25 C
Colombo
Sunday, May 19, 2024

මෙරට අපරාධ රැසක් පිළිබද යුක්තිය ඉටුකළ ෂර්ලොක් හෝම්ස් ලෙසින් හැදින්වූ ශානි අබේසේකර විශ්‍රාම දිවියට

- Advertisement -

වසර තිස් පහක සේවා කාලයක් නිම කරමින් මෙරට පොලිස් සේවාවට විශිෂ්ඨ සේවයක් සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අද (30) විශ්‍රාම දිවියට එළැඹුනා.

ශානි අබේසේකර මහතා ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් සේවයට එක් වන්නේ 1986 පෙබරවාරි මස 10 වැනිදායි.

කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව නිම කරන ඒ මහතා කුරුඳුවත්ත පොලිස් ස්ථානය, කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා පුහුණු කඳවුර, මඩකලපුව කිරාන්, මොරකොට්ටන්චේන, කොක්කඩිචෝලෙයි, ශාස්ත්‍රවේලි, සංගමන්කන්ද, පෝරතිව් විශේෂ කාර්ය බලකා කඳවුරුවල මෙහෙයුම් රාජකාරි සිදු කරනු ලබනවා.

ශානි අබේසේකර මහතා 1990 ජනවාරි පළමු වැනිදා පොලිස් පරීක්ෂක තනතුරට විශේෂ උසස්වීමක් ලබන අතර 1998 සැප්තැම්බර් 8 වැනිදා ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ සේවය කරමින් සිටින අතරතුර ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට උසස් වනවා.

එමෙන්ම ඒ මහතා 2008 වර්ෂයේ ජනවාරි මස පළමු වැනිදා සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස ක්ෂේත්‍ර උසස්වීමක් ලබනවා.

2009 වසරේ අගෝස්තු 25 පොලිස් අධිකාරි තනතුරට උසස්වීම් ලබන ඒ මහතා 2013 අගෝස්තු 25 වැනිදා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට පත්වනවා.

2017 සැප්තැම්බර් මස 9 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස පත්වන ශානි අබේසේකර මහතා 2019 නොවැම්බර් 21 දක්වා කටයුතු කරන අතර 2019 නොවැම්බර් 25 ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාරවරයා ලෙස මාරු කර යැවීමට එවක රජය කටයුතු කරනවා.

2001 දෙසැම්බර් මස 5 වැනිදා වත්තේගම පොලිස් වසමේ උඩතලවින්න ප්‍රදේශයේදී පුද්ලයින් දස දෙනෙකු ඝාතනය කිරීම හා පුද්ගලයින් පස් දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනු ලැබුවේ ශානි අබේසේකර මහතායි.

2005 වර්ෂයේ ජූලි මස පළමුවැනිදා රෝයල් පාක් ඝාතනය, මෙන්ම 2001 දෙසැම්බර් මස පළමුවැනිදා එවක හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කොට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ද පරීක්ෂණ සිදු කරනු ලැබුවේ ශානි අබේසේකර මහතායි.

2006 වසරේ අප්‍රේල් 25 වැනිදා එවක යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ ශානි අබේසේකර මහතා යටතේ සිදු කෙරුණා.

2019 අප්‍රේල් 21 වැනිදා එල්ල වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මෙහෙයවීමට ද සිදු කරනු ලැබුවේ ශානි අබේසේකර මහතායි.

සිය සේවා කාලය තුළදී ඔහු මෙහෙයවූ පරීක්ෂණ අතරට 1996 වසරේ ජනවාරි 28 වැනිදා නලීන් චින්තක පෙරේරා යන අයට වෙඩි තබා ඝාතනය කිරීම, 1999 වසරේ සැප්තැම්බර් 25 වැනිදා මෝටර් රථයක් තුළදී පුද්ගලයන් 06 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම, 1999 දෙසැම්බර් 18 වැනිදා කොළඹ නගරසභා පිටියේදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ඝාතනය කිරීම සඳහා එල්ල කළ ස්වයං ඝාතක බෝම්බය යනාදී පරීක්ෂණ ඇතුළත්.

