නව පෝට් සිටි නගරය පදනම් කොට ගෙන ඊළඟ අවුරුදු 5 තුළ දී අප රට තුළට අවම වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 15ක පමණ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට කටයුතු කරමින් පවතින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ 2021 ශ්‍රී ලංකා ආයෝජන සංසදයේ දෙවන දින සමාරම්භක උත්සවය අමතමින්.

ඩොලර් බිලියන 15ක පමණ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය නීතිමය සහ ව්‍යාපාර කිරීමේ පහසුතා රාමුව, අද වන විටත්, නව පනතක් තුළින් ස්ථාපනය කර ඇති බවයි ඒ මහතා පවසන්නේ. ඒ හරහා කොවිඩ් වසංගත මධ්‍යයේ වුව ද, අප රටේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරවීමට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බවත් නව පනත යටතේ, එක කවුළුවකින් සියලු ම සේවාවන් ආයෝජකයාට ලබා ගැනීමට හැකි වන නිසා, ලෝකයේ ම ඉහළ පෙළේ ආයෝජකයන් අප රටට පිවිසෙන්නට දිරිමත් කිරිම බලාපොරොත්තු වබ බවත් ඒ මහතා වැඩිදුරටත් පවසනවා.

2020 වසරේ දී නැවත රජය භාරගත් පසුව කොවිඩ් වසංගතයට අපට මුහුණ දෙන්නට සිදු වූ අතර රටේ ජනතාව කොවිඩ් උවදුරෙන් ආරක්ෂා කර ගැනීමට දින 66ක් තිස්සේ මුළු රට ම වසා තැබීමටත් සිදු වූ බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. ඒ බලපෑම් හේතුවෙන් 2020 වසරේ දී, සියයට 3.6කින් ආර්ථිකය සංකෝචනය වූ බවත් රටේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 80 දක්වා අඩු වූ බවත් ඒ මහතා වැඩිදුරටත් පවසනවා.
කෙසේ වෙතත් ණය ගැනීම වෙනුවට ණය නොවන විදේශ විනිමය ගලා ඒම ඉලක්ක කරගත් ක්‍රමවේදයක් හරහා රට දියුණු කිරීම අරමුණු කර ඇති බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටිනවා.
