26 C
Colombo
Friday, March 29, 2024

තිස්ස වැව ප්‍රතිසංස්කරණය හරහා මතුවූ ලංකාවේ චීන ක්‍රියාකාරකම් පිළිබද කතාවේ අලුත්ම පරිච්ඡේදය

- Advertisement -

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම්වල බලය අත්පත් කරගැනීමට චීනය පියවරෙන් පියවර කටයුතු කරමින් සිටින බවට ජාත්‍යන්තර විශ්ලේෂකයන් දිගින් දිගටම සදහන් කරමින් සිටින අවස්ථාවක හමුදා ඇදුමට සමාන ඇදුමින් සැරසුණු චීන ජාතිකයන් පිරිසක් හම්බන්තොට – තිස්සමහාරාම වැවේ පස් සහ රොන්මඩ කැණීම සම්බන්ධ සිද්ධියක් පිළිබඳ පාර්ශ්ව රැසක මහත් අවධානය යොමුව තිබෙනවා.

මෙම සාකච්ඡාව ඇරඹෙන්නේ තිස්සමහාරාම වැවේ රොන්මඩ ඉවත්කිරීමේ නිරත චීන ජාතිකයන් පිරිසක් එරට යුදහමුදා නිළ ඇඳුමට සමාන ඇඳුම් හැඳ ව්‍යාපෘති රාජකාරියේ නිරතවීමත් සමගින්. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ නීතියට අනුව ආරක්ෂක අංශ සාමාජිකයන් නොවන පුද්ගලයින් ආරක්ෂක අංශවල නිල ඇඳුම් ඇඳීම දඬුවම් ලැබිය හැකි වරදක් වනවා.

හිටපු හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විවෘතව චෝදනා කළේ ව්‍යාපෘති රාජකාරියේ නිරතව සි⁣ටින්නේ චීන ආරක්ෂක අංශ සාමාජිකයන් බවයි. “වත්මන් ආණ්ඩුවේ බොහෝ දෙනෙක් චීන ව්‍යාපාරිකයන් සමග සබඳතා පවත්වනවා. එහෙමනම් තීරණ ගන්නේ කොහොමද කියලා හරි පැහැදිලියි” ඔහු වැඩිදුරටත් පවසා තිබුණා.

තිස්සමහාරාම වැව සහ ඒ ආශ්‍රිත අක්කර 10.290ක භූමිය වීරවිල – තිස්ස අභයභූමිය ලෙස 1938 වසරේදී ප්‍රකාශයට පත්කර තිබෙනවා. තිස්සමහාරාම වැව මෙරට වැව් අතර මධ්‍යම ප්‍රමාණයේ වැවක්. එහි ජල ධාරිතාවය ඝන මීටර මිලියන 3.9ක්. කිරිඳි ඔය වාරි ව්‍යාපාරය ය⁣ටතේ වම් ඉවුරු ප්‍රධාන ඇළ මාර්ගයෙන් ජලය ලැබෙන තිස්සමහාරාම වැවෙන් කුඹුරු අක්කර 3115කට යල මහ දෙකන්නය සඳහා ජලය සැපයෙනවා. මීට අමතරව පවුල් 200කට අධික සංඛ්‍යාවක් වැවෙහි මිරිදිය ධීවර කර්මාන්ත⁣යේ නිරත වනවා. නමුත් වැවේ රොන්මඩ ඉවත්කිරීමේ කාර්යය චීන සබදතා ඇති සමාගමට පවරා ඇත්තේ මේ සම්බන්ධයෙන් කිසිදු අධ්‍යයනක් සිදු නොකර වීම විමතියට කරුණක්. මෙම ව්‍යාපෘතිය මගින් වැවේ ජල ධාරිතාව ඉහළ නංවන බව පැවසුවද සැබෑ අරමුණ මාගම්පුර වරාය ඇතුලු චීන සමාගම් විසින් ක්‍රියාත්මක කරන සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති ඇතුලත අක්කර 15,000ක කර්මාන්තපුරයේ ජල අවශ්‍යතාව සපුරා ගැනීම බවයි පැවසෙන්නේ. යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් වැවේ පස් හා රොන්මඩ කැණිමට සහ වැලි නිස්සාරණය සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා එම අමාත්‍යාංශය එක්ව චීන සබදතා ඇති සමාගමට පවරා ඇත්තේ මෙරට නීති හා අණපනත් ගණනාවක් උල්ලංඝනය කරමින්.

