28.4 C
Colombo
Friday, April 26, 2024

මව් පදවිය නිසා වෘත්තිය හැර යන මාධ්‍යවේදිනියෝ

- Advertisement -

ලංකාවේ ජනගහනයෙන් සියයට 52ක්ද ඡන්දදායකයින්ගෙන් සියයට 56ක්ද ස්ත්‍රීන්ය. එසේ වුවත් පාර්ලිමේන්තුව නියෝජනය කරන ස්ත්‍රීන්ගේ ප්‍රතිශතය සියයට 5.8ක් පමණකි. එය කිසිදු අවස්ථාවක සියයට 6ක් ඉක්මවා ගොස් නැත. දේශපාලනයේ ස්ත්‍රී නියෝජනය වැඩි කරන්නේ කෙසේද යන්න ගැන ජනමාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් සංවාදයට ලක් වෙයි.

මෙවැනි කරුණු ගැන සංවාද ගොඩනගන ජනමාධ්‍යවල ස්ත්‍රී නියෝජනය, නැතහොත් සේවා නියුක්තිය කොපමණද? පොදු සමාජය තබා, ජනමාධ්‍ය සමාජය වත් ඊට පිළිතුරු දන්නේ දැයි සැක සහිතය. ඒ ගැන කිසියම් අධ්‍යයනයක් සිදු වී ඇත්දැයි සොයා බැලූ නමුත් හමු වූයේ නැත. වඩුවාගේ ගෙදර පුටුවක් නැතැයි පැරණි කියමනක් තිබේ. එසේම, ලොවේ ඇති- නැති හැම දෙයක් ගැනම සොයා බලන ජනමාධ්‍යය, තමන්ගේ වෘත්තියට අදාළ ගැටලු ගැන සොයා බලන්නේ නැත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අවසන් වරට යාවත්කාලීන කරන ලද දත්තවලට අනුව 2019 වසරේදී නිකුත් කෙරුණු සමස්ත ජනමාධ්‍ය හැඳුනුම්පත් සංඛ්‍යාව 3,096කි. එයින් මාධ්‍යවේදිනියන් ඇත්තේ 956ක් පමණි. ප්‍රතිශතයක් ලෙස එය සියයට 31කි. 2020 වසර තුළ ආශ්චර්යයකින් මෙන්, සමස්ත හැඳුනුම්පත්ලාභීන් සංඛ්‍යාව 4,499ක් දක්වා එනම් 1403කින් ඉහළ ගොස් තිබියදී, මාධ්‍යවේදිනියන්ගේ සංඛ්‍යාව 861 දක්වා, 95කින් පහළ ගොස් තිබේ.

ප්‍රතිශත ලෙස බලන විට, සමස්ත මාධ්‍ය හැඳුනුම්පත්ලාභීන් සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව සියයට 31කින් වර්ධනය වෙද්දී, මාධ්‍යවේදිනියන්ගේ ප්‍රතිශතය සියයට 19ක් දක්වා පහළ ගොස් තිබේ. එය පෙර වසරට සාපේක්ෂව සියයට 10කින් පහළ යෑමකි. සමස්ත මාධ්‍යවේදීන් සංඛ්‍යාව විස්මිත ලෙස ඉහළ ගොස් තිබියදී පවා, ස්ත්‍රී නියෝජනය පහළ ගොස් ඇත්තේ ඇයි? ඊටද පිළිතුරු දන්නා කෙනෙකු නැත.

විසි දෙනෙකුගේ අත්දැකීම්

මාධ්‍ය වෘත්තිය තුළ ස්ත්‍රී නියෝජනය අවම වීමට හා වෘත්තියට පිවිසෙන සුළුතරයද කෙටි කලක් තුළ ඉන් බැහැරව යෑමට බලපාන හේතු බොහෝ ඇති බව අත්දැකීමෙන් කිව හැකිය. දරුවකු ලැබීමෙන් පසුව වෘත්තීය ජීවිතය පවත්වාගැනීමට සහාය වන පරිසරයක් නොමැති වීම ඒ අතුරෙන් ප්‍රධානතම සාධකයකි. ‘පරිසරයක් නොමැති වීම ‘ යන හැඳින්වීම තුළට, සිය මාධ්‍ය ආයතනය, මගී ප්‍රවාහනය හා දිවා සුරැකුම් ආදී සේවාවන්, පොදු සමාජය මෙන්ම සැමියා ඇතුළු පවුලද අයත් වේ.

