28 C
Colombo
Saturday, July 27, 2024

චන්ද්‍රයාන් නිසා මතු වූ සුප්‍රීම් සැට්

- Advertisement -

සඳේ අඳුරු කලාපය වන දක්ෂිණ ධ්‍රැවයට යානයක් සාර්ථකව ගොඩබස්වමින් එවැන්නක් සිදු කළ පළමු රට ලෙසත් සඳ තරණය කළ ලොව සිව්වැනි රට ලෙසත් ඉන්දියාව ඉතිහාසයට එක් වුණා.

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (ඉස්‍රෝ) නිර්මාතෘ වික්‍රම් සාරාබායි සිහි කරමින් වික්‍රම් ලෙස නම් කරන ලද ලෑන්ඩරය, ප්‍රග්‍යාන් (ප්‍රඥාව සඳහා සංස්කෘත වචනය) නම් වූ කිලෝග්‍රෑම් 26 ක රෝවරය රැගෙන සැලසුම් කළ පරිදි ඉන්දීය වේලාවෙන් බදාදා (අගෝස්තු 23) සවස 6.04ට ට සාර්ථකව චන්ද්‍ර පෘෂ්ඨය ස්පර්ශ කරන ලදී.
බ්‍රික්ස් සමුළුවට සහභාගී වීමට දකුණු අප්‍රිකාවට ගොස් සිටින අගමැති මෝදි එහි සිට සජීවීව එම අවස්ථාව නරඹමින් පැවසුවේ මෙය ඉන්දියාවේ පමණක් නොව සමස්ත ලෝකයේම ජයග්‍රහණයක් බවයි.
මෙහෙයුමේ ප්‍රධාන ඉලක්කයක් වන්නේ අනාගතයේදී සඳ මත මිනිස් වාසයට සහාය විය හැකි ජලය මත පදනම් වූ අයිස් පිළිබඳ තොරතුරු එක් රැස් කිරීමයි.
මෙම රෝවරය ඉන්දීය ධජයක් රැගෙන ගොස් ඇති අතර එහි රෝදවල චන්ද්‍ර පසෙහි ඉස්‍රෝ ලාංඡනය සහ ඉන්දීය රාජ්‍ය ලාංඡනය සලකුණු තබන පරිදි එම්බොස් කර තිබීම විශේෂත්වයක්.

ඉන්දියාවේ තුන්වන චන්ද්‍ර මෙහෙයුම වන චන්ද්‍රයාන්-3, දියත් වන්නේ 2008 දී රටේ පළමු සඳ මෙහෙයුම වන චන්ද්‍රයාන්-1 ට වසර 15 කට පසුවයි. ඒ අතරතුර දියත් කෙරුණු චන්ද්‍රයාන් -2 මෙහෙයුම අවසන් මොහොතේ අසාර්ථක වුණේ පසුව සොයා ගත් පරිදි මෘදුකාංග දෝෂයක් නිසාවෙනි.

චන්ද්‍රයාන් 1 මෙහෙයුමේ දී චන්ද්‍ර පෘෂ්ඨයේ ජල අණු පවතින බව සහ සඳට දිවා කාලයේ වායුගෝලයක් ඇති බව පළමුවරට අනාවරණය කර ගැණුනා.
සාර්ථක ගොඩබෑමකින් පසු ප්‍රග්‍යාන් රෝවරය පාෂාණ සහ ආවාට වටා සැරිසරමින්, විශ්ලේෂණය සඳහා පෘථිවියට ආපසු යැවීමට තීරණාත්මක දත්ත සහ පින්තූර රැස්කරන අතර වික්‍රම් ලෑන්ඩරය සඳ මත පතිත වන අවස්ථාවේ ගනු ලැබූ චන්ද්‍ර පෘෂ්ඨයේ ඡායාරූප කිහිපයක් ඉස්‍රෝ වෙත එවා තිබුණා.

ප්‍රග්‍යාන් චන්ද්‍ර පෘෂ්ඨය මතුපිට ඇති ඛනිජ මොනවාදැයි සොයා බැලීමට සහ පසෙහි රසායනික සංයුතිය අධ්‍යයනය කිරීමට උත්සාහ කරයි.
මේ අතර චන්ද්‍රයාන් 3 යානය ඉතා සාර්ථක ලෙස සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩබස්සවමින් ඉන්දියාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ එරට ජනතාව වෙත සිය උණුසුම් සුබපැතුම් පිරිනමා තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉන්දියාව ලැබූ මෙම විශිෂ්ට සහ ඓතිහාසික ජයග්‍රහණය පිළිබඳ අසල්වාසී සහෝදර රාජ්‍ය ලෙස ශ්‍රී ලංකාව ද ආඩම්බරයට පත් වන බවයි.

එය විද්‍යාත්මක හා තාක්‍ෂණික අංශයන්හි අඛණ්ඩ ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා ඉදිරි පරම්පරාවන් දිරිමත් කරන්නක් බව ජනාධිපතිවරයා පවසයි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ට්විටර් සටහනක් තබමින් ඉන්දියාවට සුබ පතමින් පැවසුවේ මෙය ඉන්දියාවට පමණක් නොව මුළු ලෝකයටම ඓතිහාසික අවස්ථාවක් බවයි.
මෙරට පාර්ලිමේන්තුවේදී ද චන්ද්‍රයාන් 3 මෙහෙයුමේ සාර්ථකත්වය සම්බන්ධයෙන් අදහස් පළ වුණා.

විශේෂයෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුව අමතමින් චන්ද්‍රයාන් මෙහයුම සාර්ථක වීම පිළිබඳ අසල්වැසි ඉන්දියාවට සුබ පැතුම් එක්කරමින් තවත් විශේෂ කරුණක් පිළිබඳ සියලු පාර්ශ්වයන්ගේ ඇස් ඇරවීමට කටයුතු කළා.

