27 C
Colombo
Saturday, June 10, 2023

ශ්‍රී ලංකා පොලීසිය මානව හිමිකම් උල්ලංඝණය කිරීමට එරෙහිව පියවරක් ගන්න – ප්‍රකාශනයේ නිදහස උදෙසා එකමුතුව

- Advertisement -

ශ්‍රී ලංකා පොලීසිය මානව හිමිකම් සහ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව පියවර ගන්නැයි ප්‍රකාශනයේ නිදහස උදෙසා එකමුතුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එම ලිපිය පහතින්,

සභාපති
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව‍
නො. 14
ආර්.ඒ. ද මෙල් මාවත
කොළඹ 04

ප්‍රකාශනයේ නිදහස උදෙසා එකමුතුව
අංක 65/4
ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත
කොළඹ 02
දුරකතන – 0112333227/0777381566
[email protected]

ව්‍යවස්ථාපිත සහ අධිකරණය තහවුරු කළ මානව හිමිකම් සහ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට ශ්‍රී ලංකා පොලිසිය දරණ වෑයම සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙස ඉල්ලා සිටීම.
2020 වසරේ අප්‍රේල් 01 වැනි දා එවක වැඩබලන පොලිස්පතිවරයා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කොරෝනා වසංගතය මැඩලීමේදී රාජ්‍ය නිලධාරීන්ගේ සුළු අඩුපාඩු විවේචනය කරන්නන් අත්අඩංගුවට ගන්නා බවයි. එයින් නොනැවතී එසේ චෝදනා කර 20කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගනු ලැබීය. සිවිල් සංවිධාන ගණනාවක් මෙයට විරෝධය පළ කර ක්‍රියාමාර්ග ගනු ලැබූ අතර මෙකී මාධ්‍ය නිවේදනය අරභයා ඉතා ඉක්මනින් එනම්, එම වසරේ අප්‍රේල් 25 වැනිදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ප්‍රතිචාර දක්වමින් වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් මගින් දන්වා යැව්වේ “මෙවැනි හදිසි තත්වයකදී වුව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හෝ ප්‍රජාතන්ත්‍රවාදී අනෙක් අයිතීන් සීමා කිරීම සඳහා ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයක් නීතිමය රාමුව තුළ ගත යුතු බව පෙන්වා දීම” – කොමිසමේ යුතුකමක් බවයි. එසේ ම “රාජ්‍ය නිලධාරීන් හෝ ප්‍රතිපත්ති විවේචනය කිරීම සම්බන්ධ ඕනෑම අත්අඩංගුවට ගැනීමක් ව්‍යවස්ථා විරෝධී” බවද එම ලිපියේ අවධාරණය කර තිබුණි.

එයින් මඳ නිහැඬියාවක සිටි පොලිසිය වසරකට පසුව නැවත ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සම්බන්ධයෙන් තම අත්තනෝමතය ක්‍රියාත්මක කරන්නට පටන් ගෙන තිබේ.

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ අසත්‍ය තොරතුරු, ඡායාරූප සහ වීඩියෝ දර්ශන ප්‍රචාරය කිරීම මගින් මහජනතාව අතර අසමගිය, වෛරය ඇති කිරීම හා කොවිඩ් මර්ධන වැඩ පිළිවෙලට බාධා කිරීම යන හිසින් 2021.06.08 දාතමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කරන නිවේදනය එහි නවතම ස්වරූපයයි.

ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති කීපයක් ද, 2007 සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය සහ පරිගණක අපරාධ පණත, 1927 අංක 4 දරණ අසභ්‍ය ප්‍රකාශන පණත මතු නොව සිය ක්‍රියාමාර්ග නෛතික බව දක්වනු සඳහා එකී ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත ද එහි උධෘත කොට තිබේ.

2020 අප්‍රේල් 01 වැනිදා වැඩබලන පොලිස්පතිවරයා නිකුත් කළ නිවේදනය අප විශ්වාස කරන්නේ ගැමි වහරේ කියැවෙන “මුට්ටිය දමා බැලීමක්” ලෙසිනි. ඉතා නිවැරදි ලෙස මානව හිමිකම් කොමිසම ඊට පිළිතුරු සැපයූ අතර එහි දෙවැනි සංස්කරණය වඩා බලවත් ලෙසින් ගෙන එන්නට දැන් ඔවුන් කටයුතු කර ඇත.

