33 C
Colombo
Monday, May 6, 2024

චීනයට රුපියල් කෝටි 136 ක් ගෙවීමට සිදුවූ පො⁣හොර නැවේ මුල මැද සහ අග

- Advertisement -

චීන පොහොර නැවට මොකද වෙන්නේ? පොහොර තොගය භාර ගන්න වෙයිද? මෙය බොහෝ දෙනෙක් මතු කරන ප්‍රශ්නයක්. අවසානයේ ඒ ප්‍රශ්නයට පිළිතුරක් ලබාදීමට කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ කටයුතු කර තිබෙනවා.ඒ අනුව ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ අර්විනියා නම් ශ්‍රී ලංකාවේ පසට අහිතකර බැක්ටීරියාව අන්තර්ගත චීන පොහොර තොගය වෙනුවෙන් එහි වටිනාකමින් සියයට 75ක් චීන සමාගමට ගෙවමින් ගැටලුව නිරාකරණය කරගැනීමට ශ්‍රී ලංකා රජය සුදානම් බවයි.

මෙලෙස එකඟතාවකට පැමිණීමට හේතුව ලෙස ඇමතිවරයා පෙන්වාදී ඇත්තේ මෙම පොහොර ගැටලුව දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටළුවක් දක්වා දුරදිග යෑම වලක්වාගත යුතුවීමයි. ඒ අනුව ඇමතිවරයා ප්‍රකාශ කරන සියයට 75ක ප්‍රමාණය, එනම් ඩොලර් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7 කට ආසන්න මුදලක්, ශ්‍රී ලංකා මුදලින් නම් රුපියල් කෝටි 136කට අධික මුදලක් චීන කාබනික පොහොර සමාගම වන ක්වින්දාවෝ බයෝටෙක් සමාගමට ගෙවීමට සිදුවනු ඇති.

මෙම අර්බුදයේ ආරම්භය සටහන් වූයේ මේ වන විට ආරම්භවී ඇති මහ කන්නයේ සිට කාබනික ගොවිතැන අනිවාර්ය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝගයක් නිකුත් කිරීමත් සමගයි. එම තීරණයට අදාළ කැබිනට් තීරණය ගැනෙන විටත් චීනයෙන් කාබනික පොහොර ආනයනය කිරීමට අගමැති ලේකම් ගාමිණි සෙනරත්ගේ ලඟම ඥාතියකු වන ලෝලිත අබේසිංහට අයත් ‘චෙලීනා කැපිටල් කෝපරේෂන්’ නම් සමාගමක් විසින් ටෙන්ඩරයක් ලබාගෙන තිබුණා. එම ටෙන්ඩරයට අනුව ‘හිප්පෝ ස්පිරිට්’ නමැති නමැති නෞකාවකින් චීනයේ ක්වින්දාවෝ බයෝටෙක් නම් සමාගමින් රුපියල් බිලියන 12.9ක් ගෙවා කාබනික පොහොර මෙට්‍රික් ටොන් 99,000ක් ඇනවුම් කෙරුණා. අර්බුදය සැබවින්ම ආරම්භ වූයේ එම පොහොර තොගය රැගත් නෞකාව මෙරටට ඒමට පිටත්විමත් සමගයි.

මෙම කාබනික පොහොර තොගයේ සාම්පලයක ‘අර්විනියා’ නමැති අහිතකර බැක්ටීරියාවක් පවතින බව නෞකාව මෙරටට ගමන් ගනිමින් තිබියදීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශාඛ නිරෝධායන ඒකකය විසින් අනාවරණය කෙරුණා. අල, ලූනු හා කැරට් වැනි වගාවල ඵලදා විනාශ කිරීමට මෙලෙස අනාවරණය කරගත් බැක්ටීරියාවට හැකියාව පවතින බව ක්ෂේත්‍රයේ විශේෂඥයන් පෙන්වා දුන්නා.

