31 C
Colombo
Friday, April 19, 2024

Sir (2020)

- Advertisement -

Rohena Gera අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය ප්‍රථමයෙන්ම ප්‍රදර්ශනය වන්නේ 2018 Cannes ජාත්‍යන්තර සම්මාන උළෙලේ. ඉන්දියාවට වඩා විදේශයන්හි ඇගයීමට ලැබූ මෙම චිත්‍රපටය ජනතා ප්‍රදර්ශනයට හිමි වන්නේ මෙම වසරේ ජනවාරි මාසයේ. ඒ මෙම චිත්‍රපටය Netflix ඔස්සේ මුදාහැරීමත් සමගය. Sir චිත්‍රපටය තුල මතුපිටින් ඉතා සරල කතා තේමාවක් පෙන්නුම් කරත්, මෙහි ඇතුලත් වන්නේ විශ්මිත මානුෂීය අධ්‍යනයක්‌. අපට ජීවිතය පුරාවටම විවිදාකාර පුද්ගලයින් හමු වනවා. නමුත් විටෙක අපට සමීප ලෙස සිටින පුද්ගලයින්ට වඩා, අප සමග මදක් දුරින් සිටින පුද්ගලයා අපව වඩාත් හොඳින් හඳුනනවා වන්නට පුළුවන්. එම පුද්ගලයා තුල ආදරය ඔබ නොසිතනවාටත් වඩා තිබෙන්නට පුළුවන්. නමුත් සැබෑ මනුෂ්‍යත්වය සහ සැබෑ ප්‍රේමයට හරස් වන්නේ සමාජය විසින්ම මවා දුන් සීමා මායිම්. අපට Sir චිත්‍රපටයේ හමුවන රත්නා සහ අශ්වින්ද ජීවත් වන්නේ, එවැනි සමාජ වටාපිටාවක.

රත්නා යනු දුර බැහැර ගම්මානයකින්, මුම්බායි වෙත පැමිණි යුවතියක්. ඇය මුම්බායි නගරයේ ජීවත් වන අශ්වින් නම් තරුණයෙකුගේ නිවස තුල, ගෘහ සේවිකාවක් ලෙස කටයුතු කරනවා. රත්නා තම රැකියාව තුල නිරත වන්නේ හීන රැසක් පොදි බැඳගෙන. රත්නා ඉතාම අඩු වයසින් විවාහ වුනු කාන්තාවක්. අවුරුදු 19 දී ඇයගේ සැමියා මිය යාමත් සමග, රත්නා ඇය වෙනුවෙන් සහ ඇයගේ හීන වෙනුවෙන් ජීවත් වීමට තීරණය කරනවා. ඇයට සම්පුර්ණ කළ නොහැකි වූ උසස් අධ්‍යාපණය, ඇගේ නැගණිය සම්පුර්ණ කිරීම රත්නා සතුව ඇති ප්‍රධාන බලාපොරොත්තුවක්. නමුත් රත්නා සතුව ඇති ප්‍රධානම බලාපොරොත්තුව වන්නේ කෙදිනක හෝ මෝස්‌තර නිර්මාණකරුවෙකු වීමටය. ඇය මුම්බායිහි නිරත වන රැකියාව හරහා ඉතුරු කරන්නේ ඇයගේ සිහිනය වෙනුවෙන්. රත්නාගේ ජීවිතයේ ප්‍රධාන හැරවුමක් සිදු වන්නේ, අශ්වින්ගේ චරිතය තුලින්. අශ්වින් සහ ඔහු විවාහ වීමට ගිය පෙම්වතිය අතර ඇති සම්බන්දය, ඉතාම අනපේක්ෂිත ලෙස බිඳ වැටී ඇත. අශ්වින් ඔහුගේ පියාගේ ව්‍යාපාරයට සහාය දක්වන්නේ, රචකයෙකු වීමට වෙර දැරූ හීනයද අත් හරිමින්. මේ කාරණා ද්විත්වය නිසාවෙන් අශ්වින් සිටින්නේ ඒක පුද්ගලික අර්බුදයක. මෙය නිසාම ඔහු ඒකාකාරී ජීවන රටාවකට නැඹුරු වී තිබෙනවා.

