29 C
Colombo
Wednesday, March 29, 2023

නිශාරා ජයරත්න කොමිසමේදී කඳුළුසළයි

- Advertisement -

නීතිපති සම්බන්ධිකරණ නිලධාරිනී රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමට අපහාස කළ බවට නැගුණු චෝදනාව සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ ඉදිරි නෛතික පියවර නොගැනීමට ජනාධිපති කොමිසම බහුතර මතය අනුව දෙසැම්බර් 21 තීරණය කර ඇත.

කොමිසම් සභාවේ සාමාජිකයින් පස් දෙනාගෙන් තිදෙනෙකු අද දින කොමිසම් සභාවේ අසුන් ගෙන සිටි අතර ඉන් සාමාජිකයන් දෙදෙනෙකු ඉදිරි නෛතික පියවර නොගත යුතු යැයි මතයේ සිටියද, සභාපති විනිසුරුවරයා නීතිපති සම්බන්ධිකරණ නිලධාරිනිය ජනාධිපති කොමිසමට අපහාස කළ බවට වු ස්ථාවරයේ ම සිටිම විශේෂත්වයකි.

මේ අතර ජනාධිපති කොමිසම මෙම තීරණය ප්‍රකාශයට පත්කිරීමට පෙර ජනාධිපති කොමිසම හමුවේ කදුළු සලමින් සංවේදි වී ඇත.

පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් 2019 ජුනි මස 10 වන දින සිදුකළ මාධ්‍ය ප්‍රකාශයකට පිළිතුරු ලෙස නීතිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් සම්බන්ධයෙන් සාක්ෂි ලබාගැනීම සදහා නිශාරා මෙනෙවියව ඉකුත් 17 වන දින පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමට කැඳවා තිබුණි.

කෙසේ වෙතත්, ඇය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දුන් ආකාරය පිළිබද බලවත් අප්‍රසාදය පල කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා නිශාරා ජයරතන මෙනෙවිය කොමිසමට අපහාස කළ සාක්ෂිකාරියක් ලෙස සලකන ලෙස ඉල්ලීමක් කළ අතර එහිදි අද දින නීතිඥ නියෝජනයක් සහිතව කොමිසම හමුවේ පෙනීසිටින ලෙස ඒ අනුව ජනාධිපති කොමිසම නිශාරා ජයරත්නට දැනුම් දී ඇත.

ඒ අනුව ඇය වෙනුවෙන් ස්වයං නිරෝධායනයට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෘ මහතා Skype තාක්ෂණය ඔස්සේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටි අතර නීතිපති දෙපාර්තමේන්තුවේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කණ්ඩායමක් ජනාධිපති කොමිසමට පැමිණ තිබුණි.

එහිදි සිය කරුණු දැක්වීම ආරම්භ කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ, “රජයේ නීතිඥවරියට අවශ්‍යනම් නීතිඥ නියෝජනයක් ලබාගන්නා ලෙස පෙර දිනයේ ජනාධිපති කොමිසම දැනුම් දී තිබු අතර ඒ අනුව ඇය නීතිපතිවරයාගෙන් කළ ඉල්ලීමක් ප්‍රකාරව නීතිපති අනුමැතිය පරිදි තමන් මෙම සාක්ෂිකාරිය වෙනුවෙන් පෙනී සිටින බවනවා,” යනුවෙනි.

කෙසේ වෙතත් එහිදි කොමිසම හමුවේ නැගී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා, “මගේ සේවාදායකයා වන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතායි, මෙම පරික්ෂණයට මුහුණ දෙන රජයේ නීතිඥ මාලික් අසීස් මහතායි දෙදෙනාම සේවය කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ. නමුත් මේ කොමිසම හමුවේ පෙනී සිටින්න ඔවුන් නීතිපතිවරයාගෙන් රජයේ නීතිඥ නියෝජනයක් ඉල්ලලා තිබුණාම නීතිපතිවරයා එයට අවසර දී තිබුනේ නැහැ. එහෙම නම් මේ සාක්ෂිකාරිය වෙනුවෙන් පමණක් නීතිපතිවරයා එවැනි අවසරයක් ලබාදෙන්නේ කෙසේද?” යැයි විමසා සිටියේය.

ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා කියා සිටියේ,  “එය නීතිපතිගේ තීරණයක්. එහි නිරවද්‍යතාවය තීරණය කිරීම කොමිසමේ කාර්යභාරයක් නෙමේ. මීට පෙර අවස්ථාවකදි සාක්ෂිකාරියට අවැසිනම් නීතිඥ සහය ලබාගත හැකි බව කොමිසම ඇයට දැනුම් දී තිබෙනවා. ඒ අනුව මෙම නීතිඥ නියෝජනයට අවසර දෙනවා,” යන්නය.

