32 C
Colombo
Friday, March 29, 2024

අභිරහස් ලෙස මියගිය ඉෂාලිනිගේ නඩුවේ පස්වන සැකකරු ලෙස රිෂාඩ් බදියුදින් නම් කරයි

- Advertisement -

බදියුදින් නිවසේ මෙහෙකාර සේවයේ යේදී සිටිය දී පිලිස්සුම් තුවාල ලැබ රෝහල් ගත කිරීමෙන් පසු මියගිය ජූඩ් කුමාර් ඉශාලිනි දැරිය සම්බන්ධයෙන් වූ නඩුවේ පස්වන සැකකරු ලෙස බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් මහතා නම් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය මහත්මිය ඊයේ (23) නියෝග කළා.

ඒ අදාළ නඩුවේ ඊයේ යළි කැදවු අවස්ථාවේදි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමකට අනුවයි.

එහිදි මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් බන්ධනාගාර අධිකාරිවරයාට නියම කර සිටියේ සැකකාර රිෂාඩ් බදියුදින් මෙම නීති කෘත්‍යයට අදාළව එළඹෙන සැප්තැම්බර් මස 06 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

එසේම මෙම නඩුවේ අනෙකුත් සැකකරුවන් වන රිෂාඩ් බදුර්දින්ගේ බිරිඳ ඇතුළු සිව් දෙනාගේ ක්‍රියා කලාපය හා තර්ජනාත්මක හැසිරීම් සැලකිල්ලට ගැනීමේදි සැකකරුවන් නඩුවේ සාක්ෂි වලට අහිතකර ලෙස මැදිහත් වී ඇති බව අනාවරණය වන බැවින් ඔවුන් ලබන 06 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

එහිදි නඩුවේ වැඩිදුර විමර්ශන පිළිබද කරුණු අනාවරණය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ ජුඩ් කුමාර් ඉශාලිනි දැරිය
පිලිස්සීමෙන් අනතුරුව මෙම සැකකරුවන් සුවසැරිය ගිලන් රථයකට අමතා ඇති අතර එසේ පැමිණි ගලන් රථයේ සිටි හෙද නිලධාරිනිය වන ඇන්ජලි උපේක්ෂා බස්නායක යන අයගෙන් විමර්ශනයට අදාළව ප්‍රකාශ සටහන් කර ගත් බවයි.

ඇය විසින් ලබාදුන් ප්‍රකාශයට අනුව තුවාල ලැබු දැරිය පිළිබදව තමන්ට මෙම නිවසෙන් කළ දැනුම්දීමෙන් පසු සුව සැරිය පැමිණෙන තෙක් දැරිය විජලනයට ලක් නොවීමට කටයුතු කරන ලෙසත් දැරියගේ තුවාල ශරීරය වතුරෙන් නහවා තබන ලෙසත් නිවැසියන්ට උපදෙස් ලබා දුන් බව සාක්ෂිකාරිය ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ නමුත් ඔවුන් එම නිවසට යන විටත් පිලිස්සී සිටි දැරියව තෙත බරිතව තබා නොතිබූ බවත්, කුස්සියට අසන්න ස්ථානයක දැරියව බිම එරමිණිය ගොතාගෙන ඇති ආකාරයට ඉන්දවා රෙද්දක් ඇගට පොරවා සිට තිබු බවටත් සුවසැරිය ගිලන් රථයේ සිටි හෙදිය ප්‍රකාශ කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අනාවරණය කාළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

” ස්වාමිනි සාමාන්‍යයෙන් තරුණියක් එලෙස රෝහල් ගත කිරීමේ දී ඇයගේ ආරක්ෂාවට තවත් කාන්තාවක් යායුතු වුවත් මෙම නිවසේ එම අවස්ථාවේ සිටි බදුර්දින්ගේ බිරිඳ දැරිය සමඟ යාම ප්‍රතික්ෂේප කර තිබෙනවා. එසේම නිවසේ තවත් වයසක කාන්තාවක් සිට ඇති අතර ඇය ද එහි යාම ප්‍රතික්ෂේප කර තියනවා. පසුව එම නිවසේ මෙහෙකාර සේවය කල වයස 19 තරුණයකු සමගයි දැරිය රෝහල ගතකර තිබෙන්නේ. “