මෙම ව්‍යාපෘතිය පිළිබඳ නිවේදනයක් නිකුත් කරන ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පෙන්වා දෙන්නේ මේ සඳහා අවම තරමින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හෝ ලබාගෙන නොමැති බවයි.

“තිස්සමහාරාම වැවේ පස් හා රොන්මඩ ඉවත්කිරීමට සහ එමගින් වැලි නිස්සාරණය කිරීමට මෙන්ම එම වැලි අලෙවි කිරීමට චීන සබදත ඇති සමාගම වෙත පැවරීමට මූලික ශක්‍යතා අධ්‍යයනයක් හෝ කැබිනට් අනුමැතියක් ලබාගෙන නොමැතිවීමෙන් ⁣පෙනී යන්නේ චීනයේ සියලු ඉල්ලීම් වෙනුවෙන් වත්මන් ආණ්ඩුව නීතිරීති හා අණපනත් ඇතුලු සියල්ල මෙන්ම ජනතාවගේ මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය කරමින් කටයුතු කරන බව යි.” – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය සදහන් කරනවා.

එමෙන්ම ජාතික පාරිසරික පනත, වනජීවී ආඥා පනත, පුරාවස්තු ආඥාපනත උල්ලංඝනය කර ඇති බව ද එම ව්‍යාපාරය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

ඒ බව තහවුරු කරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ව්‍යාපෘති කටයුතු තාවකාලිකව අත්හිටුවීමේ නියෝගයක් ද පසුගියදා නිකුත් කළා.

තිස්සමහාරාම වැවේ රොන්මඩ කැණිමේ නිරතව සිටි පුද්ගලයින් චීන ආරක්ෂක අංශවල නිල ඇඳුම හැඳ සිටීම මුලුමනින්ම නීතිවිරෝධී වන නමුත් සුපුරුදු පරිදි එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලංකාවේ චීන තානපති කාර්යාලය විසින් “යන්නේ කොහේද මල්ලේ පොල්” ප්‍රතිචාරයක් දක්වමින් එවැනි ඇඟලුම්වලින් සැරසී සිටීම සාමාන්‍ය තත්ත්වයක් ලෙස හඳුන්වනු ලැබුවා.

චීන – පාකිස්තාන ආර්ථික කොරිඩෝවේ (CPEC) සුරක්ෂිත බව තහවුරු කිරීම සඳහා චීන සමාගම් පාකිස්තානය⁣ට යොමු කර ඇති චීනය හම්බන්තොට වරාය ඇතුලු තම “වත්කම්” වෙනුවෙන් චීන හමුදා යොදා නොගනී යැයි විශ්වාස කළ නෙහැකි බවයි මේ පිලිබද අදහස් පළ කරන අන්තර්ජාතික විශ්ලේෂකයන් සදහන් කරන්නේ.

හමුදා නිල ඇඳුම් හැඳගත් පිරිස සම්බන්ධයෙන් මෙරට විපක්ෂයද අවස්ථා කිහිපයකදීම ප්‍රශ්න කළා. චීන හමුදා සාමාජිකයන් රට තුල සිටින බවට පලවන වාර්තා ප්‍රතික්ෂේප කළ කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල පසුගියදා පැවසුවේ චීන කම්කරුවන් හැඳ සිටින ඇදුම් ශ්‍රී ලංකාවේ රථවාහන අලුත්වැඩියා කරන ස්ථානවල සේවකයන්ගේ ඇඳුමට (overalls) සමාන බවයි. කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවෙදි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පුරාවිද්‍යා පනත උල්ලංඝනය වී ඇත්නම් ඒ සඳහා කටයුතු කිරීමට මෙරට නීති ඇති බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුව නිහඬව සි⁣ටින බවට එල්ලවන චෝදනා පදනම් විරහිත බවද කැබිනට් ප්‍රකාශකවරයා මාධ්‍යවේදීන් විමසු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළා.