එම අනාවරණයෙන් පසු, පසුගිය සැප්තැම්බර් 17වැනිදා ජනමාධ්‍ය හමුවක් කැඳවූ කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කරන ලද්දේ ප්‍රමිති ආයතනය විසින් නම්කළ රසායනාගරකදී සිදුකළ පරීක්ෂණයකදී මෙවැනි අහිතකර බැක්ටීරියාවක් අදාල පොහොර සාම්පලවල පවතිනවා යැයි අනාවරණයවී නොමැති බවයි. කෙසේවෙතත් මෙරටට ගෙන්වීමෙන් අනතුරුව පොලිස් ආරක්ෂාවද යොදවා රජයේ රසායනාගාර මට්ටමින් සිදුකළ පරීක්ෂණයේදී දෙවන චීන පොහොර සාම්පලයේද මෙරට පසට අහිතකර ක්ෂුද්ර ජීවීන් සිටින බව අනාවරණය වුණා. මෙම දෙවන පොහොර සාම්පල පරික්ෂා කර තිබුණේ ඇමතිවරයා පෙරකී ප්රමිති ආයතනයේ සහ ශාක නිරෝධායන මධ්යස්ථානයේ රසායනාගාර තුළයි. එම නිසාම පළමු වතාවේ මෙන් සැප්තැම්බර් 27වැනිදා නිකුත් කළ දෙවන වාර්තාවේ සම්පුර්ණ තොරතුරු බාහිර විශේෂඥයන්ට ලබාගත නොහැකි අයුරින් අප්රසිද්ධියේ තබාගැනීමට ඇමතිවරයා කටයුතු කරනු ලැබුවා.

චීන පොහොර අහිතකර බවට විශේෂඥයන් නැවත නැවත සහතික කිරීමත් සමග කෘෂිකර්ම ඇමතිවරයාට තවදුරටත් චීන සමාගම ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියේ තවදුරටත් රැඳීසිටීම අසීරු වුණා. එමනිසාම මෙරටට ගෙන්වූ දෙවන චීන පොහොර සාම්පලයෙන්ද අහිතකර ක්ෂුද්‍රජිවින් හමුවීමෙන් අනතුරුව ඉදිරි මහ කන්නය වෙනුවෙන් ආනයනය කිරීමට නියමිත තිබූ නයිට්‍රජන් අන්තර්ගත කාබනික පොහොර චීන සමාගමෙන් ආනයනය නොකරන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ සැප්තැම්බර් 28වැනිදා පළමු වරට සඳහන් කරනු ලැබුවා. මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වාද එදිනම අදහස් පළකරනු ලැබුවා. ඔහු පෙන්වාදුන්නේ තම දෙපාර්තමේන්තු යටතේ ඇති ශාඛ නිරෝධායන මධ්‍යස්ථානයේ නිර්දේශ නොකරන කිසිදු පොහොර වර්ගයක් හෝ ද්‍රව්‍යක් රට තුළට ගෙන එමට ඉඩ නොදෙන බවයි.

චීන පොහොරවල අර්විනියා නමැති බැක්ටීරියාව පමණක් නොව, මිනිස් අසුචි වල අඩංගුවන ඊකෝලායි යන බැක්ටීරියාවද අන්තර්ගත බව විශේෂඥයන් විසින් අනාවරණය කෙරුනේ මේ අතරතුරයි. මෙම චෝදනාත් සමග චීනය රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ශ්‍රී ලංකාවට එරෙහිව සටන ආරම්භ කිරීමට පියවර ගනු දැකගන්නට ලැබුණා. එහි ආරම්භය ලෙස මෙම පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීම නිසා ශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍රත්වයට බාධාවක් ඇතිවිය හැකි බව සඳහන් කරමින් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා කෘෂිකර්ම ඇමැතිවරයාට ලිපියක් යොමුකළා. පොහොර තොග ප්‍රතික්ෂේප කළහොත් දෙරට අතර හොඳහිත බිඳෙන්නට හැකි බවද තානාපතිවරයා වැඩිදුරටත් සිය ලිපියේ සඳහන් කරනු ලැබුවා.

මේ අතර අදාළ චීන සමාගමෙන්ම තවත්(තෙවැනි) පොහොර සාම්පලයක් ගෙන්වා පරීක්ෂා කිරීමටද කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු කරනු ලැබුවා. ඇමතිවරයාගේ මෙම තීරණයත් සමග චීනය බලවත්සේ කෝපයට පත්වුනා. එම කෝපය පිටකරමින් චීන තානාපති කාර්යාලය ඔක්තෝබර් 08වැනිදා ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගත්තා. එම නිවේදනයෙන් චීනය පැවසුවේ රජයේ පොහොර ටෙන්ඩරය ලබා ගත් ක්වින්දාවෝ සීවින් බයෝටෙක් ආයතනය ඉහළම මට්ටමේ සමාගමක් බවයි. එම සමාගම ශ්‍රී ලංකාවට එවීමට සැලසුම් කළ කාබනික පොහොර තොගයේ දැඩි හානිකර අර්විනයා බැක්ටීරියා ඇති බව ට ජාතික ශාක නිරෝධායන සේවය කළ හෙළිදරව්වට කිසිඳු විද්‍යාත්මක පදනමක් නැතැයි ද චීනය ප්‍රකාශ කළා. මෙම සිදුවීම නිසා ක්වින්දාවෝ සීවින් බයෝටෙක් සමාගමට විශාල මූල්‍ය අලාභයක් සිදුව ඇති බවත් නිවේදනයෙන් අවධාරණය කෙරුණා.

