30.1 C
Colombo
Friday, April 26, 2024

පාස්කු කොමිසමේ මතය කියන්නෙ ආණ්ඩුවෙ මතය නෙවෙයි

- Advertisement -

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව සර්ව සම්පූර්ණ වාර්තාවක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති G.L. පීරිස් අමාත්‍යවරයා පවසනවා.

එම වාර්තාව ප්‍රතිඵලයක්‍ නොමැති එකක් යැයි ඉන් අදහස් නොවන බවත්, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව ගන්නා නීතිමය ක්‍රියාමාර්ග සඳහා මෙම කොමිසම වාර්තාව යොදාගත හැකි බවත් අමාත්‍යවරයා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවට සහභාගි වෙමින්.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ කොමිෂන් සභාවේ මතය රජයේ මතය නොවන බවයි.

කොමිෂන් සභාව ඔවුන්ට පැවරූ රාජකාරිය අනුව පාස්කු කොමිසම සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන් හෙලිදරව් කර ඇති බවත්, ඉන් එහාට ගොස් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හෝ දඬුවම් ලබාදීමට හෝ කොමිසමට බලයක් නොමැති බවත් ජී.ඇල්. පීරිස් මහතා පවසනවා. කොමිසමේ වාර්තාවද අධ්‍යයනය කරමින් වැරදිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ අපරාධ චෝදනා ගොනු කරනු ඇති බවද ඔහු අවධාරණය කරනවා.

මෙම වාර්තාව ගැඹුරින් අධ්‍යයනය කරගෙන යන බවත්, ඒ අනුව වාර්තාව සම්බන්ධයෙන් පක්ෂයේ නිළ මතය ඉදිරි සතියේදී ප්‍රකාශයට පත් කරන බවත් ඇමතිවරයා පවසනවා. ඇමතිවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබෙන්නේ වාර්තාව අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් රජයේ මතය ඉදිරිපත් කිරීමට බවද ඔහු පවසනවා.

ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්ද ජී.ඇල්. පීරිස් අමාත්‍යවරයා එහිදී අදහස් දැක්වීය. එ් පිළිබඳව මාධ්‍ය දැනුවත් කළ ඇමතිවරයා,

“ශ්‍රී ලංකාව පිළිබඳ ජිනිවා නගරයේ මානව හිමිකම් කවුන්සිලයේ ඉදිරියේ පැවැත්වෙන සාකච්ඡා දිගටම කෙරිගෙන යනවා. අදත් ඒ විවාදයට සම්බන්ධ වෙමින් රටවල් කිහිපයක් අදහස් ප්‍රකාශ කිරීමට නියමිතව සිටිනවා. මානව හිමිකම් කොමසාරිස්තුමිය අපේ රට සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු වාර්තා අපි මුල ඉදන්ම කිව්වා පක්ෂග්‍රාහි වාර්තාවක් කියලා. කිසිසේත්ම යුක්තිසහගත ලෙස කරුණු ඉදිරිපත් කරලා ඒ කරුණු විශ්ලේෂණය කරපු වාර්තාවක් නෙවේ. එතුමියගේම කාර්යාලයම ඒක පිලි අරගෙන යම් යම් ආකාරයේම වාර්තාව සංශෝධනය කිරිම සුදුසු කියලා ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ කරුණු කිසිසේත් ප්‍රමාණවත් නෑ.ඒ වාර්තාවේ පදනම වැරදි. අපේ රටට යුක්තිය ඉෂ්ට වන විදිහේ වාර්තාවක් නෙවේ මේ පිළිබඳව අවසාන ඡන්දය ජිනිවා නගරයේ සති දෙක තුන ඇතුළත විමසයි කියලා අපේ බලාපොරොත්තුව.

