33 C
Colombo
Thursday, March 28, 2024

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය නිසා ලීසිං ගත්ත අයට මොකද වුණේ ?

- Advertisement -

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සියලුම ලීසිං සහ ෆිනෑන්ස් සමාගම් 2000 අංක 56 දරණ කල්බදු මූල්‍යකරණ පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි කළ යුතුය. එහෙත් එසේ නොකරන ලද ලීසිං පහසුකම් සපයන සමාගම් දහසකට වඩා දිවයින පුරා ක්‍රියාත්මක වන බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. නීත්‍යානුකූලව ලියාපදිංචි වී ඇති ලීසිං සහ ෆිනෑන්ස් සමාගම් 41 ක් ලංකාවේ ඇති අතර එම සමාගම්වල ශාඛා දිවයින පුරා පිහිටුවා ඇති බව මහ බැංකු දත්ත පිරික්සීමේදී  වටහා ගත හැකිය. තවද වසරක් පාසා එම ලීසිං සහ ෆිනෑන්ස් සමාගම් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අධීක්ෂණය කරන දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ පරීක්ෂාවට ලක් කෙරේ. එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි නොවූ මහ බැංකුවේ අනුමැතිය නොලත් මූල්‍ය සමාගම් කිසිවෙකුගේ අධීක්ෂණයට හෝ පරීක්ෂාවට ලක් නොවේ. ලියාපදිංචි වූ සමාගම්ද, සමීපව නිරීක්ෂණය කිරීමේ හැකියාවක් හෝ වුවමනාවක් ශ්‍රී ලංකා මහ බැංකුවට ඇති බවක් නොපෙනෙන්නේ, ලීසිං මාෆියාවක්ව, දිනෙන් දින තම සේවාදායකයින් සූරාකමින්, ලාභාංශ  වැඩිකර ගැනීමට කටයුතු කරන බව තහවුරු වන බැවිනි.

කොවිඩ් වසංගත උවදුර නිසාද, එයින් ඉක්බිතිව මේ වසර මූලාරම්භය සමඟින් සනිටුහන් වූ දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේද, ලීසිං පහසුකම් ලබාගත් සේවාදායකයින්ගේ ගැටළු හඳුනා ගැනීමටත්, යම් යම් සහන ලබාදෙමින් ඒ්වාට පිළියම් යෙදීමටත් කටයුතු කරනු පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මාර්ගෝපදේශ ලබාදෙන ලදී. ආසන්නතම වශයෙන් ඉකුත් ජූලි මස 22 වන දිනද, එවැනි මාර්ගෝපදේශ සහිත නිවේදනයක් ප්‍රකාශයට පත්විය.

පවතින සුවිශේෂී සාර්ව ආර්ථික තත්තත්වයන් හමුවේ බලපෑමට ලක් වූ ණය ගනුදෙනුකරුවන් සඳහා බලපත්‍රලාභී බැංකු විසින් සහන සැලසීම” නමින් එය නිකුත් කෙරිණි.

”කොවිඩ් -19 වසංගත තත්ත්වයේ ව්‍යාප්තියත් සමඟ, ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2020 මාර්තු මාසයේ සිට පීඩාවට පත් ණය ගනුදෙනුකරුවන් වෙත සහන සැලසීම සඳහා යෝජනා ක්‍රම කිහිපයක්  ම හඳුන්වා  දුන් අතර, එයට ණය සහන කාලයක් ලබාදීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම/ප්‍රති ලේඛනගත කිරීම, ණය ආපසු අය කර ගැනීමේ ක්‍රියාමාර්ග අත්හිටුවීම,  අඩු වියදම් කාරක ප්‍රාග්ධන ණය ලබාදීම,  සහ ඇතැම් බැංකු ගනුදෙනු සඳහා අය කළ ගාස්තු ඉවත් කිරීම ආදිය ඇතුළත් වේ.

මෙම සහන සඳහා පුද්ගලික අංශයේ  අංශකේ සේවකයින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SMEs) සහ සංචාර, ප්‍රවාහන, නිෂ්පාදන, සේවා, කෘෂිකර්මය, ඉදිකිරීම්, ඇඟළුම් , තොරතුරු තාක්ෂණය සහ ඒ් ආශ්‍රිත සැපයුම් හා ‌ඒ් ආශ්‍රිත සේවාවන්හි නිරත අනෙකුත් ව්‍යාපාර හා පුද්ගලයින් ඇතුළත් විය.