මෙම අධ්‍යයනය සඳහා, උක්ත ගැටලුව හේතුවෙන් ජනමාධ්‍ය වෘත්තියට සමු දුන් මාධ්‍යවේදිනියන් 20 දෙනෙකුගේ අත්දැකීම් විමසා බැලුණු අතර ඔවුන් කොළඹ කේන්ද්‍ර කරගත් මාධ්‍ය ආයතනවල සේවයේ නිරතව සිටි අයයි. සමස්තයක් ලෙස ඔවුන් පසුගිය වසර 10ක කාලයක් තුළ මාධ්‍ය වෘත්තියෙන් ඉවත් වූවන් වන අතර ඉන් 16 දෙනෙකුම පසුගිය වසර 5ක කාලය තුළ සේවයෙන් ඉවත් වූවන්ය. එයින් 9 දෙනෙකු සේවය හැර ගොස් ඇත්තේ, ලාංකීය සමාජය මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයද දැඩි පසුබෑමට ලක් වූ ඉකුත් වසර 3ක කාලය තුළ දීය. ඔවුන් එක් දරුවකු හෝ දරුවන් දෙදෙනෙකු සිටින මව්වරුන්ය. සමීක්ෂණයට සහභාගී වූ මාධ්‍යවේදිනියන්ගෙන් 11 දෙනෙකුම කොළඹ ආශ්‍රිතව කුලී නිවාසවල පදිංචිව සිටිමින් වෘත්තියෙහි නරත වූවන් වන අතර 9 දෙනෙක් කොළඹ අවට හා ඉන් බැහැර ප්‍රදේශවල පිහිටි තම නිවසේ සිට දිනපතා වැඩට පැමිණි අය වෙති.

අධ්‍යාපනය හා වෘත්තීය සුදුසුකම්

සමීක්ෂණයට සහභාගී වූ මාධ්‍යවේදිනියන්, අහඹු තෝරාගැනීමක් වුවද, ඔවුන් සියලුදෙනාම පාහේ ජනමාධ්‍ය ඩිප්ලෝමාවේ සිට විෂය පිළිබඳව ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති, විශේෂ උපාධි, පශ්චාත් උපාධි මෙන්ම දේශපාලන විද්‍යාව, නීතිවේදය පිළිබඳව විශේෂ උපාධි ලැබූවන් වීම විශේෂයකි. මෑත දශක දෙකක පමණ කාලය තුළ මාධ්‍ය වෘත්තියට පිවිසෙන තරුණ ප්‍රජාව එම විෂය ක්ෂේත්‍රය පිළිබඳ අධ්‍යාපන පසුබිමක් සහිත වූවන් වීම එමගින් අවධාරණය වන කරුණකි. එමෙන්ම, වෙනත් විෂයයන් පිළිබඳ අධ්‍යාපන සුදුසුකම් ඇති අයද වෘත්තියට පිවිසීමෙන් පසුව ජනමාධ්‍ය පිළිබඳ පුහුණුවීම් හා උසස් අධ්‍යාපනය කෙරෙහි යොමු වී අති බව පැහැදිලි විය. ජනමාධ්‍ය වෘත්තිය ඔවුන්ගේ කැමැත්ත මත කළ තෝරාගැනීමක් මෙන්ම ඇතැම් විට වෙනත් අවස්ථා කැප කිරීමක්ද වී ඇති බව කැපී පෙනුණු සාධකයකි.

මව්වරුන් වීම නිසා සේවය අතහැර ගිය මාධ්‍යවේදිනියන්ගේ වෘත්තීය පළපුරුද්ද අනුව, ඔවුන් වසර 2-25ත් අතර කාල පරාසයක් වෘත්තියෙහි නිරතවූවන්ය. ඒ අනුව සමස්තයක් ලෙස මෙම නියැදිය තුළ පමණක් මාධ්‍ය ක්ෂේත්‍රයට අහිමි වූ පුහුණු වෘත්තීය පළපුරුද්ද වසර 110කි!