මෙම සියලු මත ගැටුම් අතර වුවත් පොහොර තොගය රැගත් නෞකාව ආපසු චීනය බලා ආපසු යාමක් සිදුවුනේ නැහැ. ඒ වෙනුවට කොළඹ වරාය ආසන්නයට පැමිණි නෞකාව සිංගප්පුරුව බලා මද විරාමයකට හරවා ගිය අතර ඔක්තෝබර් 12 වැනිදා පමණක් එහි රැඳී සිට ඊට පසුදාම සිය සංඥාද අවහිර කරගනිමින් නැවත ශ්‍රී ලංකාව බලා පිටත්ව පැමිණියා.


ඔක්තෝබර් 25වැනිදා පමණ වන විට මෙම චීන පොහොර තොගයට සම්බන්ධ අප්‍රසන්න සිදුවීම් ආරම්භ වුණා. එදින චීන තානාපතිවරයා විසින් තමාට නොමැති බලයක් භාවිත කරමින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම රාජ්‍ය ඇමතිවරයා සහ අමාත්‍යංශ ලේකම්වරයාව සිය තානාපති කාර්යාලයට කැඳවා තිබුණා. මෙම කැඳවීම කෘෂිකර්ම ඇමැතිවරයාටත් ලැබී තිබුනත් ඔහු එම හමුවීම මගහැරියා. මෙය පැහැදිලිවම රාජ්‍ය තාන්ත්‍රික ප්‍රොටෝකෝල උල්ලංඝනය කිරීමක්. සාමාන්‍ය ක්‍රමවේදය වන්නේ රටක ඇමතිවරයකු සමග සාකච්ඡාවක් සඳහා වෙනත් රටක තානාපතිවරයකු අදාළ ඇමතිවරයා හමුවීමට යෑමයි. එහෙත් චීනය සිය මුල්‍ය බලය සහ ශ්‍රී ලංකාවේ ණයගැතිභාවය භාවිත කරමින් කරන ලද අනකිරිම හමුවේ ඇමතිවරුන්ට අවසානයේ තානාපතිවරයා හමුවට යෑමට සිදුවුණා. එහිදී චීන තානාපතිවරයා මෙම පිරිසට අවධාරණය කර තිබුණේ චීන නෞකාව කොළඹ වරායට ඇතුළුකරගෙන එහි පවතින පොහොර තොගය රටට බාර ගැනීමට කටයුතු නොකළහොත් අනිසි ප්‍රතිවිපාක රැසකට මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇති බවයි. මෙම සාකච්ඡාවෙන් පැය 24ක කාලයක් ගතවන්නටත් මත්තෙන් කොළඹ චීන තානාපති කාර්යාලය අදාල පොහොර තොගය නිෂ්පාදනය කළ ක්වින්දාවෝ සිවීන් සමාගමේ ලිපි ශීර්ෂය යටතේ විශේෂ ලිපියක් නිකුත් කරනු ලැබුවා. එය පැහැදිලිවම ශ්‍රී ලංකාවට තර්ජනය කරමින් නිකුත් කරන ලද ලිපියක්. මෙතෙක් කලක් ශ්‍රී ලංකාවේ ජනතාව නොදැන සිටි කරුණු කිහිපයක්ද එම ලිපියෙන් හෙළිදරව් කර තිබුණා.

