28.5 C
Colombo
Monday, May 13, 2024

ස්ත්‍රියට එරෙහි වාචික හිංසනයේ සැඟවුණු මුහුණුවර  (2 කොටස)

- Advertisement -

වෘත්තීය ක්ෂේත්‍රය හැරුණු විට ස්ත්‍රීන්ගේ ඉදිරිගමනට අභියෝග එල්ල වන තවත් ප්‍රධාන ක්ෂේත්‍රයක් වන්නේ දේශපාලන ක්ෂේත්‍රයයි .ශ්‍රී ලංකාවට අදාළව මෙහිදී නිතැතින්ම අවධානයට ලක්වන තේමාවක් ලෙස ලොව ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මහත්මියගේ චරිතාපදානය අධ්‍යයනයට බඳුන් කළ හැකිය .

ශ්‍රි ලංකාවේ සිව් වන අග්‍රාමාත්‍යවරයා වන එස්. ඩබ්ලිව් . ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ බිරිඳ වූ ඇය 1959දී සිය ස්වාමියා ඝාතනය වීමෙන් පසුව දේශපාලනයට එක් විය. ඇය දේශපාලනයට එක්වීමට තිරණය කළ එම අවස්ථාවේදී කාන්තාවක වීමේ හේතුව මත ඇයට නොයෙක් ආකාරයේ අපවාද ප්‍රචාරය කෙරිණි. එක් අවස්ථාවක ” සිරිමාවෝ අගමැතිනිය වුවහොත්, මසකට වතාවක් අගමැති පුටුව සෝදන්නට වේ” යැයි ආර්.පේ‍්‍රමදාස මහතා පාර්ලිමේන්තුවේ දී කළ කතාව අධ්‍යයනය කර බැලිය යුතුය. ස්ත්‍රියකට පමණක් උරුම වූ දරුවෙකු බිහි කිරීම සම්බන්ධයෙන් වන ක්‍රියාවලින් ඈදා ගනිමින් ඇයගේ වෘත්තීය ගමන් මඟ ඇහිරීම පිණිස ඇයව අපහාසයට මෙන්ම උපහාසයට ලක් කර ඇත. ඇය ගැන ලියවුණු ලිපි මගින්ද මේ සම්බන්ධ තොරතුරු හෙළි වේ.. https://am.lk/bandula-s-column/item/21408-sirimavo-bandaranaike

බණ්ඩාරනායක චරිතාපදානය ලියූ James Manor නම් ලේඛකයා තම වාර්තාකරණය තුළ ඇතුළත් කර ඇති එක් සිදුවීමක් මෙසේය. රොස්මීඩ් නිවසේ සාකච්ජාවකදී සිරිමාවෝ සැමියා ප‍්‍රමුඛ පිරිසට තේ ගෙන ආ අවස්ථාවේ දී බණ්ඩාරනායක මහතා විසින් ඇයව නැවත අඩුපාඩු කියා කුස්සියට යැවිය. ඒ අවස්ථාවේ . ”මේ ගොල්ල වෙනුවෙන් හිතන්නත් වෙලා තියෙන්නේ අපිටයි.” යනුවෙන් බණ්ඩාරනායක මහතා පවසයි.
බැලූ බැල්මට එදිනෙදා ජීවිතයේ සරල ප්‍රකාශයක් ලෙස පෙනෙන එම වචන කිහිපය james Manor තම ලේඛනය තුළ ඇතුළත් කිරිම මගින් පිළිබිඹු කරන්නේ බණ්ඩාරනායක මහත්මිය පිළිබඳව එදා ඇගේ සැමියා තුළ තිබූ ආකල්පයයි .
එමෙන්ම ස්ත්‍රිය පිළිබඳ බණ්ඩාරනායක මහතාගේ ඒකාකෘතික ආකල්පයද මෙයින් පිළිබිඹු වේ.
එකල බුද්ධිමතුන් හා ප්‍රභූවරයෙකු ලෙස සැලකුණු බණ්ඩාරනායක මහතාගේ මෙම ආකල්පය මගින්
හෙළිවන්නේ අධිපති සමාජයෙහි ස්ත්‍රිය පිළිබඳ පැවති සමාජ ආකල්පයයි.ආකල්පයට පන්ති භේදයක් නැති බවද
බණ්ඩාරනායක මැතිනිය වැනි ප්‍රභූ චරිතයක් පවා ඊට ගොදුරු වීමෙන් පැහැදිලි වේ .