කෙසේ වෙතත්, කොවිඩ් 19 නිසා බලපෑමට ලක්වූ ණය ගනුදෙනුකරුවන් සඳහා ලබාදී තිබූ මෙම සහන කාලයන්ගේ  අවසන් අදියර 2021.12.31 දිනෙන් අවසන් වූ  අතර සංචාරක අංශයට ලබාදුන්  ණය සහන කාලයේ අවසන් අදියර 2022.06.30 දිනෙන් අවසන් විය.

ඒ් අනුව බැංකු මගින් ප්‍රවාහන ක්ෂේත්‍රය ලෙස, සංචාරක ක්ෂේත්‍රය ලෙස, කෘෂි කාර්මික කටයුතු සඳහා භාවිතා වන අත් ට්‍රැක්ටර් ආදී ලෙස කුමන වර්ගීකරණය යටතේ වුවද, විවිධ වාහන සඳහා ලීසිං පහසුකම් ලබාගත් පිරිස් මේවන විට දැවැන්ත පීඩාවකට ලක්ව සිටියි.එහිදී වඩාත්  තීරණාත්මක ලෙස හඬ වී ඇත්තේ ත්‍රීරෝද රථ රියදුරන්ය.

සමස්ත ලංකා ත්‍රීරෝද රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර විසින් දින කිහිපයකට ඉහතදී ෆේස්බුක්හි සටහනක් තබමින් ඉන්ධන අර්බුදය හමුවේ, ඉන්ධන ලබාගැනීම සඳහා ලියාපදිංචිවීමත් අර්බුදයක් බවට පත්ව ඇති අයුරු හැඟවෙන පරිදි ඔහු මෙසේ සටහනක් තබා තිබිණි.

“ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ ලක්ෂ 12 කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචිවී ඇතත් එයින් ධාවන තත්ත්වයේ තියෙන ත්‍රිරෝද රථ අතරින් ඊයේ (05) දිනය වෙද්දී පෙට්ට්‍රල් ලබාගැනීම සඳහා ලියාපදිංචිවී ඇත්තේ 912,000 කට ආසන්න ප්‍රමාණයක් පමණයි.

එයින් කොපමණ ප්‍රමාණයක් කුලී ත්‍රිරෝද රථ මගී ප්‍රවාහනයේ යෙදෙනවාද කියන එක නිශ්චිතව ගණනය කර නැතත් අවම වශයෙන් ලක්ෂ 5 ක් පමණ පූර්ණකාලීනව රැකියාවේ යෙදෙනවා ඇතැයි උපකල්පනය කිරීම යහපත්.”

වෘත්තී ත්‍රී රෝද රථ රියදුරන්ට සතියකට පෙට්‍රල් ලීටර් 3ක් පමණක් ලබාදීමට මේ ලිපිය ලියැවෙන මොහොත වන විට රජය විසින් තීරණය කර තිබීමද, ඔහුගේ දැඩි විවේචනයට ලක්ව ඇති අතර එම ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ඔහුගේ හැඟීමයි. මෙවන් වටපිටාවක ලීසිං සමාගම් විසින් තමන් පිට පටවා තිබෙන පීඩනය හා අකටයුතුකම් පිළිබඳව නුගේගොඩ පදිංචි 40 හැවිරිදි දෙදරු පියෙකු අප සමඟ අදහස් දක්වමින් කියා සිටියේ මෙහෙව් කතාවකි.

