28 C
Colombo
Saturday, July 27, 2024

නොරච්චෝලේ තිත්ත ඇත්ත

- Advertisement -

නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයට මේ වන විට හිමිව ඇති තේමාව වන්නේ “සෑම විටම බිඳවැටේ” යන්නයි. එම තේමාවට අනුවම එය සෑම විටම බිඳවැටේ. වෙනත් ආකාරයකින් කිවහොත් චීන ජාතිකයන් විසින් ඉදිකරන ලද නොරොච්චෝලේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් ප්‍රථම ගල් අඟුරු බලාගාරය 2011 වසරේ එහි ආරම්භයේ සිටම බිඳවැටීම්වලට සමාන පදයක් බවට පත්ව ඇත. මෙම බිඳවැටීම් හේතුවෙන් රටේ විදුලි පාරිභෝගිකයන්ගෙන් විශාල කොටසක් නිතර නිතර මුහුණදෙන අත්දැකීම වන්නේ විදුලිය ඇනහිටීමයි. එසේම මෙහිදී බොහෝවිට ගල්අඟුරු බල ජනක යන්ත්‍ර ක්‍රියාකාරීත්වය ඇණහිටීම මෙන්ම ඒවායේ අලුත්වැඩියාව සඳහා වසාදැමීමද නිරන්තරයෙන් සිදුවනු දැකගත හැකිය.

මෙම නිතර බිඳවැටෙන බලාගාරය සම්බන්ධයෙන් වරක් පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදුන්, විදුලිබල ඇමැතිවරයකුව සිටි පාඨලී චම්පික රණවක අනාවරණය කරන ලද්දේ, මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම ප්‍රමාද වීම නිසා ව්‍යාපෘතිය සඳහා දියුණු ජපන් තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබා ගැනීම අහිමි වූ බැවින්, අවසානයේ චීන තාක්ෂණය සමඟ ඉදිරියට යෑමට තීරණය කළ බවයි.

මෙරට ගල්අඟුරු තාප බලාගාරයක් පිහිටුවීමේ අදහස මුලින්ම සාකච්ඡා කර සැලසුම් කරන ලද්දේ 1985 ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනගේ පාලන සමයේදීය. එකල බලධාරීන් එවැනි බලාගාරයක් වෙනුවෙන් ස්ථාන තුනක් සලකා බැලූවේය. ඒ, මාතර මාවැල්ල, අම්පාර ඔලුවිල් සහ පුත්තලම යන ප්‍රදේශවලය. එහෙත් විවිධ පාර්ශ්වවලින් එල්ල වූ බලපෑම් සහ පාරිසරික ගැටලු හේතුවෙන් ජයවර්ධන ජනාධිපතිවරයා ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට කොළ එළිය දැල්වීමට මැලි විය.නැවත වරක් 1995 දී ලංකා විදුලිබල මණ්ඩලය විසින් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ කාලයේ ගල්අඟුරු බලාගාරයක් පිහිටුවීමට යෝජනා කළ නමුත් එයද සාර්ථක නොවීය. කෙසේවෙතත් අවසානයේ 2005 දී බලයට පත් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනාධිපති ධූර සමයේ, 2007 දී එය ඉදිකිරීම ආරම්භ කළේය.

එසේ ඉදිකළ මෙම බලාගාරය ලක්විජය ගල්අඟුරු බලාගාරය ලෙසින් නම් කර ඇතත්, එය පොදුවේ හඳුන්වන්නේ නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය නමිනි. එය පිහිටි නිශ්චිත ස්ථාන වන්නේ කල්පිටිය අර්ධද්වීපයේ බටහිර වෙරළ තීරයේ පුත්තලම දිස්ත්‍රික්කයේ නොරොච්චෝලේ අසල නාරක්කලි සහ පෙනියාඩි ය. එය අදියර 3 කින් ඉදිකර, 2014 සැප්තැම්බර් වන විට සම්පූර්ණ කරන ලද අතර, බලාගාරයේ සම්පූර්ණ විදුලි ජනන ධාරිතාව මෙගාවොට් 900 කි. නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ පළමු අදියර නිල වශයෙන් ආරම්භ කරන ලද්දේ 2011 මාර්තු මාසයේදීය.

