29.1 C
Colombo
Thursday, April 25, 2024

ක්ෂුද්‍ර මූල්‍ය ණය නොහොත් ලංකාවේ “ඇඳ ණය” අර්බුදය 

- Advertisement -

සංක්ෂිප්තය 

  • බැංකු හෝ වෙනත් මූල්‍ය සමාගම්වලින් සිදුවන ණය ලබා දීම් ක්‍රියාවලියේ සංකීර්ණ බවින් බැහැරව ගමින් ගමට යමින් ඉතා පහසු ආකාරයට ණය ලබා දීම සඳහා ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත ක්ෂුද්‍ර මූල්‍ය ආයතන අද වන විට දිළිඳු ජනදිවිය කබලෙන් ලිපට ඇද දමන්නක් බවට පත්ව ඇත. 
     
  • ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගැටළු වෙනස් වේ. ඇතැම් ප්‍රදේශ වල කාන්තාවන් විශාල වශයෙන් ගැටළු වලට මුහුණ දී ඇතත් ඇතැම් ප්‍රදේශ වල කාන්තාවන් මුහුණ දෙන ගැටළු ප්‍රමාණය සීමිතයි. 
  • දෛනික ආදායමක් ලැබෙන කාන්තාවන්ට වඩා වාර්ශික හෝ කන්න වශයෙන් ආදායම් ලැබෙන ගොවිබිම් ආශ්‍රිත කාන්තාවන් වැඩි අවදානමක සිටියි. 
     
  • ණය ආපසු ගෙවීමට නොහැකි වීමත්, ඒ සම්බන්ධයෙන් එන පීඩනයත් හේතුවෙන් සියදිවි හානි කරගැනීමේ සිද්ධීන් වාර්තා වන අතර ලිංගික අතවර හෝ ලිංගික අල්ලස්, ගම්-බිම් හැර යාම්, බඩු බාහිරාදිය බලෙන් රැගෙන යාම් ආදියට එම කාන්තාවන් මුහුණ දේ. 
     
  • මේ සම්බන්ධයෙන් වරින් වර යම් යම් පියවරයන් ගෙන ඇතත් එම පියවරයන් ප්‍රමාණවත් නොවන අතර මේ සම්බන්ධයෙන් දුන් දේශපාලනික පොරොන්දුද හුදෙක් පොරොන්දු වලට සීමාවී ඇත. 

පසුබිම 

  • මහාචාර්ය මොහොමඩ්‌ යුනුස්‌ විසින්‌ 1976 දී බංගලාදේශයේ ග්‍රාමීන්‌ බැංකුව පිහිටුවීමත්‌ සමඟ ආරම්භ වූ ක්ෂුද්‍ර මූල්‍යකරණය ක්‍රමයෙන්‌ ශ්‍රී ලංකා ආර්ථිකය තුළට ඇතුළත්‌ විය.  
  • ක්ෂුද්‍ර මූල්‍යකරණය යන්න කුඩා පරිමාණයේ ව්‍යවසායකයන්ට අතිරේක ඇප ආවරණ මත කෙටිකාලීන කාරක ප්‍රාග්ධනය සැපයීමේ ක්‍රමවේදයක්‌ හා දුප්පත්කම අඩුකර ගැනීමේ උපාය මාර්ගයක්‌ ලෙස අර්ථ දැක්විය හැකිය.  
  • අඩු ආදායම්ලාභී කණ්ඩායම්වල ශුභසිද්ධිය උදෙසා ආර්ථික සංවර්ධන ප්‍රවේශයක්‌ ලෙස ලෝකයේ ක්ෂුද්‍ර මූල්‍යකරණය ක්‍රමයෙන්‌ පරිණාමනය වී ඇත.  
  • දුප්පත්කම තුරන් කිරීමේ අදිටනින් ලොවට පහළ වන ක්ෂුද්‍ර මූල්‍ය සංකල්පය ගැන අරුන්දතී රෝයි සිය Power to Capital නම් ග්‍රන්ථයේ මෙසේ සඳහන් කරයි. ක්ෂුද්‍ර මූල්‍ය යනු සංවර්ධනයේ සෑම තලයකම පාහේ පැතිර පවතින සර්ව රෝග නාශකයකි. බංග්ලාදේශයේ මොහොමඩ් යූනුස් විසින් මෙම ක්ෂුද්‍ර මූල්‍ය සංකල්පය ප්‍රතිඵලදායක ලෙස ක්‍රියාකාරී නියාමනයක් සහිතව, ඔහුගේ ග්‍රාමීන් (Grameen) නම් වූ මූල්‍ය සංකල්පය හරහා ක්‍රියාත්මක කරයි. එහිදී ඔහුගේ ග්‍රාමීන් ක්‍රමවේදය යටතේ කාන්තාවන්ට සියයට 0 සිට සියයට 5 දක්වා වූ පොළියක් යටතේ ආයෝජන කටයුතු සඳහා ණය ලබාදෙයි. 
  • ඒ අනුව, ක්ෂුද්‍ර මූල්‍යකරණය යනු දිළිඳු බව අවම කිරීම සඳහා භාවිතා කළ හැකි හොඳ සංවර්ධන මෙවලමක්‌ වන නිසාවෙන්‌ ලෝකයේ සංවර්ධනය වෙමින්‌ පවතින රටවල ක්ෂුද්‍ර මූල්‍යකරණය ප්‍රචලිත ය. 
  • කෙසේ නමුත් විධිමත් නියාමනයක් නොමැතිකම හේතුවෙන් ශ්‍රී ලංකාව තුලදී ක්ෂුද්‍ර මූල්‍ය මෙරට අඩු ආදායම් ලාභී කාන්තාවන් සහ ඔවුන්ගේ පවුල් තවත් දරිද්‍රතාවයේ ගිල්වීමට කටයුතු කර ඇති බව නිරීක්ෂණය වේ. 
  • ගෝඨාභය රාජපක්ෂ සේම සජිත් ප්‍රේමදාස ද ප්‍රකාශ කළේ තමන් බලයට පත් වූ විගස ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා පීඩාවට පත් දුප්පත් ජනතාවගේ ණය බර නැති කරන බවය. එසේ පැවසීමට හේතු වූ පීඩාවට පත් ක්ෂුද්‍ර මූල්‍ය ණය හිමියන් යනු ඡන්ද බැංකුවකි. 
  • ක්‍ෂුද්‍ර ණය අහෝසි කරන බවට ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ප්‍රතිඥාවේ සඳහන් විය. 2019 ඔක්තෝබර් 09 වැනිදා ජනාධිපතිවරණ සමාරම්භක රැළියේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා දැඩි ස්වරයෙන් ප්‍රකාශ කර සිටියේ “ඔය ක්ෂුද්‍ර මූල්‍ය ණය සහ ගොවි ණය සියල්ලම අපි කපා හරිනවායි කියන එක අපි තමුන්නාන්සේලාට කියන්නට කැමතියි.” යනුවෙනි. 
  • ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 47 වැනි පිටුවේ එනම් එහි පස්වන කොටස වන ‘ජනතා කේන්ද්‍රීය ආර්ථිකය‘ නම් පරිච්ඡේදයේ මෙසේ සදහන් වෙයි. 

