27 C
Colombo
Friday, June 14, 2024
spot_img

දිනාගත් යුක්තියත් උදුරාගත් පානම නොනිමි අවනඩුව !

- Advertisement -

ස්වභාව සෞන්දර්යයේද, ජාති ආගම් බේද නොමැති මානව සෞන්දර්යයේද තෝතැන්නක් ලෙස සැලකුණු පානම, මේ වන විට සියලු ආකාරයේ අයුක්තීන්ට හා බලහත්කාරයන්ට යට කොට විඩාවට පත් කළ මිනිසුන්ගේ ශෝකී භූමි කලාපයකි. යුක්තියේ දෙවොලෙන් ඔවුන්ගේ උරුමය තහවුරු කළද රාජ්‍යයේ සෙසු බලකණුවලින් මෙහෙයවෙන මිලිටරි සපත්තු, ඔවුන්ට හිමි වූ යුක්තියද පාගාගෙන සිටී. වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ඔවුන්ගේ හදගැස්ම කෙබඳුද?

‘කලබල කාලෙ ඉඳලා අපි මේ ඉඩම්වල හිටියා. යුද්ධෙ කාලෙත් අපි හුඟක් අමාරුවෙන් ජීවත් වුණේ. අපි ගැන බලන්න කවුරුත් හිටියෙ නෑ. අපි හිටියෙ දෙපැත්තකට මැදිවෙලා. දැන් ඒ ඔක්කොම ඉවරයි. ඒත් අපිට කිසි දෙයක් ඉවර නෑ. දැන් ජීවත්වෙන්නෙ යුද්දෙ කාලෙටත් වඩා අමාරුවෙන්.
එදා අපි හිටියෙ කොයි වෙලාවෙ බෝම්බ ගහවිද කියල බයෙන්. දැන් ඉන්නෙ, දරුවා හෙට ඉස්කෝලෙ යන්න මොනවා ඉල්ලයිද කියලා බයෙන්. දරුවා මේ අවුරුද්දෙ එක වසරට දැම්මෙ. ඉස්කෝලෙට ගේන්න කියපු බඩු ලැයිස්තුවට, සපත්තු – බෑග් ගන්න මං තුන්දෙනෙකුට ණය වුණා. තවම ඒ ණය ගෙවලා ඉවර නෑ.’
පානම, ශාස්ත්‍රවෙල පදිංචි, එහෙත් නීත්‍යනුකූල ඉඩමක් නැති ප්‍රියංක ලක්මාල් නැගෙනහිර වෙරළේ සිට මුහුද දෙස බලාගෙන එසේ කියයි.
ඔහුගේ එක් ඇසක් නොපෙනේ.
‘අතට කීයක් හරි ගන්න ක්‍රමයක් තිබුණා නම් මේ ඇහැ අදටත් පේනවා.’

පෙනුම නැති කළ සටනපෙනුම නැති කළ සටන

වසර ගණනාවකට පෙර ඔවුන්ගේ තාවකාලික නිවාස නාඳුනන පිරිසක් ගිනි තිබ්බේය. ඒ ගිනි තබනවිටත් ඔහු මහනුවර මහ රෝහලේ ය.
‘මඩුවක් හදන්න ලී කපන්න ගිහින් කෝටුවක් ඇහේ ඇනුණා. මාස ගාණක් නුවර ඉස්පිරිතාලෙ හිටියා. ඊටපස්සෙ දොස්තර මහත්තුරු කියපු විදිහට හරියකට ප්‍රතිකාර කරගන්න ලැබුණේ නෑ. හොයාගන්න පන්සීයෙන්-දාහෙන් ලක්ෂෙක වැඩ කරන්න තියෙනවා. ඉතින් බෙහෙතක් හරියට දාගන්න වුණේ නෑ. පස්සෙ ගියහම ඉස්පිරිතාලෙන් කිව්වා, ඇහැ හොඳටම නරක වෙලා. දැන් ගොඩගන්න බෑ කියලා.’
නාඳුනන පිරිස තාවකාලික නිවාස ගිනිතැබීමෙන් පසු පොලිසිය ඒවායේ පදිංචිව සිටි පිරිසට වන්දි දෙන බව පවසා ඇත.
‘අපේ ගෙදර ගිනි තිබ්බට රුපියල් විසිපන්දාස් දෙසීයක් දෙනවා කිව්වා. අද වෙනකම් ඒක ලැබුණේ නෑ. විශ්වාස කරන්න, මං උදේට නැගිට්ටම කල්පනා කරන්නෙ තව කවුද ණයක් ඉල්ලගන්න ඉන්නෙ කියලා. දවසෙ කුලියට වැඩක් කළාට අම්මල-තාත්තලගෙ බේත්, ළමයගෙ වැඩ, කන්න – බොන්න ගියහම හැමදාම ණය.’