ඉන් ප්‍රධානම ඉන් ප්‍රධානම හෙලිදරව්ව වන්නේ මෙම පොහොර තොගය ශ්‍රී ලංකාව විසින් මේ වන විටත් නියමිත ක්‍රමවේද ඔස්සේ ණයවර ලිපි විවෘත කරමින් ඇණවුම් කර තිබීමයි. යම් හෙයකින් මෙම පොහොර ඇණවුම අවලංගු කළහොත් මෙම ක්‍රියාවලිය සඳහා ණයවර ලිපි විවෘත කරමින් ඊට මැදිහත් වූ ශ්‍රී ලංකාවේ මහජන බැංකුව අසාදු ලේඛනගත කිරීමට කටයුතු කරන බවටත් චීන තානාපති කාර්යාලය සිය ලිපිය තර්ජනය කළා. මෙහිදී චීනය ප්‍රමාද වුනේ නැහැ. ලිපියෙන් කී ලෙසම ඊට දින දෙකකට පසුව, එනම් ඔක්තෝබර් 29වැනිදා චීනය විසින් ශ්‍රී ලංකාවේ මහජන බැංකුව අසාදු ලේඛන ගත කරනු ලැබුවා. එහි සරල අර්ථය වූයේ ඉදිරියේ දී මහජන බැංකුව හරහා චීනය සමග කරන ගනුදෙනුවලදී ණයවර ලිපි(LC) විවෘත කිරීමේ අවස්ථාව අහිමි වන බවයි.

අනතුරුව පොහොර රැගත් හිපෝ ස්පිරිට් නෞකාව ශ්‍රී ලංකාවට බාරගැනීමට සිදුවන තැනට කරුණු සිදුකරමින් පසුගිය නොවැම්බර් 07 වැනිදා පස්වරුවේ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරනු ලැබුවා. එම පණිවිඩය අදාළ පොහොර තොගය ශ්‍රී ලංකාවට නිෂ්පාදනය කරන ලද ක්වින්ඩාවෝ සීවින් සමාගම වෙනුවෙන්. චීනය මෙහිදී පවසා ඇත්තේ අදාළ පොහොර තොගයේ සාම්පල ශ්‍රී ලංකාවට ඒවා ඇත්තේ 2021 ජුලි 28වැනිදා, එනම් මෙම ආන්දෝලනය ආරම්භ වීමට බොහෝ කලකට පෙර බවයි. මිට පෙර ප්‍රකාශවී තිබුනේ පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙම පොහොර තොගය නැව්ගත කරන විටත් ඒවායේ සාම්පල පරීක්ෂණවලට අදාළ අවසන් වාර්තා පවා නිකුත් කර නොතිබූ බවයි. එහෙත් චීනය පෙන්වාදුන්නේ මෙම පොහොර තොගය ඇනවුම් කළ මෙරට පාර්ශ්වයන් හුදෙක් වංචනික ලෙස ලාභ ලැබීම පමණක් ඉලක්ක කර ඇති අතර ඇනවුම් කිරීමේ පටිපාටි කෙරෙහි කිසිදු අවධානයක් යොමුකර නැති බවයි.

මේ අතරතුර අහිතකර බැක්ටීරියා අන්තර්ගත චීන පොහොර නැව පදනම් කරගනිමින් චීනය ශ්‍රී ලංකාවට සිදුකරන බලපෑමට එරෙහිව නොවැම්බර් 12 වැනිදා පළමු වරට කොළඹ චීන තානාපති කාර්යාලය ඉදිරියේ විරෝධතාවක් සංවිධානය කෙරුණා. මෙම විරෝධතාවට එක්ව සිටියේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිත පිරිසක්. ඔවුන් එහිදී චීන මැදිහත්වීමට එරෙහිව විරෝධය පළකර සංදේශයක්ද තානාපති කාර්යාලටය ලබාදෙනු ලැබුවා. මේ අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණ, පර්යේෂණ හා මෙහෙයුම් නිලධාරින් ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක රාජ්‍ය නිලධාරින් පිරිසක්ද මෙම විෂ සහිත පොහොර තොගය සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට එල්ලවන බලපෑමට එරෙහිව එදින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට(වර්ජනයකට) එක්ව සිටියා.