මෙහිදි රජයේ නීතිඥ නිශාරා මෙනවිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෘ මහතා කොමිසම සභාවෙන් විමසා සිටියේ තම සේවාදායිකාව ජනාධිපති කොමිසමට අපහාස කළ සාක්ෂිකාරියක් ලෙස සලකන ලෙස පෙර දිනයේ ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා කළ ඉල්ලීම තවදුරටත් පවත්වාගෙන යන්නේද යන්නය.

එයට පිළිතුරු දෙමින් නැගී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා මෙලෙස පැවසුවා, “ස්වාමිනි පෙර දිනයේ මම මෙම සාක්ෂිකාරියට හරස් ප්‍රශ්න යොමු කරද්දි ඇය ඒවාට පිළිතුරු නොදි මගෙන් පෙරළා ප්‍රශ්න කළා. මගේ ප්‍රශ්න වලට විධිමත්ව පිළිතුරු දුන්නේ නැති නිසයි මම ඇය ජනාධිපති කොමිසමට අපහාස කළ සාක්ෂිකාරියක් ලෙස සලකන්න කිව්වේ. එබැවින් මම මගේ ඉල්ලීම ඉවත් කරගන්නේ නැහැ. අද දිනයේ මගේ ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙන විදිහ අනුව එම ඉල්ලීම ඉවත් කරගන්නවාද නැද්ද කියන එක තීරණය කරන්නම්.”

මෙහිදි ජනාධිපති කොමිසම ඇමතූ සභාපති විනිසුරුවරයා මීට පෙර දින නිශාරා ජයරත්න මෙනෙවිය කළ සාක්ෂිදීමේ යම් කොටස් උපුටා දක්වමින් මෙලෙස සදහන් කළේය.

“මෙම කොමිසම හමුවේ විවිධ තරාතීරම් වල පුද්ගලයින් වසර 1 1/2 ක් තුළ සාක්ෂි දුන්නා. ඒ අතර ජනාධිපතිවරයෙක් මෙන්ම අග්‍රාමාත්‍යවරයෙකුත් හිටියා. ඔවුන් සැම නිසි සාක්ෂි ලබාදීමේ ක්‍රමවේදය අනුගමනය කළා. කිසිදු අවස්ථාවක කොමිසම අපහසුතාවයට පත් කළේ නැහැ. එබැවින් මින් පසු අසන ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු දෙන්න. මින් පසු ජනාධිපති කොමිසමට අපහාස වන අයුරින් හැසිරුනොත් ඉදිරි නෛතික පියවර සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට වාර්තා කිරීමට සිදුවෙනවා.”

ඉන් අනතුරුව අද දින සාක්ෂි ලබාගැනීමේ කටයුතු ආරම්භ කළද අවස්ථා කිහිපයකදීම ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා සාක්ෂිකාර නිශාරා මෙනෙවිය සාක්ෂි ලබාදුන් අකාරය පිළිබද සිය අප්‍රසාදය පළ කළේය.

සාක්ෂි ලබාගැනීම අවසානයේ ද නීතිපති සම්බන්ධිකරණ නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෘ මහතා ජනාධිපති නීතිඥවරයා කළ ඉල්ලීම ඉවත් කර ගන්නේදැයි විමසා සිටි අතර එහිදීද ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියේ මෙම සාක්ෂිකාරිය ජනාධිපති කොමිසමට අපහාස කළ සාක්ෂිකරුවෙකු ලෙස සලකන ලෙස තමන් කළ ඉල්ලීම ඉවත් කර නොගන්නා අතර ඒ පිළිබද සුදුසු තීරණයක් ගැනීම ජනාධිපති කොමිසමට භාරකරන බවය.

එහිදි නිශාරා ජයරත්න මෙනෙවිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෘ මහතා මෙලෙස සිය කරුණු දැක්වීම සිදුකළේය.

“ස්වාමිනි ඔබතුමන්ලා මේ තීරණය ගැනීමේදි ඇගේ කෝණයෙනුත් කරුණු සලකා බැලීය යුතුයි. ඇය මේ වෙද්දි රජයේ අධිනීතිඥවරියක් ලෙස වසර 09 ක් කටයුතු කර තිබෙනවා. ඇයට අනාගතයක් තිබෙනවා. මේ ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න විමසීමේදිත් එකම ප්‍රශ්නය 18 පාරක් අහලා තියෙනවා. ඇය රජයේ රැකියාවක් කරනවා වැටුපක් ගන්නවා.එබැවින් ඇයගේ කෝණයෙනුත් බලන්න”.

එහිදි කොමිසමේ සභාපති විනිසුරුවරයා තීරණය ලබාදීමට පෙර ඔබට යමක් පැවසීමට ඇත්දැයි නිශාරා ජයරත්න මෙනෙවියගෙන් විමසීමක් කළේය.