වර්තමානය වන විට ඔවුන්ගේ රැකියාව හෝ රැකියා විරහිතබව, මාධ්‍ය ක්ෂේත්‍රය සමග ඇති සම්බන්ධය හා ජීවන තත්ත්වය පිළිබඳව විමසීමේදී හෙළි වූයේ, ඉන් 8 දෙනෙකු රැකියා විරහිතව සිටින අතර 4 දෙනෙකු අර්ධකාලීන රැකියාවලද, තවත් දෙදෙනෙකු මාධ්‍ය ක්ෂේත්‍රයෙන් බැහැර රාජ්‍ය අංශයේ රැකියාවලද, තිදෙනෙකු විදේශගවද සිටින බවයි. මාධ්‍ය ක්ෂේත්‍රය සමග කවර මට්ටමකින් හෝ යළි සම්බන්ධ වී ඇත්තේ 5 දෙනෙකු පමණි. එයින් තිදෙනෙකු නැවත පූර්ණකාලීනව මාධ්‍ය වෘත්තියට සම්බන්ධ වී සිටින අතර, රැකියා විරහිත ලෙස සැලකුණු 8 දෙනාගෙන් දෙදෙනෙක්, ආදායම් නොලබන වෙබ් අඩවි සංස්කාරකවරුන් ලෙස කටයුතු කරති.

අත්හැර යෑමේ විවිධ හේතු

සැමියාගේ හෝ දෙමාපියන්ගේ සාම්ප්‍රදායික ආකල්ප, උදව් විරහිතබව, දරුවන් බලාගැනීමේ කාර්යය සඳහා විශ්වාසවන්ත සේවාවන් දුලබ වීම, එම සේවාවන්ගේ මිල අධික වීම, ගමනාගමන වියදම් අධික වීම, ගෘහාස්ශ්‍රිත වගකීම් හා වෘත්තීය වගකීම් සමබරව පවත්වාගෙන යෑමේ අපහසුව, මෙම ගැටලු කෙරෙහි රැකියා කරන මාධ්‍ය ආතනවල නිසි අවධානයක් හෝ විකල්ප විසඳුම් නොමැතිකම ආදී බොහෝ හේතු ඔවුන්ගේ වෘත්තිය හැරයෑමේ තීරණයට අඩු වැඩි වශයෙන් බලපා තිබේ.

සමාජය තුළ දරුවන්ගේ අනාරක්ෂිතභාවය පිළිබඳව ඇති බියද මෙම මාධ්‍යවේදිනියන් බොහෝ දෙනෙකුට දැඩි බලපෑමක් ඇති කළ සාධකයක් බව නිරීක්ෂණය විය. ඔවුන් ඇසුරු කරන ප්‍රවෘත්ති හා දත්තවල බලපෑම ඊට හේතු වී ඇති බවද පැහැදිලි වෙයි.

ඇවිළෙනසුලු කතන්දර

මෙම ගැටලුවෙහි ස්වභාවය හඳුනාගනු පිණිස, මව්වරුන් වීමේ වූ පසු වෘත්තීය ජීවිතය අහිමි කරගත් මාධ්‍යවේදිනියන්ගේ අත්දැකීම් හා ඔවුන්ගේ අදහස් උපුටා දැක්වීම වැදගත් වේ. මෙම අධ්‍යයනයට සහාය දැක්වූ සියලුම මාධ්‍යවේදිනියන් සිය අත්දැකීම් ප්‍රකාශ කිරීමට ඉතා කැමැත්තෙන් ඉදිරිපත් වූ නමුත්, බහුතරයක් දෙනා එම අදහස් තම අනන්‍යතාව සහිතව ප්‍රසිද්ධ මාධ්‍යයකින් එළිදක්වනවාට අකමැති වූයේ, පවුල් පරිසරය තුළ පවා එය ඇවිළෙනසුලු මාතෘකාවක් විය හැකි බැවිනි.

