උන්ම බෝල් කරලා අඩෝ උන්ම බැට් කරනවා
උන්ම ෆීල්ඩ් කරලා අඩෝ උන්ම කප් ගහනවා !
රස්තියාදු පදනමේ ගීතයක මේ කොටස ඇතුළත් ය. මට ඔවුන්ගේ ගීත රටාව අල්ලන්නේ නැත. එහෙත් ඔවුන්, ඔවුන්ගේ තාලයට කරන සටනේ, පෙනෙන හරයට මා එකඟ ය. රැප් ගැන, ගීත ආකෘති ගැන නොදන්නේ වුවද, අවුරුදු තුනේ-හතරේ සිට පාවිච්චි කරන නිසා වචන ගැන තරමක් දන්නේය. ඔවුන්, ඔවුන්ගේ ක්‍රමයට විරෝධය මුදාහරී. ඒ ක්‍රමයට එකඟ ද, නැද්ද, ඒක මගේ ආස විදිහ ද, නැද්ද යන්න වෙනම එකකි. කෙසේ වෙතත් මට ඇති අදහස් ප්‍රකාශනයේ අයිතිය, ඔවුන්ට අහිමි කිරීමට ඉඩ දිය නොහැකිය. එසේ වුවහොත් මගේ අයිතිය ද නැතිවෙන්නට වැඩි දවසක් යන්නේ නැත.
සදාචාරයට මුවා කරන මර්දනය
ඔවුන්ගේ අරමුණ කුමක්ද, කරන්නේ කාගේ කොන්ත්‍රාත්තුවක් ද යන්න මට අදාළ නැත. මුලින්ම එහෙම ලිව්වේ සදාචාර චෝදනා පසුපස සාමාන්‍යයෙන් ඒවා එන නිසා ය. ඔවුන්ගේ සියලු ගීත මා අසා නැත. අසා ඇත්තේ දෙකක් පමණි. ඒ දෙකේ වචන ටික සදාචාර ලේබලයෙන් කපාදාන්නට එළියේ සදාචාරවාදීන්ට පහසු විය හැකිය. එහෙත් කිසිවකුගේ හිත නොරිදෙන්නට, ශාන්ත-දාන්ත ගීත ගයන අයගේ ඇතුළේ සදාචාරය ඔවුන්ට ප්‍රශ්න කරන්නට නොහැකි වී ඇත්තේ ඇයි? සදාචාර ලේබලයෙන් කපා දමන්නට හදන රස්තියාදු පදනමේ ගීතවල ඇතුළේ කතාව කියවාගන්නට / ඒ කතාව එළියේ ජනතාව කියවාගන්නවාට ඔවුන් බය ඇයි?
මේ සදාචාරයට මුවා වී කරන මර්දනයකි. කොහොමත් මේ මහත්තුරුන් බලය පවත්වාගන්නට සදාචාරයට, චීවරවලට මුවාවීම අලුත් දෙයක් නොවේ. වැදගත්ම දේ, අපට වසංගතය පෙන්වමින්, ඔවුන් ඔවුන්ගේ තාලයට ගේම ගැසීම ය. ඒ බව තේරුම් ගැනීම ය.
අදහස් ප්‍රකාශනය
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1)(අ) ව්‍යවස්ථාවේ මෙසේ දක්වා ඇත. සෑම පුරවැසියෙකුට ම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය. එනම් ව්‍යවස්ථාවට අනුව එය පුරවැසියන්ට ඇති අයිතියකි.
කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 ව්‍යවස්ථාවේ දක්වා තිබෙන්නේ ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති මූලික අයිතිවාසිකම් සීමා කළ හැකි අවස්ථා ය. එහි 15(2)ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳිය හැක්කේ හෝ ක්‍රියාත්මක විය හැක්කේ ආගමික හෝ වාර්ගික සහයෝගිතාව තහවුරු කිරීම සඳහා හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද, අධිකරණයට අපහාස කිරීම, අපහාසය හෝ වරදකට පෙළඹවීම සම්බන්ධයෙන් නීතියෙන් නියම කරනු ලැබූ සීමාවන්ට යටත්ව බව ය.
ව්‍යවස්ථාවේ කියන සදාචාරය මේක ද?