“ස්වාමිනි මම කිසිදු අවස්ථාවක කොමිසමට අපහාසයක් සිදුකළේ නැහැ. ඇතැම් අවස්ථා වලදි තර්ජනාත්මක නින්දා සහගත ප්‍රශ්න ඇසීම් සිදුවුණා. සාමාන්‍ය දැනීමක් නැද්ද කියවන්න බැරිද වැනි විමසීම් සිදුවුණා. මා දෙස නීතිඥවරයෙක් ලෙස නොව සාමාන්‍ය සාක්ෂිකරුවෙකු ලෙස බලන්න. නිවැරදිව රාජකාරිය සිදුකරන නිලධාරියෙක් මේ අකාරයෙන් අපහසුවට පත්කිරීම සාධාරණ නැහැ. එබැවින් මා කොමිසමට අපහාස කළා කියන පුවත මාධ්‍ය හරහා පළ කිරීමෙන් මගේ නමට අපහාසයක් වෙන්න දෙන්න එපා. නීතිපතිවරයා සහ මා සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරමින් මා අපහසුතාවටයට පත්කරන්න යන්නේ. නොදැනුවත්ව හරි වරදක් සිදුවුණානම් සමාව ඉල්ලා සිටිනවා සභාපතිතුමාගෙන් සහ කොමසාරිස්වරුන්ගෙන්,” යැයි ඇය කදුළු සළමින් කොමිසම හමුවේ ඉතා සංවේදි වූවාය.

මෙහිදි සිය තීරණය ප්‍රකාශයට පත්කරමින් ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා කියා සිටියේ, “මම මේ කියන්නේ සුළුතර තීන්දුව. මේ මගේ මතය.  තීන්දුවට පෙර සාක්ෂිකාරියගේ නීතිඥවරයාට අවස්ථාවක් ලබාදුන් විට ඔහු කණගාටුව පළ කළා. නමුත් ඒ වෙනකන් සාක්ෂිකාරිය කොමිසමට කණගාටුව පළ කළේ නැහැ. නැවත සාක්ෂිකාරිය කැඳවීමක් කළෙත් කණගාටුව පළ කරයි කියලා අපෙක්ෂාවෙන්. නමුත් අවසන් මොහොත වනතුරුත් සාක්ෂිකාරිය ජනාධිපති නීතිඥවරයාට හෝ කොමිසමට සිය කණගාටුව පළ කළේ නැහැ. නීතියේ දෙවඟන ඇස් බැඳ තබා ඇත්තේ නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කිරීමේ සංකේතය මතයි. එබැවින් මගේ මතය වන්නේ අවවාද දී තිබියදිත් අවවාදය නොසලකා ක්‍රියාකළ සාක්ෂිකාරියක ලෙස මැයට විරුද්ධව ජනාධිපති කොමිසමට අපහාස කිරීම යටතේ අභියාචනාධිකරණය හමුවේ කරුණු වාර්තා කළ යුතුය,” යනුවෙනි.

කෙසේ වෙතත් මෙහිදී ජනාධිපති කොමිසමේ සාමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා කොමිසමේ බහුතර මතය ප්‍රකාශ කළේය.

“සාක්ෂිකාරිය සෑම ප්‍රශ්නයකටම පිළිතුරු දී තිබෙනවා. නිරුත්තරව සිට නැහැ. දීර්ඝ පිළිතුරු දීම සාක්ෂිකාරියගේ අඩුපාඩුවක්. කෙටි පිළිතුරු දීමට හැකිවන්නේ පළපුරුදු සාක්ෂිකරුවන්ට පමණයි. එය මාගේ වසර 32 ක වෘත්තීය ජීවිතයෙන් මම අත්දැකලා තියෙනවා.  එබැවින් රජයේ නීතිඥවරිය ලබාදුන් පිළිතුරු දීර්ඝවීම මතම ඇය කොමිසමට අපහාස කළ බව තීරණය කරන්න බැහැ. මේ කරුණු මත කොමිසමේ බහුතර මතය ලෙස තීරණය කර තිබෙනවා ඇයට විරුද්ධව කොමිසන් සභාවට අපහාස කිරීම යටතේ නිසි නෛතික පියවර ගැනීම යුක්ති සහගත නොවන බව.

  • – අද දෙරණ

RECENT ARTICLES - SINHALA

ONMAX DT අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

අමෙරිකානු ඩොලර් කෝටි 10ක පිරමීඩාකාර මූල්‍ය වංචාවක් සිදුකළ බව කියන පුද්ගලික(ONMAX DT) ආයතනයේ අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොලඹ මහේස්ත්‍රාත්...

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

ජාතික රූපවාහිනියත් විකුණන්න යයි

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් විසින් සේවකයන් වෙත ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා අදාළ අයදුම්පත් ඉදිරිපත් කරන...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...