“ගොවියා අවිධිමත් ණයකරුවන්ගේ සහ අධික පොලී ක‍්‍රම සහිත ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ග‍්‍රහණයට හසුවීම දේශීය ගොවියා වගාවෙන් ඈත් කිරීමට බලපාන ප‍්‍රධාන ගැටලූවක් බව අප හොඳින් වටහා ගෙන ඇත. ගොවියා මෙම ණය උගුලෙන් මුදවා ගැනීම සදහා අවම පොලී අනුපාත සරල ණය ක‍්‍රමයක් හඳුන්වා දෙනු ලැබේ. එම ණය ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීම සියලූ රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවලට අනිවාර්ය කෙරේ.“

  • එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 87 වැනි පිටුවේ ‘ගම සමඟ පිළිසඳර‘ නමැති දහවන කොටස ‘ගැමි ලියට රටේ සවිය‘ නම් කොටසේ මෙසේ දක්වා තිබේ. 

සමහර බැංකු තමන්ට නිත්‍යනුකූල අයිතියක් පවා නොතිබිය දී සහ ඇතැම් මූල්‍ය ආයතන පසුගිය කාලය පුරා කිසිදු නියාමනයකින් තොරව රට පුරා ප‍්‍රචලිත කළ ගිනි පොලීකරුවන්ටත් වඩා පීඩාකාරී ලෙස ලබාදුන් විවිධ ක්ෂුද්‍ර ණය වැඩසටහන් නිසා ග‍්‍රාමීය කාන්තාවන් ලක්ෂ ගණනක් පීඩනයකට පත් වී ඇත. එවැනි කාත්තාවන්ට කඩිනමින් සහන සැලසීම සදහා අසාධාරණ ලෙස ලබාදී ඇති ක්ෂුද්‍ර ණය කපා හැරේ.“ 

  • 87 වැනි පිටුවේම ‘දමිළ මුස්ලිම් සහෝදරත්වය ‘නම් කොටසේ මෙසේ සදහන් වෙයි. 

උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාවගේ ජීවනෝපාය මාර්ග සහ මූලික අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය සවිබල ගැන්වීමට ‘පුනර්ජීවන අරමුදලක් ආරම්භ කෙරේ. ඒ යටතේ; යුද්ධයෙන් පීඩාවට පත් උතුරු හා නැගෙනහිර පවුල් සඳහා නිවාස ලබා දීම සහ ක්ෂුද්‍ර මූල්‍ය ණය ක‍්‍රම නිසා පීඩාවට පත්ව සිටින උතුරු හා නැගෙනහිර පවුල්වල කාන්තාවන් සඳහා රජයේ මැදිමත් වීමෙන් විවිධ ව්‍යවසායන් සඳහා සහන ණය සහ කෘෂි කාර්මික ණය ලබාදීම.” 