උදුරාගත් ඉඩම්උදුරාගත් ඉඩම්

අම්පාර, දිස්ත්‍රික්කයේ පානම අවට ප්‍රදේශ රැසක ආරක්ෂක අංශ ඇතුළු ආණ්ඩු නියෝජනය කළ පාර්ශ්ව විසින් ඉඩම් උදුරාගන්නා ලද ජනතාවගෙන් බහුතරයකගේ කතාව, මෙයාකාර ය. උදුරාගන්නා ලද යන වචනය මීට අදාළ වන්නේ එහිදී විධිමත් පවරාගැනීමක් සිදු වී නැති නිසා ය. මීට එරෙහිව අභියාචනාධිකරණයේ ගොනු කළ නඩුවත් එම ජනතාව ජයග්‍රහණය කළේය. එහෙත් තවමත් ඔවුන්ට එම ඉඩම් අයිති නැත.

මීට පෙර 2015 පෙබරවාරි 11 දින මෙම ඉඩම් ජනතාව වෙත නිදහස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබිණි. එහෙත් එම අනුමැතිය ක්‍රියාත්මක නොකෙරිණි. එම තීන්දුව ක්‍රියාත්මක කරගැනීම සඳහා CA/Writ/352/2016 දරන මෙම නඩුව අභියාචනාධිකරණය ඉදිරියේ පවරන ලදි.
මීට පෙර පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ද 2016 ඔක්තෝබර් 18දා නියෝග කර තිබුණේ මෙම ජනතාව අදාළ ඉඩම්වලින් ඉවත් නොකිරීමට ය. එය ද ඉටුනොවුණු අධිකරණ තීන්දුවකි. එසේ ම තම අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් පානම්පත්තුව සුරැකීමේ සංවිධානය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අංක HRC/AM/105/10/B/OT යටතේ ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ඒ පිළිබඳව විමර්ශනය කිරීමෙන් පසු මානව හිමිකම් කොමිසම මගින් නිර්දේශ කරන ලද්දේ ද මෙම ජනතාවගේ ඉල්ලීම් සියල්ල සාධාරණ බවත්, ඔවුන්ට අයත් ඉඩම්වල ජීවත් වීමේ අයිතිය තහවුරු කර දිය යුතු බවත් ය.

අපිට ඉඩම හැර මොකුත් එපා!අපිට ඉඩම හැර මොකුත් එපා!

‘අපි කිසිම සහනාධාරයක් ඉල්ලන්නෙ නෑ. අපිට ජීවත්වෙන්න අක්කරයක් දීපල්ලා. පර්චස් විස්සක අපි මොනවා කරන්නද?’
ඉලෙයිතම්බි තිලකාවතී සහ අප්පුපුල්ලේ විජේසිංහ ජීවත්වන්නේ පානම, ශාස්ත්‍රවෙල ගම්මානයේ ය. තමන්ට හිමි නැති භූමියක ය. ඔවුන්ට පානම ගමේ පර්චස් 20ක් හිමි ය. ඔවුන්ගේ ආදායම් මාර්ගය ගොවිතැන ය.
‘අපිට වැඩිහිටි දීමනා දෙන්න කියලා ෆෝම් පුරවල දෙන්න කිව්වා. අපි කිව්වා අපිට දීමනා මොකුත් එපා. අපෙන් උදුරගත්තු ඉඩම් දුන්නොත්, අපිට කාලා – ඇඳලා නිදහසේ ඉන්න පුළුවන් කියලා.’
සන්තකහාමි ගුණවතී ජීවත්වන්නේ තිලකාවතීලාගේ අසල්වැසියන් ලෙස ය. ඔවුහු තමන්ගෙන් උදුරා ගත්, අයිතිය අහිමි කළ භූමියක වසර 8ක් තිස්සේ බලහත්කාරයෙන් පදිංචි වී සිටිති. ඔවුන්ට ස්ථිර බෝග වැවීම තහනම් ය. ස්ථිර ඉදිකිරීම් තහනම් ය. සිමෙන්ති කොට්ටයක් ඉඩමට ගෙනාවොත් ග්‍රාම නිලධාරි සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීහු පොලිසිය සමග එහි පැමිණෙති.

