25 C
Colombo
Friday, March 29, 2024

සීතල කාශ්මීරයේ උණුසුම් කතාව

- Advertisement -

කාශ්මීරය සිහිලැල් දේශගුණයෙන් යුත් සුන්දර බිම්කඩකි. එහෙත් මෑත අතීතයේ එය ලෝකයේ අවධානය දිනාගත්තේ සිහිලැල් සුන්දරත්වය නිසා නොව නොනවතින ගැටුම් හේතුවෙනි. වසර ගණනාවක් පුරා ගැටුම් සහ අරගල හේතුවෙන් උණුසුම් සහ නොසන්සුන් කලාපයක් බවට පත්ව තිබූ කාශ්මීරය, මීට වසර දෙකකට පෙර හදිසියේම යළිත් ලෝකයේ අවධානය දිනා ගත්තේය. ඒ 2019 අගෝස්තු 05 වනදා අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ගත් හදිසි තීරණයක් හේතුවෙනි. එහිදී ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තයට විශේෂ වරප්‍රසාද ලබාදෙමින් ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වූ 370 සහ 35 ඒ වගන්ති අහෝසි කර දැමීමට පියවර ගැණින. ලෝකයේම අවධානය දිනාගත් එම තීරණයෙන් වසර දෙකකට පසු එම තීරණය ජම්මු සහ කාශ්මීරයට බලපා ඇති අන්දම සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි.

ජම්මු සහ කාශ්මීරයේ ඉතිහාසය

ඉන්දියාව 1947 අගෝස්තු 15 වනදා නිදහස ලබා ගැනීමට පෙර ජම්මු සහ කාශ්මීරය යනු බ්‍රිතාන්‍යයන්ට අවනතව එහෙත් ස්වාධීනව සමස්ත බ්‍රිතාන්‍ය ඉන්දියාව තුළ ක්‍රියාත්මකව පැවති කුමාර රාජධානී 565න් එකකි. නිදහසට සමගාමීව සිදුවූ බ්‍රිතාන්‍ය ඉන්දියාව බෙදා වෙන් කිරීමේ ක්‍රියාවලියේදී පකිස්තානය ලෙස වෙනම රටක් ඇති කරනු ලැබූ අතර එය නැගෙනහිර පකිස්තානය (වත්මන් පකිස්තානය) සහ බටහිර පකිස්තානය (වත්මන් බංගලිදේශය) ලෙස කොටස් දෙකකින් යුතු විය. කුමාර රාජධානිවලින් වැඩි කොටසක් ඉන්දියාව තුළ පැවති අතර මෙම කුමාර රාජධානිවලට ස්වාධීනව සිටීමට හෝ ඉන්දියාවේ ආධිපත්‍යයට එවීමට අවස්ථාව ලබා දී තිබිණ. ඉන්දියානු දේශසීමාවේ පැවති ඇතැම් කුමාර රාජධානි මෙහිදී දෙගිඩියාවෙන් පසුවූ අතර කාශ්මීරයේ පාලකයා වූ මහාරාජා හරී සිං ඉන්දියානු ආධිපත්‍යයට පිවිසීම හෝ  ස්වාධීනව හෝ මධ්‍යස්ථව සිටීමට තෝරා ගැනීම සම්බන්ධයෙන් දෙගිඩියාවට පත්ව සිටියේය.

පකිස්තානු ආක්‍රමණය

පකිස්ථානයේ පතාන් ගෝත්‍රික හමුදාව කාශ්මීරය ආක්‍රමණය කිරීමට කටයුතු කළේ මෙම වටාපිටාව තුළය.  මෙහිදී අසරණ වූ මහාරාජා වූ හරි සිං ඉන්දියාවෙන් හමුදා සහය ඉල්ලා සිටියේය. හමුදා සහය ලබාදීමට සමගාමීව කාශ්මීරයේ ආරක්ෂාව ඉන්දියාවට භාරවූ අතර කාශ්මීරයේ පාලනයේ අනාගතය තීරණය කිරීම සඳහා පසුව ජනමත විචාරණයක් පැවැත්වීමට එකගතාවයක් ඇතිවිය.