මේ අතරතුර කිලිනොච්චියේ මුහුදු කූඩැල්ලන් වගා ව්‍යාපෘතියක් චීන සමාගමක් විසින් ආරම්භ කර ඇතැයි එම ප්‍රදේශයේ ජනතාව පවසනවා. කිලිනොච්චිය පූවරසන් දූපතේ කඩොලාන රක්ෂිතයක් ආසන්නයේ මෙම වගා ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා. එම ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතව ජීවිකාව සරිකර ගත් තමන්ට මේ වනවිට දූපතට ඇතුලුවීමටත් හැකියාවක් නැතැයි කිලිනොච්චියේ ධීවර ජනතාව පෙන්වා දෙනවා. චීන සමාගම විසින් මුහුදු කූඩැල්ලන් ඇල්ලීම සඳහා ඉදිකර ඇති අට්ටාල හේතුවෙන් කවුදාරමුනෙයි කඩෙලාන පද්ධතියට පවා එල්ල වී ඇත්තේ බරපතල තර්ජනයක්. මෙම ප්‍රදේශයේ ධීවර ජනතාව වසර ගණනාවක සිට පූවරසන් දූපතේ මුහුදු කූඩැල්ලන් වගා ව්‍යාපෘතියක් ඇරඹීමට බලධාරින්ගෙන් අවසරය ඉල්ලා ඇතැත් ඔවුන්ට නොලැබුණු අවසරය චීන සමාගමකට හිමි වීම මවිතයට කරුණක්. කිලිනොච්චි ධීවරයින් චෝදනා කරන්නේ මෙරට භූමිය පමණක් නොව සාගර සම්පත් පවා කොල්ලකෑමට චීනයට ඉඩදී ආණ්ඩුව බලා සි⁣ටින බවයි.

මෙම ව්‍යාපෘතිය සඳහා කිසිදු අනුමැතියක් ලබාගෙන නොමැති බවත් වාර්තා වනවා. කිලිනොච්චිය – පුනරීන් ප්‍රාදේශිය ලේකම්වරයා ජාතික පුවත්පතකට පසුගියදා පවසා තිබුණේ පූවරසන් දූපතේ මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවක් පමණක් පැවති බවයි. එම ව්‍යාපෘතිය ආරම්භ කළ බව හෝ ක්‍රියාත්මක වන බව තමන් දැනුවත් කර නොමැති බවද ප්‍රාදේශිය ලේකම්වරයා එහිදී සඳහන් කර තිබුණා. ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසන්නේ 2017, පසුගිය රජය සමයේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බවයි. කෙසේ වෙතත් කිලිනොච්චියේ දැනට ක්‍රියාත්මක මුහුදු කූඩැල්ලන් වගා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදාළ අංශ විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වුවත් ස්ථිර තීරණයක් මෙතෙක් ප්‍රකාශ කර නැහැ.