ආරක්ෂක අංශ මැදිහත්වීම

උතුරු – නැගෙනහිර පැවති යුද්ධය අවසන් වීමෙන් පසුව 2009 හා 2010 වසරවල නාවික හමුදාවේ හා ගුවන් හමුදාවේ මැදිහත් වීම මත මෙම ප්‍රදේශයේ ජනතාව බලහත්කාරයෙන් ඉවත් කර එම ඉඩම් ආරක්ෂක අංශ සතු කර ගැනිණි. පොදුවේ පානම ලෙස හැදින්වෙන ශාස්ත්‍රවෙල, රාගම්වෙල, එගොඩයාය, හොරේකන්ද හා උල්පස්සයාය යන ගම්මානවල ජීවත් වූ ජනතාවගේ ජනාවාස, වගා බිම්, විහාරස්ථාන සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර, කඩොලාන වනාන්තර, කලපු හා වෙරළ තීරය ඇතුළු ව අක්කර 1,220ක භූමියක් මෙසේ බලහත්කාරයෙන් ආරක්ෂක අංශ විසින් උදුරා ගැනිණි. ඒ අනුව ශාස්ත්‍රවෙල හා රාගම්වෙල ප්‍රදේශයේ ඉඩම් ගුවන් හමුදාව සහ එගොඩයාය, හොරේකන්ද හා උල්පස්සයාය ප්‍රදේශයේ ඉඩම් නාවික හමුදාවේ බාරයට පත් විය. මේ ප්‍රදේශවල ජනාවාස හා වගා බිම් අක්කර 480ක් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර අක්කර 840ක් මෙලෙස නාවික හමුදාව හා ගුවන් හමුදාව විසින් බලහත්කාරයෙන් රඳවාගෙන සිටී.

2009 වසරේ දී නාවික හමුදාව විසින් එගොඩයාය, හොරේකන්ද හා උල්පස්සයාය ප්‍රදේශයේ ජනතාවගේ වගා බිම්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර බිම් හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රක්ෂිත ප්‍රදේශවලට අයත් ඉඩම් රණවිරු ගම්මානයක් ඉදි කිරීමට යැයි සඳහන් කරමින් බලහත්කාරයෙන් අත්පත් කරගැනීම ද සිදු විය. නමුත් 2010 වසරේ දී මේ ප්‍රදේශයේ නාවික හමුදා කඳවුරක් ඉදිකරන බව සඳහන් කරමින් ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත. වර්තමානය වන විට මේ ප්‍රදේශයේ නාවික හමුදාවට අයත් ගොඩනැගිලි මෙන්ම සංචාරක හෝටලයක් ද ඉදිකර තිබේ. එය පානම ලැගුන් කබානා නමින් මේ වන විට සංචාරක කටයුතුවලට නාවික හමුදාව විසින් යොදා ගනු ලැබේ.

ඇයි අපිට නොදෙන්නෙ?