” දැරිය සුවසැරිය සමඟ යවා මෙම නඩුවේ දෙවන සැකකරු වන බදුර්දින්ගේ මාමණ්ඩිය ඇමති ආරක්ෂක නිලධාරියෙක් සමඟ ඔවුන්ගේ වාහනයක ගිලන් රථයට පිටුපසින් ගොස් තිබෙනවා. පසුව ඔහු තමයි දැරිය රෝහල වෙත භාර දී නම, රෝග ඉතිහාස ලබා දී තිබෙන්නේ. ” යැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කරුණු අනාවරණය කළා.

මෙහිදි අතිරේක මහේස්ත්‍රාත්වරිය විමසා සිටියේ සුවසැරිය රථය නිවසට යනවිට දැරිය තෙත බරිතව නොසිටි බව වත්මන් විමර්ශන වලදී අනාවරණය වුවද සැකකරුවන් මිට පෙර ලබාදී ඇති ප්‍රකාශයන් තුළදී දැරිය පිලිස්සීමෙන් පසු ඔවුන් ඇයව පොකුණකට බස්සවා තැබු බව සදහන් වූවා නොවේද යන්නයි.

එයට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා එසේය ස්වාමිනි. ඔවුන් එවැනි ප්‍රකාශයක් දී තිබුණා නමුත් දැරිය තෙත බරිතව සිට නැත. වියලි ස්වරුපයෙන් සිට ඇත්තේ යැයි සදහන් කළා.

මෙහිදි වැඩිදුරටත් කරුණු දැක්වු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා,

” ස්වාමිනි මෙම සැකකරුවන් සුව සැරියට හා රෝහල වෙත ප්‍රකාශ කර ඇත්තේ දැරිය ගෑස් පිපිරීමක් හේතුවෙන් සිරුරට ගිනි ඇවිලී ඇති බවයි. දැරියව රෝහලේ බාහිර රෝගී අංශය වෙත ඇතුලත් කිරීමෙන් පසු පැය තුනක කාලයක් වෛද්‍යවරයකු හා වෛද්‍යවරියන් ඇතුළු හෙදියන් නිරීක්ෂණය කර තිබෙනවා. ඔවුන්ගේ ප්‍රකාශ අනුව දැරිය එම කාලය තුළ කිසිදු කරුණක් පවසා නැහැ. දැරිය ගෑස් පිපිරීමකින් ගිනි අවිලිමකට ලක් වූ බව පවසා ඇත්තේ දෙවැනි සැකකරු විසින්. මෙම පළමු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයෙන් අනතුරුව දැරිය හදිසි අනතුරු ඒකකය වෙත යොමු කිරීමට ආසන්නයේ දී වෛද්‍ය රන්දික යන අය විසින් දැරිය නිරීක්ෂණය කර දීර්ඝ සටහනක් දමා තිබෙනවා. දැරිය විසින්ම බුමිතෙල් හලා ගෙන ගිනි තබා ගත බව ඇය පැවසුවා යැයි විශාල විස්තරයක් සටහන් කර තිබෙනවා එම වෛද්‍යවරයා. හැබැයි ස්වාමිනි එච්චර විස්තර අහල ලියපු වෛද්‍යවරයාට බැරි වුනා ඇයි දැරිය ගිනි තියාගත්තේ කියල අහන්න ” යැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රශ්න කළා.

ඒ වගේම බාහිර රෝගී අංශයේදි දැරිය බැලුවේ එකම පිරිමි වෛද්‍යවරයකු පමණයි ස්වාමිනි. අනිත් සියලුම අය කාන්තාවන්, ඉතින් අපට සැකයක් මතු වනවා ඇයි දැරිය ඒ හැම අවස්ථාවක දී සද්ද නැතිව ඉදලා මේ රන්දික වෛද්‍යවරයාට මෙහෙම කිව්වේ කියලා. මේ වන විට එම වෛද්‍යවරයා වැඩි දුර අධ්‍යාපනය සදහා විදේශ ගතව ඇති බවත් විමර්ශන වලදි අනාවරණය වී තිබෙනවා. මේ පිළිබඳවත් අපට සැකයක් මතු වෙනවා ස්වාමින යැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් කරුණු පැහැදිලි කළා.