ලංකා පොහොර සමාගම කොළඹ වාණිජ මහාධිකරණය වෙත ගියේ මේ අතරතුරයි. ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කිරීමට ඉඩදී තමන් සිදුකරන ලද අවුල මද කලකට හෝ පස්සට දමාගැනීම සඳහා පොහොර සමාගම විසින් චීන සමාගමට හා එහි දේශීය නියෝජිතට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුව වෙත වාරණ නියෝගයක් ලබාගැනීමට සමත් වුනා. මෙම වාරණ නියෝගය නොවැම්බර් 30 වැනිදා දක්වා ක්‍රියාත්මකයි. කෙසේවෙතත් චීනය ඉන් අධෛර්යයට පත්වුණේ නැහැ. ඔවුන් නැවතත් නොවැම්බර් 09 වැනිදා කෘෂිකර්ම අමාත්‍යංශයට ලිපියක් යොමු කරමින් ටෙන්ඩර් ගිවිසුමේ පොහොර තොගය වෙනුවෙන් ගෙවීමට එකඟ වූ මිලෙන් සියයට 70 ක් සහ අමතර භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ගෙවන ලෙස ඉල්ලා සිටියා. චීන සමාගම ඉල්ලා සිටියේ මූලික ටෙන්ඩර් ගිවිසුමෙන් සියයට හැත්තෑවක් (ඇමරිකානු ඩොලර් මිලියන 5.6) හා භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ලෙස ඩොලර් මිලියන 36ක් ශ්‍රී ලංකාව විසින් තමන්ට ගෙවිය යුතු බවයි. එම මුදලේ දේශීය වටිනාකම ශ්‍රී ලංකා රුපියල් මිලියන 8444.8ක් තරම් විශාල මුදලක්.

මිට අමතරව ආනයන බලපත්‍ර ආරවුලක් හේතුවෙන් මිස පොහොරවල ප්‍රමිතිය හේතුවෙන් තමන් පොහොර තොගය ප්‍රතික්ෂේප නොකළ බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ පොහොර සමාගම් දෙක එකාබද්ධව ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කළ යුතු බවටද චීන සමාගම මෙහිදී තර්ජනය කර තිබෙනවා. මේ අතර විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නොවැම්බර් 14වැනිදා පස්වරුවේ ප්‍රකාශ කරන ලද්දේ උපද්‍රවකාරී ක්ෂුද්‍ර ජීවීන් සහිත බවට දෙවරක් සහතික කරන ලද චීන පොහොර තොගය 3 වැනි පාර්ශවයක් මගින් යළි පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකාව එකඟවූ බවයි. මේ අනුව චීනය අවසානයේ ශ්‍රී ලංකාවට ආපසු හැරීමට නොහැකි අයුරින් ප්‍රහාර එල්ල කළා.

දූෂිත බවට අනාවරණය වූ චීන කාබනික පොහොර තොගය සම්බන්ධයෙන් මතුව ඇති ආරවුලෙන් චීනයේ දැඩි බලපෑම හමුවේ අවසානයේ පසුබැසීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබෙන්නේ මෙවැනි අප්‍රසන්න පසුබිමක් තුළයි. ඒ අනුව අප මෙම ගැටලුවේ ආරම්භයේ සිටම අනාවැකි පලකළ ආකාරයටම චීනයේ වංචනික අවස්ථාවන්ට හසුව වංචනික ගනුදෙනුවකට එළඹුණු ශ්‍රී ලංකා කෘෂිකර්ම අමත්යන්ශයේද අනුදැනුම ලත් දේශපාලන හිතවතුන් නිසා දැන් සමස්ත රටටම අපකීර්තියක් මෙන්ම අතිවිශාල මුල්‍ය හානියක්ද අත්කරදෙමින්, චීනයේ අසූචි පොහොර තොගය එක්කෝ ලබාගනිමින් හෝ අත්හරිමින් මෙම ගනුදෙනුවේදී ‘වලිගය දෙපරැන්දේ’ ගසාගැනීමට ශ්‍රී ලංකාවට සිදුව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගත් පියා රිමාන්ඩ්

හංවැල්ල ප්‍රදේශයේ දී තම දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට තබාගෙන සිටි පියෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ මෙහෙයුමක දී අත්අඩංගුවට ගෙන තිබුණා. ඊයේ (05) රාත්‍රී...

මහ බැංකුවේ අලාභය ගැන ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා මහබැංකුව මෑතකදී සිය සේවකයන්ට ඉතිහාසයේ ඉහළම වැටුප් වැඩිවීම ලබාදී ඇත්තේ අඛණ්ඩව වසර 02ක් බිලියන ගණනින් පාඩු ලැබු වටපිටාවක බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය...

කාණුවක තිබී පාස්පෝට් තොගයක් හමුවෙයි

මහරගම ප්‍රදේශයේ කාණුවක තිබී විදේශ ගමන් බලපත්‍ර තොගයක් දමා තිබූ බෑගයක් හමුව තිබෙනවා. සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ, මහරගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය විදේශ රැකියා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...