32 C
Colombo
Friday, June 2, 2023

රිලව් අපනයනයේ නවතම හෙළිදරව්ව

- Advertisement -

ශ්‍රී ලංකාවට ආවේණික රිලවුන් (Toque Macaque) ලක්ෂයක් චීනයට අපනයනය කිරීමේ යෝජනාව අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති රිට් පෙත්සමක් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්ට සහ වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ඇතුල පාර්ශ්වකරුවන්ට මැයි 19 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කෙරුණා.
ඔටාරා ගුණවර්ධන ඇතුළු සත්ව හිමිකම් ක්‍රියාකාරිනියන් 26 දෙනෙකු අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය තීරණය කළා.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙරට සිටින රිලව් ලක්ෂයක් පරීක්ෂණ කටයුත්තක් සඳහා චීන සමාගමක් වෙත යැවීමට වගඋත්තරකරුවන් තීරණය කර තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පැවසුවා
එම නිසා මෙරට රිලවුන් ඕනෑම මොහොතක චීනයට අපනයනය කිරීමේ අත්‍යාසන්න අවදානමක් මතුවී තිබෙන බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

එම තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේය.
මෙම ක්‍රියාව තුළින් මෙරට පරිසර පද්ධතියට දැඩි අගතියක් සිදු වන අතර විශාල සත්ව හිංසනයක් සිදුවන බවත් ජනාධිපති නීතිඥවරයා විසින් පෙන්වා දෙනු ලැබුවා
එම ක්‍රියාව සත්ව හිංසා පනත මෙන්ම වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත විධිවිධානයන්ට පටහැනි බවත් එබැවින් වහාම අදාළ තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝග නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ රිලව් ලක්ෂයක් චීනයට අපනයනය කිරීමට ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බවයි.
එබැවින් එම තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත්, රිලවුන් අපනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම වැළැක්වීමේ ආඥාවක් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

මේ අතර රිලවුන් සම්බන්ධ කාරණයේ දී චීනයට යළිත් වරක් මෙරට ජනතාව හමුවේ මෙන්ම රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ද සිය අවංකභාවය පිළිබඳ බරපතල පරික්ෂාවකට මුහුණ දීමට සිදුව තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සිදු කළ ප්‍රකාශයත් සමග රට තුළ මතු වූ විරෝධතාවත් සමග මෙරට චීන තානාපති කාර්යාලය ට්විටර් සටහනක් තබමින් පැවසුවේ තම පාර්ශ්වයෙන් එවැනි ඉල්ලීමක් ඉදිරිපත් නොකළ බවයි.
ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යවරයා සහ කැබිනට් ප්‍රකාශකවරයා විසින් ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද පැහැදිලි කිරීම් ද තමන් විසින් නිරික්ෂණය කළ බවත්,මේ සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය බීජිං බලධාරීන් සමඟ ද පරීක්ෂා කර ඇති බවත් එහි සඳහන් වුණා.

වන සතුන් සහ ශාක ආනයනය සහ අපනයනය අධීක්‍ෂණය කරන සහ කළමනාකරණය කරන ප්‍රධාන රජයේ දෙපාර්තමේන්තුව වන චීන ජාතික වන විද්‍යා සහ තණබිම් පරිපාලනය එම ඉල්ලීම පිළිබඳව නොදන්නා බව තරයේ කියා සිටි බව අදාළ නිවේදනයේ දැක්වුණා.
එමෙන්ම කිසිදු පාර්ශවයකින් එවැනි අයදුම්පතක් ලැබී නොමැති බව ද ඔවුන් තහවුරු කර ඇතැයි චීන තානාපති කාර්යාලය තම නිවේදනයේ සඳහන්.
නමුත් ඉන් පසුව අවස්ථාවක කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමත් සමග චීනය ජාත්‍යන්තරය ඉදිරියේ නිරුවත් වී තිබෙනවා.
කිසිදු අවස්ථාවක රිලවුන් සම්බන්ධයෙන් ඉල්ලීමක් ඉදිරිපත් නොකළ බව චීන තානාපති කාර්යාලය පැවසුවද චීනයේ Zhejiang Wuyu Animal Breeding Co. Ltd විසින් එවැනි ඉල්ලීමක් කළ බව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා සාක්ෂි සහිතව අනාවරණය කළා.

ඊට අදාළ ලිපිය පවා මේ වන විට පොදු අවකාශයට මුදා හැර ඇති නමුත් චීන තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා නැහැ.
කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා අනාවරණය කළ ලිපියට අනුව රිලවුන් ඉල්ලා ඇත්තේ චීන සමාගමක් විසින් බව පැහැදිලි වනවා.
එවැනි පසුබිමක තම පාර්ශවයෙන් එවැනි ඉල්ලීමක් නොකළ බව පවසමින් චීන තානාපති කාර්යාලය ට්විටර් ඔස්සේ පවසන්නට උත්සාහ කළේ චීන රජය මෙම ඉල්ලීම නොකළ බවද?