  • ක්‍ෂුද්‍ර ණය අහෝසි කරන බවට ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ප්‍රතිඥාවේ සඳහන් විය. 2019 ඔක්තෝබර් 09 වැනිදා ජනාධිපතිවරණ සමාරම්භක රැළියේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා දැඩි ස්වරයෙන් ප්‍රකාශ කර සිටියේ “ඔය ක්ෂුද්‍ර මූල්‍ය ණය සහ ගොවි ණය සියල්ලම අපි කපා හරිනවායි කියන එක අපි තමුන්නාන්සේලාට කියන්නට කැමතියි.” යනුවෙනි. 
  • මේ අතර, ගෝඨාභය රාජපක්ෂ විසින් ක්ෂුද්‍ර මූල්‍ය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යංශයක් ඇතිකළ අතර එම අමාත්‍යධූරයට පත් වූ ශෙහාන් සේමසිංහ 2020 සැප්තැම්බර් මස 22වන දින මාධ්‍ය අමතමින් පවසා සිටියේ ක්ෂුද්‍ර මූල්‍ය නියාමනය කිරීමට අදාල ක්ෂුද්‍ර මූල්‍ය පනත වර්තමානයට ගැලපෙන අයුරින් සංශෝධනය කරන බවයි. කෙසේ නමුත් එයද මහපොළොවේ යතාර්ථයක් නොවීය.
  • 2016 අංක 16 දරන පනත හරහා කිසිඳු ආයතනයක් නියාමනය නොවන බව 2020 නොවැම්බර් මස 20 වනදා රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයා පිළිගත්තා. මෙම අර්බුදයට මුහුණ දී සිටින්නේ 93%ක්ම කාන්තාවන් බවත් එහිදී ඔහු පවසා සිටියා.
  • මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා දැක්වූ වෙනත් අදහස් 

කාන්තාවන් කිසිඳු අවස්ථාවක ණය පොළී අනුපාත ගැන දැනුවත්කමකින් සිටින්නේ නෑ. 176%ට පොළිය ගෙවන අයත් ඉන්නවා. පනත නිසි පරිදි ක්‍රියාත්මක උනා නම් උපරිමය 35%ක් වගේ. ඒත් අවමය 35%ක් වන ආයතනයක්වත් නෑ” 

ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ආයතන 40-50 තියෙනවා. ඊට අමතරව නම් කළ නොහැකි අවිධිමත් ණය දෙන පාර්ශව රැසක් ඉන්නවා.” 

  • තවද 2021 අගෝස්තු මස 3 වනදා ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා පීඩාවට පත්වූවන්ට පැමිණිලි ඉදිරිපත් කිරීමට දුරකතන අංකයක් හඳුන්වාදීමට කටයුතු කළද වින්දිතයන්ට ඉන් අත්වූ සහනයක් ද නෑ.
  • එහිදී ද රාජ්‍ය අමාත්‍යවරයා අදහස් දැක්වූ අතර එහිදී ඔහු සිදුකළ සුවිශේෂී ප්‍රකාශ පහළින් 

දරිද්‍රතාවයෙන් පෙළෙන අයව ඉලක්ක කර ණය ලබාදීම සිදු කර තිබෙනවා” 

ගිවිසුම්ගත වීම ඉංග්‍රීසි භාෂාවට පමණක් සීමා වෙච්ච අවස්ථාවන් රාශියක් තිබ්බා. ණයගැතියන්ට අවබෝධයක් නෑ ඔවුන් ගිවිසුම්ගත වන්නේ කුමක් සම්බන්ධයෙන්ද යන්න වග.” 

  • 2021 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් එවකට අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පවසා සිටියේ රජය මහබැංකුවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අධීක්ෂණය කිරීමට ඇති දෙපාර්තුමේන්තුව සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කොට මූල්‍ය සමාගම් නියාමනය ශක්තිමත් කිරීමට ආයතනික ව්‍යුහයක් සකස් කිරීමට බ්‍රිතාන්‍යයේ සහ ඉන්දියාවේ අදාල ක්ෂේත්‍රයේ අත්දැකීම් භාවිතා කරන බවයි. කෙසේ නමුද එයද මහපොළොවේ යතාර්ථයක් වූයේ නෑ. 
  • මේ සම්බන්ධයෙන් 2021 අප්‍රේල් මස 21වනදා පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසා සිටියේ ඇතැම් ආයතනය සිය අභිමතය පරිදි 100% සිට 220% දක්වා ණය පොළී අනුපාතිකයක් අය කරන බවයි. මෙහිදී ඔහු දැක්වූ වෙනත් අදහස්.