මේ ගැන විවෘතව අදහස් පළ කිරීමට කැමති වූ වී.ජේ. ශයිලු, ජනමාධ්‍යකරණයට ඇති කැමැත්ත නිසාම රත්නපුරයේ සිට කොළඹට පැමිණ, ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයෙන් මාධ්‍යකරණය ඉගෙනගෙන වෘත්තීය ජීවිතය ආරම්භ කළ තරුණියකි. වසන්තම් ටීවී, යූටීවී නාලිකාවල ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙසත්, ඉන් පසුව ලයිකා, ආදවන් ටීවී නාලිකාවලත් සේවය කළ ඇයට වෘත්තීය දිවිය අත්හැර යෑමට සිදු වූයේ එහි සාර්ථක අදියරකට පා තබා සිටියදීය.

“දරුවා ලැබුණට පස්සෙ ආයෙ රස්සාවට යන්න වෙනකොට තමයි ප්‍රශ්න මතු වුණේ. දරුවා විශ්වාසයෙන් බාර දෙන්න පුළුවන් ඩේකෙයා එකක් අපිට හම්බවුණේ වුණේ නෑ. දරුවා පිටස්තර අය එක්ක තියල යන්නත් බෑ. මගේ අම්මා කැමති නෑ ගම්පළාත දාලා ඇවිත් දරුවා බලාගන්න. දරුවා අපි නැතිව අම්මල ළඟ හැදෙනවට අපි කැමතිත් නෑ. බැරිම තැන, දැඩි අකමැත්තෙන් රස්සාව අත්තැරියා. ඒ නිසා ගෙදර ආර්ථිකයට මගේ දායකත්වය නැති වුණා. අපි හිටියෙ කුලියට නිසා, තත්ත්වය තවත් සංකීර්ණ වුණා. ගම්පළාතට ගියත් එහෙ කරන්න දෙයක් නෑ. ජනමාධ්‍ය ඉගෙනගත්ත කාලේ බේකරි රස්සාව ඉගෙන නොගත්තේ ඇයි කියලා මට දැන් හිතෙනවා.”

වෘත්තිය ගැන තවමත් දුකයි

වෘත්තිය ගැන තවමත් දුකයි

ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස වසර 8ක් වෘත්තියේ නියැලුණු දිමුතු ඒකනායක මඩවල, මවක වීමෙන් අනතුරුව මෙම අභියෝගාත්මක වෘත්තියේ නිරත වීම පිළිබඳව මෙසේ පැවසුවාය.

“මගේ ගම මහනුවර. මගේ දරුවත් බලාගෙන, වෘත්තියත් රැකගන්න කොයි තරම් උත්සාහ කළත් අන්තිමේදි රස්සාව අතාරින්න වුණා. කොළඹ ඉන්න අතරෙ රැකියාව වෙනුවෙන් පැය දෙකකටවත් දරුවා බලාගන්න විශ්වාස කෙනෙක් හිටියේ නෑ. මගේ අම්මට මහනුවර ඉඳන් මෙහේ ඇවිත් ඉන්න අමාරුයි. මහත්තයටත් මටත් යුරෝපා රටට යන්න පුළුවන් වුණත්, රස්සාව කරන්න මගේ තියෙන කැමැත්තට ඉඩ දුන්නා. මගේ විභාගවලටත් පාඩම් කරන ගමන් දරුවත් අරගෙන ගිහින් පවා රස්සාව කරන්න උත්සාහ කළා. දරුවා ලංකාවේ පාසලකට දාන්න පවා මම සැලසුම් කරලා තිබුණෙ. ඒත්, බැරිම තැන 2021දී මම මහත්තයා සමග ඉතාලියේ පදිංචියට ආවා.”

ඇගේ ඉතාලි අත්දැකීම්, අප සිටින තැන පිළිබඳව මෙන්ම සිටිය යුතු තැන පිළිබඳවද අදහසක් ඇති කර ගැනීමට ප්‍රයෝජනවත්ය.

“මෙහෙ ආවම තමයි මට තේරුණේ වැඩ කරන අම්මලාට මෙහෙ තියෙන අවස්ථා ලංකාවේ තිබුණා නම් මාත් අද මගේ වෘත්තීය කරනව නේද කියන එක. මෙහේ පාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන ක්‍රියාත්මක වෙන්නේ දෙමව්පියන්ගේ රැකියාවලට සහාය වෙන විදිහටයි. දවල් කෑම වෙලාවෙ පැය දෙකක් අරන් අම්මලාට දරුවන් බලලා එන්න පුළුවන්. දරුවන් නිසාම හවස 7ට කලින් කාන්තාවන්ට සේවා ස්ථානයෙන් පිටත්වෙන්න පුළුවන්. දරුවන්ට පාසලෙන් ආහාර දෙනවා. අම්මලාට පීඩනයක් නෑ. ලංකාවෙ මේ විදියෙ වැඩපිළිවෙළක් තිබුණ නම් මම මෙහේ එන්නෙ නෑ.”