අශ්වින්ගේ ජීවිතයේ සිටින සමීපතමයින්ට වඩා, ඔහුව අධ්‍යනය කරන්නේ රත්නා. රත්නා අකුරටම එම නිවසේ වැඩ කටයුතු සිද්ද කරනවා. අශ්වින් එතරම් හොඳ මානසික මට්ටමක නැතිනම්, ඔහුගේ සමීපතම පුද්ගලයින්ට වඩා එය වටහා ගන්නේ රත්නාය. එම නිසා රත්නා, දුරස්තව ඇයට හැකි පමණින් ඔහුට සහාය දක්‌ වනවා. සර් නොහොත් මහත්මයා, අශ්වින් යනු සැබවින්ම වචනයේ පරිසමාප්තතයෙන්ම මහත්මයක්. සැමවිටම රත්නාගේ සේවයට ස්තූති කරන්න ඔහු අමතක කරන්නේ නැත. බහුතරයක් නාගරික ඉහල පැලැන්තියේ පුද්ගලයින්, රත්නා වැනි කාන්තාවන්ට ලබා නොදෙන ගරුත්වය අශ්වින් ඇයට ලබා දෙනවා. කාලයත් සමග ඔවුන් දෙදෙනා තුල ඇති තේරුම් ගැනීම හමුවේ, රත්නා සහ අශ්වින් එකිනෙකාට සමීප වනවා. නමුත් ඔවුන් දෙදෙනා පැමිණෙන්නේ සමාජයන් දෙකකින්. මෙම ගැටළුව ප්‍රධාන වශයෙන් පැමිණෙන්නේ රත්නාටය. ඇය ගෘහ සේවිකාවක් සහ දුෂ්කර ගැමි පළාතකින් පැමිණි කාන්තාව යන අනන්‍යතාවය රත්නාට නිතරම නාගරික සමාජයෙන් මතක් කර දෙනවා. ඒ සමගම රත්නා ඇය වෙනුවෙන්ද හීන දකිනවා. දෙලොවක් අතර තනිවන රත්නා සහ අශ්වින්ට අත්පත් වන ඉරණම කුමක්ද?

Sir චිත්‍රපටය තුල ප්‍රධාන වශයෙන් සිත් ගන්නේ, මෙහි ප්‍රේමය සහ මනුෂ්‍යත්වයට ලබා දුන් අර්ථකථනයන්. රත්නා සහ අශ්වින් අතර ඇති වන සම්බන්දය, අපට ආදරය සම්බන්දව අපූරු කියවීමක් ලබා දෙනවා. අශ්වින්ගේ ජීවිතයේ ඇති අර්බුදකාරී තත්වයට ආලෝකයක් ගෙන දෙන්නේ රත්නාය. නමුත් ඔහුගේ පැරණි ප්‍රේමවන්තිය සහ දෙමාපියන්ටත් වඩා, ඔහුව තේරුම් ගැනීමට රත්නාට හැකි වනවා. එම නිවස තුල ජීවත් වන්නේ අශ්වින් සහ රත්නා පමණයි. බොහොම අතේ දුරින් ඇය ඔහුව නිරීක්ෂණය කරනවා. යම් අවස්ථාවන් වලදී ඇයගේ ජීවිතයේ වතගොත ඔහු සමග බෙදා ගන්නේ, ඔහුව දිරිමත් කිරීමේ චේතනාවෙන්. තම පැරණි පෙම්වතියට, දෙමාපියන්ට සහ මිතුරන්ටද තේරුම් ගැනීමට නොහැකි වූ අශ්වින්ව, රත්නා තේරුම් ගැනීමට සමත් වනවා. නමුත් රත්නා අසරණ වන්නේ, අශ්වින් ඇයට ආදරය ප්‍රකාශ කිරීමත් සමග. අශ්වින් මහත්මා ගතිගුණ ඇති පුද්ගලයෙකු වූවත්, ඔහුටද නොදැනෙන වෙනස්කම් නාගරික සමාජයෙන් රත්නාට මුහුණ දීමට සිදු වනවා. අශ්වින් නියෝජනය කරන ඉහල පැලැන්තියෙන්, රත්නා වැනි කාන්තාවන්ට ලැබෙන්නේ කුඩ අම්මාගේ සැලකිලි. මෙම චිත්‍රපටයේ මානුෂීය පැතිකඩ ඉස්මතු වන්නේ මෙය හරහා. නාගරික ඉහල පැලන්තිය වටිනාකමින් ඉහල පිගන් කෝප්ප භාවිතා කරද්දී, සේවක සේවිකාවන් භාවිතා කරන්නේ අඩු වටිනාකමකින් යුත් පිගන් කෝප්ප. අශ්වින්ලා වැනි පුද්ගලයින් කෑම මේසයේ අනුභව කරද්දී, රත්නලා කෑම අනුභව කරන්නේ බිම ඉඳගෙන. නාගරික ඉහල පැලැන්තියේ ඇතැම් සාර්ථක කාන්තාවන්, රත්නා වැනි කාන්තාවක්ව ඔවුන්ට සමානව දකින්නේ නැත. නවීන ඇඳුම් විලාසිතා වලින් සැරසී එන පුද්ගලයන්ට සුපොගභෝගී සාප්පු තුලින් ඉහලම සේවාවක් ලැබෙද්දී, රත්නලා වැනි සාරියෙන් හැඩවුණු ගැමි කාන්තාවන්ට එම සාප්පු තුලට පය තැබීමේ අයිතියක්ද නැත. අශ්වින් ආදරය ප්‍රකාශ කරද්දී, ඇය ව්‍යාකූල වන්නේ මෙම සැලකීම් නිසාය. ඇය කුමන අවස්ථාවක් තුලදීවත් ඇගේ ආත්ම ගරුත්වය බිල්ලට දෙන්නට සුදානමක්‌ නැත. මෙම පැතිකඩවල් හරහා රත්නා ඇතුළු එම සමාජය නියෝජනය කරන බහුතරයකගේ ජීවිත ඇතුලාන්තය මෙහිදී පෙන්නුම් කළා. අධ්‍යක්ෂක Rohena Gera මුළුමනින්ම අශ්වින්ගේ සමාජයද විවේචනය කරන්නේ නැත. අශ්වින්ගේ චරිතය හරහා එම සමාජයේ ඇති ගුණාත්මක පැතිකඩ සහ ඔවුන්ගේ ඒක පුද්ගලික අරගලයන් පිළිබඳ කියවීමක්ද මෙහි ඇතුලත් වනවා. මෙම චිත්‍රපටය පොහොසත් පිරිමියෙකු සහ ගෘහ සේවිකාවක් අතර ඇති ආදර කතාවකට වඩා ඔබ්බට යන්නේ, ඉහත සඳහන් කළ අංගයන් නිසාය.