මෙම තීරණය පකිස්තානයේ කෝපයට හේතුවූ අතර ඔවුන් කාශ්මීරයේ බලය අල්ලා ගැනීම සදහා හමුදා මෙහෙයවනු ලැබිණ. එය ඉන්දු පකිස්තාන් යුද්ධයක් දක්වා වර්ධනය වූ අතර අවසානයේ ගැටුම් නතර වූයේ 1949 ජනවාරි 1 දා එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමෙන් සටන් විරාම ගිවිසුමකට එළඹීමෙනි. අවසානයේ සිදවූයේ මහාරාජා හරිසිංගේ කාශ්මීර රාජධානියේ උතුරු හා බටහිර කොටස පාකිස්තානය විසින් පාලනය කෙරෙන අසාද් කාශ්මීරය ලෙසටත් අනෙක් කලාපය ඉන්දියාව විසින් පාලනය කෙරෙන ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තය ලෙසත් බෙදී වෙන්වීමය.මෙම බෙදීම තාවකාලික එකක් බවත් පසුව පැවැත්වෙන ජනමත විචාරණයක දී ඒ පිළිබදව කාශ්මීරයේ ජනතාවට තීරණයක් ගැනීමට ඉඩ ලබාදෙන බවත් සදහන් කෙරුණ ද එය සැබෑවක් නම් වූයේ නැත.

 ජම්මු කාශ්මීරය සහ ඉන්දියාව

ඉන්දියාව ජම්මු සහ කාශ්මීරය තමන්ගේ පාලනයට යටත් වූ පසු එහි පාලනය සදහා වෙනමම ක්‍රමවේදයක් හදුන්වා දෙනු ලැබිණ. එය ඉන්දියාවේ කොටසක් ලෙස සැලකුවද එය ඉන්දියාවේ සෙසු ප්‍රාන්තවලට වඩා වැඩි වරප්‍රසාද හිමිකර ගත් සුවිශේෂී පාලන කලාපයක් විය. ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වන වගන්තිය යටතේ ඉන්දියානු පාර්ලිමේන්තුව, විදේශ, ආරක්ෂාව සහ සංනිවේදන යන ක්ෂේත්‍ර හැර අනෙක් ඕනෑම අවස්ථාවක ජම්මු සහ කාශ්මීරය සදහා අදාළ වන ලෙස නීති සම්පාදනය කරන්නේ නම් ඒ සදහා ප්‍රාන්ත රජය සමඟ සාකච්ඡා කළ යුතු විය. ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තයට සෙසු ප්‍රාන්තවලට නොතිබූ වරප්‍රසාදයක් වූ තමන්ගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැනවීමට ද අවස්ථාව හිමිකර දෙනු ලැබිණ. මේ සියල්ලට අමතරව, 35 ඒ වගන්තිය යටතේ ජම්මු සහ කාශ්මීරයේ පුරවැසියන්ට ඉන්දියාවේ පුරවැසියන්ට ලබාදෙන සියලු හිමිකම් ලබාදුන් අතර ප්‍රාන්තයේ ස්ථිර පදිංචිකරුවන්ට තවත් සුවිශේෂී අයිතිවාසිකම් සහ වරප්‍රසාද පිරිනමනු ලැබිණ.

නොනැවතුණු අර්බුදය

ඉන්දියාව මේ අන්දමට ජම්මු සහ කාශ්මීරයට විශේෂ තත්වයක් ලබාදුන්න ද කාශ්මීර නිම්නයේ බහුතර මුස්ලිම් ප්‍රජාව කාශ්මීරය වෙනම රාජ්‍යයක් විය යුතු බය සදහන් කළහ.ඇතැම්හු කාශ්මීර නිම්නය පකිස්තානයට සම්බන්ධ කළ යුතු බවටද අදහස් පළ කළහ. මේ සටනට පකිස්තානය නොමසුරැ සහය පළකළ අතර කාශ්මීරයේ බෙදුම්වාදී අරගලය නිර්මාණය වූයේත්, එය ඉදිරියට ගලා ගියේත් මෙම පසුබිම තුළය.