බොහෝ පිරිස් සියදිවි හානිකර ගැනීමටද පෙළඹී තිබෙනවා” 

ජනතාවට ජීවත් වීමට ප්‍රමාණවත් ආදායමක් නොමැති නිසා මෙම ණය මුදල් ආයෝජනයට හෝ ස්වයං රැකියා සඳහා වෙනුවට පාරිභෝජනය සඳහා ජනතාව යොදා ගන්නවා” 

බංගලාදේශයේ ක්‍රියාත්මක වූ ග්‍රාමීන් ක්‍රමය යටතේ කාන්තාවන්ට සියයට 0 සිට සියයට 5 යක්වා වූ පොලියක් යටතේ ආයෝජන කටයුතු සඳහා ණය ලබා දෙනවා”. 

“රටෙහි ආර්ථික සංවර්ධනයට අඩු ආදායම්ලාභීන්ගේ දායකත්වය ඉහළ නැංවීම ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රමයෙන් බලාපොරොත්තු වන නුමුත් අප රටේ ක්‍රියාත්මක වන ක්‍රමය තුළ අඩු ආදායම්ලාභීන් තව තවත් ආර්ථිකයට බරක් වීම – burden to the economy – සිදුවනවා” 

මේ සම්බන්ධ විද්වත් අදහස්

  • Transparency International Sri Lanka සුසැරි සෙවන කොළඹ කාර්‍යාලයේ කළමණාකාරිණිය අංජනා වික්‍රමාරච්චි රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් දැක්වූ විශේෂිත අදහස් පහළින්,

“මෙම ණය සංකල්පය ගේන්නේ ව්‍යවසායකයන් වෙනුවෙන් උනත් කිසිඳු ව්‍යවසාය කටයුත්තක නොයෙදෙන ගෘහණියන්ට මෙම ණය දීලා තියෙනවා” 

කුඩා කණ්ඩායමක් හදන්න කියන්නෙත් ව්‍යවසායකයන්ගේ කණ්ඩායමක්. නැතුව අසල්වැසියන් නෙවෙයි. ඒත් ප්‍රායෝගිකව වෙලා තියෙන්නේ ඒක.  

“මේගොල්ලෝ ගෙදරට ඇවිත් කියනවා සතියකට රුපියල් 1000ක් වගේ සුළු මුදලක් දෙන්න තියෙන්නේ කියලා. ඒ නිසා ණය අර ගන්නවා. ඒත් ප්‍රශ්න එන්නේ පස්සේ” 

සමහර මිනිස්සු හිස් කොළ වලට අත්සන් තියලා. බැංකු වහනවා 3ට. 2.30ට විතර කෝල් එකක් දීලා කියනවා ඔයාලගේ ණය මුදල ලෑස්තියි දැන් ආවොත් දැන්ම දෙන්න පුළුවන් 3ට කලින්. මිනිස්සු කලබලේ ගියාම කියනවා ලියකියවිලි පුරවන්න දැන් වෙලාව නෑ කියලා අත්සන දාන්න හිස් කොළයක් දෙනවා.” 

හරි ක්ෂුද්‍ර මූල්‍ය ගිවිසුමකට තියෙන නීතිමය පසුබිමට වඩා සාමාන්‍ය මුදල් ගිවිසුමකට තියෙන පසුබිම පැහැදිලිව වෙනස්. ගොඩක් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ක්ෂුද්‍ර මූල්‍ය ගිවිසුමකට වඩා මේ මිනිස්සුන්ට ලබා දීලා තිබ්බේ මුදල් ගිවිසුම්. සාමාණ්‍ය ණය දෙන ණය ගිවිසුම්. ක්ෂුද්‍ර මූල්‍ය කියන එක ඉස්මතු කරන එකක් නෙවෙයි.” 

ණය පත්‍රිකා ඔක්කොම තිබිලා තියෙන්නේ ඉංග්‍රීසියෙන්. ඇතැමුන්ට සාක්ෂරතාවය නැති නිසා තියලා තියෙන්නේ කණ අත්සන. උසාවියෙන් නඩුව එනකල් එයාලා දන්නේ නෑ ගිවිසුමේ මෙහෙම තිබුනා කියලා” 

ගිවිසුමක් තමන්ට තේරෙන්නේ නැත්තන් තමන්ට 100%ක් අයිතිය තියෙනවා එක්කෝ ඒක තමන්ගේ මව් බසින් ඉල්ල ගන්න. නැතිනම් ඒක තමන්ට තේරුම් කරලා දෙන්න කියලා ඉල්ලන්න. මොකද, අත්සන් කරාට පස්සේ කියන්න බෑ මම මේක දැනන් හිටියේ නෑ කියලා. නීතිය ඒක පිළිගන්නේ නෑ” 

ඒ ප්‍රදේශ වල සමත මණ්ඩලය හෝ පොලිසිය මිනිසුන්ට සහනදායක ලෙස හැසිරෙන්නේ නෑ. පොලිසිය ගෙදරට ඇවිත් බැනලා යනවා ණය ගෙවන්න කියලා. ඒක රාජ්‍ය නිලධාරීන් බලය අවභාවිතා කිරීමක්. ඔවුන්ගේ වපසරිය ඇතුලේ එහෙම කරන්න බෑ. අත්‍යාවශ්‍යම දේ මේවා ගැන මිනිස්සුන්ව දැනුවත් කිරීම” 

