු පරිද්දෙනි. ජනතා විමුක්තිය නමැති වාමාංශික හැව ද ගලවා ජාතිය නිදහස් කරගැනීමේ අර්ථයෙන් පක්ෂයක් පිහිටුවීමෙන් හෙළ උරුම හා ජවිපෙ ධාරාවල මුසුවක වර්ණය ගැනීමට තරම් ද විමල් සුළං අත බලා දේශපාලනය කළ චරිතයක් විය. බලය ඒකාරම්මණය කරගත් නමුත් විමල්ට ඒ වෙනුවෙන් ආයෝජනය කරන්නට තිබුණේ මතවාදයයි. මුදල් යම් ආකාරයකට සොයාගැනීමට හැකි වෙතත් එය ප්‍රධාන ද්විපක්ෂයේ ප්‍රධානින්ට කළ හැකි තරමින් නොවේ.

මේ නිසා බලය සඳහා මතවාද සංවිධානය කිරීමත් එහි හිමිකාරිත්වයට අයිතිකම් කීමේත් වැදගත්කම විමල් හොඳින් දැන සිටියේය. විශේෂයෙන්ම මහින්දගෙන් අවසන් වන යුගයක දේශපාලනයෙන් පසු බල ධූරාවලියෙහි පළමු හෝ දෙවැනි තැනක් කරා යෑමට නම් තමාට හිමි තැන තරම් නොවන බව විමල් දනී. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ප්‍රශ්නයේදී කෝ දැන් විමල් යනුවෙන් පොදු සමාජයෙන් ප්‍රශ්න කරද්දී තීරණාත්මක හැරවුමක් ගන්නට විමල් සිතන්නේ ඒ නිසාය.

අනෙක් අතට ප්‍රධාන මාධ්‍යයෙන් වාර්තා නොකළ ද කොහොමටත් විමල්ට දැන් තිබෙන්නේ ඇතුලෙන්ම කැපිල්ලකි. මේ දේශපාලන ගැටුම ප්‍රකාශයට පත්වෙන්නටත් පෙර සිටම විමල්ට දැනට හිමි ඇතැම් ආයතන වෙනත් ඇමැතිවරුන්ට පැවරීමේ සූදානමක් තිබිණි. මේ කැපිල්ල අවසන් වන්නේ කොහෙන්දැයි තේරුම්නොගැනීමට තරම් විමල් දේශපාලන ළදරුවෙක් නොවේ. ජැටිය ගැන මුල් කාලයේදී නොකර සද්ද සිටි විමල් එක්වරම ගෝරනාඩු කරන්නට පටන්ගත්තේ ඒ නිසාය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් ද මාධ්‍ය හමුවේ විමල් විවේචනය කරද්දී ප්‍රධාන කරුණක් කරගෙන තිබුණේ විමල්ගේ ජැටි පිළිවෙතය. ආණ්ඩුව පොදුවේ යම් තීන්දුවක් ගනිමින් සිටියදී විමල් වෙනම පක්ෂ එකතු කරගෙන කල්ලිවාදීව හැසිරුණු බවය. සාගරට මේ දේශපාලන රැල්ල ගැන තේරුමක් තිබේදැයි පැහැදිලි නැත. එහෙත් විමල් මේ මොහොතේ කරමින් සිටින්නේ කුමක්ද? කලක් ජනතා විමුක්ති පෙරමුණේ අනන්‍යතා ලක්ෂණයක් වූ ඉන්දීය විරෝධය තමාගේ අතට ගැනීමය.

අනෙක් අතට විමල්ගේ මේ හැසිරීම සමාන කළ හැක්කේ අසූව අගභාගය වනවිට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙහි රණසිංහ ප්‍රේමදාස රඟදැක්වූ භූමිකාවටය. එදා ජවිපෙ ඉන්දීයවිරෝධී වෙද්දී ප්‍රේමදාස ද ඉන්දීය විරෝධියෙක් විය. එපමණක් නොවේ. නව ලිබරල් ආර්ථිකය දර්ශනය කරගත් එක්සත් ජාතික පක්ෂය තුළ සිටිමින්ම ප්‍රේමදාස ගෙනාවේ ජනතාවාදී සටන් පාඨය. අනෙක් අතට ප්‍රේමදාස ස්වරය ප්‍රභූවිරෝධී ද විය. විමල් සිය පක්ෂය හරහා පාර්ලිමේන්තු ගෙන ආ චරිත වන නිරෝෂන් ප්‍රේමරත්න හා උද්ධික ප්‍රේමරත්න වැනි අය දෙස බැලීමේදී ද මෙම ස්වරයේ තරම කැපී පෙනේ.

ඉතින් මෙසේ නිශ්චිත ඉලක්කයක් ඇතිව සංවිධිත ලෙස දේශපාලනය කරන විමල් වීරවංශ, ආණ්ඩුවේ අසාර්ථකභාවය වැසීම වෙනුවෙන් සැකසූ නාට්‍යකයක නළුකම් කරන තැනට වැටෙනු ඇතිද? අනෙක් අතට එවැනි නාට්‍යකින් පවා මතවාදී තලයෙහි දුර්වර්ණ වන්නේ විමල්ගේ ප්‍රතිරූපයයි. බැසිල්ට ඉන් හානියක් නැත. එනිසා සිදුවන දේ ආණ්ඩුවේ අසමත්කම් වසන කඩතුරාවක් විය හැකි සේම එය විමල් රඟපාන නාට්‍යක් වීමට ඇති ඉඩ අවමය.

2015 ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 58 ක් තිබුණු එ.ජ.නි.සට එම වසරේම මහමැතිවරණයේදී ලබාගැනීමට හැකිවූයේ ලක්ෂ 48කි. ඒ අනුව 2020 ජනාධිපතිවරණය වන විට ඡන්ද ලක්ෂ විස්සකට වැඩි පිරිසක් රාජපක්ෂවරුන්ගේ සහායට සිටියහ. විමල් ඇතුළු පිරිස අහන්නේ මේ ඡන්ද ආවේ කොහෙන්ද කියාය. වෙනම තරග කිරීමක් හරහා ජාතික නිදහස් පෙරමුණ අපේක්ෂා කරන්නේ ද මේ ඡන්ද ගොඩය.

RECENT ARTICLES - SINHALA

මිනිස් ඝාතනයට තැත් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා  සිරදඬුවම් 

බෝම්බයක් පුපුරුවා හැර මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරුවූ චූදිතයෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළා.

විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනයට රජය තීරණය කරයි

ඉදිරියේදී අවසර හිමිවන සෑම අවස්ථාවකම මෙරටට විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනය කිරීමට රජය තීන්දුවක් ගෙන ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර...

BREAKING – බස් ගාස්තු අඩු වෙන්නේ මෙහෙමයි

0
බස් ගාස්තු හෙට (30) මධ්‍යම රාත්‍රියෙන් අඩු කෙරෙන බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...