31 C
Colombo
Wednesday, March 29, 2023

මුල්පුටුවට ගිය අයෝමය කත

- Advertisement -

ඉන්දියානු ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් එරට නව ජනාධිපතිවරයා ලෙස ගෝත්‍රික දේශපාලනඥයෙකු වන ද්‍රෞපදි මුර්මු තේරී පත්වුණා.

පාලක භාරතීය ජනතා පක්ෂයේ (BJP) අපේක්ෂකයා වූ 64 හැවිරිදි මුර්මු ඔඩීෂා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.

මුර්මු මහත්මිය ඉහළ තනතුරක් දරන ඉන්දියාවේ  පළමු ගෝත්‍රික නායිකාවයි.
ඉන්දියාවේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා එරට රාජ්‍ය නායකයා වන නමුත් විධායක බලතල ඔහුට හෝ ඇයට හිමිවන්නේ  නැහැ.
මුර්මු මහත්මිය විපක්ෂයේ අපේක්ෂකයා වන ප්‍රවීණ දේශපාලනඥයෙකු වන යෂ්වන්ත් සිංහාට එරෙහිව තරග වැදුනු අතර ඉන් පසුගිය දා පහසු ජයග්‍රහණයක් වාර්තා කරමින් ජනාධිපති ධුරයට තේරීපත් වුණා.

1990 දශකයේ සහ 2000 දශකයේ මුල් භාගයේ එවකට අගමැති අතල් බිහාරි වජ්පායි විසින් නායකත්වය දුන් භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වූ සිංහා මහතා අගමැති නරේන්ද්‍ර මෝදිගේ දැඩි විවේචකයෙක් ලෙස ප්‍රකටයි.
මුර්මු මහත්මිය එළැඹෙන දිනක්දී ජනාධිපති රාම් නාත් කෝවින්ද් වෙනුවට පත් කරනු ඇති අතර ඔහුගේ ධුර කාලය ජූලි 24 දිනෙන් අවසන් වනවා.

ද්‍රෞපදි මුර්මුගේ ජයග්‍රහණය වෙනුවෙන් අගමැති නරේන්ද්‍ර මෝදි twitter සටහනක් තබමින් 
“ද්‍රෞපදී මුර්මු ජී සිය ජීවිතය කැප කර ඇත්තේ සමාජයට සේවය කිරීමට සහ දුප්පතුන්, පීඩිතයන් මෙන්ම දුප්පතුන්  සවිබල ගැන්වීම සඳහායි. ඇයට පොහොසත් පරිපාලන පළපුරුද්දක් ඇති අතර කැපී පෙනෙන ආණ්ඩුකාර ධුර කාලයක් තිබුණි.  ඇය අපේ ජාතියේ ශ්‍රේෂ්ඨ ජනාධිපතිවරියක් වනු ඇතැයි මට විශ්වාසයි”යනුවෙන් පවසා තිබෙනවා.

භාරතීය ජනතා පක්ෂය සහ එහි පාර්ශ්වකරුවන් මුර්මු මහත්මිය ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරා ගනු ලැබුවේ ඒ සදහා යෝජනා වූ නම් 20 ක් පිළිබඳ සවිස්තරාත්මක සාකච්ඡාවකින් පසුවයි.
ඇයගේ නාමයෝජනා පිළිබඳව රූපවාහිනියෙන් දැනගත් බවත්, එම පුවත තමාව “පුදුමයට” සහ “ප්‍රීතියට” පත් කළ බවත් ඇය වාර්තාකරුවන් වෙත පවසා තිබෙනවා.

ඇය නාමයෝජනා ලැබීම ගැන දැනගත් පසු වාර්තාකරුවන්ට වැඩිදුරටත් සදහන් කර ඇත්තේ ” මයූර්බන්ජ් දිස්ත්‍රික්කයේ ගෝත්‍රික කාන්තාවක් ලෙස, මම ඉහළම තනතුරට අපේක්ෂකයා වීම ගැන සිතුවේ නැහැ ,” යනුවෙන්.
ඔඩීෂා ප්‍රාන්තයේ දේශපාලන නායකයින් ඇයගේ නාමයෝජනා පිළිගෙන තිබුණේ “මහපොළොවේ දියණිය” ලෙස ඇයව හදුන්වමින්.
1980 ගණන්වල සිට ඇයව හඳුනන ප්‍රාන්තයේ පක්ෂ සගයෙකු වන කබි විෂ්ණු සත්පති ඇයව විස්තර කරන්නේ “කෙලින් හා සරල” පුද්ගලයෙකු ලෙසයි.