“මේ වෙද්දි මගේ වීල් එකේ ඇරියස් එක මාස 3ක්. මට ඒ්ක කොවිඩ් ප්‍රශ්නයයි, ඊට පස්සේ පහුගිය මාස හත අට ඇතුළේ එක දිගට කෑම බීම ගණන් ගියපු නිසයි,හොයන ගාණ වාරික ගෙවාගන්න ඉතුරුවක් වුණේ නෑ. ඒ් නිසා ගෙවා ගන්න බැරිවුණා. ඒ්ත් දැන් ඇරියස් තියෙන නිසා ගෙවන්න බැරි නම් වාහනය ගෙනත් දාන්න කියලා සමාගමෙන් කියනවා. මට වෙනත් ආදායම් නෑ. මං ජීවත්වෙන්නෙ, දරුවන්ට උගන්වන්නෙ ඔක්කොම දේවල් කරන්නෙ මේ රස්සාවෙන්. ඒ්ත් ආණ්ඩුවෙන් දෙන තෙල් ලීටර් තුනවත් ගන්න විදිහක් නෑ. මොකද, අර කිව්.ආර් කෝඩ් එක ගන්න ආදායම් බලපත්‍රය අලුත් කරන්ඩ ඔ්න. ලයිසන් ඉන්ෂුරන්ස් අලුත් කරන්න ඔ්න. ඒ්කට මගෙ වීල් එකේ පොතේ කොපියක් එයාලා අත්සන් කරලා දෙන්න ඔ්න. ඉතිං හිඟ වාරික ගෙවනකල් එයාලා ඒ්ක අස්සන් කරලා දෙන්නෙ නෑ. ඒ්ක අස්සන් කරලා දෙනකල් මට හයර් එකක් දුවන්න තෙල් ටිකක් ගන්න විදිහක් නෑ. හයර් දුවන්නෙ නැතිව වාරිකය ගෙවන්න සල්ලි හොයාගන්න බෑ” මේ ආකාරයට ඔහු මේවන විට මහා උභතෝකෝටිකයකට මුහුණදී සිටියි.

“කොහොමද මේ විදිහට අපි ජීවත් වෙන්නෙ. ඇයි මේ මිනිස්සුන්ට මේ කාරණය තේරිලා අපට සහනයක් දෙන්නෙ නැත්තේ” හෙතෙම අපගෙන් විමසයි. සැබවින්ම අපට ඒ් සඳහා ලබාදිය හැකි පිළිතුරක් නැත.වගකීම ගත යුත්තේ පාලකයින්ය. නිසි ලෙස කොවිඩ් වසංගතයද, රටේ ආර්ථිකය ද කළමනාකරණය කර ගැනීමට ඔවුන් අසමත්වීම හේතුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුව ඇත්තේ අසරණ ජනතාවටය.

ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පාලනය වන, ඔවුන්ගේ අධීක්ෂණයට ලක්වන බැංකු හෝ මූල්‍ය සමාගම් විසින්ද, මේවන විට ලබාදුන් සහන වැඩසටහන් ඉහත නිවේදනය අනුව කල්පිරී තිබේ. එහෙත් ජන ජීවිතය තවමත් යථාවත් වී නොමැත. මන්දයත් ගහින් වැටුණු මිනිසාට ගොනා ඇන්නාක් බඳු ‘කොවඩ් වසංගතය යම් පමණකට හෝ තුරන්වී ගිය ද,  ආර්ථික ආර්බුදය තීව්‍ර වී උද්ධමනය අතිශය තීරණාමත්මක වී ඇති නිසාය. ‍එදා හරිහම්බ කරගත් මුදලින් අද ජීවත්වීම බෙහෙවින් අසීරුය. ගොවි පවුල්වල ගෙවිලියන් සියයට 40 ක් පමණ ගණිකා වෘත්තියට යොමුවී ඇතැයි පසුගියදා, අනාවරණය කර තිබුණේ ගොවි සංගම් නායකයෙකි.ඉකුත් ජනවාරියේ සිට මේවන විට ඉහළ ගොස් ඇත්තේ සියයට 450ට වැඩි අගයකිනි. ආහාර උද්ධමනය සියයට 50 සීමාව ඉක්මවා ගොස් ඇති බව මහ බැංකු දත්තවලින්ම අනාවරණය වේ.