එසේම 15(7) ව්‍යවස්ථාවේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳිය හැක්කේ රාජ්‍ය ආරක්ෂාව ද, රටේ යථාපැවැත්ම ද තහවුරු කිරීම පිණිසත්, මහජන සෞඛ්‍ය හෝ සදාචාරය ආරක්ෂා කිරීම පිණිසත්, අන්‍යයන්ගේ අයිතිවාසිකම් හා නන්වැදෑරුම් නිදහස නිසි පරිදි පිළිගන්නා බවට සහ ඊට නිසි පරිදි ගරු කරන බවට වග බලාගැනීම පිණිසත්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පොදු සුබසාධනය සඳහා යුක්ති සහගත අවශ්‍ය දෑ සපුරාලීම පිණිසත් නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමාකිරීම්වලට යටත්ව බව ද සඳහන් ය.
ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගනිමින් නඩු තීන්දු රාශියක් ලබාදී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දු ලබාදීමේදී ව්‍යවස්ථාවේ 14(1)(අ) ව්‍යවස්ථාව පමණක් හුදෙකලා කොට තීන්දු ලබා දී නැත. එම ව්‍යවස්ථාවෙන් සංස්ථාපනය කොට ඇති අයිතිය සලකා බැලිය යුත්තේ 15(2) සහ 15(7) ව්‍යවස්ථාවල සඳහන් තත්ත්වයන් සමග ය.
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් නඩු තීන්දු කිහිපයක භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ගැන පැහැදිලිව දක්වා ඇත. වනිගසූරිය එදිරිව පීරිස් (SC/FR/199/87) නඩු තීන්දුවේ දී දැනුම බෙදාදීම ද භාෂණයේ නිදහස තුළට ගැනෙන බව දක්වා ඇත. විජේරත්න එදිරිව පෙරේරා (SC/FR/379/93) නඩු තීන්දුවේ දී රාජ්‍යයේ ක්‍රියාකාරිත්වය විවේචනය කිරීම ද භාෂණයේ නිදහස යටතේ පිළිගත හැකි ක්‍රියාවක් බව පැහැදිලිව දක්වා ඇත.
(අධිකරණ තීන්දු පිළිබඳ උපුටා ගැනීම් medialk.com වෙබ් අඩවියෙනි.)
මේ බොරු ද?
රස්තියාදු පදනම ආණ්ඩුවල කටයුතු, බලය වෙනුවෙන් ගහන ගේම් විවේචනය කර ඇත. මේ කියන්නේ බොරු ද?
‘සිංහල බෞද්ධයෝ අවුස්සලා සිංහල මුස්ලිම් යාළුවො කැපුවා
දෙදාස් විස්සේ අයියගේ චිත්‍රපටියේ මල්ලි නළුවා
ආරිය සිංහල අන්දලා අරකාටත් අන්දපන් සළුවක්
වැස්ස පෑව්වා විතරයි ආයිමත් එන්ඩයි යන්නේ කළුවක්’
(පද – ෆේස්බුක්)
2018 මාර්තු 05 – 07 දිනවල මහනුවර, දිගන, තෙල්දෙණිය ප්‍රදේශවලදී සිදුවූයේ කුමක්ද? ඒ අවුරුද්දේ මැයි මාසයේදී නිකවැරටිය, නාත්තන්ඩිය ප්‍රදේශවල ජනතාව උසිගැන්වූයේ කවුද? කුමක් සඳහා ද? මේ සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහිව භාවිත නොකළ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත, කෙටිකතාවක් ලියූ ශක්තික සත්කුමාරට එරෙහිව භාවිත කරන්නට කලබල වූයේ ඇයි? ඒ, මේ නිසා නොවේ ද?