“ඇය, අහංකාර කමක් නැති, වාචාලකමක් නැති, හදවතින් යහපත් ය. ප්‍රකට නොවන, මිනිසුන් සමඟ නිදහසේ මිශ‍්‍ර වන, නිහතමානී, යටහත් පහත් ක‍්‍රියා ඇති ඇය දේශපාලඥයකු ලෙස මිනිසුන් රැගෙන යා යුතු ආකාරය ඇය දැන සිටියාය.  ” ඔහු සදහන් කරයි.

මුර්මු මහත්මිය 2017 දී ප්‍රසිද්ධියට පත් වූයේ එම වසරේ ජනාධිපතිවරණය සඳහා භාරතීය ජනතා පක්ෂය ඇගේ නම සලකා බලන බවට කටකතා පැතිරීමත් සමඟ වන අතර  ඇය එවකට ජාර්කන්ඩ් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කළාය.
1958 දී මයුර්බන්ජ් දිස්ත්‍රික්කයේ බයිදාපෝසි ගම්මානයේ උපත ලද මුර්මු මහත්මිය ඉන්දියාවේ විශාලතම ගෝත්‍රික කණ්ඩායම්වලින් එකක් වන සන්තාල් ප්‍රජාවට අයත් කාන්තාවක්.

ගම් සභා ප්‍රධානියකුගේ දියණියක් වන ඇය ප්‍රාන්ත අගනුවර වන බුබනේස්වර් හි රාමදේවි කාන්තා විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා.
1980 සිට ඇයව හඳුනන මාධ්‍යවේදියෙකු සහ ක්‍රියාකාරිකයෙකු වන නිගමනන්ද පට්නායික් පවසන්නේ මුර්මු මහත්මිය තම අධ්‍යාපනය ආරම්භ කළේ ඇගේ ගමේ පාසලෙන් බවයි.

ඔඩිෂාහි රජයේ ලිපිකරුවෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ මුර්මු මහත්මිය 1979-1983 දක්වා වාරිමාර්ග හා බලශක්ති දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ සහකාරවරියක් ලෙස සේවය කළා.

නැන්දම්මාගේ බලකිරීම මත ඇය භුබනේස්වර් හි රැකියාවෙන් ඉවත් වී තම පවුල රැකබලා ගැනීම සඳහා රයිරන්ග්පූර් වෙත ආපසු පැමිණි අතර එහිදී ඇය ශ්‍රී අරොබින්දෝ ඒකාබද්ධ පාසලේ ගුරුවරියක් ලෙස රැකියාවක් ආරම්භ කළා.
“නමුත් ඇය වැටුපක් ගැනීම ප්‍රතික්ෂේප කළා. පාසල ඇයට ගෙව්වේ රික්ෂෝ ගාස්තුව පමණයි. මෙය රැකියාවක් නොව රාජ්‍ය සේවයක් බව ඇය පැවසුවා. බැංකු නිලධාරියෙකු වන තම සැමියාගේ වැටුප පවුලේ අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් බව ඇය පැවසුවා.  ,” යැයි පට්නායික් මහත්මිය පවසයි.

ඇයගේ දේශපාලන ජීවිතය ආරම්භ වූයේ 1997 දී ඇය රයිරන්ග්පූර් හි ප්‍රාදේශීය මැතිවරණයෙන් මන්ත්‍රීවරියක් ලෙස තේරී පත්වීමත් සමඟයි. 

ඇය බොහෝ විට නගරයේ සනීපාරක්ෂක කටයුතු පෞද්ගලිකව අධීක්‍ෂණය කරන අතර, කාණු පිරිසිදු කර කසළ ඉවත් කරන විට අව්වේ සිටගෙන සිටිනු දක්නට ලැබුණු  බවට ඇගේ සමීපතමයින් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකාවක් ලෙස, ඇය දෙවරක් ප්‍රාන්ත සභාවට – 2000 දී සහ 2009 දී – රයිරන්ග්පූර් ආසනයෙන් තේරී පත් වන්නේ මෙවන් පසුබිමක් යටතේයි.