අනතුරුව මහා උත්සවයක් පවත්වමින් 2012 වසරේ මාර්තු මස 22 වැනි දින මෙගාවොට් 300ක ගල් අඟුරු මගින් ජනනය කරන විදුලිය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම සිදු විය. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් විවෘත කරන ලද මෙම ගල් අඟුරු බලාගාරයේ පළමු අදියර සඳහා ඩොලර් මිලියන 455 ක දැවැන්ත මුදලක් වැය විය. මෙම ව්‍යාපෘතිය සඳහා චීන රජය විසින් දීර්ඝ කාලීන අඩු පොලී අනුපාතයක් යටතේ ශ්‍රී ලංකා රජය වෙත මුදල් ලබාදී ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය එවකට ප්‍රකාශ කරණ ලද්දේ. එහෙත් එම වකවානුවේ සාපේක්ෂව අඩු පොළී අනුපාත යනුවෙන් අදහස් කරන ලද්දේ උපරිමය සියයට 1.5 සිට සියයට 2 දක්වා වූ අනුපාතයන්ය. එහෙත් සැබෑ ලෙස නොරොච්චෝලේ බලාගාරය වෙනුවෙන් චීන එක්සිම් බැංකුවෙන් ලබාගත් ණය මුදලේ පොළී ප්‍රතිශතය සියයට 04ක් තරම් ඉහළ අගයක් විය. මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලද්දේ චීනයේ China Machinery Engineering Company සමාගම විසිනි.

නිරන්තර බිඳවැටීම් හේතුවෙන් සිදුවන මූල්‍ය අලාභයන්ට අමතරව නොරොච්චෝලේ තාප බලාගාරය හේතුවෙන් මෙරට පාරිසරික තත්වයන්ට මෙන්ම මහජන සෞඛ්‍යයට සහ ජිවනෝපායන්ට සිදුව ඇති හානිය සුළුපටු නොවේ. එය ඉදිකරන ලද කල්පිටිය අර්ධද්වීපය යනු ඉතා බිඳෙන සුළු පරිසර පද්ධතියකි. එහි ජනතාව ප්‍රධාන වශයෙන් යැපෙන්නේ ඉතා සීමිත මිරිදිය සම්පත් සහිත ධීවර කර්මාන්තයෙනි. අවාසනාවකට නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය මෙරට පරිසර නීතිරීති උල්ලංඝනය කරමින් කල්පිටිය අර්ධද්වීපයේ පරිසර දූෂකයකු බවට පත්වෙමින් ප්‍රදේශයේ ජනතාවට විශාල මහජන හිරිහැරයක් වී ඇත. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ අයහපත් බලපෑම් පිළිබඳ සාකච්ඡා මතුව ඇත්තේ ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපාය අහිමිවීම, ජල සම්පත ක්ෂයවීම, මත්ස්‍ය වාසස්ථාන පිරිහීම, ගල් අඟුරු දූවිලි පැතිරීම සහ සමේ ගැටලු, ඇස්වල දැවිල්ල හා සෞඛ්‍ය ගැටලු ඇති කිරීම වැනි ප්‍රජා චෝදනා සමඟිනි. විශේෂයෙන් ගල්අඟුරු නිසි ක්‍රමවේදයකින් තොරව බැහැර කිරීම, විමෝචන තොගය හරහා පියාසර අළු පැතිරීම සහ මුදා හැරීම හේතුවෙන් ගල් අඟුරු අළු මුහුදට දැමීම ආදී පාරිසරික ප්‍රමිතීන් උල්ලංඝනය කිරීම් ගැටළු රාශියක් මෙමගින් උද්ගතව තිබේ.