එසේම මෙම දැරිය පිලිස්සීමෙන් අනතුරුව ලබාගෙන ඇතැයි සැකකෙරෙන චායරුපයක් විමර්ශන නිලධාරීන්ට ලැබි ඇති බවත් එය නිරික්ෂණය කිරීමේදි මෙම දැරිය ගිනි ගැනීමකට ලක්වූයේ ප්‍රශ්නගත නිවසේද වෙනත් ස්ථානයකදැයි සැක මතුවන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයේ අවධානයට යොමුකළා.

අදාළ ඡායාරූප තුළ බිම වැතිර සිටින දැරියව පොරෝනයකින් ආවරණය කර ඇති බවත් ඇයගේ එක් පසෙක භූමිතෙල් බෝතලයක් තිබෙන අයුරුත් නිරීක්ෂණය වන බව එම ඡායාරූපය අධිකරණයට ඉදිරිපත් කරමින් දිලීප පීරිස් මහතා පැවසුවා.

කෙසේ වෙතත් ඡායාරූපයේ දැක්වෙන පසුබිම මෙම සැකකරුවන්ගේ නිවසේ ඇති ස්ථානය නොවන බව බැලු බැල්මට පෙනෙන බැවින් මෙම දැරිය බෞද්ධාලෝක මාවතේ නිවසේ දී ගිනි ගැනීමට ලක් වුයේද නැතිනම් වෙනත් ස්ථානයක දී ගිනි ගැනීමට ලක් වුයේ ද යන්න මේ වන විට සැකයට තුඩු දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවේ සදහන් කළා.

මෙම සිදුවීම වූ දිනට පසු දින සැකකරුවන්ගේ නිවසට ගොස් ඇති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ ක්‍රියාකලාපයද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගේ විවේචනයට ලක්වුණා.

” ස්වාමිනි දැරිය මිය ගිය දිනට පසු දින ප්‍රධාන පොලිස් පරීක්ෂකයකු එම නිවසට ගොස් එම ස්ථානය විකෘති කර ඇති බවට අනාවරණය වෙනවා. මා කියනවා පොලිස්පතිවරයාට මේ සම්බන්ධයෙන් ඇස් ඇරලා බලන්න කියලා. ශ්‍රී ලංකා පොලිසියට ලැජ්ජාවක් තියෙනවා නම් වහාම ඒ ගැන පියවර ගන්න ඕනේ. එම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කොවිඩ් පිළිබඳව ඒකකයේ කියාත්මක නිලධාරියෙක් ලෙස එම කාර්ය පැත්තකට තියලා බදුර්දින්ගේ නිවසට ගියේ කුමන හේතුවක් මත ද ස්වාමිනි ? ඒ පිළිබඳව විමර්ශනය කළ යුතු නැද්ද ස්වාමිනි ? මේවා අත පත ගගා ඉන්න ඕන ඒවා නෙවෙයි. ඉක්මනින් විමර්ශනය කර අධිකරණයට ඉදිරිපත් කරන්න ඕන දේවල්. “

මෙහිදි අතිරේක මහේස්ත්‍රාත්වරිය විමසා සිටියේ මෙම නිලධාරියා සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් සිදුව ඇත්ද යන්නයි.

එයට පිළිතුරුදෙමින් පොලිස් නිලධාරින් සදහන් කළේ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