‘අපේ ගෙවල් ගිනි තියලා, අපිව එලවලා හමුදාව ටුවරිසම් පටන්ගත්තා. හමුදාව කිව්වට හමුදාව දාලා වැඩේ කෙරෙව්වෙ කවුද කියලා අපි දන්නවා. දැන් ඔය හමුදාව කරන වැඩේ ම අපිට ඔයිට වඩා හොඳට කරන්න බැරිද? මේ ඉඩම්වල ගොවිතැන් ටිකත් කරන ගමන් අපේ බඩු ටුවරිස්ට්ලට විකුණලා, අපිට ආදායමක් ගන්න ඉඩක් දෙන්නෙ නැත්තෙ ඇයි?’
ප්‍රියංක ලක්මාල්ගේ ඒ ප්‍රශ්නයට ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සහ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ තමන්ට නිශ්චිත පිළිතුරක් ලබාදිය නොහැකි බවයි. ඊට හේතුව මෙය දීර්ඝකාලීන ගැටලුවක් වන නිසා එය අධ්‍යයනය කළ යුතු වීම බව ද ඔවුහු පවසති. එහෙත් මීට පෙර අවස්ථා ගණනාවකදී ම මෙම නිලධාරීන් මාධ්‍යයට පවසා ඇත්තේ ද එම කතාව ම ය.
‘අපි දන්නවා අපිට ටුවරිසම් කරන්න හරියට තේරෙන්නෙ නෑ. ඒත් අපිට උගන්වන්න. අපි ඉගෙනගන්න ලෑස්තියි.’
ප්‍රමෝද් මධුෂාන් එසේ කියමින් වතුර හිඟයෙන් පීඩාවිඳින තාත්තාගේ ගොවිපොළ පෙන්වයි.
‘පේනවනෙ. අපිට මේවා දියුණු කරගන්න බැංකුවකින් ණයක්වත් ගන්න බෑ, ඉඩමට අයිතිය නැති හින්දා.’
අන්දෙස්අප්පු විමලසූරිය යනු ප්‍රමෝද්ගේ තාත්තා ය.
‘අපිට රාගම්වෙල එහා පැත්තෙ කෑල්ලෙන් ඉඩම් දෙන්න හදනවා. වරින්-වර ඒ ඉඩම්වල පදිංචියට යන්න කැමතියි කියලා ෆෝම් අත්සන් කරගන්න හදනවා. ඒ ඉඩම් ගැන අපි දන්නවා. අපේ තාත්තලා වවන්න දඟලපු ඉඩම් එව්වා. එහෙ වතුර නෑ. ගල තියෙන්නෙ. ගල විදලා නළ ළිඳක් ගැහුවට වැඩක් නෑ, එන්නෙ ලුණු වතුර. ලුණු වතුරෙන් වගාකරන්න පුළුවන්ද?’

ප්‍රජා මූලික සංචාරක ව්‍යාපාරය

ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය දියුණු වනු දැකීම ඔවුන්ගේ අපේක්ෂාවයි. එහෙත් ඒ ඔවුන් ද එහි කොටස්කරුවන් වෙමින් ය. පානම්පත්තුව සුරැකීමේ සංවිධානයේ සභාපති පුංචිරාළ සෝමසිරි යනු දීර්ඝ කාලයක සිට නීතිය ඉදිරියේ, බලහත්කාරය ඉදිරියේ යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් සටන් කරන පානම ස්ථිර පදිංචිකරුවෙකි. තමන්ගෙන් උදුරා ගත් ඉඩම් තිබියදී, පර්චස් 20ක කුඩා ඉඩක ජීවත්වන්නෙකි.

‘ප්‍රජාවක් විදිහට මේ ප්‍රදේශයේ සංචාරක ව්‍යපාරය දියුණු කරන්න අපිට සැලසුමක් තියෙනවා. අපි ඒ ගැන සාකච්ඡා කරන්න අවස්ථාවක් ඉල්ලුවම, අඩු තරමෙ අපිට ඒ ගැන සාකච්ඡාවක් දෙන්නෙ නෑ. හැම ආණ්ඩුවකම මන්ත්‍රීවරු කළේ මේ ඉඩම් අපෙන් ගන්න සැලසුම් හදපු එක. අපි කියන්නෙ මේකෙන් අපිව අයින් කරන්නෙ නැතුව, අපිත් ඇතුළත් ව්‍යාපෘතියක් හදන්න කියලා.’


ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය ප්‍රජා මූලික සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් පානම ජනතාව සමග එක්ව කටයුතු කරන සිවිල් සංවිධානයකි. එම ව්‍යාපාරයේ නුවන් ප්‍රදීප් ඩිල්ෂාන් පෙන්වා දෙන්නේ පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයක් මගින් මෙම ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට අවස්ථා රැසක් පවතින බවයි. එහෙත් ඔවුන්ට ඉඩමක් නොමැති වීම, තිබෙන ඉඩමට ඔප්පුවක් නොමැති වීම, එම ඉඩම පිළිබඳ බලාපොරොත්තු අත්හැරීමට සිදු වීම වැනි හේතු නිසා කණගාටුදායක ලෙස වැඩක් කළ හැකි ජනතාව මෙම ප්‍රදේශය හැරයමින් සිටින බව ද ඔහු අවධාරණය කරයි.
එම කරුණ සනාථ කරන ප්‍රියංක ලක්මාල් පවසන්නේ තමන් සමග එකට පානම මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලද මිත්‍රයන් බොහෝදෙනෙකු නැගෙනහිර වෙරළ කලාපයේ සංචාරක හෝටල්වල සාමාන්‍ය සේවකයන් ලෙස සේවය කරන බවයි.
‘ආර්ථික ප්‍රශ්නෙ බේරගන්න විදිහක් නැතුව ගියහම මේවා අතහැරලා දානවා මිසක් මොනවා කරන්නද? මේ ඉඩම් දිහා බලාගෙන ඉන්න අයට ඕනෙත් ඒක. මම නම් යන්නෙ නෑ. මේවා අපේ ඉඩම්. මං ඉපදුණෙත් මෙහෙ.’

නීත්‍යනුකූල පවරාගැනීම

ලංකාවට පැමිණෙන විදේශීය නායකයන්ට හා ප්‍රභූවරුන්ට විවේකය ගත කළ හැකි නිවාඩු නිකේතනයක් ගොඩනැගීම මෙම ඉඩම් අත්පත් කරගැනීමේ මූලික අරමුණ විය. නමුත් මේ තත්ත්වය වසන් කරමින් ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථානයක් ඉදිකරන බව ප්‍රසිද්ධ කෙරිණි. ඒ අනුව ලාහුගල හිටපු ප්‍රාදේශීය ලේකම් එල්. ඒ. සෝමරත්න විසින් 2013 මැයි 14 දින රජයේ දෙපාර්තමේන්තුවලට ඉඩම් ලබාදීමේ ලේඛනය භාවිත කර, එවකට ජනාධිපති කාර්යාලයේ බලයලත් නිලධාරි ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් හර්ෂ විජේවර්ධනට ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ශාස්ත්‍රවෙල ග්‍රාම නිලධාරි වසමේ හෙක්ටයාර් 66.1116ක් නැතහොත් අක්කර 164ක භූමියක් නීතිවිරෝධී ව පැවරීම සිදුකෙරිණි. මීට අමතරව මෙහි වෙනත් කිසිදු භූමියක් නීත්‍යනුකූල ව පවරාගෙන නොමැත. ජනතාවට ඒවාගේ හිමිකාරිත්වය ලබාදෙන්නේ ද නැත.


නමුත් ජනාධිපති කාර්යාලයට පැවරූ භූමිය ඇතුළු ව ජනතාවගේ සියලු ඉඩම් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් නාවික හා ගුවන් හමුදාව බාරයේ තබාගෙන ඒ වටා විදුලි වැටවල් ද ඉදි කර, වෙන් කරගෙන තිබේ.
ඒ අතර මෙම ක්‍රියාවලියට සහාය දක්වන රජයේ නිලධාරීන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට ද ඉඩම් කොටස් ලබාදී තිබේ. ඔවුහු එම ඉඩම් කොටස්වල ස්ථිර වාසස්ථාන ද ඉදිකරමින් සිටිති.
පානම – ශාස්ත්‍රවෙල ග්‍රාම නිලධාරි රන්දුන නිශාන්ත පවසන්නේ හිමිකාරිත්වය නොමැති කිසිවෙකුට මෙම ප්‍රදේශයේ ඉඩම් ලබාදී නොමැති බවයි. ස්ථිර නිවාස ඉදිකර ඇත්තේ පැරණි ඉඩම් සංවර්ධන බලපත්‍ර සහිත පුද්ගලයන් බව ද ඔහු සඳහන් කරයි. එහෙත් එම බලපත්‍ර සම්බන්ධයෙන් වැඩි විස්තර ලබාදීමට ඔහු අපොහොසත් ය. එසේ ම වැඩි විස්තර ප්‍රදේශීය ලේකම්වරයාගේ අනුදැනුමකින් තොරව ලබාදිය නොහැකි බව ද ඔහු සඳහන් කරයි.