අනෙක් අතට ව්‍යාපෘති සංවර්ධකයා ලෙස ලංකා විදුලිබල මණ්ඩලය (CEB) පරිසර දූෂණය සහ මිනිස් ප්‍රජාවට සිදුවන අනෙකුත් අහිතකර බලපෑම් පාලනය කිරීම කිරීම සඳහා පූර්වාරක්ෂාව සහ වැළැක්වීමේ පියවරයන් අනුගමනය කිරීමට අපොහොසත් වී ඇත. අද වන විට මෙම ව්‍යාපෘතිය මගින් මානව සහ ස්වභාවික පරිසරය, පාරිසරික සමතුලිතතාවය සහ මිනිසුන්ගේ ජිවන රටාව යන තත්වයන් දෙකටම ආපසු හැරවිය නොහැකි හානි හා විනාශයන් සිදු කර ඇත. බලාගාරයේ ජල භාවිතය නිසා භූගත ජල සම්පත් ලවණත්වයෙන් ඉහලගොස් ඇත. ගල් අඟුරු බලාගාරයේ ඇති Fly-ash සහ Mercury යන අපද්‍රව්‍ය විසින් බරපතල සෞඛ්‍ය ගැටලු ඇති කර තිබේ.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය ප්‍රතිපත්ති සහ මූලික යුතුකම් පිළිබඳ මූලධර්ම පිළිබඳ පරිච්ඡේදයේ ස්වභාවධර්මය සහ පරිසරය ආරක්ෂා කිරීම, ජනතාවගේ අයිතිවාසිකම් සෑම පුද්ගලයෙකු මතම පනවා ඇති මූලික යුතුකම් ලෙස තහවුරු කර ඇත. එහෙත් විදුලිබල මණ්ඩලය සහ මෙම ව්‍යාපෘතියට සම්බන්ධ අනෙකුත් අදාළ පාර්ශවකරුවන් සිය මූලික රාජකාරි ඉටු කිරීමට අපොහොසත් වීම, හේතුවෙන් විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංක 12 (1), 14 (1) (g) සහ (h) වගන්තිවලට අදාළව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමට හේතු වී ඇති බවට අධිකරණය හමුවේ චෝදනා ගොනුකෙරී තිබේ. එසේම ස්වභාවධර්මය ආරක්ෂා කිරීමේ වගකීම අවධාරණය කරන ජාත්‍යන්තර සම්මුතීන් කිහිපයක් ශ්‍රී ලංකාව විසින්ද අනුමත කර ඇත. මානව හිමිකම් පිළිබඳ ස්ටොක්හෝම් ප්‍රකාශය (1972), ලෝක සංස්කෘතිය සහ ස්වභාවික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා වූ පැරිස් සම්මුතිය (1972), සොබාදහම සඳහා වූ ලෝක ප්‍රඥප්තිය (1982) සහ, න්‍යාය පත්‍රය 21, ජෛව විවිධත්වය පිළිබඳ රියෝ සම්මුතිය (1992) මින් ඇතැම් සම්මුතීන් වේ. නොරොච්චෝලේ බලාගාරය ඉදිකිරීමේදී හා පවත්වාගෙන යාමේදී මෙම අන්තර්ජාතික සම්මුතීන්ට අනුකූලව වත්මන් සහ අනාගත පරපුර වෙනුවෙන් ස්වභාවික සම්පත්වල භාරකරු ලෙස ක්‍රියා කිරීමට රජය අපොහොසත් වී ඇති බව මෙරය පරිසර සංවිධාන රැසක් විසින්ම බොහෝ අවස්තාවලදී පෙන්වාදී තිබේ.

අවසාන වශයෙන්, මෙම බලාගාරය, එහි ආරම්භයේ සිට ගෙවුණු වසර ගණනාව ඇතුළත තුළ සැලකිය යුතු පරිමාණයෙන් විශාල ව්‍යසනයක් සිදු කර ඇති බව පැවසීම අසත්‍යයක් නොවේ. බලාගාරය වෙනුවෙන් තත්වයෙන් බාල යන්ත්‍රෝපකරණ යොදාගැනීම සහ එනිසා සිදුවන නිරන්තර බිඳවැටීම් හේතුවෙන් මෙරට ජාතික ආර්ථිකයට සිදුව ඇති හානිය පිළිබඳව වෙනමම සාකච්ඡා කළයුතුව ඇත. කෙසේහෝ වේවා දැන් උද්ගතව ඇති තත්වය වන්නේ, මෙවන් හානියක් සිදුකර ඇති නොරොච්චෝලේ තාප බලාගාරය, දැනටමත් එය පාලනය කරනු ලබන චීන පාර්ශ්වයටම, රටේ ණය වෙනුවෙන් පවරාදීමේ අවදානමක්ද නිර්මාණය වී තිබීමයි. හම්බන්තොට වරාය මෙන් මෙම ව්‍යාපෘතියද යම්හෙයකින් චීනය විසින් පවරාගනු ලැබුවහොත්, මූල්‍ය, සාමාජයීය සහ සෞඛ්‍ය ගැටලුවලට අමතරව නුදුරු අනාගතයේදීම, ඉන් ජනනය කෙරෙන විදුලියද චීනයේ මිල ගණන්වලට මිලදී ගැනීමේ බරපතල අර්බුදයටද රටට මුහුණදීමට සිදුවනු ඇත.

RECENT ARTICLES - SINHALA

රනිල් බැසිල් හමුවෙදි මොකද වුණේ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා (25) පැවත්වුණා. මෙහිදී ජනාධිපති අපේක්ෂකත්වය පිලිබදව හා ගොඩ නැගෙන්නට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා...

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...