කඳුළු සලන සම්මාන!

ප්‍රින්සියා ඩික්සි, හොඳම විශේෂාංග රචනයට, ගවේෂණාත්මක වාර්තාකරණයට 2018දී ජනාධිපති සම්මානයට පාත්‍ර වූ මාධ්‍යවේදිනියකි. 2009 වර්ෂයේ සිට වසර 14ක් මාධ්‍ය වෘත්තියෙහි නියැලුණු ඇය, ටැමිල් මිරර් පුවත්පතේ විශේෂාංග කර්තෘවරියකව සිටියදී වෘත්තියට සමුදෙන්නේ මාස කිහිපයකට උඩදීය. ඒ සිය දරුවාගේ රැකවරණයට උර දුන් සිය මවගේ අසනීප තත්ත්වය හේතුවෙනි.

“මම අකිනි එෆ්.එම්. අන්තර්ජාල ගුවන්විදුලියේ අර්ධකාලීන නිවේදිකාවක් ලෙසයි මාධ්‍ය ගමන ආරම්භ කළේ. 2010දී ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයෙන් පුවත්පත් කලාව සහ ගුවන්විදුලි මාධ්‍ය වැඩිදුර ඉගෙනගෙන පූර්ණකාලීනව ක්ෂේත්‍රයට පිවිසුණා. කොවිඩ් කාලෙත් මම දිගටම වැඩ කළා. අම්මගෙ අසනීප තිබුණත්, ඇගේ සහායෙන් තමයි මාත්, සැමියාත් දෙන්නම මාධ්‍ය ක්ෂේත්‍රයේ වැඩ කළේ. ඒත් අම්මගෙ අසනීප වැඩි වුණාට පස්සෙ‍, මට ඇයගේත් දරුවාගේත් වැඩවලට සම්පූර්ණ කාලය දෙන්න සිදු වුණා. මගේ වැටුප ගෙවල් කුලිය ගෙවීමටත් මදි වුණත් මම රැකියාවෙන් ඉවත් වුණේ දැඩි ආතතියකින්. මොකද මම මේක ආසාවෙන් නියැලුණ වෘත්තීය.” ප්‍රින්සියා පවසයි.

රාධිකා සංජීවනී හිරු ටීවී නාලිකාවේ වැඩ කළ සම්මානලාභී මාධ්‍යවේදිනියකි. ඇය මේ වන මාධ්‍ය වෘත්තියෙන් ඉවත් වී සැමියා හා දරුවා සමග ඩුබායි රාජ්‍යයේ වාසයට ගොස් ඇත්තේ, සිය දරුවා රැකබලා ගනිමින් ලංකාවේ රැකියාවක් කිරීමට ඇති දුෂ්කරතාව නිසාය. සිය වෘත්තිය කිරීමට නම් පැය 24ක්ම තිබිය යුතු අතර දරුවන් දෙදෙනෙකුගේ වගකීම් දරන මවකට මාධ්‍යවේදිනියකව කටයුතු කළ නොහැකි බව රාධිකා පවසන්නීය.

මාධ්‍ය රස්සාවට පැය 24ම ඕන!

“දරුවන් බලාගෙන ලංකාවේ මම කැමති වෘත්තියේ නියැලෙන එක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා මට වෘත්තිය අත්හරින්න සිද්ධවුණා. ඒත් තවමත් මම යන්ත්‍රයක් වගේ කාර්යක්ෂමව වැඩ කළ කාලය සිහි කරනවා. ඒ ගැන මට දුකක් තියෙනවා. ජනමාධ්‍ය විධිමත්ව ඉගෙනගෙන සම්මානත් ලබන්න මට පුළුවන් වුණා. කවුරුහරි මගෙන් මාධ්‍ය ජීවිතය ගැන අහනකොට මට ලොකු අඩුවක් දැනෙනවා. නිදහස් මාධ්‍යවේදිනියක හැටියට හරි, වැඩ කරන එක තමයි දැන් මගේ අපේක්ෂාව.” රාධිකා පවසයි.