සමහර වාරික රුපියල් 300ක් වගේ සුළුමුදලක්. ඒත් අනුරාධපුර/පොළොන්නරු පැතිවල වකුගඩු රෝගයෙන් පෙලෙන තමන්ගේ තාත්තාව නුවර ඉස්පිරිතාලෙට අරන් යන්න වාහනේට දෙන්න සල්ලි නැති දුව ණය ගත්තාට ඒක ආපසු ගෙවන්නත් බෑ. ඔවා හරිම මානුෂික කාරණා. ඒ නිසා අපිට කියන්න බෑ ණය ගන්න එපා කියලා. ඒත් රුපියල් 300 ගෙවන්න බැරි උනාම කාන්තාවන්ට ඒක ලිංගිකව ගෙවන්න වෙනවා. ඊට පස්සේ ඒක පටිගත කරගන්නවා. ඊට පස්සෙ ඒක පෙන්නලා තර්ජනය කරනවා. මේ නිසා ඇතැම් විට විවාහ දෙදරා යනවා. ඇතැමුන් සියදිවි නසා ගන්නවා.” 

සමහරු 25,000 ණය කොහොමහරි ගෙව්වාට 50,000 ණය ගෙවන්න එයාලට බෑ. එතකොට ආයතනය ණය දෙන්න හැදුවට කියන්න ඕනෙ එපා අපිට ගෙවන්න බෑ කියලා.” 

  • නිදහස උදෙසා කාන්තාවෝ ව්‍යාපාරයේ ජාතික කමිටු සාමාජිකා නිරෝෂා ගුරුගේ මහත්මිය.

අපෙන් අහනවා ඇයි කාන්තාවෝ ණය ගන්නේ කියලා. කාන්තාවෝ ණය ගන්නේ නැතිව මේ ගෘහය ඇතුළේ පවත්වාගෙන යන්නේ කොහොමද කියලා අපිට අහන්න වෙලා තියෙන්නේ. සෞඛ්‍ය පැත්තෙන් සිතුවොතින්… හදිසියේ ලෙඩක් ආවොතින්… වකුගඩු රෝගයකින් පෙළෙන දෙන්නෙක් ගෙදර හිටියොතින්… දැන් මේ අනුරාධපුර පොලොන්නරුව පැත්ත කියන්නේ වකුගඩු රෝගය ඉතාමත් බරපතල විදියට තියෙනවා. ඒ පැතිවල කාන්තාවන්ට වෙලා තියෙනවා තමන්ගේ පවුලේ සෞඛ්‍ය තත්ත්වය පවත්වාගෙන යන්න ණය ගන්නට. “ 

ගොඩක් ණය ගත්ත අයත් එක්ක අපි කරපු සාකච්ඡා වලදී ඒ කාන්තාවන්ගෙන් අපට අහන්න ලැබිච්ච දෙය තමයි කිසිම තැනක කිසිම කාන්තාවක් ව්‍යාපාර කිරීමට නෙමෙයි ණය අරගෙන තියන්නේ. නැත්නම් කරගෙන යන ව්‍යාපාරය වැඩිදියුණු කරගන්න නෙමෙයි ණය අරගෙන තියෙන්නේ. ජීවත් වෙන්න හදිසි අවශ්‍යතාවන් සපුරාගන්න තමයි ණය ගන්නේ. හදිසි අවශ්‍යතා මොනවද – මං අර කලින් කිව්ව අධ්‍යාපන ප්‍රශ්නයක් නැත්නම් සෞඛ්‍ය ප්‍රශ්නයක්.. එහෙම නැත්නම් හදිසි උත්සවයකට වියදම් කරන්න සල්ලි නැති වුණාම. මළගෙදරකට වියදම් කරගන්න සල්ලි නැති වුණාම… මේ වගේ දේවල් ඇතුළේ තමයි මේ කියන ණයවලට දුප්පත්කම විකුණන් කන ණයවලට හිරවෙන්න වෙලා තියන්නේ. රාජ්‍ය බැංකුවකට ගියහම ඒ අයට ණය ගන්න බෑ. මොකද ඒකට ඉල්ලනවා රජයේ ඇපකාරයෝ ඉල්ලයි.. දේපළ ඉල්ලයි ගොඩක් දේවල් ඉල්ලනවා.” 

“පොලොන්නරුවේ පැත්තේ තාත්තා කෙනෙක් තමන්ගේ දරුවට උණ ගැනිලා දරුවට බෙහෙත් ටික අරන් දෙන්න විදියක් නැතිව මන්න පිහිය උකස් කරන්න යනවා. එහෙම සමාජයක් මේ සමාජය. මහලොකු දේවල් තියෙන මිනිස්සු නෙමෙයි  මේ. ඒ අය කොහොමද දේපළ උකස් කරන්නේ. දේපළ උකස් කරන්න නෑ. තමන් ඇප වෙලා නැත්නම් තමන්ගේ වටේ ඉන්න අය එකතුකරගෙන ඒ අය ඇපවෙලා තමයි මේ ණය ගන්නේ. ඒ නිසා ඔවුන් ඒ අර්බුදයට යනවා. ඔවුන්ට ගෙවන්න විදියක් නෑ…මේ ණය දෙන කම්පැනි හොදටම දන්නවා ගෙවන්න ක්‍රමයක් නෑ කියලා.” 

