27.4 C
Colombo
Wednesday, June 7, 2023

ජෝන් සීනා නැවත රෙස්ලින් වළල්ලට! රෙස්ලින් ලොව කැළඹෙයි

- Advertisement -

රෙස්ලින් වළල්ලෙන් හොලිවුඩ් සිනමාවට පිවිසුණු සුපිරි තරුවක් වන ජෝන් සීනා, දීර්ඝ කාලයකට පසු නැවත තමන්ගේ නිවහනට පැමිණියා. හේතු ගණනාවක් නිසා ජෝන් සීනාගේ නැවත පැමිණීම විශේෂ වුණා.

ජුලි 18 වැනිදා පැවති ‘මනී ඉන් ද බෑන්ක්’ පේ පර් වීව් ප්‍රසංගයේදී නැවත පැමිණි හිටපු ලෝක ශූරයා, වත්මන් ලෝක ශූර රෝමන් රේන්ස්ට මුහුණට මුහුණ හමු වුණා.

රෝමන් රේන්ස් සහ එජ් අතර තරගයක් පැවතුණා. එය ජයගත්තේ රෝමන්. ඒ රෝමන්ගේ පරණ මිතුරෙකු වන සෙත් රෝලින්ස්ගේත් මැදිහත්වීම නිසා.

තරගයෙන් පසු එජ් සහ රෝලින්ස් පොරකමින් වළල්ලෙන් එළියට ගියා. ඉන්පසු මයික්‍රෆෝනය අතට ගත් රෝමන් ආඩම්බරකාර වාක්‍යයක් කීවා. ඒ වන විට ඔහු සියළු ප්‍රතිවාදීන් පරාජය කර හමාරයි. කිසිම අභියෝගයක් නැහැ.

මඳ නිහඬතාවයකින් පසු එක්වරම ජෝන් සීනාගේ සුප්‍රකට තේමා ගීතය වැයෙන්නට පටන්ගත්තා. සම්පූර්ණ ප්‍රේක්ෂකාගාරය ජයගෝෂා නගන්නට පටන්ගත්තේ ටෙක්සාස්වල පිහිටි ක්‍රීඩාංගණයේ වහළ උඩ යන තරම් ගෝෂාවකින්.

කොවිඩ් වසංගතය නිසා අවුරුද්දක් තිස්සේ ප්‍රේක්ෂකයන් නැතිව රෙස්ලින් තරග පැවති නිසා, මේ ප්‍රේක්ෂක ඝෝෂාව පවා නැවුම් ලෙස දැනුණා.

ඝෝෂාව මැද වළල්ලට පැමිණි සීනා, වචනයක්වත් කීවේ නැහැ. සුපුරුදු ලෙස වළල්ලේ දෙපසට දිව ගිය ඔහු තමන්ගේ කැප් තොප්පිය ගලවා ප්‍රේක්ෂකාගාරයට විසි කළා. ඉන්පසු රෝමන් දෙස හැරී ප්‍රකට ‘යූ කාන්ට් සී මී’ හස්ත සංඥාව රෝමන් දෙසට පෑවා.
එපමණයි.

ඔහු වචනයක් නොකීවත් සීනා මේ පැමිණියේ ඉදිරියේදී පවත්වන ‘සමර් ස්ලෑම්’ ප්‍රසංගයේදී රෝමන්ට එරෙහිව ලෝක ශූරතාව වෙනුවෙන් මුහුණට මුහුණ සටන් කිරීමට බව පැහැදිලියි.

මේ පැමිණීමේ එක් විශේෂතාවක් වන්නේ ජෝන් සීනාගෙන් පසු, එම සමාගමේ අංක එකේ තරුව ලෙස WWE සමාගමෙන් ප්‍රවර්ධනය කළ රෝමන් රේන්ස් සීනා සමග නැවත මුහුණට මුහුණ හමු වීම.

අනෙක් අතට හොලිවුඩයේ ඉහළම ආදායමක් ලබන සුපිරි තරුවක් වන ජෝන් සීනා නැවත වළල්ලට පිවිසීම සිදු නොවනු ඇතැයි ඇතැම් විචාරකයන් කීවා.