කාශ්මීර නිම්නය බහුතරයක් මුස්ලිම්වරුන්ගෙන් සමන්විත වුවද සමස්ත ජම්මු කාශ්මීරය ගත්විට එය විවිධ ජනකොටස්වල සංකලනයකි.  කාශ්මීර පණ්ඩිත් ලෙස හදුන්වන විශේෂ හින්දු ප්‍රජාව, කාශ්මීරයේ සික් ජාතිකයින් සහ කාශ්මීර නිම්නයේ සංචාරක ගුජ්ජාර් සහ බකර්වාල්වරුන්, ලඩාක්හි බෞද්ධයන් . කාගිල්හි ෂියාවරැන්,  පන්ජාබි සරණාගතයින්, නේපාලයෙන් සංක්‍රමණය වූ හින්දූන්, දලිත් සහ උපලේඛනගත කුල වාල්මිකී හින්දු භක්තිකයෝද ආදි වශයෙන් වන විවිධ ජන කණ්ඩායම් සමස්ත ජම්මු කාශ්මීරයේ ජනසංඛාවෙන් සියයට හතලිහ ඉක්මවීය. මේ පසුබිම තුළ ජම්මු කාශ්මීරයේ ජන සංයුතිය විවිධත්වයෙන් යුතු වූ අතර මෙකී සෙසු ජනකොටස්වලින් අතිබහුතරය මෙන්ම ඇතැම් කාශ්මීර මුස්ලිම්වරැන් ද ඉන්දියාවෙන් වෙන්වීමක් අපේක්ෂා නොකළහ.

අනෙක් අතට ඉන්දියාවේ සෙසු ප්‍රාන්තවල ජනකොටස් අතර ද ජම්මු සහ කාශ්මීරය සම්බන්ධයෙන් වෙනත් නොසන්සුන්තාවයක් පැවතිණ. කාශ්මීර වැසියන්  සෙසු ඉන්දීය වැසියන්ට හිමි ආර්ථික, සමාජ සහ අධ්‍යාපනික වරප්‍රසාද නොඅඩුව ලබාගත්ත ද ඉන්දියාවේ සෙසු ප්‍රාන්තවල වැසියන්ට කාශ්මීරය තුළ දේපළ අත්පත් කර ගැනීමට අවස්ථාවක් නොවීම ආදි පුරවැසි අයිතීන් අහිමිවීම් පැවතිණ.

භාරතීය ජනතා පක්ෂයේ සැලැස්ම

මේ සම්බන්ධයෙන් පොදුවේ සෙසු ප්‍රාන්තවල වැසියන්ට විරෝධයක් පැවතියත් කාශ්මීරයට ලබාදී ඇති විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට කටයුතු කරන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ භාරතීය ජනතා පක්ෂය පමණි. ඔවුන් එම ප්‍රකාශය ක්‍රියාවට නංවමින්, 2019 අගෝස්තු 05 වනදා 370 සහ 35ඒ වගන්තිය අහෝසි කරනු ලැබූ අතර එය මහත් කලබලයක් නිර්මාණය කරනු ඇතැයි විශ්වාස කෙරිණ. ඒ අනුව කාශ්මීරයේ පමණක් නොව දිල්ලිය ඇතුලු ප්‍රදේශවලද විරෝධතා පැන නැගුණු අතර කාශ්මීරයේ විරෝධතා ප්‍රචණ්ඩ මුහුණුවරක් ගත් අවස්ථාද විය. කෙසේවෙතත් මෙම විරෝධතා එතරම් කල් තදින් අල්ලා නොගිය අතර තීරණයෙන් වසර දෙකකට පසු අද කාශ්මීරයේ චිත්‍රය අපේක්ෂා කළාටත් වඩා සමාකාමී වී ඇති බව බහුතර විචාරකයන්ගේ අදහසයි.

කාශ්මීරයේ අනාගතය

මේ තත්වය කාශ්මීරය ප්‍රචණ්ඩත්වයෙන් සම්පූර්ණයෙන්ම තොර වූ සර්වසාමකාමී කලාපයක් වනු ඇති බවට වරදවා වටහාගත යුතු නොවේ. තවමත් කාශ්මීර නිම්නයේ වරින්වර ප්‍රචණ්ඩකාරී සිදුවීම් වාර්තා වේ. කාශ්මීරයට නිදහස ඉල්ලා කෙරෙන විරෝධතා පැවැත්වේ. එහෙත් ඒ සියල්ලේ සැළකිය යුතු අඩුවීමක් ඇති බව නම් නිරීක්ෂණය කළ හැකිවේ.