මෙම තත්ත්වයන් වර්ධනය වීමට පෙර තවත් ප්‍රබල ජනතා විරෝධයක් ගොඩනැගුණේ චීනය සිනොෆාර්ම් කොවිඩ්19 එන්නතේ එක් මාත්‍රාවක් ඇමෙරිකානු ඩොලර් 10ක මුදලකට බංග්ලාදේශයට ලබා දෙමින් ශ්‍රී ලංකාවෙන් ඩොලර් 15ක මුදලක් අය කරන බවට වන කරැණ සම්බන්ධයෙනුයි. මෙර⁣ට දේශපාලනඥයින් කිහිපදෙ⁣නෙක්ද සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳ දැඩි විවේචන ඉදිරිපත් කර තිබු අතර එන්නත් මිල ගණන් පහත හෙලන ලෙස ද බලකර තිබුණ. කෙසේ වෙතත් මේ දක්වා ඖෂධ හා සම්බන්ධ රාජ්‍ය අමාත්‍යාංශය හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය සිනොෆාර්ම් එන්නත ශ්‍රී ලංකාව ලබා ගන්නා මිල අනාවරණය නොකර සි⁣ටීමත් ගැටලුවක්. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ එන්නත මිලදී ගැනීමේ ගිවිසුම අනුව ඒ සඳහා වැයවන මුදල රජයට හෙලි කළ නොහැකි බවයි. නමුත් එන්නත් මිලදී ගැනීමේ ක්‍රියාවලිය තුල කිසිදු දූෂණයක් හෝ වංචාවක් හෝ සිදු නොවන්නේයැයි තමන්ට සහතික විය හැකි බව මහාචාර්ය අමාත්‍යවරයා අවධාරණය කළා.

එමෙන්ම මෙරට ක්‍රියාත්මක මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල බලය චීනය සතුවීම හරහා ශ්‍රී ලංකාව චීන කොලනියක් බවට පත්වනු ඇති බවට විවිධ පාර්ශ්ව සැක පලකරනවා. ඒ සඳහා ආසන්නතම හේතුව වූයේ කොළඹ මාර්ග තදබදයට විසඳුමක් ලෙස සැලසුම් කෙරුණු නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා වන කණුමත දිවෙන කිලෝමීටර් 17ක අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ද චයිනා හාබර් ඉංජිනියරින් සමාගමට හිමි වීමයි.

මතභේදයට තුඩු දී ඇති කොළඹ වරාය නගර කොමිසම ද විපක්ෂයේ දැඩි චෝදනාවන්ට සහ ප්‍රශ්න කිරීම්වලට ලක්ව තිබෙනවා. ඊට හේතුවී ඇත්තේ බදු සහන සැලසීම, බදු වලින් තොර වැ⁣ටුප් ඉපැයීමට අවස්ථාව සැලසීමට එම කොමිසමට බලය ලැබීමයි. ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4ක ව⁣ටිනාකමක් සහිත කොළඹ වරාය නගරය මෙරට විශාලතම පෞද්ගලික සංවර්ධන ව්‍යාපෘතියයි. මෙරට තුල සිය බලපරාක්‍රමය ඉහළ නංවා ගැනීම සඳහා චීනය මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති යොදාගනිමින් සිටින බව අවිවාදිතයි.

මෙම සියලු තත්ත්වයන් වාර්තා වන්නේ ශ්‍රී ලංකාවේ බදු ආදයම බරපතල ලෙස පහල බැස ඇති පසුබිමකයි. ඒ තුළ ණය ආපසු ගෙවීම්, ණය ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව පහළ හෙළිම වැනි තත්ත්වයන් සම්බන්ධයෙන් ඉහළ අවධානයක් යොමු වෙමින් තිබෙනවා. එමෙන්ම අත්‍යාවශ්‍ය මහජන සේවා පවත්වාගෙන යන අතරම පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් කලමනාකරනයේ අභියෝගයද වත්මන් ආණ්ඩුව ඉදිරියේ පවතිනවා. එම පරිසරය තුළ චීනය නිසි පරිදි කලමනාකරණය කරගැනීමට ලංකාව සමත්වේදැයි යන්න මෙි වන විට ලෝකය පුරා සාකච්ඡා කෙරෙන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. එහෙත් පවතින භූදේශපාලනය තුළ එය වඩාත් අසීරැ කාර්යයක් බව නම් පැහැදිළියි.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...