පොලිස් මූලස්ථානය සඳහන් කරන ආකාරයට මෙසේ වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගෙන ක්‍රියාකිරීමට තරම් වන මහජනතාව අතර වෛරය පැතිරවීමක්, අසමගිය ඇතිවීමක් හෝ කොවිඩ් මර්දන වැඩපිළිවෙලට සමාජ මාධ්‍යවල පළ කිරීම්වලින් වුණ හානියක් ගැන වාර්තා වී නැති සන්දර්භයක මෙකී නිවේදනය පුදුම සහගත එකකි.

සමාජ මාධ්‍යවල අදහස් පළ කිරීම ද පුරවැසියන්ගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසේ එක් ස්වරූපයක් බව අප විශ්වාස කරමු. මහජනතාව අතර වෛරය පැතිරවීමක්, අසමගිය ඇතිවීමක් හෝ කොවිඩ් මර්දන වැඩපිළිවෙලට හානි කිරීම යන කාරණාවලට මුවා වී, පොලිසිය ජනතාව සතු ව්‍යවස්ථාපිත සහ ගරු අධිකරණය වෙතින් තහවුරු කරන ලද අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නට උත්සාහ කරන බව අපගේ වැටහීමයි.

මෑත කාලයේ පොලිසියේ අත්තනෝමත පදනම්ව යැ යි කිව හැකි අත්අඩංගුවට ගැනීම් ගණනාවක් සිදු වූ අතර කෙටිකතාවක් ලිවීම මගින් 2007 සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තියට අදාළ නීති කඩ කළැයි චෝදනා කර අත්අඩංගුවට ගෙන වසරකට ආසන්න කාලයක් රඳවා තැබූ ලේඛකයෙක් නිදොස් කොට නිදහස් කරන්නට අධිකරණය කටයුතු කළේය.

තවත් සිදු කරනු ලැබූ අත්අඩංගුවට ගැනීම් ගණනාවකි. මේ වන විටත් කවි එකතුවක් ප්‍රකාශ කිරීමෙන් අන්තවාදය ප්‍රවර්ධනය කළැයි චෝදනා කර කවියෙක් රැඳවුම් භාරයේ රඳවා සිටී. වසරකට පසුවත් ඔහුට එරෙහිව එකදු හෝ චෝදනාවක් ගොනු කරන්නට පොලිසිය මේ දක්වා සමත්ව නැත.

සමාජ මාධ්‍ය ප්‍රකාශන මගින් කොවිඩ් මර්දන වැඩපිළිවෙලට බාධා වන්නේ යැයි පොලිසිය අසත්‍ය ප්‍රකාශ කළද පසුගිය කාලයේ අවස්ථා ගණනාවකදී කොවිඩ් මර්දන නියෝග කඩකරමින් මෙරට ප්‍රභූ යැයි සම්මත පිරිස් හැසිරුණ අතර පොලිසිය ඒවා සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ ද නැත.

යම් ප්‍රකාශයක් නිසා මහජන අසමඟිය, වෛරය ඇති කිරීමක් හෝ කොවිඩ් මර්දනයට බාධා කිරීමක් සිදු කෙරෙන බව තීරණය කිරීමට පොලිසිය සතු විශේෂඥතාව කුමක් ද යන්න වැදගත් ප්‍රශ්නයකි. වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීම් සිදු කරන්නට වෑයම් කරන්නේ නීතියේ තිබෙන නිශ්චිතව අදාළ නොවන වගන්ති භාවිතයෙන් බවද පෙනේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත ඈඳා ගැනීම එහි එක් ස්වරූපයකි.

ශ්‍රී ලංකාව ව්‍යවස්ථාපිත වශයෙන් ද අධිකරණ තීන්දු හරහා ද ප්‍රකාශනයේ නිදහස, භාෂණයේ අයිතිය ආදී මානව හිමිකම් පිළිගෙන තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ගරුකරන රාජ්‍යයකි. සමාජ මාධ්‍යවල අදහස් පළ කිරීම සම්බන්ධයෙන් ව්‍යාජ භීතිකාවක් නිර්මාණය කරමින් ශ්‍රී ලංකා පොලිසිය මේ වෑයම් කරන්නේ භාෂණයේ සහ ප්‍රකාශනයේ මහජනයා සතු අයිතිය උදුරාගන්නටය.