රුවිනි ගුරුගේ, මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර 25 සැපිරීමට කෙටි කාලයක් තිබියදී දරුවා වෙනුවෙන් වෘත්තීය ජීවිතය අත්හළ මාධ්‍යවේදිනියකි. මාතර සිට කොළඹට පැමිණ සිය තරුණ වියේදීම ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වී, පසුව ජනමාධ්‍ය විශේෂ උපාධිය සම්පූර්ණ කළ ඇයගේ අපේක්ෂාව වූයේ තවදුරටත් ක්ෂේත්‍රයේ ඉදිරියට යෑමයි. ඒත් ඇගේ ගමන පිටුපස වූ යෝධ පිටුබලය, හදිසියේම ඇයට අහිමි විය.

“මව්බිම පත්තරේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ හැටියට මම වැඩ කළේ. අම්මා නැති වුණාට පස්සේ මගේ දරුවා බලාගැනීම තමයි ප්‍රධාන ගැටලුව වුණේ. ආයතනයෙන් මට දරුවා පාසලෙන් ගන්න යන්නත්, දරුවා ආයතනයේ තියාගන්නත් අවස්ථාව දීල තිබුණා. නමුත්, අන්තිමේ දරුවා සමග මහමගට ගෙවෙන කාලය නිසා ආයතනයේ වැඩවලට බාධා වේවි කියන පීඩනය මට ආවා. ප්‍රවාහන වියදම් වැඩි වුණා. ශරීරයට වෙහෙස දැනෙන එක වැඩි වුණා. අන්තිමේදි මම වෘත්තීය අතහැරියා. රැකියාවෙන් අයින් වෙලා ගෙවුණු මේ මාස කිහිපයට හිනා වුණ දවස් හරිම අඩුයි. වෘත්තිය අහිමි වීම දරුණු පාඩුවක්.” රුවිනි පවසන්නීය.

විසඳුම් – යෝජනා

මෙම තත්ත්වයට ඔවුන් අතරින්ම බොහෝ විසඳුම් යෝජනා විය. දිවා සුරැකුම් මධ්‍යස්ථාන, පාසල් පද්ධතිය මෙන් විධිමත් හා වගකිව හැකි තත්ත්වයකට ගෙන ඒම, රැකියා ස්ථානයට අනුබද්ධව දරුවන් රැකබලාගැනීමේ (Childcare) අංශයක්, ආයතනයට පවා ලාබ ලැබිය හැකි පරිදි ස්ථාපිත කිරීම, රැකියා කරන මව්වරුන්ට වැඩ පැය ආවරණය කෙරෙන නම්‍යශීලී කාලසටහනක් ලබා දීම, මාධ්‍ය ආයතනයට ආසන්න පාසලකට ඇතුළු වීමට දරුවන්ට පහසුකම් සැලසීම, විදේශ රැකියා අපේක්ෂා කරන අයට මෙන් රට තුළ දරුවන් බලාකියාගන්නා අයටද විධිමත් ආචාරධාර්මික පුහුණුවක් ලබා දීම, දරුවන් රැකබලාගැනීමේ සේවාව සඳහා නිශ්චිත ගෙවීම් ක්‍රමයක් තහවුරු කිරීම එයින් කිහිපයකි.

ඉදිරියේදී මෙම සමීක්ෂණ දත්ත අනුව වැඩපිළිවෙළක් යෝජනා කිරීමට අපේක්ෂා කරන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ කමිටු සාමාජිකා මාධ්‍යවේදිනී මෙත්මලී දිසානායක මෙසේ පැවසුවාය. 