2000 සිට 2004 දක්වා ඇය බිජු ජනතා දාල් පක්ෂයේ නවීන් පට්නායික්ගේ නායකත්වයෙන් යුත් ප්‍රාන්ත සභාග ආණ්ඩුවේ ඇමතිවරියක් ලෙස කටයුතු කළ අතර මුලදී වාණිජ හා ප්‍රවාහන කටයුතු භාරව සිටි ඇය පසුව ධීවර හා සත්ව සම්පත් අමාත්‍යංශ භාරව කටයුතු කළා.

2006 සිට 2009 දක්වා, මුර්මු මහත්මිය භාරතීය ජනතා පක්ෂයේ “උපලේඛනගත ගෝත්‍ර” සඳහා වන රාජ්‍ය අංශයේ සභාපතිනිය වූ අතර ඉන්දියාවේ ව්‍යවස්ථාවෙන් සමාජීය හා ආර්ථික වශයෙන් අවාසි සහගත ලෙස පිළිගත් ගෝත්‍රික ප්‍රජාවන්ගේ සුභසාධනය වෙනුවෙන් එහිදී ඇය සටන් වැදුණා.
2009 දී ඇගේ වැඩිමහල් පුත්‍රයා අහිමි වීමත් සමඟ ඇගේ ජීවිතය ඛේදනීය මුහුණුවරක් ගත් අතර  වසර කිහිපයකට පසු ඇයට ඇගේ දෙවන පුතා සහ ඇගේ සැමියා ද අහිමි වීම ඇයට මහත් දුක්ඛිත තත්ත්වයකට ඇද දැම්මා.
“ඇගේ හද කම්පා වුණා,” සත්පති මහතා පැවසීය.  “අපි මුණගැසෙන ඕනෑම අවස්ථාවක ඇය නොසන්සුන් ලෙස හඬා වැලපුනා. ‘මගේ ජීවිතයේ තවත් කිසිවක් ඉතිරි වී නැහැ ‘ යනුවෙන් ඇය නිතරම පැවසුවා,” ඔහු වැඩිදුරටත් සදහන් කළේ එලෙසයි.
කෙසේ නමුත් කාළයාගේ ඇවෑමෙන් 2015 දී ඇය අසල්වැසි ප්‍රාන්තය වන ජාර්කන්ඩ් හි පළමු කාන්තා ආණ්ඩුකාරවරිය ලෙස පත් කරන ලද අතර ඇය 2021 ජූලි දක්වා වසර හයක් එම තනතුර දැරුවා.

මුර්මු මහත්මිය සියළුම තරාතිරම්වල පුද්ගලයින් සඳහා ආණ්ඩුකාර කාර්යාලය විවෘතව තබා ගැනීම සඳහා ගත් ක්‍රියාමාර්ග ඇයගේ පාලන සමයේදී ඇගයීමට ලක්වූ සුවිශේෂී කරුණක්.

මුර්මු මහත්මියගේ පෞරුෂයේ වඩාත්ම කැපී පෙනෙන කොටස වන්නේ “ප්‍රීතිමත් සහ දුක්බර අවස්ථා දෙකේදීම ඇයගේ සමානාත්මතාවය සහ ඛේදවාචකය හමුවේ ඇයගේ ස්ථීරභාවය” බව ඉන්දියානු මාධ්‍ය වාර්තා වල දක්වෙනවා.
ඇයගේ පවුලේ විවිධ ඛේදවාචකයන්ගෙන් පසුව පවා ඇය යළි නැගී සිටිමින් ජනතාව වෙනුවෙන් දිගටම වැඩ කළ ආකාරය ඇයගේ කැපී පෙනෙන චරිතයේ ශක්තිය ගැන කථා කරන සුවිශේෂී අවස්ථාවක් වනවා.

ඒ අනුව ඉදිරියේදී ඉන්දියාවේ ජනාධිපති ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතව සිටින මුර්මු ඉන්දියානු කාන්තාවගේ අයෝමය ශක්තිය ලොවට විදහාපානවා.

RECENT ARTICLES - SINHALA

මිනිස් ඝාතනයට තැත් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා  සිරදඬුවම් 

බෝම්බයක් පුපුරුවා හැර මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරුවූ චූදිතයෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළා.

විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනයට රජය තීරණය කරයි

ඉදිරියේදී අවසර හිමිවන සෑම අවස්ථාවකම මෙරටට විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනය කිරීමට රජය තීන්දුවක් ගෙන ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර...

BREAKING – බස් ගාස්තු අඩු වෙන්නේ මෙහෙමයි

0
බස් ගාස්තු හෙට (30) මධ්‍යම රාත්‍රියෙන් අඩු කෙරෙන බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...