ශ්‍රී ලංකාවේ යුධ සමයේදී සිදු වූ අපරාධ පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් සොයාබැලීමට ශ්‍රී ලංකා රජය උනන්දු නොවන බව චෝදනා කරමින්, එම අපරාධ පිළිබඳ සොයාබැලීමේ කටයුත්තට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනෙකුත් ආයතන මැදිහත් කරවන ලෙස ප්‍රධාන දෙමළ පක්ෂ ඒකාබද්ධ ඉල්ලීමක් කර තිබේ.
පසුගිය මැතිවරණවලට තනි තනිව ඉදිරිපත් වූ දෙමළ පක්ෂ ගණනාවක් ඒකාබද්ධව එම ඉල්ලීම සිදු කිරීම විශේෂත්වයකි.
පහත සඳහන් ප්‍රධාන ඉල්ලීම් එම පක්ෂ සිදු කර ඇත. (වරහන් තුළ දැක්වෙන්නේ එම යෝජනාවල සඳහන් ආයතන පිළිබඳ පැහැදිලි කිරීම්ය.)
ශ්‍රී ලංකාවේ සිදු වූ ජන සංහාරය, යුධ අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් (ජිනීවා) එහා ගොස්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇතුළු අනෙකුත් ආයතනවල මැදිහත්වීමෙන් පියවර ගැනීම. ජාත්‍යන්තර අපරාධ අධිකරණය සහ වෙනස් සුදුසු යාන්ත්‍රණයන් ශ්‍රී ලංකාවේ සිදු වූ සිදුවීම් විමර්ශනය සඳහා මැදිහත්වෙන ලෙස ඉල්ලා සිටී.
(එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රධාන මණ්ඩල හයකින් සමන්විතය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය, ආරක්ෂක මණ්ඩලය, ජාත්‍යන්තර අධිකරණය, එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලය, එක්සත් ජාතීන්ගේ සමාජ හා ආර්ථික මණ්ඩලය, එක්සත් ජාතීන්ගේ භාරකාර මණ්ඩලය එම කොටස් හය වේ.)
ශ්‍රී ලංකාවේ වගවීම පිළිබඳ ක්‍රියා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සභාපති, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වෙත කරුණු ඉදිරිපත් කළ යුතුය.
(එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත, අනෙකුත් රටවල්වලට ඍජු බලපෑම් කිරිමේ හැකියාවක් නොමැති, මානව හිමිකම් ගැන සොයාබලන ආයතනයයි. එක්සත් ජාතීන්ගේ මහලේකම් යනු, සමස්ත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන නිලධරයාය. ඔහුගේ කාර්යාලය ප්‍රධාන මණ්ඩල හය අතරින් එකකි. ඔහු අනෙකුත් ප්‍රධාන මණ්ඩල පහ සමග ගනුදෙනු කරයි.)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ට, ශ්‍රී ලංකාවේ දිගින් දිගටම සිදුවන මානව හිමිකම් කඩකිරීම් අධීක්ෂණය සඳහා මානව හිමිකම් කවුන්සිලයෙන් බලතල පැවරීම.
මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයෙන් අධීක්ෂණයට ලක්වන කලාපයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම.
(එදිනෙකා වහරේ ජිනීවා ලෙස හඳුන්වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයයි. මානව හිමිකම් කවුන්සිලය යනු, අවුරුදු කිහිපයකට වතාවත් තෝරාගත් රටවල් කිහිපයක නියෝජිතයන් සහිත ආයතනයකි. එම ආයතනය යෝජනා සම්මත කරගනී. කොමසාරිස් කාර්යාලය යනු ඒ යටතේ සිටින ප්‍රධාන නිලධාරියාගේ හෝ නිලධාරිනියගේ කාර්යාලයයි. කවුන්සිලයේ යෝජනා ක්‍රියාත්මක කරන්නේ කොමසාරිස්ය.)
ඉහත කරුණුවලට සීමා නොවී, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට අනුබද්ධිත ආයතනයක් ලෙස ශ්‍රී ලංකාවේ සිදු වූ සිදුවීම් පිළිබඳ සාක්ෂි රැස් කිරීමේ ආයතනයක් ස්ථාපිත කිරීම. එය සිරියාව සම්බන්ධයෙන් සකස් කළ, ජාත්‍යන්තර ස්වාධීන විමර්ශන යාන්ත්‍රණයට සමාන ආයතනයක් විය යුතුය. මාස දොළහක කාලරාමුවක් ඒ සඳහා ලබාදිය යුතුය.
(එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය යනු එම සංවිධානයේ සියළු රටවල්වල නියෝජිතයන්ගෙන් සමන්විත ප්‍රධාන ආයතනයකි. එය යම් රටක, ප්‍රදේශවල නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව වාගේ රටවල්වල නියෝජිතයන් සහිත ආයතනයකි.)
ඉහත සඳහන් ලිපිය 2021 ජනවාරි 21 වැනිදා අත්සන් තබා ඇත. දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්, දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, දෙමළ ජනතා ජාතික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන්, මුලතිව් දෙමළ උරුම සංසදයේ ලියෝ ආම්ස්ට්‍රෝං පියනම, නැගෙනහිර පළාත් සිවිල් සමාජ සංසදයේ සබරතිනම් සිවෝයානාදන්, අම්පාර සිවිල් සමාජ සංසදයේ අසලිංගම් වික්නේෂ්වරන්, දෙමළ සිවිල් සමාජ සංසදයේ අමරසිංහම් ගජේන්ද්‍රන්, යෝගරාජා කනගරංජිනී. වේලන් ස්වාමිගල්, සිවගුරු ආටීනම්, ත්‍රිකුණාමලයේ රදගුරු සී. නොයෙල් එම්මානුවල්. යන අය එයට අත්සන් කර තිබේ.
ශ්‍රී ලංකා රජය 2015න් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ සාකච්ඡා කරමින්, එම කවුන්සිලයේ අනෙකුත් සාමාජික රටවල් සමඟ ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි. 30/1 යෝජනාව ලෙස හඳුන්වන්නේ එම යෝජනාවය. එම යෝජනා අනුව ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ අනුමැතියෙන්, මෙරට නිලධාරීන්ගෙන් සමන්විතව අතුරුදන්වූවන් පිළිබඳ කොමිෂන් සභාවක්, හානිපූර්ණ කොමිෂන් සභාවක් සහ සත්‍ය සෙවීමේ කොමිෂන් සභාවක් පිහිටුවීමට නියමිත විය. එම ආයතනවල පාලනය ශ්‍රී ලංකා රජය සතු වීම එහිදී පිළිගන්නා ලදී.
කෙසේ වෙතත් 2020 දී ශ්‍රී ලංකා රජය එම යෝජනාවෙන් ඉවත්වෙන බව ප්‍රකාශ කළේය. 2021 මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය පවත්වනු ලබන අතර එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනා සම්මත වීමට නියමිතය. ශ්‍රී ලංකාව ස්වාධීනව අදාල ආයතන පිහිටුවා කටයුතු නොකරන්නේ නම්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර මැදිහත්වීමක් සිදු කිරීමට ඉඩක් ඇත.