බණ්ඩාරනායක මහතාගේ මරණයෙන් පසු ශ්‍රී ලංකාවේ අගමැතිනිය වී ඇය අභියෝගයට ලක් කරන්නේ තම සැමියා තුළ තිබූ එම ආකල්පයයි .
තවත් අවස්ථාවක දී රොස්මිඩ් පෙදෙස ටින්ටජල් නිවසේදී අගමැතිගේ ප‍්‍රධානත්වයෙන් පැවති සාකච්ජාවකට බඳුන් වී තිබුණේ ”කුඹුරු පනත’’ය. එවකට ඉඩම් ඇමතිවරයා වු පිලිප් ගුණවර්ධන විසින් ධනපති කුඹුරු හිමියන්ගේ බල පුළුවන්කාර කම් කඩා බිඳ දමමින් දුප්පත් අඳ ගොවීන්ට සාධාරණ අයිතිවාසිකම් ලබා දෙන කුඹුරු පනත ඉදිරිපත් කරන ලදී. සාකච්ජාව අතර මැද එහි සිටි සියලූ දෙනාම බලාපොරොත්තු නොවු පරිදි එතැනට ආ බණ්ඩාරනායක බිරිඳ සිරිමාවෝ, ඇමති පිලිප් සමඟ තරමක උණූසුම් සංවාදයක පැටළුනාය. ඇයගේ යටි සිතෙහි තිබෙන්නට ඇත්තේ තම පරපුරට අයත් මහවලතැන්නේ කුඹුරු යායවල් මේ පණත නිසා වලව්වට අහිමි වීම පිළිබඳව විය හැකිය. මෙහිදී අසිරුතාවයට පත් අගමැතිවරයා ”සිරිමා කුස්සිය… කුස්සිය” කියමින් ඇය සාකච්ජාවෙන් පිටමං කල බව කියැවේ. එයින් පිළිබිඹු වන්නේ ගැහැණිය කුස්සියට සීමා විය යුතුය යන ආචීර්ණ කල්පික සහ ඒකාකෘතික ආකල්ප යයි . සෑම විශේෂ අවස්ථාවකදීම කුස්සිය යයි කියමින් පිටමන් කරනු ලැබූ සිරිමාවෝ මැතිනිය පසු කළෙක ලොව ප්‍රථම අගමැතිනිය ලෙස කිරුළු පැළදිය. ස්ත්‍රිය මුළුතැන්ගෙයට පමණක් සිරවී සිටිය යුතු යයි කියූ ආචීණකල්පික හා පුරුෂ මූලික ආකල්පයට ඇය අභියෝග කළාය. පසුව එතුමිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිනිය වූවාය. එපමණක් නොව ඇයගේ නායකත්වය යටතේ, එම පක්ෂය 1960 ජූලි පාර්ලිමේන්තුවරණය ජයග්‍රහණය කළ අතර ලොව ප්‍රථම අගමැතිනිය ලෙස ඉතිහාසගත වීමටත් සමත් වූවාය.

එයින් දශක තුනකටත් පසු දෛවෝපගත ලෙස ඇගේ දියණිය ද මෙරට දේශපාලන පොර පිටිය තුළ ඒ ඉරණමට ම මුහුණ දුන්නාය .එහිදී ඇගේ දියණිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මුහුණදුන් අභියෝග බොහෝ හෙයින් ඇගේ මව මුහුණ දුන් අභියෝග වලට සමාන්තර වූ අතර සමහර විට ඊටත් වඩා දරුණුව තිබිණි .
මෙරට සිව් වන විධායක ජනාධිපති ධුරය හෙබවූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිනිය ලෙස ද ඉතිහාසයට එක් වේ. ඇයගේ දේශපාලන භාවිතය වෙන ම සාකච්ඡා කළ යුතු මාතෘකාවකි. අප සාකච්ඡාවට ලක් කරන්නේ ස්ත්‍රියක වශයෙන් ඇයගේ නායකත්වය හා බැඳුණු විෂය ක්ෂේත්‍රය යි. වර්ෂ 1994 දී බලයට පත් වූ ඇය එකල දේශපාලන වේදිකාව මත ඇය මුහුණ දුන් විවේචන විවිධාකාර විය . ඒ අතර වඩා සංවේදී දුස් තොරතුරු නිර්මාණය වූවේ
ඇගේ ස්ත්‍රීත්වය පදනම් කොටගෙනය .

වෛරය ප්‍රකාශනයේ එක් මුහුණුවරක් වන්නේ අවමානයට ලක් කිරීමයි .අවමානයට ලක් කිරීම මගින් හානියට පත් කිරීම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය වේ .ස්ත්‍රීන් ඉලක්කකොට ඔවුන් අවමානයට පත් කිරීම සඳහා බොහෝ විට යොදාගන්නේ “සදාචාරාත්මක” හේතු ය.ඒ සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක චරිතය අවමානයට පත් කිරීම ඉලක්ක කර ගනිමින් නිර්මාණය කරන ලද බොහෝ අපහාසාත්මක ප්‍රකාශ ඇගේ පෞද්ගලික මානුෂික සම්බන්ධතා මත පදනම් ව තිබුණි.එකල ඇයට එරෙහි දේශපාලන සතුරන් ගේ ප්‍රධානතම අවියක් වූයේ ඇය ගේ සමීපතමයන් සමග ඈ ගෙන ගිය සබඳතා පදනම් කොටගෙන ප්‍රචාරය කළ කටකතා ය . මෙවැනි ඒකාකෘතික යෙදුම් වලින් බොහෝ සේ බැට කෑ ස්ත්‍රියක් ලෙස ඇයව හැඳින්විය හැක. මේවා කටකතා වලින් හා නිළ නොවන ප්‍රකාශ වලින් සමාජගත විය.