“තව කාන්තාවක් උත්සව ගෙදරක යන්න අල්ලපු ගෙදරකින් ආභරණ ඉල්ලගෙන ඒවා දාගෙන පාරට බැස්සට පස්සේ ත්‍රිවීල් එකක් ඇවිත් නතරකරලා අක්කේ මම ඔයාව පාරට දාන්නම් කියලා එක්ක ඇවිල්ලා අර මාලය ගලවගෙන අපි මෙන්න මේ අහවල් ආයතනයෙන් ඔයා ගත්ත ණය ගෙවන්නේ නැති නිසා මේක අපි අරගෙන යනවා කියලා. ඒ කාන්තාව පොලිසියට ගිහින් පැමිණිල්ලක් කරන්න හදනකොට ඒ පැමිණිල්ල පොලිසියෙන් බාරගන්නේ නෑ.. මේ තරම් බරපතලයි මේ ප්‍රශ්න.” 

“තම දරුවන් සමඟ හෝ තනිවම සිය දිවි හානි කර ගැනීම වැනි සිද්ධි ඍජුව පෙනී ගියද නියෝජිතයන් මේ නිවෙස්වලට ගොස් උදේ සිට රාත්‍රිය දක්වා ඒ නිවෙස්වලට වී කල් මැරීම කිසිවකුට පෙනෙන්නේ නැත. ඉතා කුඩා නිවෙසක් නම් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ඇඳුම් මාරුකර ගැනීමට පවා සිදු වන්නේ ඔවුන් බලා සිටියදීය. ළඟම ඥාතීන්ගෙන් අතරවරයට ලක්වන දැරියන් සහ කාන්තාවන් සිටින රටක මෙවැනි පිටස්තරයන්ගෙන් හිරිහැරයට ලක් නොවේ යැයි කාට නම් කිව හැකිද? මෙනිසා මේ දුගී දුප්පතුන්ට ශාරීරිකව මෙන්ම මානසිකව ද වන්දි ගෙවීමට සිදුව තිබේ. පොළොන්නරුව අනුරාධපුර දිස්ත්‍රික්කවල මේ ණය හඳුන්වන්නේ ඇඳ ණය ලෙසය. මේ තත්ත්වය එතරම් බරපතළය.” 

  • ලා වියා කැම්පසිනා (La via Campasina) සුළු ගොවි ව්‍යාපාරයේ ජාත්‍යන්තර කමිටු සාමාජික විමුක්ති ද සිල්වා යූ ටියුබ් නාලිකාවකට දැක්වූ අදහස් පහළින්. 

ක්ෂුද්‍ර මූල්‍යයේදී ප්‍රධාන වශයෙන්ම යෝජනා වෙන්නේ ආර්ථික ක්‍රමයක් ගොඩනැගීම සඳහා වන ස්වයං රැකියා අරමුණකින් තමයි ණය දෙන්නේ. නමුත් මේ සමාගම් කිසිම සොයා බැලීමකින් තොරව මෙම ණය ලබාදීම් සිදුකරනවා. ඒක තමයි ලොකුම ප්‍රශ්නෙ” 

එක සමාගමක ණය ගෙවන්න තවත් සමාගමක ණය ලබාගැනීම නිසා මේක චක්‍රීය ක්‍රියාවකියක් බවට පත්වෙලා.” 

“2017 වසර ආශ්‍රිතව විශේෂයෙන්ම උතුරු හා උතුරු මැද පළාත්වල සියදිවි නසාගැනීම් වාර්තා වෙන්න ගත්තම තමයි මේක සමාජ ව්‍යසනයක් විදිහට එළියට එන්න ගන්නේ.” 

“2018 සැප්තැම්බර් මාසයේදී ලංකාවට එනවා Van Pablo කියලා එක්සත් ජාතීන්ගේ නියෝජිතවරයෙක්. ඔහු යෝජනා කරනවා ලංකාවේ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන්න නම් ලක්ෂයක් දක්වා වන ණය කපා හැරීම අත්‍යාවශ්‍යයි කියලා. ඒ එක්කම ඔවුන්ට සහන කාලයක් ලබාදීම අවශ්‍යය් කියලා. මේ අනුව දිස්ත්‍රික්ක 12ක මාස 3කට වඩා ණය ගෙවීම සිදු නොකළ 45,139 දෙනෙක්ගේ ලක්ෂයක් දක්වා වන ණය කපා හරිනවා.” 

“එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තය සූරාකෑමේ උගුලකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ‍්‍රී ලංකා රජයට යෝජනා කරන්නේ රජය විසින් ශක්තිමත් නියාමන රාමුවක් සකසන තුරු ක්ෂුද්‍ර මූල්‍ය ණය නැවත ගෙවීම තාවකාලිකව අත්හිටුවන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසය. ඒ නිර්දේශ ඉදිරිපත් කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පැබ්ලෝ බොහොස්ලැවිස්කි විසිනි. ඒ ඔහු විසින් ශ‍්‍රී ලංකාව තුළ සිදු කරන ලද පරීක්ෂණයකින් අනතුරුව නිකුත් කරන වාර්තාවකිනි. එම වාර්තාවට අනුව ඔහු පවසන්නේ රාජ්‍ය බැංකු සිය සහනදායී ණය සැපයුම් පුළුල් කළ යුතු බවයි. (2019.03. 10 රාවය මුල් පුවත)” 

අර්බුදය තුළ පැහැදිලිව දැක ගත හැති පොදු ලක්ෂණ 

මේ සම්බන්ධයෙන් ගවේෂණාත්මක වාර්තාකරණයේ නිරත වූ මාධ්‍යවේදී රසික ගුණවර්ධනට අනුව සමස්තයක් ලෙස දිවයින පුරා පැතිර ඇති මෙම අර්බුදය තුළ පැහැදිලිව දැක ගත හැති පොදු ලක්ෂණ කිහිපයක් පවතී.  

1. කාන්තාවන් ඉලක්ක කර ණය ලබාදීම (ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමයේ ප්‍රධානතම ලක්ෂණයයි) 

2. දරිද්‍රතාවයෙන් පීඩා විඳින කාන්තාවන් තෝරා ගැනීම 

3. ණය ලබාදීමේ ක්‍රියාවලියේදී පොළී ප්‍රතිශතය ප්‍රකාශ නොකිරීම. 

4. ණය ගිවිසුම ඉංග්‍රීසි භාෂාවෙන් තිබීම සහ එය කියවා පැහැදිලි කර නොදීම 

5. අධික පොළිය සහ දඩ පොළිය 

6. ණය ගිවිසුමේ ව්‍යාපාරික කටයුත්තකට හෝ ගොවිතැන් සඳහා ණය ලබාදෙන බව පවසා, ආයෝජන නොවන පරිභෝජන කටයුතු සඳහා ණය ලබාදීම 

7.ණය වාරික එකතු කිරීමට නිවාසවලට පැමිණීම සහ එසේ පැමිණ තර්ජනය කිරීම, බිය වැද්දීම සහ බැණ වැදීම 