“මාධ්‍ය ක්ෂේත්‍රයේ වැඩ කරන අයට සමාජයේ සිදුවීම් ගැන අවබෝධය වැඩියි. ඒ නිසාම තමන්ගෙ දරුවන් ගැන ගොඩක් සංවේදීව හිතනවා. එහි වරදක් මම දකින්නේ නෑ. අනෙක් අතට නිවසේ සිට ජනමාධ්‍ය කටයුතු සිදු කිරීමේ අත්දැකීම යම් පමණකට හෝ තහවුරු වීමට පෙර තමයි මේ මාධ්‍යවේදිනියන්ගෙන් වැඩි දෙනෙක් රැකියාවට සමු දී තිබෙන්නේ. ඒ වගේම වැඩ කරන භාෂා මාධ්‍යය අනුවත් මේ ගැටලුවේ ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්.  ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කරන මාධ්‍යවේදිනියන් සීමා සහිත වීම නිසා, කෙටි කලකට වෘත්තියෙන් ඉවත් වෙලා නැවත එන්න තියන හැකියාව වැඩියි. අනෙක් අතට දරුවන් රැක බලාගැනීමට තිබෙන ගැටලු මත සියලු දෙනාම රැකියාව කැප කරන්නේ නෑ. තමන් ලැබූ අධ්‍යාපනයේ සහ වෘත්තියේ වටිනාකම ගැන ස්ථාවර අදහසක් දරන පිරිසකුත් ඉන්නවා. ප්‍රමිතියෙන් යුතු දිවා සුරැකුම් මධ්‍යස්ථාන තමයි හොඳම විසඳුම. ආයතන මෙවැනි මාධ්‍යවේදිනියන් සඳහා නම්‍යශීලී කාලයක්  (Flexible hours) ලබා දෙනවා නම්, එය වෘත්තියේ රැඳී සිටීමට උපකාරයක්”

වෘත්තිය කැප කළ මව්වරු

හිමේෂා සවන්ති රාජපක්ෂ (මව්බිම), නදී මාණික්කගේ (දිනමිණ), වාසනා සුරංගිකා විතාන (මව්බිම), වසන්ති සේනාරත්න (ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව), පුෂ්පා වීරසේකර, දිලූකා ප්‍රනාන්දු (මව්බිම), සඳුනි දේශප්‍රිය (මව්බිම ), සවන්ති රත්නායක (රිවිර), රිශාන්තිනී ජයකුමාරන් (අගමැති මාධ්‍ය ඒකකය), ධාරිණී තංගරාජා (ශක්ති ටීවී) යනාදී මාධ්‍යවේදිනියෝ මව්වරුන් වීමෙන් වෘත්තීය අත්හැරීමට සිදු වීමේ ඛේදවාචකය පිළිබඳව සිය අතීත හා වර්තමාන අත්දැකීම් කෙරෙන් සමීක්ෂණයට සහාය පළ කළ අය අතර වෙති. (මෙහි සඳහන් කර ඇත්තේ වෘත්තිය අත්හරින අවස්ථාවේ සේවය කළ මාධ්‍ය ආයතනයි) තිදෙනෙක් සමීක්ෂණයට ඉතා කැමැත්තෙන් සහාය වුවද සිය නම සඳහන් කිරීම පිළිබඳව කැමැත්ත පළ නොකළහ.

තමන් ඉතා කැමැත්තෙන් නිරත වූ වෘත්තිය අත්හැරීමට සිදු වීමේ පශ්චාත්තාපයෙන් පසුවන වී.ජේ. ශයිලු මාධ්‍යවේදිනිය පැවසූ එක් කරුණක්, මඳක් රළු වුවද මේ ලිපියේ අවසානයට සඳහන් කිරීම සුදුසු යැයි හැඟුණු බැවින් නොලියා ඉතිරි කර ගතිමි.

“මේ රටේ මාධ්‍ය ආයතන, විශ්‍රාම යන වයසත් පහු කරපු, ඇවිදගන්නත් අපහසු වයෝවෘද්ධ මාධ්‍යවේදීන්ට තවදුරටත් වෘත්තිය කරගෙන යන්න කොතෙකුත් පහසුකම් සලසා දීල තියෙනවා. ඒත් උනන්දුවෙන්, ජවසම්පන්නව වැඩ කරන්න පුළුවන් තරුණ මාධ්‍යවේදිනියන් දරුවන් බලාගන්න විදියක් නැති නිසා වෘත්තිය දාල යනවා. ඇයි ආයතන ඒ අයගෙ වටිනකම දකින්නෙ නැත්තේ? “

– ශිවන්ති ප්‍රනාන්දු –

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...