මෙහෙව් තත්ත්වයක ඇතැම්විට තමාගේ ස්වයං රැකියාවේ නිරත ත්‍රීරෝද රථය, බට්ටා වර්ගයේ ලොරි රථය, පාසල් වෑන් රථය, කාරය, ආදී ලෙස කුමන වාහනය වුවද, ලීසීං වාරිකය ගෙවා ගැනීමේ දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුව ඇති පුද්ගලයින්ගේ එදිනෙදා ජීවිතය අතිශය ඛේදවාචකයක් බැව් අමුතුවෙන් කිව යුතු නොවේ.මෙහෙව් වටපිටාවක වුවද, ලීසිං සමාගම් ක්‍රියාත්මක විය යුත්තේ තම සේවාදායකයින්ට අවස්ථාවක් ලබාදෙමින්,ඔවුන්ගේ අවම ජීවන තත්ත්වය පවත්වා ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලබාදෙමින්  තමාද, පැවැතීමේ වැඩපිළිවෙළකය. එහෙත් අවාසනාවකට ඔවුන් සිටින්නේ මස් රාත්තලම ඉල්ලන ක්‍රමවේදයක වීම ඉතාම කනගාටුදායකය. ලීසිං සමාගම්වල මට්ටමද, මෙහිදී නොතකා නොහළ යුතු සාධකයක් බවට පත්ව තිබේ.

බැංකු හෝ වෙනත් ගුණාත්මක සේවාවක් පවත්වාගෙන යන නම් දැරූ මූල්‍ය සමාගම් සමඟ ගනුදෙනු කිරීමේදී, ගනුදෙනුකාර ජනතාවට නිසි ක්‍රමවේදයක් ඔස්සේම ගමන් කළ යුතුය. ඇතැම්විට සියයට සියයක්ම නිවරදි ලියකියවිලි, ආදායම් තහවුරු කරන ලියවිලි, පරීක්ෂා කිරීම් සඳහා වැයවන කාලය, අවදානම ආදී බොහෝ දේ සැලකිල්ලට ගත යුතුය. ඒ් වෙනුවෙන් කාලය හා ශ්‍රමය වැය කළ යුතුමය.  වංගු ගැසීමකින් හදිසියේ තම කාර්යය කර ගැනීමට තැරැව්කරුවන් හරහා බොහෝ දෙනකු පෙළඹෙන්නේ මේ අනුවය. එහිදී ඇතැම්විට ඔවුන්ට හමුවන්නේ තලා පෙලා හෝ තම ලාභය ගැන පමණක් විශ්වාසය තබා සිටින, ඇතැම්විට ශ්‍රී ලංකා මහ බැංකුවේ පවා ලියාපදිංචි වී නොමැති ලීසිං සමාගම්ය.

නිසි අවසරය නොලත්, මෙවැනි  මූල්‍ය සමාගම් කටයුතු කරනු ලබන්නේ ඔවුන්ගේ හිතූමනාපයට කැලෑ නීතිය යටතේය. මේවා පිළිබඳව සොයා බැලීමට කිසිදු නිලධාරියකු නොමැති අතර ඒ පිළිබඳව පැමිණිලි කිරීමට අදාළ පුද්ගලයෙකු ද,  නොමැත. ශ්‍රී ලංකා මහ බැංකුවද, මෙහිලා තම වගකීම පැහැර හරිනු ලබන්නේ ජාතික පුවත්පතක පිටුවක් පුරා ‘ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි පහත සඳහන් මූල්‍ය සමාගම්වල හැර වෙනත් මූල්‍ය සමාගම් සමඟ කෙරෙන ගනුදෙනු පිළිබඳ තමන් වගකීමක් නොදරන බව”ට දැන්වීමක් පළකරමිනි. එහෙම නැතිනම් මූල්‍ය සමාගම් කිහිපයක නම් ඇතුළත් කොට දැන්වීමක් පළ කොට ඒ්වා සමඟ ගනුදෙනු නොකරන ලෙස අවධාරණය කරමිනි. එහෙත් එදිනෙදා ජීවිතයේදී මිනිසුන් ගනුදෙනු කරන්නේ පුවත්පත් දැන්වීම් බල බලා, ඒ් පිළිබඳ තාර්කිකව කල්පනා කරමින් නොවේ.

කල්බදු මූල්‍යකරණ ව්‍යාපාරයේ ලියාපදිංචි කිරීම සඳහා 2000 අංක 56 දරණ  කල්බදු මූල්‍යකරණ පනත 3 ඡේදය යටතේ පහත සඳහන් සුදුසුකම් සපුරා තිබිය යුතුය.