එමෙන්ම, 2001 වසරේ මාර්තු 24 වැනිදා රේගු අධිකාරි සුජිත් ප්‍රසන්න පෙර්රා වෙඩි තබා ඝාතනය කිරීමට අදාළ පරීක්ෂණය, 2001 ජූලි 24 වැනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණය, 2009 ජනවාරි 8 වැනිදා ගල්කිස්ස පොලිස් වසම තුළ සිදු කළ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළ පරීක්ෂණය , 2009 ජනවාරි 23 වැනිදා වැලිවේරියේදී මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහර දී තුවාල සිදු කිරීමට අදාළ පරීක්ෂණය යනාදී පරීක්ෂණ ද ශානි අබේසේකර මහතා විසින් මෙහෙයවූවා.

මේ අතර 2009 මැයි 12 වැනිදා එවකට ජනාධිපති ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට පැමිණි ස්වයං ඝාතක බෝම්බකරුවෙකු වන සුභා ක්‍රිෂ්ණන් අත්අඩංගුට ගැනීමෙන් අනතුරුව එම අපරාධය හා සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගැනුනේද ශානි අබේසේකර මහතාගේ මෙහෙයවීමෙන්.

ඔහු මෙරට අපරාධ පරීක්ෂණ ක්ෂේත්‍රයට ලබා දුන් සුවිශේෂ දායකත්වය අතරට 2009 අගෝස්තු 13 වැනිදා අඟුලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් තරුණයින් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කිරීමට අදාළ පරීක්ෂණය, 2010 ජනවාරි 24 වැනිදා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාමට අදාළ පරීක්ෂණය, 2011 ඔක්තෝබර් 8 වැනිදා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුලු තිදෙනෙක් වෙඩි තබා ඝාතනය කිරීමට අදාළ පරීක්ෂණය , 2012 මැයි 17 වැනිදා රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට අදාළ පරීක්ෂණය , 2012 නොවැම්බර් 9 වැනිදා වැලිකඩ බන්ධනාගාරය තුළදී පුද්ගලයන් 27 දෙනෙක් වෙඩි තබා ඝාතනයට අදාළ පරීක්ෂණය, 2013 වසරේදී මිරිහාන පොලිස් වසමේදී මොහොමඩ් ෂියාම් නැමැත්තෙක් පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කිරීමට අදාළ පරීක්ෂණය ද ඇතුළත් වෙනවා.

2013 අගෝස්තු පළමු වැනිදා රතුපස්වලදී පුද්ගලයින් තිදෙනෙක් වෙඩි තබා ඝාතනය කිරීම, නඩරාජා රවිරාජ් මන්ත්‍රිවරයාගේ ඝාතනය සහ 2018 ඔක්තෝබර් 29 වැනිදා වව්නතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කිරීම යනාදී අපරාධවලට අදාළ පරීක්ෂණ මෙහෙයවූයේද ශානි අබේසේකර මහතායි.

2020 වසරේ ජූලි 31 වැනිදා අපරාධ විමර්ශනයකදී ගිනි අවි සම්බන්ධ විමර්ශනයකට අදාළව අසත්‍ය තොරතුරු සටහන් කරමින් සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා මත කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අබේසේකර මහතා අත්අඩංගුවට ගනු ලැබුවා.

මාස 10යි දින 18ක් ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශානි අබේසේකර මහතා පසුගිය ජූනි 16 වැනිදා ඇප මත මුදා හැරුණා.

වසර තිස් පහක කාලයක් මෙරට පොලිස් සේවාවේ විශිෂ්ට සේවාවක් කළ නිලධාරියෙකු ලෙස ඒ මහතා අද විශ්‍රාම දිවියට එලැඹෙන්නේ සිය 60 වන උපන්දිනය දා වීම ද විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

පවුලක්ම මරා මුදල් කොල්ලකාලා

සිය බිරිඳගේ බාප්පා, පුංචි සහ ඔවුන් දෙපලගේ දරුවා ඝාතනය කර මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාල්ල පොලීසිය සමත්ව තිබෙනවා. අද (19) අළුයම...

ජාතික රණවිරු සැමරුම අදයි.විශේෂ රථ වාහන සැලැස්මක්

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පස්වරු 04ට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ‍මේ අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...