සීනා මෙන්ම රෝමන් රේන්ස් අංක එකේ තරුව ලෙස WWE සමාගමෙන් ප්‍රවර්ධනය කරද්දී රෙස්ලින් විචාරකයන් බොහොමයක් එයට විවේචන එල්ල කළා. වෙනත් අයට අවස්ථා නොදී මේ දෙදෙනාවම තරගවලින් ජයග්‍රහණය කරවන බව කීවා.

එහෙත් මේ වෙද්දී ඒ තත්වය වෙනස් වෙලා. ජෝන් සීනා කාලයකින් රෙස්ලින් වළල්ලට පිවිසියේ නැහැ. අනෙක ඔහු දැවැන්ත හොලිවුඩ් තරුවක්.

අනෙක් පැත්තෙන් රෝමන් රේන්ස් තමන්ගේ සැමෝවානු සම්භවයක් ඇති ගෝත්‍රය (ද රොක්, උමාගා, රිකිෂි වැනි තරු රැසක් ඒ ගෝත්‍රයට අයිතියි.) කේන්ද්‍ර කරගත් අලුත් චරිතයක් ගෙන එනවා. දුෂ්ඨ, දරුණු චරිතයක්. මෙය රෝමන්ගේ රෙස්ලින් දිවියේ උපරිම කාලය.

ඒ නිසා විචාරකයන් පවා දැන් රෝමන්ට කැමතියි.

සීනා සහ රෝමන් මුහුණට මුහුණ මුණගැසීම රෙස්ලින් ලෝකය පුල පුලා බලා සිටි අවස්ථාවක් වන්නේ ඒ නිසා.

මේ දිනවල තිරගත වන ෆාස්ට් 9 චිත්‍රපටියේ ප්‍රධාන චරිතයක් රඟපෑ ජෝන් සීනා, පසුගිය කාලසීමාවේ එම චිත්‍රපටියේ ප්‍රචාරක කටයුතු සමඟ පවා කාර්යබහුල වී සිටියා.

නවතම ඩීසී චිත්‍රපටිය වන ‘සුයිසයිඩ් ස්කොඩ්’ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයක් වන ‘පේස්මේකර්’ නම් සුපිරි දුෂ්ඨයාගේ චරිතය ජෝන් සීනා රඟපානවා. මේ වන විට පේස්මේකර් චරිතය කේන්ද්‍ර කරගත් වෙබ් සීරීස් එකක් පවා නිෂ්පාදනය වෙමින් පවතිනවා.

සුපර්මෑන්ට රඟපෑ සුපිරි නළු හෙන්රි කැවිල් සමඟ තවත් චිත්‍රපටියක රූගත කිරීම් පවා ඉදිරියේදී කරන්නට නියමිතයි.

මෙතරම් උපරිමයෙන් සිනමාවේ ක්‍රියාකාරී වන කාලයක ක්‍රියාකාරීව රෙස්ලින් වළල්ලට පිවිසීම ලෙහෙසි නෑ. විශාල හොලිවුඩ් නිෂ්පාදක සමාගම්, තමන්ගේ සිනමා තරුවකගේ සෞඛ්‍යය අවදානමේ ලක් වෙන දේවල් කරනවාට එකඟ වන්නේ නැහැ. ඒ සිනමා තරුවලට රක්ෂණාවරණ පවා තිබෙනවා. ඒ රක්ෂණාවරණ අනුව චිත්‍රපටි රූගත කෙරෙන කාලෙක වළල්ලට පිවිසෙන්න බැහැ.

රෙස්ලින් කලින් සැලසුම් කරන ලද්දක් බව ඇත්ත. එහෙත්, රෙස්ලින්වලදී කරන්නට සිදු වෙන බොහෝ දේවල් ඇත්ත. ඒ සියල්ල ශරීරයට වේදනා ගෙනදෙනවා පමණක් නෙවෙයි, දරුණු ආබාධවලට මුහුණදීමේ අවදානමක් පවා තිබෙනවා.