මෙම පසුබිම තුළ ඉන්දීය මධ්‍යම රජය ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තයේ බලධාරීන් සමග එක්ව ප්‍රාන්තයේ සංවර්ධනය අරමුණු කරගත් ප්‍රවේශයකින් කටයුතු කිරීම වේගවත් වී  තිබේ. ඒ අනුව ජම්මු සහ කාශ්මීරයේ ආර්ථීකය නැංවීම සදහා දිගුකාලීන සහ කෙටිකාලීන වැඩපිළිවෙළ රැසක් දියත් කර තිබේ. ණය පහසුකම් ලබාදීම, කර්මාන්ත දියුණුව, වෙළෙද පළ අවස්ථා පුලුල් කිරීම ආදිය ඒ අතර වේ. මේ හැරෙන්නට අධ්‍යාපනය නැංවීම සදහා නව පාසල් ඉදිකිරීම, නව විශ්ව විද්‍යාල සහ තාක්ෂණික විද්‍යාල ඉදිකිරීම, ශිෂ්‍යත්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආදිය ආරම්භ කර තිබේ. රැකියා සහ ව්‍යපාර අවස්ථා පුලුල් කිරීම සදහා ද විශේෂ වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කර තිබේ. කොරෝනා වසංගතය හමුවේ ද ප්‍රාන්තය තුළ විශේෂ රෝහල් ඉදිකිරීමට, එන්නත්කරණය මැනැවින් පවත්වාගෙන යාමට කටයුතු කරන ලදී. මේ සියල්ල සදහා ජම්මු කාශ්මීරය වෙනුවෙන් අතදිගහැර ප්‍රතිපාදන වෙන්කිරිමටද ඉන්දීය මධ්‍යම ආණ්ඩුව කටයුතු කරන අන්දම නිරීක්ෂණය කළ හැකිය.

ඉන්දීය මධ්‍යම රජයේ මේ වැඩපිළිවෙළ විමසිල්ලෙන් කියවා බලන විට එහි අරමුණ හදුනාගැනීම අසීරැ නැත. දශක ගණනාවක් පුරා කාශ්මීර ජනතාවගේ ජීවන අවශ්‍යතා දේශපාලන අරමුණුවලින් වැසී පැවැතුණු අතර මේ හේතුවෙන් බොහෝ තරැණයෝ ප්‍රචණඩත්වය කරා යොමුවූහ. ජම්මු කාශ්මීරයේ ප්‍රාන්ත දේශපාලනය දූෂිත එකක් වූ අතර මේ හේතුවෙන් සීමිත පිරිසක් සියලු වරප්‍රසාද ලබද්දී සාමාන්‍ය ජනතාව ආර්ථික සහ සමාජීය වශයෙන් බරපතල පීඩාවකට ලක්වූහ. ඉන්දීය මධ්‍යම රජය මේ තත්ත්වයට ආමන්ත්‍රණය කරමින් එය වෙනස් කිරීම සදහා කටයුතු කරමින් සිටින අතර එය ක්‍රමයෙන් ජම්මු කාශ්මීරයේ මහජන විශ්වාසය දිනා ගනිමින් ඇති සෙයක් පෙනේ. මේ අතර පකිස්තානයේ පාලනය යටතේ වන අසාද් කාශ්මීරයේ ජනතාවද දැඩි ආර්ථික සහ සමාජ දුෂ්කරතාවලට බදුන් වී සිටින අතර මේ පසුබිම තුළ තමන්ගේ අනාගතයට වඩාත් යහපත් වන්නේ ඉන්දියාව සමග එක්ව ගමන් කිරීම බවට වන අදහසටද වැඩි වලංගුභාවයක් ලැබෙමින් තිබේ.

මේ සමස්තය අනුව පැහැදිළිවන්නේ මීට වසර දෙකකට පෙර ඉන්දීය මධ්‍යම රජය , 370 සහ 35 ඒ වගන්ති අහෝසි කරමින් ජම්මු කාශ්මීරය ඉන්දියාවේ අනෙක් ප්‍රාන්ත හා සම මට්ටමක තබන්නට ගත් තීරණය එහි අනාගතය සම්බන්ධයෙන් එක්තරා ආකාරයක හැරවුම් ලක්ෂයක් වී ඇති බවයි. එහි අනාගතය පිළිබද පැහැදිළි අනාවැකි පළකරන්නට තවමත් කල් වැඩිවුවද මෙම තීරණයත් සමග ජම්මු සහ කාශ්මීරය ගැටුම්වල උණුසුමෙන් බිදෙන් බිද දුරස්වෙමින් සැබෑ වෙනසක් අත්දකිමින් සිටින බව නම් පැහැදිළිය.

– අනුෂ්ක කුමාරසිංහ –

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...