ඒ වසර කිහිපයකට පෙර මෙරට දියත් කළ බව කියවුණු සහ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සුප්‍රීම් සැට් නම් චන්ද්‍රිකාව පිළිබඳවයි.
“චන්ද්‍රයන් 1, චන්ද්‍රයන් 2 සහ චන්ද්‍රයන් 3 කියලා උත්සාහයන් තුනක් දරලා තමයි ඉන්දියාව මේ කර්තව්‍යය ඉෂ්ට කළේ. මේ තුනටම වැය වෙලා තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 263යි. හැබැයි අපේ රටේ සුප්‍රීම් සැට් එක ක්‍රියාත්මක කරන්න 2012 දී ඇමෙරිකානු ඩොලර් මිලියන 320ක් වියදම් කළා. මේක මුලු රටම දැන ගන්න ඕන. මම සභානායක තුමාගෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන්න සුප්‍රීම් සැට් එකට වියදම් කරපු මිලියන 320ට මොකද්ද වුණේ කියලා. හඳට යන එක නෙවෙයි මිලියන 320ක් වියදම් කරලා රට වලපල්ළට නම් ගෙනිහින් තියෙනවා”
මෙහිදී නැගී සිටි සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ තමන් කලක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ නමුත් සුප්‍රීම් සැට් නම් ව්‍යාපෘතියක් පිළිබඳ නොදැනුවත් බවයි.

“මම 2015 ඉඳලා 2018 වෙනකල් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා විදිහට හිටියා. මගේ නම් කිසිම දැනුවත්බාවයක් නැහැ ලංකාවේ කවුරුත් සුප්‍රීම් චැට් කියලා චන්ද්‍රිකාවක් යැව්ව ද කියලා. 2012 නම් දැන් ගිහිල්ලා හඳේ පසුත් ගේන්න කාලේ හරි මං හිතන්නේ. මේ වගේ ප්‍රබන්ධ කතා තියෙන්න පුලුවන්” සභානයකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
චීනය සමග එක්ව අභ්‍යාවකාශගත කරනු ලැබූ බව කියන සුප්‍රීම් සැට් චන්ද්‍රිකාවට සිදු වූයේ කුමක් ද යන්න විමසමින් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ද විවිධ අදහස් හුවමාරු වන්නට පටන් ගෙන තිබෙනවා.

එම සමාජ මාධ්‍ය සටහන්වලද ප්‍රමුඛ අවධානයක් යොමු වී තිබෙන්නේ ඒ සඳහා වැය කළ මුදල පිළිබඳවයි.
ඊට අමතරව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල, නෙලුම් කුලුණ වැනි ව්‍යාපෘතිවල පිරිවැය සංසන්දය කරමින් එම ව්‍යාපෘති හරහා රටට අහිමි වූ ඩොලර් බිලියන ගණනක මුදල් පිළිබඳ බොහෝ පාර්ශ්ව සිය අප්‍රසාදය සහ කනස්සල්ල සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගෙන තිබුණා.
චීනය මෙරට තුළ ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිවල ඇති පාරදෘශ්‍යබාවය පිළිබඳ සහ තිරසරභාවය පිළිබඳ නොවිසිඳුණු ගැටලුවල දිග පළල මෙවැනි කාරණා හරහා කරලියට පැමිණීම එක් අතකින් යහපත් ප්‍රවණතාවයක්.

ඊට හේතු වන්නේ ඉදිරියේදී රට තුළ සිදුවන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ජනතාව පෙරට වඩා විචක්ෂණශීලී අවධානයක් යොමු කරවීමට මෙවැනි කතිකාවන් තුළින් පෙළඹවීමක් සිදු කරන නිසාවෙනි.

මෙවැනි සාකච්ඡා මතු වන විට පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරු කසාය බී ගත් ගොලුවන් සේ නිහඬව සිටිනු ද දැකගත හැකියි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ද තවත් වැදගත් කරුණක් පාර්ලිමේන්තුවේදී ඉස්මතු කළා.
“සඳ තරණයට බිලියන ගාණක් වැය කරනකොට, වැසිකිලි නැති මෙච්චරක් ඉන්නවා, කුල වශයෙන් ගැටෙන මෙච්චරක් ඉන්නවා, මෙච්චර දුප්පතුන් ඉන්නවා, එහෙම කියමින් ඒ සතුට අඩපණ කරන කාලකණ්නි සංස්කෘතියක් ඉන්දියාවේ තරුණ පරම්පරාව තුළ නැහැ. ඒක ගැන අපි ආඩම්බර වෙනවා. තමන්ගේ ජාතිය සමග පුදුමාකාර හැඟීමකින් ඉන්නවා. අපේ තරුණ පරම්පරාවටත් ඉන්දියාවෙන් ඉගෙන ගන්න කියන එක අවධාරණය කරනවා.” වීරවංශ මන්ත්‍රීවරයා සිය කතාවේදී වැඩිදුරටත් සඳහන් කළා.
සැබවින්ම බයිසිකලයක සහ ගොන් කරත්තවල රොකට් කොටස් ප්‍රවාහනය කිරීමේ සිට සඳ තරණය කළ චන්ද්‍රයාන්-3 මෙහෙයුම දක්වා ඉස්‍රෝ හි ගමන් මග බොලිවුඩ් තිර පිටපත් වැනිය.

ඉන්දියාවේ අභ්‍යවකාශ ගමනේ සාර්ථකත්වය අපිට කියා දෙන්නේ ස්වයං විශ්වාසය පිළිබඳ වැදගත් පාඩමක් බව නොරහසක්.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...