චීනය මෙම සිද්ධියේදී ද තමන්ට සුපුරුදු ඇඟ බේරා ගැනීමේ න්‍යය අනුගමනය කරමින් පිළිතුර දැන දැනම තමන් කැමති තමන්ට හිතකර වෙනත් සන්දර්භයකට ප්‍රශ්නය රැගෙන විත් ඊට ගැලපෙන පිළිතුරක් දී තිබෙනවා.
ආණ්ඩුව රිලවුන් නොඉල්ලූ බව කියන්නට කඩිනමින් ට්විටර් සටහන් තැබූ චීන තානාපති කාර්යාලය චීනයේ පෞද්ගලික සමාගමක් කළ ඉල්ලීම සම්බන්ධයෙන් මුනිවත රකිමින් සිටිනවා.
අදාල චීන සමාගම රිලවුන් ඉල්ලා යොමු කළ ලිපියේ දිනය සටහන් වන්නේ මාර්තු 10 ලෙසයි.
චීන ආණ්ඩුව හෝ මෙරට චීන තානාපති කාර්යාලය මෙමම ඉල්ලීම ගැන නොදැන සිටියේයැයි පිළිගන්නේ කෙසේද?
අදාළ චීන සමාගම ඉල්ලීම කර ඇත්තේ එරට ආණ්ඩුව නොදැනුවත්ව නම් ඒ පිලිබඳ ප්‍රකාශයක් කිරීමට පෙර ඒ සම්බන්දයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයෙන් කරුණු විමසා පැහැදිලි කර ගත යුතුව තිබුණා නොවේද?
චීන ආණ්ඩුව හෝ කොළඹ චීන තානාපති කාර්යාලය කියන්නේ සත්‍යයක් නම් ශ්‍රී ලංකාවෙන් රිලවුන් ඉල්ලා නැති බව කියන ඔවුන්ගේ ට්විටර් පණිවිඩය නිකුත් විය යුතුව තිබුණේ මහින්ද අමරවීර අමාත්‍යවරයා එම ප්‍රකාශය සිදු කළ අවස්ථාවේදීයි.
නමුත් ට්විටර් පණිවිඩය නිකුත් වන්නේ රිලවුන් අපනයනය සම්බන්ධයෙන් රට තුල බරපතල විරෝධයක් මතු වීමේන් අනතුරුව අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් සති දෙකක් පමණ ගත වීමෙන් පසුව වීම විමතියට කරුණකි.
නමුත් ඇත්තටම චීනය කළේ සුපුරුදු පරිදි මුට්ටිය දා බැලීමකි.

එසේ නම් රිලව් අපනයනය සම්බන්ධයෙන් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පිළිතුරු සැපයිය යුතු ප්‍රශ්නාවලියක් අපි ඉදිරිපත් කරන්නෙමු.

  1. Zhejiang Wuyu Animal Breeding Co. Ltd නමින් සමාගමක් චීනයේ තිබේද?
  2. එය චීන ආණ්ඩුවේ අනුමැතිය සහිත සමාගමක් ද?
  3. මෙම සමාගම සහ චීන ආණ්ඩුව අතර සම්බන්ධයක් තිබේද?
  4. අදාල සමාගමට වන සතුන් ආනයනය සඳහා අවසර තිබේද?
  5. එම සමාගම සතුව සත්වෝද්‍යාන තිබේද? එසේ නම් කොපමණ සංඛ්‍යාවක්ද?
  6. රජයේ හෝ පෞද්ගලික සත්වෝද්‍යාන සඳහා වන සතුන් අළෙවිකිරීමට අදාල සමාගමට නීතිමය අවසරයක් තිබේද?
  7. ශ්‍රී ලංකාව රිලවුන් ලබා දීමට එකඟ වුවහොත් එම සතුන් ප්‍රදර්ශනයට හා අභිජනනයට පමණක් යොදා ගන්නා බවටත් වෙනත් කාර්යයක් සඳහා යොදා නොගන්නා බවටත් සහතික විය හැකිද?
  8. Zhejiang Wuyu Animal Breeding Co. Ltd වෙත සතුන් ආනයනයට අවසරයක් නොමැති නම් හෝ චීන ආණ්ඩුවේ නියමයන්ට පටහැනිව අදාල ඉල්ලීම කර ඇත්නම් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?
    චීන තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය කුමක් දැයි අපි බලා සිටිමු.

RECENT ARTICLES - SINHALA

කාලිද් අල් අමේරි දින 3ක ලංකාවේ සංචාරයක

ලොව ප්‍රමුඛ පෙලේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීයෙකු වන කාලිද් අල් අමේරි මෙම මස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බවට නිවේදනය කර තිබෙනවා.

මාගේ සේවය රටට අවශ්‍යය නම් ඕනෑම මොහොතක ලබා දෙනවා – මහින්දානන්ද අලුත්ගමගේ

තමා කිසි දිනක අමාත්‍ය ධුර ඉල්ලා නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ...

ඇමති කංචනගෙන් ඛනිජ තෙල් සේවකයන්ට විශේෂ නියෝගයක්

සියළුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් අයුරින් තොග සැපයීම සඳහා මේ සති අන්තයේ දින දෙකේ දී ද ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන...

RECENT ARTICLES - ENGLISH

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...

Presidential Pardon for 440 on Poson Poya Day

0
Prisons Spokesperson Chandana Ekanayake, a group of 440 prisoners is scheduled to be released tomorrow (03) as part of a presidential pardon...

President seeks patience of Public for a little longer

0
President Ranil Wickremesinghe said by persisting a little longer on the current trajectory, an economically stable future could be achieved devoid of...