මෙම චිත්‍රපටයේ අනිකුත් ප්‍රධාන සාර්ථක අංගයන් වන්නේ දෙබස් සහ විශිෂ්ට රංගනයන්. මෙහි ඇතුලත් වන බොහෝ දෙබස් හමුවේ, අපට අපගේ ජීවිතය දෙසම වෙනස් ලෙස බැලීමට පොලඹවයි. ඔබ අශ්වින්ගේ සමාජය නියෝජනය කරනවා නම්, ඔබ ළඟ සේවයේ යෙදෙන සේවිකාව/සේවකයා දෙස නැවත හැරී බලන්න පොළොඹවන අවස්ථාවන් මෙහි ඇතුලත් වනවා. රත්නා ලෙස රංගනයන් දායක වූ Tillotama Shome එම චරිතය ඉතාම විශිෂ්ට ලෙස රඟ දැක්වුවා. විශේෂයෙන්ම නිහඬ අවස්ථාවන් තුලදී ඇයගේ මුහුණේ ඉරියව් සහ අංග චලනයන් හැසිරවුණු ආකාරය, චිත්‍රපටය තුල ප්‍රධාන වශයෙන් කැපී පෙනුණ අංගයක්. ඒ සමග අශ්වින් ලෙස රංගනයෙන් දායක වූ Vivek Gomber, අශ්වින් වචනයේ පරිසමාප්තයෙන්ම මහත්මයෙක් යන හැඟීම නරඹන්නා තුල ඇති කරන ආකාරයටම එම චරිතය ඉදිරිපත් කරා.

Rohena Gera ගේ විශිෂ්ට අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙන් සමන්විත මෙම චිත්‍රපටය ඔබ නැරඹිය යුතුම නිර්මාණයක්.

රමිත විමුක්ති.

RECENT ARTICLES - SINHALA

අරලගන්විල ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක්

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි අරලගන්විල පොලිසිය...

දුම්රිය ගමන්වාර 4 ක් අවලංගුයි

දුම්රිය බලවේග කට්ටල නොමැති වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 4 ක් අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරිය විසින් පියවර ගෙන තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රධාන මාර්ගයේ...

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත්

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. බොහෝ පිරිසක් රට ඇත්හැර ගොස් ඇති බවත් තවත් පිරිසක් විදේශ පුහුණුවීම් සදහා ගොස්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...