මේ පිළිබඳ ශ්‍රි ලංකාවේ රජයේ ස්ථාවරය ඉතාමත් පැහැදිලියි. ගිය සතියේ ගරු විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා දුරස්ථ මාර්ගයෙන් අදහස් ප්‍රකාශ කරා. එතුමාගේ දේශනය පැවැත්තුවේ පෙබරවාරි 23 දා. මේ රටේ ප්‍රධාන දේශපාලන බලවේගය හැටියට අපේ අදහස් මේ පිළිබඳව අපි ප්‍රකාශ කිරීමට කැමතියි. ජිනිවා නගරයේ පසුගිය සතිය තුළ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් පැවැතුණු විවාදය පදනම් වුණේ මහ කොමසාරිස්තුමියගේ වාර්තාව අනුවයි.

දැන් ඒ වාර්තාව දෙස බලනකොට කැපීපෙනෙන ලක්ෂණය තමයි කිසිසේත් වාර්තාව සම්බන්ධ වන්නේ නෑ යුද්ධ කාලයේ කෙරුණු දේවල්වලට. අපේ රටේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ඒ වාර්තාව සකස් වෙලා තිබෙන්නේ. 2019 නොවැම්බර් මාසයේ මහා කොමසාරිස්වරියගේ වාර්තාවෙන් මේ රටේ අභ්‍යන්තර කටයුතුවටල ඝෘජුවම අතපෙවීමක් සිදු වෙනවා. මේකෙන් සිද්ධවෙලා තිබෙන්නේ විදේශීය ආණ්ඩුවල යහපත, විදේශීය දේශපාලන පක්ෂවල පැවැත්ම, ඒවා සම්බන්ධයෙන් තමයි මේ වැඩපිළිවෙල දියත් කරලා තියෙන්නේ. කිසිසේත් සම්බන්ධ නෑ ශ්‍රි ලංකාවේ සුභ සිද්ධියට. අපේ රට දේශපාලන පාපන්දුවක් ලෙස භාවිතා කරමින් තමයි මේ වැඩපිළිවෙල සකස් කර තිබෙන්නේ.

දැන් කතා කරනවා යුද අපරාධය ගැන. යුද අපරාධ කරපු පුද්ගලයන් කොහෙද ඉන්නේ. යුද අපරාධ කර පැහැදිලි සාක්ෂි තියෙනවා ඒ අය ජීවත් වන්නේ මේ රටේ නෙවේ අපේ රට ලුහු බැඳගෙන යන රටවල්වල. අවුරුදු 12 ත් 14 ත් අතර දරුවන් බලහත්කාරයෙන් පාසලෙන් පැහැරගෙන යනවා. යුද කටයුතුවලට සම්බන්ධ කරලා ඒ ළමයින්ගේ බෙල්ලේ සයනයිඩ් කරල් එල්ලපු අය අද කොහෙද ජීවත් වන්නේ. ඡායාරූප තියෙනවා. ඒ අය මහත් ආඩම්බරයෙන් මේ සම්බන්ධයෙන් පොත්පත් ලිව්වා. ඒවා ප්‍රකාශයට පත් කරා. වෙන මොකක්ද අවශ්‍ය සාක්ෂිය. ජාත්‍යන්තර නීතිය යටතේ ඒවා බරපතල යුද අපරාධ. ඒවා කරපු පුද්ගලයින් ඒ රටවල්වල ජිවත් වෙනවා. ඒ අය සම්බන්ධයෙන් කිසිම පියවරක් අරන් නෑ. ඒවා රටවල් නීතිය අනුව පටහැනියි. ඒ රටවල් නීතිය යටතේ මේ යුද අපරාධ වෙනුවෙන් කිසිම පියවරක් අරන් නෑ. එසේ නිශ්ෂබ්දව ඉන්න රටවල් තමා ශ්‍රි ලංකාවට විරුද්ධව යුද අපරාධ චෝදනා අරගෙන දිගින් දිගටම අපේ රණවිරුවන් ලුහුබැඳගෙන යන්නේ. හරියට කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තීරණ වගේ.