ද රොක් මෙන්ම බැටිස්ටාද රෙස්ලින් තරගයක් සඳහා WWE සමාගමට ආ අවස්ථාවලදී තමන්ගේ චිත්‍රපටි රූගත කිරීමේ කාලසටහන් එහේ මෙහේ කර මාස ගණනක නිදහස් කාලසීමාවක් සකසාගෙනයි ආවේ. ජෝන් සීනාටත් තත්වය එසේමයි.

හොලිවුඩයේ ටිකෙන් ටික ඉහළට යන සීනා නැවත කාලයක් යනතුරු WWE පැත්තවත් නොබලනු ඇතැයි සමහරු හිතුවා. ඒ සිනමා කාලසටහන එහේ මෙහේ කිරීම ලෙහෙසි නැති නිසා. එහෙත් අවදානමක් රැගෙන නැවත වළල්ලට පිවිසීමෙන් ඔහු තමන්ගේ මුල් ප්‍රේමය රෙස්ලින් බව පෙන්වුවා.

ජෝන් සීනා ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ. සමාගම පිළිගත් ලෝක ශූරතා 16 වතාවක් දිනාගත් අයෙක්. WWE සමාගම රෙස්ලින් ලෝක ශූරතාව ලෙස පිළිගත් ලෝක ශූරතා 16 වතාවක් දිනාගත් රෙස්ලින් ක්‍රීඩකයන් ඉන්නේ දෙදෙනක් පමණයි.

අනෙක් ක්‍රීඩකයා රික් ෆ්ලෙයාර්. (WWE සමාගම පිළිනොගත්තාට, අසූ ගණන්වල ලොව අංක එකේ රෙස්ලින් තරුව වූ ෆ්ලෙයාර් ලොව පුරා විවිධ සමාගම්වලට අයත් ලෝක ශූරතා විශාල ප්‍රමාණයක් දිනා තිබෙනවා.)

ඒ අනුව තව එක් වතාවක් ලෝක ශූරතාව දිනාගැනීමට සමත් වුණොත් 17 වරක් ලෝක ශූරයා වූ ජෝන් සීනා WWE සමාගම් ඉතිහාසයේ වැඩිම වාර ගණනක් ශූරතාව දිනූ කෙනා ලෙස වාර්තා තබාවි.

සමර්ස්ලෑම් ප්‍රසංගයේදී රෝමන් රේන්ස් හා ජෝන් සීනා අතර තරගයෙන් ජෝන් සීනාට ජය ලබා දෙනු ඇතැයි සමහර විචාරකයන් අනුමාන පළ කරනවා.

ඔවුන්ට අනුව නැවත කෙටි කාලයක් ඇතුළත පවත්වන දෙවැනි තරගයකදී ජෝන් සීනාව රෝමන් රේන්ස් පරද්දනු ඇති බවත් නැවත ලෝක ශූරයා වනු ඇති බවත් කියනවා.

තවත් සමහරුන් කියන්නේ ජෝන් සීනා නැවත ආවේ එක් තරගයකට පමණක් බවත්, සමර්ස්ලෑම් තරගය රෝමන් ජයගනු ඇති බවත්.
2022 රෙස්ල්මේනියාහිදී රෝමන් රේන්ස් සහ ද රොක් අතර තරගයක් පවත්වනු ඇතැයි බොහෝ අය අනුමාන කරනවා. ද රොක් සහ රෝමන් සමීප ඥාතීන්.

– තරිදු උඩුවරගෙදර –

RECENT ARTICLES - SINHALA

යකඩ මිල ගණන් සීඝ්‍රයෙන් පහළට

යකඩවල මිල ගණන් 50%කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයනකරුවෝ පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ ආරම්භයේ දී...

මැති ඇමති නොවන පිරිසකට ආරක්ෂකයන් 5400ක් දීලා

ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට අමතරව වෙනත් පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂකයන් 5400ක් ලබාදී ඇතැයි තොරතුරු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද(06)...

ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් අඩුවෙයි

ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට ගොඩබෑමේ ගාස්තු වසරක් දක්වා සියයට 50 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි වරාය නාවික සහ ගුවන්...

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...