මෙවැනි සංකේතාත්මක යෙදුම් භාවිතා කිරීම මගින් උත්සාහ කරන්නේ සදාචාර විරෝධී චරිතයක් ලෙස හුවා දැක්වීමට ය.ස්ත්‍රී විරෝධී ප්‍රචාරයන් හී ප්‍රධාන තේමාවක් වන්නේ එවැනි සදාචාරය පදනම් කරගත් චෝදනාය. .පිරිමියාගෙන් අපේක්ෂා නොකරන සදාචාරයක් මෙහිදී මෙහිදී ස්ත්‍රියගෙන් අපේක්ෂා කරයි .එය ස්ත්‍රිය පාලනය කිරීම සඳහා පහසුවෙන් යොදාගත හැකි කලාපයක් වන බැවිනි .
එක් අවස්ථාවක ස්ත්‍රියක ලෙස ඇයගේ පුද්ගලික තොරතුරු අපහාසාත්මකව ඇතුළත් කරමින් ඇය පිළිබඳ විවිධ මුද්‍රිත ප්‍රකාශන ද නිකුත් කෙරිණි. අප්‍රසිද්ධියේ මුද්‍රණය කොට බෙදා හරින ලද එම ප්‍රකාශන බෙහෙවින් අපහාසාත්මක විය .කළ සමාජ මාධ්‍ය භාවිතයේ භාවිතයෙහි නොතිබූ බැවින් අද සමාජ මාධ්‍ය මගින් සිදු කරන යම් අපහාසාත්මක අවශ්‍යතා එකල ඉටු කෙරුණේ මෙබඳු මුද්‍රිත ප්‍රකාශ මගිනි.
මෙරට දේශපාලනයේ ඉහළින්ම කැපී පෙනෙන මේ මවට සහ දියණියට එල්ල වූ ස්ත්‍රීත්වය පදනම්කරගත් අපහාසාත්මක ප්‍රහාර අදටත් දේශපාලනයේ නියැලී සිටින ස්ත්‍රීන්ට අඩු වැඩි වශයෙන් එල්ල වන අයුරු නිරීක්ෂණය කළ හැකි ය .
මෑත කාලයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන කාන්තා චරිත වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර , ඩයනා ගමගේ ගීතා කුමාරසිංහ යන මන්ත්‍රීවරියන්ට සහ පවිත්‍රා වන්නිආරච්චි ඇමතිනිය වැනි අයටද අඩු වැඩි වශයෙන් මෙවැනි චෝදනා ස්ත්‍රීත්වය පදනම් කර ගනිමින් බොහෝ විට එල්ල වෙයි .

පොදුවේ ඕනෑම ස්ත්‍රියකට දේශපාලනය වේදිකාවේ මෙන්ම සාමාජ මාධ්‍යයන් වල ද ඒකාකෘතික යෙදුම් භාවිතා කරමින් ඇයගේ ගෞරවයට හානි වන ලෙස ආමන්ත්‍රණය කිරීම සිදු කරයි. “උම්මා දේවී, ,” ” වට්ටි අම්මා ” වැනි චෝදනා වල සිට ” ගණිකා” නාමය එල්ල කිරීම දක්වා වන ස්ත්‍රීත්වයට හානි වන අයුරින් නම් පට බැඳිම් සිදු වෙමින් තිබේ. මෙවැනි වචන භාවිතා කර අපහාස කරන විට මෙය ඇගේ පුද්ගලික චරිතයට පමණක් සීමා නොවේ .එය ඇගේ පවුල් ජීවිතයටද, දුවා දරුවන්ටද බලපෑම් ඇති කරයි . ආසියාතික සමාජයක මෙය බොහෝ සංවේදීව බලපානු ලබන තේමාවකි.

– හංසි නානායක්කාර –

RECENT ARTICLES - SINHALA

නීතියට පිටින් මහ පාරේ රේස් පැද්ද 15ක් මාට්ටු

නීතිවිරෝධී ලෙස මාර්ගයේ යතුරුපැදි ධාවන තරගවල නිරත වූ පිරිසකට අධිකරණය විසින් රුපියල් 427,500ක දඩ නියම කර ඇති බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති...

කුලියාපිටිය ඝාතනයේ සැකකරුවන් 9 දෙනාට අධිකරණය දුන් නියෝගය

කුලියාපිටිය ප්‍රදේශයේ තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් ඔහුගේ පෙම්වතිය ඇතුළු සැකකරුවන් 9 දෙනා එළැඹෙන 27 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා. එම සැකකරුවන්...

මාතර වෙරළේ දැවැන්ත තල්මස් සිරුරක්

මාතර ගොඩඋඩ වෙරළතීරයට මියගිය දැවැන්ත තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා තිබෙනවා. මෙලෙස ගොඩගසා ඇති තල්මස් සිරුර දිග මීටර් 5ක් පමණ වන බවයි වාර්තා වෙන්නේ. මිරිස්ස වනජීවී කාර්යාලය පවසන්නේ...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...