මේ වැඩපිළිවෙල කිසිසේත් සම්බන්ධ නෑ යුක්තිය සාධාරණත්වය හා මානව හිමිකම්වලට. එකම අරමුණ අපේ රටේ අභ්‍යන්තර කටයුතුවලට කෙලින්ම මැදිහත් වෙලා විදේශීය බලවේග ශක්තිමත් කරන අභිලාෂය මිස වෙන කිසිම අරමුණක් මේ සමස්ත වැඩපිළිවෙල තුළ අපි දකින්නේ නෑ. අපිට තියෙනවා ලොකු ප්‍රශ්නයක් මේ ශ්‍රී ලංකාව පිළිබඳ මේ විවාදය දිගින් දිගටම ජිනිවා නගරයේ කෙරිගෙන යන අවස්ථාවේදී එකම මිනුම් දණ්ඩක් තියෙනවද කියලා.

ඇමරිකානු එක්සත් ජනපදය මේ සම්බන්ධයෙන් නීති සම්පාදනය කරලා තිබෙනවා. විදේශීය මෙහෙයුම් පනත හා දේශප්‍රේමී පනත කියලා වැදගත් අනපනත් 02 ක් ඇමරිකාවේ කොන්ග්‍රසයේ සම්මත කර තිබෙනවා. ඒ කරුණු පැහැදිලිව සඳහන්ව තිබෙනවා. ඇමරිකාවේ ත්‍රිවිධ හමුදාවට විරුද්ධව යම් කිසි විමර්ශනයක් ජාත්‍යන්තරව සිදු කරනවා නම් ඒ විමර්ශනය සම්බන්ධයෙන් කිසිම සහායෝගයක් දීම සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා ඇමරිකානු රජයට, ඇමරිකානු අධිකරණයට හා ඇමරිකානු පුරවැසියන්ට. ඇමරිකානු පුරවැසියන් ඇමරිකාවේ ත්‍රිවිධ හමුදාවට එරෙහිව ඝෘජුව හෝ වක්‍රව සම්බන්ධ වනවා නම් දැඩි දඬුවම්වලට යටත් කරනවා. ඇමරිකාව එක්සත් ජාතින්ගේ සංවිධානය තුළ නියෝජනය කරපු ජෝන් බෝල්ටන් තානාපතිවරයා කෙලින්ම ප්‍රකාශ කලා ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ කිසිම නිලධාරියෙක් ඇමරිකාවේ ත්‍රිවිධ හමුදාවට විමර්ශනයක් පැවැත්වීමට ඇතුළු වෙනවා නම් කෙලින්ම සිරගත කරනවා කියලා. මහා බ්‍රිතාන්‍ය තුළ කිසිම විමර්ශනයක් ත්‍රිවිධ හමුදාවට කරනවා නම් හෙලා දකිනවා, නිතිවිරෝධී කටයුත්තක්. ඒ සඳහා නිතිමය පියවර ගැනීමට ශක්තිමත් රාමුවක් සකස් කරලා තිබෙනවා මහා බ්‍රිතාන්‍ය නීතියෙ. ඒ රටවල් ශක්තිමත් පියවර අරගෙන තිබෙනවා ත්‍රිවිධ හමුදාව ආරක්ෂා කර ගන්න.”

RECENT ARTICLES - SINHALA

විරෝධතාවයක් වළක්වන්නැයි පොලීසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් සංවිධානය කළ විරෝධතා රැළියක් වළක්වන ලෙස කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...

බලශක්තියට නව නියාමන ආයතනයක්

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගුවන් යානා ඉන්ධන තෙල්, ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු, සහ ලිහිසි...

NSBM එකට හෝමාගමින් ඉඩම් දෙකක්

හෝමාගම, පිටිපන පිහිටි ඉඩම් කොටස් දෙකක් (02) සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) වෙත ලබා දීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. හෝමාගම නගර...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...