එහිදි වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා,

” මේවා මේ කල් යවන්න ඕන දේවල් නොවෙයි ස්වාමිනි. ක්ෂණිකව කරන්න ඕන දේවල්. සිද්ධිය වෙලා දවසක් තුළ මේ නිලධාරියා යනවා එම නිවසට. දැරියගේ සහෝදරයා සමග එම නිවසට ගිය මහේන්ද්‍රන් ලුෂන් නමැති පුද්ගලයකු පොලිසිය වෙත ලබා දුන් ප්‍රකශ අනුව සහෝදරයා ඇතුළු පිරිස යන විටත් මෙම නිලධාරියා නිවසේ සිට තිබෙනවා. එහිදි එම නිලධාරියා කාමරයේ තිබු භූමිතෙල් බෝතලය පෙන්නා මෙම භූමිතෙල් මෙම නිවසේ සැහෙන කාලයක සිට තිබී ඇති බවට පවසා තියනවා. කොවිඩ් මර්ධනය භාරව ඉන්න පොලිස් නිලධාරියෙක් කොවිඩ් මර්ධනයේ නෙවෙයි ඉදල තියෙන්නේ, බදුර්දින්ගේ ගෙදර බඩුමුට්ටු ගැන බලන් ඉදල තියෙන්නේ. එම අවස්ථාවේ දී බදුර්දින්ගේ බිරිද නිවසේ උඩ තට්ටුවට ගොස් නැවත පැමිණ පන් දහසේ මුදල් මිටි විශාල ප්‍රමාණයක් තරව්කරු වෙත ලබා දුන් බවත් තරව්කරු විසින් ඉෂාලිනිගේ සහෝදරයා වෙත එම මුදල් වලින් රුපියල් දස දහසක මුදලක් ලබා දී ඇති බවත් එම ප්‍රකාශයේ සදහන් වනවා ස්වාමිනි ” නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැහැදිලි කළා.

එහිදි වැඩිදුරටත් කරුණු දැක්වු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙසේ පැවසුවා,

” මෙම නඩුවේ අද දින සැකකරුවෙක් ලෙස නම්කළ රිෂාඩ් බදුර්දීන් ක්‍රියාකර ඇති ආකාරය බලනකොට ඔහු බන්ධනාගාරයේ වෛද්‍යවරයාට පවා තර්ජනය කර තිබෙන පුද්ගලයෙක් ස්වාමිනි. ඔහුට මෙම නඩුවේ සක්ෂිකරුවනට පවා බලපෑම් කල හැකියි ස්වාමිනි. මෙම දැරිය සම්බන්ධයෙන් පළමු පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කල මහාචාර්ය හුල් හක් මහතාගේ වාර්තාව අනුව තමන්ට ඇතිවු ගැටළු පැහැදිලි කරගන්න බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති බාලසුරිය මහතා මහාචාර්යවරයාගේ කාර්යාලයට ගිය අවස්ථාවේ දී මහාචාර්යවරයා සදහන් කරන ලද කරුණු බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා සටහනක දක්වා තිබෙනවා.
එහි දැක්වෙන්නේ මෙම දැරිය වයස 12 පමණ ලිංගික ප්‍රවේශයට ලක්ව ඇති බවත්, එය කොහෙත්ම දුෂණයක් නොවන බවත් , දැරිය අබුසැමි සම්බන්ධතා පවත්වා ඇති බවත් මහචාර්යවරයා සදහන් කළ බවයි. ඒ සම්බන්ධයෙන් දැරියගේ ගමට ගොස් විමර්ශනයක් කරන ලෙසත් මහාචාර්යවරයා පැවසු බව එම සටහනේ සදහන්.එසේම දැරිය ස්වයංව ඇති වූ ගින්නකින් පිළිස්සී ඇති බවත් මේ පළමු පශ්චාත් මරණ පරික්ෂණය සිදුකළ මහචාර්යවරයා පවසා තිබෙනවා.”

ස්වාමිනි මේ කරුණු ගැන අපට ඇතිවු සැකය මතයි අපි ත්‍රිපුද්ගල පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් ඉල්ලා සිටියේ, එම දෙවන ත්‍රිපුද්ගල මරණ පරීක්ෂණ වාර්තාව අද දින අධිකරණයට ඉදිරිපත් කරනවා ස්වාමිනි. එම වාර්තාව අනුව දැරිය දීර්ඝ කාලයක සිට ලිංගික දුෂණයකට ලක්ව තියන බව අනාවරණය වනවා. නමුත් ශරීරයේ සිදුව ඇති තුවාල අනුව එහි දැරිය දුෂණය වී ඇති කාලයක් නිර්ණය කිරීමට නොහැකි බවට දැනුම් දී තිබෙනවා. දැරියගේ සිරුර බොහෝ සේ විනාශ වී ඇති හෙයින් දැරියගේ මරණය ස්වයං ගිනි තබා ගැනීමක් ද ගිනි තැබීමක් ද යන්න නිර්ණය කර ගැනීමට නොහැකි බවට දැනුම් දී තියනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශන වලදී අනාවරණය කර ගැනීමට පුළුවන් ස්වාමිනි, මේ සම්බන්ධයෙන් තවදුරටත් ඉදිරියේ දී අධිකරණයට කරුණු වාර්තා කිරීමට අපි බලාපොරොත්තු වනවා. ” යැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළා.