(අ) 1988 අංක 30 දරණ බැංකු පනතේ අර්ථානුකූලව බලපත්‍ර ලත් වාණිජ බැංකුවක් හෝ බලපත්‍ර ලත් විශේෂිත බැංකුවක් වන්නේ නම්,

(ආ) 1988 අංක 78 දරණ මුදල් සමාගම් පනතේ අර්ථානුකූලව මුදල් සමාගමක් නම් හෝ,

(ඇ) නියමිත පරිදි වූ අවම නිකුත් කළ හා ගෙවා නිමි ප්‍රාග්ධනය ඇති 1982 අංක 17 දරණ සමාගම් පනත යටතේ සංස්ථාගත කරන ලද පොදු සමාගමක් වන්නේ නම්,

මිස ඒ තැනැත්තා මේ පනත යටතේ ලියාපදිංචිවීමට සුදුස්සෙක් නොවන්නේය.

මෙම සුදුසුකම් සපුරා ඇති බැංකු ආයතන හා සමාගම්වලට පමණක් මූල්‍ය සමාගමක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අවසර දෙනු ඇත.

එසේ වුවද, මෙම අවසරය හෝ නිසි පරිදි ලබානොගෙන, ගස් යට බෝක්කු යට අටවා ගෙන ඇති කල්බදු පහසුකම් සපයන ආයතන දහස් ගණනක් තිබේ.  ඒවා ඉතා අසාධාරණ ලෙස ගිනි පොලිය අයකරමින්  ජනයා පීඩාවට පත්කොට ඇත. ඇතැම් විට දේපල උගසට ලියා ගන්නවා වෙනුවට ඒවා සින්නක්කරව පවා ලියාගත් අවස්ථාවන්ද, වාර්තා වේ. ජනයා මෙම හොර ලීසිං සමාගම් වෙතට යන්නට විවිධ හේතු තිබිය හැකිය. ඇතැම්විට නොදනුවත්කමටය. නැතහොත් වෙනත් නීත්‍යනුකූල බැංකු හා මූල්‍ය සමාගම්වලින් ණය ලබාගෙන ඒවා නොගෙවා ‘ක්‍රිබ්’ එකේ තමා ණය නොගෙවන ලද අයකු ලෙස වාර්තා ගත වී ඇති නිසාය.එසේත් නොමැතිනම් පහසුවටය.එහෙත් එවැනි ගනුදෙනු නිමාවන්නේ දේපළ ලීසිං සමාගම්වලට සින්නවී පුද්ගලයින් මහමගට ඇදවැටීමෙන් පමණක් නොව ඇතැම්විට ජීවිතයෙන් පවා වන්දි ගෙවන්නට සිදුවීමෙනි. කලකට ඉහතදී ත්‍රීරෝද රථ සංගම් නායකයෙකු එවන් ලීසිං මාෆියාකරුවන්ගේ මැර කණ්ඩායම් අතින් ඝාතනයට ලක්වූ බවද,සිහිපත් කළ යුතුමය. මෙවන් අවාසනාවන්ත තත්ත්වයන් යළි යළිත් සිදුනොවන්නට නම් නීතිය ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතන තම වගකීම නොපිරිහිහෙළා ඉටු කළ යුතුමය. පුරවැසියන් ඒ් සඳහා බලපෑම් කළ යුතුමය.

RECENT ARTICLES - SINHALA

ආමර් වීදීයේ ටයර් කඩයක ගින්නක්

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වේල්ස් කුමාර මාවතේ ටයර් කඩයක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයෙන් මේ වනවිට ගිනි නිවීමේ රථ 5ක්...

පෘථිවියේ වෙනසක් නිසා දවසෙන් තත්ත්පරයක් අඩුවෙයි?

ගෝලීය උණුසුම ඉහළ යාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතිනවා. ඝන අයිස් දියවීමත් සමග පෘථිවියේ හරයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් පෘථිවි භ්‍රමණ වේගය ඉහළ...

කබ්රාල්ට අල්ලස් නඩුවක්

2012 වසරේදී ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගෙන රජයට පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...