‘උඩබලා කෙළ ගහ ගත් බල සේනා
සුර පුරෝ ගත් උන් තමයි වයනවා වීණා
ලෞකික අයියලා ප්‍රාඩෝවලින් රඟනවා බීලා
වඩින තැන පඩින ඇවිළුවොත් ඒකත් ගින්නක්’
(පද – ෆේස්බුක්)
‘දෙසිය විසිපහම හොඳයි අම්මා ගාන්න උදලු’
‘තිරික්කලේ පෙන්නලා අම්මා කරත්තේ බඳින්නන්
බත් පැකට් එකයි දාහයි ගල් කාලක් දෙන්නන්’
අවුල තියෙන තැන
මේවා අලුත් කතා නොවේ. ජනතාව කී කතා ය. මේවා හීන් සීරුවේ ජනතාවට මතක් කරන්නට ද හැකිය. රස්තියාදු පදනමේ තාලයට මතක් කරන්නට ද හැකිය. කලාවේදී ඒ ස්වාධීනත්වය සහ නිදහස තිබිය යුතුය. ඒ නිදහස ඔවුහු හැකිතරම් අහුරති. එහෙත් නැවත එය දිනාගැනීම වෙනුවෙන් එක්ව සටන් කළ යුතු නොවේද? රස්තියාදු පදනමේ සියලු ගීත මා අසා නැති බව යළිත් කිව යුතුය. ඔවුන්ගේ ගීත පිළිබඳ විවේචන ඇති තරම් තිබිය හැකිය. එහෙත් ඔවුන්ගේ අදහස් ප්‍රකාශනය සීමා කරන්නට ඒ අවුල් යොදාගන්නට ඉඩ දිය යුතු ද? ප්‍රශ්නය ඇත්තේ එතැන ය.
සදාචාර ප්‍රශ්නය
රස්තියාදු පදනමේ ගැටළුව ඇත්තේ ඔවුන්ගේ ගීතවල ඇති භාෂාවේ බව පැවසේ. එය තීරණය කිරීමට අදාළ චෝදනා ගොනුකිරීම් කළේ පොලිසිය ය. ඒ පැමිණිල්ලක් පදනම් කරගෙන ය. හැම පැමිණිල්ලකටම පොලිසිය මේ විදිහට ක්‍රියාත්මක වන්නේ නම්…? මේ පොලිසිය විසින් ම ය, සදාචාර ප්‍රශ්නයක් පටලවා ශක්තික සත්කුමාර රක්ෂිත බන්ධනාගාරගත කරන තැනට වැඩ සකස් කළේ. ඒ ද භික්ෂු පිරිසකගේ පැමිණිල්ලකට ය. තවත් උදාහරණ කොපමණක් ද? පොලිසියට සාහිත්‍යයේ සීමාවන් ලකුණු කළ හැකි ද?
රස්තියාදු පදනම කළ අපරාධය
අනෙක් අතට දරුවන් ඔන්ලයින් අධ්‍යාපනය ලබන නිසා ඔවුන්ට මෙමගින් ගැටළුවක් මතුවන බව මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි. අධිකරණයෙන් ද එවැන්නක් සඳහන් කර තිබූ බව මාධ්‍යවල පළ විය. මෙහිදී මතුවන ගැටළු දෙකකි. පළමුවැන්න, රස්තියාදු පදනමට එක හැන්දකිනුත්, වෙනත් යූ ටියුබ් නිර්මාණවලට තවත් හැන්දකිනුත් බෙදන්නට පොලිසිය කටයුතු කරන්නේ ඇයි ද යන්න ය. ඔවුන් කියන ආකාරයට සදාචාර ප්‍රශ්න මතුවන වෙනත් නිර්මාණ ඇත්තේ ම නැද්ද? ඒ භයානක අපරාධය කර ඇත්තේ රස්තියාදු පදනම පමණක් ද?
දෙවැන්න නම් සරල ය. දරුවන්ට මෙසේ සීමා දැමිය නොහැකි ය. දරුවන්ගේ දැනුම පුළුල් කළ යුතුය. ඔවුන්ව නීතියෙන් පාලනය කරනවා වෙනුවට, දැනුමින් සන්නද්ධ කළ යුතුය. දරුවා දැනගත යුත්තේ පොලිසියෙන් අල්ලන නිසා හෙල්මට් දැමිය යුතු බව ද? ඔළුව බේරා ගැනීමට හෙල්මට් දැමිය යුතු බව ද?
කළ යුත්තේ කුමක්ද?
ආණ්ඩුවට අවශ්‍ය වන්නේ ජනතා අදහස් මර්දනය කිරීම සඳහා නීතිය යොදා ගැනීමට ය. ඒ සඳහා නීතිය හතර අතේ ගැට ගසන්නේ කෙසේද යන්න ඔවුහු දනිති. එහෙත් එකට එක් වූ ජනතාවකට ඔවුන් පරාණ බය ය.
– ශාලික විමලසේන –