එසේම මෙම නඩුවේ හතර වන සැකකරු වන බදුර්දින්ගේ මස්සිනා සම්බන්ධයෙන් කරන ලද විමර්ශන සඳහා ඔහුගේ දුරකථනය පොලිසිය විසින් ඉල්ලා සිටි අවස්ථාවේ දී ඔහුගේ දුරකථනය දරුවන් සම්බන්ධ ගැටලුවක දී පොලේ ගසා කඩා දැමු බවට පවසා තියෙන බවත් කැඩුණු දුරකථනය ඉල්ලු විට බොහොම අමාරුවෙන් එය ලබා ගත හැකි වූ බවත් එවිට එහි පොලේ ගැසූ බවක් නොපෙනුන අතර වාහනයක රෝදයකට හසු කර කඩා දමා ඇති බවට පෙනී බවත්, එහි සිම් දමන ස්ථානය ඉමි නම්බර් එක නැවත ගැනීමට නොහැකි වන ලෙසට විකුර්ති කර ඇති බවත් අනාවරණය වූයේ යැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කරුණු පැහැදිලි කළා.

එබැවින් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ,

” ස්වාමිනි රිෂාඩ් බදුර්දීන් යන සැකකරු මිට පෙර ද රිට් නියෝගයක් මත දඩුවම් ලැබූ අයෙක්. එහෙම පුද්ගලයෙක්ට සාක්ෂි වලට බලපෑම් කිරීමේ ඉඩකඩ වැඩි ස්වාමිනි. මෙම සැකකරුවන් ඇප මත මුදා හරිය හොත් සාක්ෂි වලට සක්ෂිකරුවනට බලපෑම් ඇති විය හැකියි. එබැවින් එම සියලු කරුණු සලකා බලා සැකකරුවන් තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන මෙන් ඉල්ලා සිටිනවා යනුවෙන්.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥ සංජය ගමගේ මහතාගේ උපදෙස් මත නීතිඥ මහේෂ් කුමාර, ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න, ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතාගේ උපදෙස් මත නීතිඥ සරත් සොයිසා, නීතිඥ ප්‍රසාද් සිල්වා, ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාගේ උපදෙස් මත නීතිඥ අසිමුල් අක්රම් , නීතිඥ ධම්මික හේවා පතිරණ , නීතිඥ ගමගේ යන මඝත්වරු අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔවුන් සැකකරුවන් ඕනෑම ඇපයක් මත මුදා හරින ලෙස ඉලීමක් කළා.

කෙසේ වෙතත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් සැප්තැම්බර් මස 06 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළා.

අංක 410/16, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයෙහි පදිංචි හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ බිරිඳ කිදර් මොහොමඩ් සියාබ්දීන් අයීෂා, ඇගේ පියා අලි ඉබ්‍රාහීම් සායිබු කිදර් මොහොමඩ් සිහාබ්දීන්, ඇගේ සහෝදරයා කිදර් මොහොමඩ් සියාබ්දීන් ඉස්මත් සහ දැරිය කොළඹට ගෙනා තැරැව්කරු පොන්නයියා බන්ඩාරම් නොහොත් ‘සංඛර්’ යන සැකකරුවන් මෙලෙස අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

RECENT ARTICLES - SINHALA

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

P.H.I ඝාතන විමර්ශන CIDයට

ඇල්පිටිය ප්‍රදේශයේදී PHI නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ලැබෙමින් පවතින බව පොලීසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව...

රුසියානු – යුක්රේන යුද්ධයෙන් මියයන ශ්‍රී ලාංකික සෙබලුන් ගැන වාර්තාවක්

රුසියානු – යුක්රේන යුද්ධය අතරතුර ශ්‍රී ලාංකික සෙබළුන් 5 දෙනෙකු පමණ මේ වන විට මිය ගොස් ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා. එම වාර්තාවල සඳහන්...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...