නීතියට ඉහළින්!

‘ග්‍රාම නිලධාරිතුමාලා අපිත් එක්ක කතා කරන්න එන්නෙවත් නෑ. අපිට උත්තර දෙන්නෙත් නෑ. අපිට මේ ආර්ථික ප්‍රශ්න මොකුත් දැනෙන්නෙ නෑ, මේ ඉඩම් ටික හරියට වවාගන්න තිබුණා නම්. ඒත් පන්සලට ඉඩම, වතුර ඔක්කොම හදලා දුන්නට, අපිට මොකුත් දෙන්නෙ නෑ.’
ජේ. ජානකීගේ ප්‍රශ්නයට පානම ශ්‍රී චන්ද්‍රරත්න හිමියන් පිළිතුරු දෙන්නේ මෙසේ ය.
‘මේ ඉඩම් ගැටලුව විසඳෙනවා නම් හොඳයි. මේකට අවුරුදු ගණනාවක් තිස්සෙ නීතිය එක්ක මිනිස්සු හැප්පෙනවා. ඒත් නීතියට උඩින් තියෙන බලවේග ඒවා ප්‍රමාද කරනවා. ජනතාවගෙ පැත්තෙනුත් ටිකක් හිතන්න ඕනෙ, සංචාරක කර්මාන්තයට වගේ ඉඩම් දීලා අයින් වෙන්න වුණත්, තමන්ටත් දෙයක් ඉස්සරහට ලැබෙනවා නම් ඒවා ගැනත් හිතන්න ඕනෙ. හැබැයි මූලික දේ මේ මිනිස්සුන්ට හරිහමං ආදායමක් හැදෙන්න ඕනෙ.’
‘ශාස්ත්‍රවෙල පන්සලට නම් ඔප්පුවක් තියෙනවා තමයි.’

නීතියේ ආධිපත්‍යය

HCK/REG/277/19 සිට 281/19 දක්වා නඩු විභාග කෙරුණේ කල්මුණේ මහාධිකරණයේ ය. එම තීන්දුවේ සඳහන්ව ඇත්තේ ශාස්ත්‍රවෙල වෙරළ තීරයේ ජනතාවට පදිංචි විය නොහැකි බවයි. එය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් බවයි. එහෙත් මේ වනවිටත් කන්දපෙරුමාල් කුමාරරත්න, සයිමන් අප්පු ගුණපාල, සින්නතම්බි ජයවර්ධන, ජයසේකර සිරිවර්ධන දිසානායක, කළුරාල මන්ත්‍රීහාමි, සිටිසේකර මුදියන්සේ පුන්චිබණ්ඩා සහ කරෝලිස් පුංචිරාළ යන නම්වලින් මේ ප්‍රදේශයේ සංචාරක ව්‍යාපෘති රැසක් සිදුකරමින් තිබේ. එනම් අධිකරණ තීන්දුව සම්පූර්ණයෙන් ම නොසලකා හැර ඇත.