8. ණය ගිවිසුම් අලුත් කිරීම සහ හිස් කොළවලට අත්සන් ලබාගැනීම 

9. ණය වාරික වෙනුවට නිවාසවල ඇති භාණ්ඩ ලබාගැනීමට උත්සාහ කිරීම 

10. ණය වාරික ප්‍රමාද වීමේ හේතු දක්වමින් ලිංගික හිංසන සිදු කිරීමට උත්සාහ කිරීම 

ිගමන සහ යෝජනා 

  • නියාමනයකට ලක් නොවූ, ක්ෂුද්‍රමූල්‍ය ක්‍රියාකාරකම්, නීති විරෝධී තැන්පතු භාරගැනීම්, අධික පොළී අනුපාත හරහා ගනුදෙනුකරුවන් සූරාකෑම සහ ආචාරශීලී නොවන නැවත අයකිරීමේ ක්‍රම වැනි කටයුතු වලට මගපාදයි.  මීට අමතරව, දුර්වල යහපාලනය හේතුවෙන් ණය නැවත අය වීම අඩුවීම, වියදම් වැඩිවීම සහ පාඩු ලැබී‍ම මෙම ආයතන ආපදා තත්ත්වයන් කරා යොමු කරයි. බාරගත් තැන්පතුවල ආරක්ෂාව තහවුරු නොවන බැවින්, තැන්පතු බාරගන්නා ආයතන යම් නියාමනයකට යටත් නොවීම තුළ මූල්‍ය පද්ධති ස්ථායීතාව මත දැඩි තර්ජනයක්  ඇති කරයි. 
  • නියාමනයකට ලක් නොවූ මෙවැනි ක්ෂුද්‍රමූල්‍ය ආයතනවල අනිසි ක්‍රියාකාරකම් ක්ෂුද්‍රමූල්‍ය පහසුකම්ලාභීන් මත අහිතකර බලපෑමක් ඇතිකර, අඩු ආදායම්ලාභීන් සහ දිළිඳු පුද්ගලයින් දරිද්‍රතාවයෙහි චක්‍රය තුළම රැඳී සිටීමට මගපාදමින් රටෙහි ආර්ථික දියුණුව කෙරෙහි අහිතකර ලෙස බලපායි. මේ හේතුවෙන් ගනුදෙනුකරුවන් තුළ නියාමනයකට ලක් වූ අංශයද ඇතුළත්ව සම්පූර්ණ මූල්‍ය අංශය පිළිබඳව ඇති විශ්වාසය බිඳ වැටේ. 
  • මේ අනුව පාරිභෝගික විශ්වාසය බිඳවැටීම තුළින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් නීති පනතේ (422 වන අධිකාරය) දක්වා ඇති අරමුණක් වන මූල්‍ය පද්ධති ස්ථායිතාවය පවත්වාගැනීම කෙරෙහි අහිතකර අයුරින් බලපානු ලබයි. එම නිසා ශ්‍රී ලංකාව තුළ ඉහත කී නියාමනයට ලක් නොවූ ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාරවල නිරත වන ආයතන නියාමනය කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ දැඩි අවශ්‍යතාවයක් මතුව තිබේ. 
  • ක්ෂුද්‍ර මූල්‍ය ණය මෙරටදී මෙතරම් විශාල ආර්ථික බලපෑමක් ඇති කිරීමට ප්‍රධානතම හේතුව මහ බැංකුවේ වගකීම් විරහිත ක්‍රියාකලාපයයි. ශ්‍රී ලංකාව තුළ මූල්‍ය ගනුදෙනු සිදුකරන ආයතන නියාමනය කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීමක් වුවද, ඔවුන් දිගින්-දිගටම එය පැහැර හරිමින් සිටී. මීට හොඳම නිදසුන 2021 ජනවාරි 06 දින වන විට ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි කර ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ආයතන ගණන 4ක් වීම ය. එමෙන්ම රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය යටතේ ලියාපදිංචි වී ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ආයතන සංඛ්‍යාව 23කි. නමුත් ශ්‍රී ලංකාව තුළ ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන විශාල හෝ කුඩා ආයතන ප්‍රමාණය දහසකටත් අධික වන බවයි පෙනී යනේ. ශ්‍රී ලංකා ක්ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයන්ගේ සංගමය සමග ලියාපදිංචි වී ක්ෂුද්‍ර මූල්‍ය කටයුතුවල නිරත වන ආයතන සංඛ්‍යාව 53කි. එමෙන්ම තවත් ආයතන බොහොමයක් ව්‍යාපාර ආයතන ලෙස ලියාපදිංචි වී ක්ෂුද්‍ර මූල්‍ය ණය ව්‍යාපාරවල යෙදී සිටියි. මෙමගින් පැහැදිලි වන්නේ අදාළ නීත්‍යනුකූල ක්‍රමවේදයට අනුව නියාමනයකට යටත්ව ඇත්තේ එවැනි ආයතන කිහිපයක් පමණක් බවයි. බොහෝ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදෙන ආයතන, ජනතාව රවටමින් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලෙස හඳුන්වමින් පෞද්ගලික ණය ලබාදීම ද සිදු කරයි. 
  • මීට අමතරව දරිද්‍රතාවයෙන් පීඩා විඳින කාන්තාවන් තෝරා ගැනීම, ණය ලබාදීමේ ක්‍රියාවලියේදී පොලි ප්‍රතිශතය ප්‍රකාශ නොකිරීම, ණය ගිවිසුම ඉංග්‍රීසි භාෂාවෙන් තිබීම සහ එය කියවා පැහැදිලි කර නොදීම, අධික පොළිය සහ දඩ පොලිය, ණය ගිවිසුමේ ව්‍යාපාරික කටයුත්තකට හෝ ගොවිතැන් සඳහා ණය ලබාදෙන බව පවසා, ආයෝජන නොවන පරිභෝජන කටයුතු සඳහා ණය ලබාදීම, ණය වාරික එකතු කිරීමට නිවාසවලට පැමිණීම සහ එසේ පැමිණ තර්ජනය කිරීම, බිය වැද්දීම සහ බැණ වැදීම, ණය ගිවිසුම් අලුත් කිරීම සහ හිස් කොළවලට අත්සන් ලබාගැනීම, ණය වාරික වෙනුවට නිවාසවල ඇති භාණ්ඩ ලබාගැනීමට උත්සාහ කිරීම, ණය වාරික ප්‍රමාද වීමේ හේතු දක්වමින් ලිංගික අල්ලස් ගැනීම හා ඒ සඳහා උත්සාහ කිරීම වැනි ගැටලු රාශියක් මෙම ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය තුළ පැහැදිලිව දැක ගත හැකි‍යි. 
  • මෙම කාන්තාවන්ට රාජ්‍ය බැංකු යාන්ත්‍රණයට ඇතුලත් විය හැකි ක්‍රමයක් අවශ්‍යයි. රාජ්‍ය බැංකු මෙවැනි පවුල් වල මිනිසුන්ගෙන් ගොඩක් දුරස්ථව පවතියි
  • කාන්තාවන්ට විශේෂ වූ කාන්තා බැංකුවක් අවශ්‍යව පවතියි 
  • කෘෂි නිශ්පාදනය සිදුවන්නේ ග්‍රාමීය ආර්ථිකය ඇතුලේයි. සාර්ථක තිරසාර ගොවිතැනක් සඳහා යන ගමනේදී ගොවි කාන්තා සමූපකාර ක්‍රියාවලියක් ගොඩ නැගීම අවශ්‍යව පවතියි. 

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...