අදහස් ප්‍රකාශනයේ, භාෂණයේ සේම විවේචනයේ අයිතිය ද ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු ගණනාවකින් පිළිගෙන තිබෙන්නකි. කාලයක් තිස්සේ නෛතිකව සංවර්ධනය වූ මේ අයිතීන් උල්ලංඝනයට කැසකැවීම යනු පැහැදිලවම අධිකරණ බලයද ප්‍රශ්න කිරීමකි.

ප්‍රකාශනයේ නිදහස උදෙසා එකමුතුව සංවිධානයේ අප මානව හිමිකම් කොමිසමෙන් උදක්ම ඉල්ලා සිටින්නේ ව්‍යවස්ථාපිත සහ අධිකරණමය ලෙස තහවුරු වී ඇති මහජනතාවගේ භාෂණයේ, ප්‍රකාශනයේ සහ විවේචනයේ අයිතිය අනීතිකව සහ අත්තනෝමතික ලෙස පැහැර ගැනීමට ශ්‍රී ලංකා පොලිසියේ ක්‍රියාකිරීම සම්බන්ධයෙන් ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ය.

අප විසින් ගොනු කරන ලද මෙම පැමිණිල්ලේ සඳහන් කාරණා පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසටත් පහත ක්‍රියාමාර්ග ගන්නා ලෙසටත් අපි ඔබගෙන් ඉල්ලා සිටිමු:

  • සමාජ මාධ්‍ය භාවිතා කරන ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කඩකරමින් පොලිස් නිලධාරීන් විසින් මෙතෙක් සිදුකරන ලද සහ සිදුකිරීමට ඉඩ ඇති අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ එසේ අත්අඩංගුවට ගන්නා බවට කෙරෙන අත්තනෝමතික නිවේදන නිකුත් කිරීම වැළැක්වීම අරමුණු කර ගනිමින් ඉහත සඳහන් කරන ලද පොලිස් නිවේදන අවලංගු කරන ලෙසට පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කිරීම.
  • රජයේ සියලුම පරිපාලන කටයුතු ලංකාවේ මානව හිමිකම් නිර්ණායකයන්ට අනුකූලව සිදුකළ යුතු හෙයින් අභ්‍යන්තර චක්‍රලේඛනයක් හරහා සියලුම පොලිස් නිලධාරීන් හට පහත කාරණා දැනුම් දෙන ලෙසට පොලිස්පති වරයා වෙත රෙකමදාරුවක් කිරීම:
  1. ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ භාෂණයේ නිදහස ඇතුළු මූලික අයිතිවාසකම් උල්ලංඝනය වන ආකාරයෙන් අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්වලින් වළකින ලෙස,
  2. එසේ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගන්නා බවට දැනුම් දෙමින් නිවේදන නිකුත් කිරීමෙන් පුරවැසියන් සතු භාෂණයේ නිදහස භාවිතා කිරීමට අයථා බලපෑම් කිරීමෙන් වළකින ලෙස,
  3. පවත්නා නීතින් ප්‍රකාරව පමණක් සහ එම නීතින් මගින් අපේක්ෂා කරන ලද අරමුණු ඉටු කිරීමට පමණක් පොලිස් නිලධාරීන් සතු බලය යෙදිය යුතු බව,

04.ICCPR පනත හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අරමුණු ඉටු කර ගැනීමට හැර අනෙකුත් අරමුණු ඉටු කර ගැනීම උදෙසා එම පනත් ප්‍රකාශනයේ නිදහස සීමා කිරීමට යොදා අත්තනෝමතික ලෙස නොගත යුතු බව,

  1. සමාජ මාධ්‍යවල ප්‍රකාශන සම්බන්ධ පැමිණිලි විභාග කිරීමේදී අපක්ෂපාතී ලෙස සියලුම පුරවැසියන්ට එකසේ නීතිය ක්‍රියාත්මක කළ යුතු බව,

ස්තූතියි,
විධායක කමිටුව‍
ප්‍රකාශනයේ නිදහස උදෙසා එකමුතුව


RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.