මෙසේ රජයට අයත් වනාන්තර ඉඩම් රාජ්‍ය නිලධාරීන් හා ව්‍යාපාරිකයන් විසින් අත්පත් කරගෙන එළිපෙහෙළි කරන්නේ 2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනතේ 20 වැනි වගන්තිය උල්ලංඝනය කරමිනි. වෙරළ කලාපය තුළ පිහිටි වනාන්තර එළිපෙහෙළි කර ඉඩම් අත්පත් කරගෙන ඇත්තේ 2011 අංක 49 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනත උල්ලංඝනය කරමිනි. මෙම පනතට අනුව වෙරළ කලාපය තුළ යම් සංවර්ධන කාර්යයක් සිදුකිරීමට ප්‍රථමයෙන් පනතේ 14 වැනි වගන්තියට අනුව ඉල්ලීම් කළ යුතුය. ඒ අනුව පනතේ 16 වැනි වගන්තියට අනුව පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අදාළ ව්‍යාපෘතිය සඳහා 17 වැනි වගන්තියට අනුව කොන්දේසි සහිත අවසරය ලබා දීම සිදු කරනු ලැබේ. එම කොන්දේසිවලට යටත් ව සංවර්ධන ව්‍යාපෘතිය වෙරළ කලාපය තුළ ක්‍රියාත්මක කළ යුතු ය. නමුත් නාවික හමුදාව හා ගුවන් හමුදාව විසින් පානම ප්‍රදේශයේ වෙරළ කලාපය තුළ සිදු කළ හෝටල් ඉදිකිරීම ඇතුළු සියලු සංවර්ධන කටයුතු මෙන් ම අද වන විට සිදු කර ඇති ඉඩම් වෙන්කිරීමේ කටයුතු සියල්ල මෙම වගන්ති උල්ලංඝනය කරමින් සිදු කර තිබේ.


මීට අමතරව පානම ප්‍රදේශයේ ජනතාවට අයත් ඉඩම් බලහත්කාරයෙන් ගුවන් හමුදාව හා නාවික හමුදාව විසින් අත්පත් කරගැනීම මෙන් ම අද වන විට රාජ්‍ය නිලධාරීන් හා දේශපාලනඥයන් එක් ව එම ඉඩම් බලහත්කාරයෙන් වෙන් කර ගැනීම මගින් ඔවුන් සියල්ලන් දණ්ඩ නීති සංග්‍රහයේ 372 වැනි වගන්තිය උල්ලංඝනය කර තිබේ. එම වගන්තියට අනුව යම් දේපොළක් යම් තැනැත්තෙකුට පාඩු සිදු කරමින් හෝ බිය කර ලබාගැනීම බලෙන් ලබාගැනීමකි. එවැනි ක්‍රියාවක නිරත වූ පුද්ගලයෙකු අවුරුදු 3ක් දක්වා කාලයක බන්ධනාගාරගත කිරීමකට හෝ දඩයකට හෝ මේ දඬුවම් දෙකට ම යටත් කළ හැකිය.


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් යටතේ දැක්වෙන්නේ කිසිදු තැනැත්තෙකු වධහිංසාවලට ලක් නොකළ යුතු බවයි. එසේම එහි 12 වැනි වගන්තියට අනුව නීතිය පසිඳලීම හා නීතිය ක්‍රියාත්මක කිරීම මෙන් ම නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුතු බවත්, 14 වැනි වගන්තියට අනුව නීත්‍යනුකූල රැකියාවක, වෘත්තියක, කර්මාන්තයක නිරතවීමේ නිදහස හා ශ්‍රී ලංකාව තුළ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස තිබිය යුතු බවත් සඳහන් කර ඇත. පානම ප්‍රදේශයේ ජනතාවගේ මෙම මූලික අයිතිවාසිකම් සියල්ල ද ආරක්ෂක අංශ හා රාජ්‍ය නිලධාරීන් විසින් අහිමි කර ඇත.


මේ සම්බන්ධයෙන් පානම – ශාස්ත්‍රවෙල ග්‍රාම නිලධාරි රන්දුන නිශාන්ත පවසන්නේ හිමිකාරිත්වය නොමැති කිසිවෙකුට මෙම ප්‍රදේශයේ ඉඩම් ලබාදී නොමැති බවයි. ස්ථිර නිවාස ඉදිකර ඇත්තේ පැරණි ඉඩම් සංවර්ධන බලපත්‍ර සහිත පුද්ගලයන් බව ද ඔහු සඳහන් කරයි. එහෙත් එම බලපත්‍ර සම්බන්ධයෙන් වැඩි විස්තර ලබාදීමට ඔහු අපොහොසත් ය. එසේ ම වැඩි විස්තර ප්‍රදේශීය ලේකම්වරයාගේ අනුදැනුමකින් තොරව ලබාදිය නොහැකි බව ද ඔහු සඳහන් කරයි.

අත්නොහරින සටන!

‘නඩු කොච්චර දිනුවත්, පොත්වල නීති කොච්චර තිබුණත් අයිතියක් නැති, අයිතියක් දෙන්නෙ නැති ඉඩමක ණය වෙලා වගා කෙරුවට, පොලිසියෙන් – හමුදාවෙන් ඇවිත් බෙල්ලෙන් අල්ලලා එළියට දැම්මොත් අපි මොකද කරන්නෙ? අපේ තාත්තලගෙන් මං අහන්නෙ ඔය ප්‍රශ්නෙ. එතකොට අම්මා අහන්නෙ එළියට දානකම් හරි අපි බඩගින්නෙ ඉන්නද කියලා. ඒකත් ඇත්ත.’
වයස අවුරුදු 18ක ප්‍රමෝද් මධුෂාන්ගේ ප්‍රශ්නයට කිසිවකුට පිළිතුරු නැත. සිද්ධ වෙන දෙයකට මුහුණ දීමට ඔවුන්ගේ මව්පියන් සූදානම් ය. එහෙත් මධුෂාන්ලා ඊට සූදානම් නැත.
‘අපිට බාධාවක් තියෙනවා මේව එක්ක හැප්පෙන්න. ඒක හින්දා අපි යාළුවො එකතු වෙලා ඉංග්‍රීසි ඉගෙනගන්නවා.’
ඔහු ඇතුළු මිතුරෝ එසේ කීහ. ඔවුන්ගේ දෑස් තිබුණේ ලොව පුරා සංචාරකයන්ගේ ආකර්ෂණීය නවතැන්පොළක් වන නැගෙනහිර වෙරළත් – නොගැඹුරු මුහුදත් අතර සීමාවේ ය.

    – ශාලික විමලසේන –

    RECENT ARTICLES - SINHALA

    ණය ගැන කොහොමද සතුටු වෙන්නේ ?- රෝහිත අබේගුණවර්ධන

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන්නේද ණය නිසා ණය ලැබීම ගැන සතුටු විය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවා. මේ...

    උද්දිකගේ සුපිරි රංගනය අතේ පත්තු වෙලා

    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ අනුරාධපුරයේ පිහිටි නිවස අසලදී ඔහුගේ වාහනයට වෙඩි තබා ඇත්තේ...

    දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සුදානමින්

    උසස්වීම් ක්‍රමවේදයේ පවතින ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. සිය ඉල්ලීම් සම්බන්ධයෙන් හෙට (14) පස්වරු 2.00...

    POPULAR ARTICLES

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විකිපීඩියා එකේ ‘ලොන්තයෝ’ වෙලා

    විස්සයි විස්ස ලෝක කුසලන තරඟාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාසය සම්බන්ධයෙන් වර්තමානය වන විට ක‍්‍රිකට් ලෝලීන්ගෙන් දැඩි විවේචන එල්ල වෙමින්...

    කෙහෙළියට මල්වඩම් යවපු විඩියෝ අධිකරණයට දෙන්න- මහේස්ත්‍රාත් අධිකරණය

    හිටපු සෞඛ්‍ය අමා​ත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට මල් වඩම් තැබීම සම්බන්ධයෙන් සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ...

    සනත් නිශාන්තගේ බිරිඳත් මහින්දට ‘මයිනා’ කියලා

    මහින්ද රාජපක්ෂ නමැති යුහ චරිතය ' මයිනා' නමින් සමාජයේ ගැරහීමට පාත්‍ර වූයේ ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීමට බව හිටපු අමාත්‍ය, සනත් නිශාන්තගේ බිරිඳ වන චමරි...