23.3 C
Colombo
Sunday, January 23, 2022

සාරියකින් අම්මම්මාගේ ලෝකය සෙවීම

- Advertisement -


දෙමළ භාෂාවෙන් අම්මාම්මා යැයි කියන්නේ මවගේ මවටය. එනම්, ආච්චි අම්මාටය. යුද්ධය මැද්දේ ඉපදී, යුද්ධයෙන් ගැලවෙනු පිණිස දේශපාලන සරණාගතයන් ලෙස ලංකාවෙන් පලා යන්නට සිදුවු දෙමළ පවුල්වල මිණිපිරියන් හා අම්මාම්මාලා අතර ඇති බැඳීම සුවිශේෂී එකකි.එලෙස පලාගිය පවුල්වල එක් පිරිසක් බොහෝවිට තම ජීවිත කාලයම ගෙවා ඇත්තේ විදෙස් රටවල්වලය. එක්කෝ කැනඩාවේය‍. ප්‍රංශයේය. බ්‍රිතාන්‍යයේය. ඩෙන්මාකයේය. ඔවුන්ට ආශ්‍රය කරන්නට වෙන්නේ ඒ සමාජයය. ඔවුන් මුසුවෙන්නේ ඒ බටහිර රටවල්වල සංස්කෘතියටය. දේශීය ගැමි දෙමළ සංස්කෘතිය ගැන ඔවුන්ට ඇත්තේ දූරස්ථ බැඳීමකි. සාම්ප්‍රදායික ඇඳුම් පැළඳුම්, සාම්ප්‍රදායික අදහස් ඔවුන්ට ඈතය. සම්ප්‍රදායෙන් ගැහැණුන්ට තිබුණු සීමා ඒ තරුණියන්ට නැත.


මේ තරුණියන්ගේ අම්මලා, ජීවිතයේ මුල් යුගය ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික දෙමළ සංස්කෘතිය සමග හැදී වැඩී, පසුව විදේශගත වූ අයය. ඒ නිසා ඔවුන්ට මේ සංස්කෘතින් දෙක අතර දෝලනය වෙන්නට සිදුවෙයි.එහෙත් ඒ අම්මලාගේත් අම්මලා ලංකාවේ ඉපදී, ලංකාවේම මුළු ජීවිත කාලය ගතකළ කාන්තාවන්ය. තමන්ගේ දියණියන්ට හඬනගා කතා නොකරන්නට ඉගැන්වූ අම්මලාය. ‘හැදියාව’ ගැන ඉගැන්වූ අම්මලාය. සාම්ප්‍රදායික කෑම්පීම් තනන්නට කියාදුන් අම්මලාය. ඒ අම්මලා එක්කෝ අවසාන කාලයේදී තම දරුවන් සමග ලංකාවෙන් පලා ගොස් ඇත. 


නැතිනම්, ඔවුන් සිටියදී දරුවන් ලංකාවෙන් පලා ගොස් ඇත.ඒ සාම්ප්‍රදායික අම්මම්මලා සහ බටහිර හැදී වැඩුණු මිණිපිරියන් අතර බැඳීම එකිනෙකට වෙනස් සංස්කෘතීන් දෙකක බැඳීමකි. 
මෙහි එන්නේ දෙමළ යුවතියන් තිදෙනෙකු වන දක්ශිනි, වාසුකි සහ විද්‍යා තමන්ගේ අම්මම්මා ගැන මතකයන් ගැන දැක්වූ අදහස්ය. තම අම්මම්මාගේ සාරිය ඇඳ ඔවුන් තමන්ට මඟහැරුණු අම්මම්මා සහ ලංකාව ගැන කතාකරයි. යුද්ධය නොතිබුණානම් ඔවුන්ට අම්මම්මා සමග ලංකාවේ ජීවත්වෙන්නට තිබුණි. මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් සංස්කෘතියක් මෙන්ම, සමාජීය ජීවිතයක්ද ඔවුන්ට උරුම වෙන්නට තිබුණි. 


දක්ෂිනී 


‘මම ඉන්නේ ඕස්ට්‍රෙලියාවේ. මට මතකයි අම්මාම්මා දවසක් අපේ මෙල්බන් වල ගෙදර ආව විදිය. ඇය මගේ හොඳම යාළුවා වුණා. අපි ඒ දවස් ගත කළේ බොහෝම විනෝදෙන් සහ සැහැල්ලුවෙන්. සමහර වෙලාවන් වල ඇය කතාන්දර කිව්වා. ඒ කතා අපේ පවුල ගැන. ඇය ඒ කතාන්දර කීවේ පින්තූර පෙන්වමින්. ඇය යාපනයේ ගෙවපු දවස් ගැන කීවා. ඒ පින්තූර කළු සුදු පින්තූර. සමහර වේලාවන් වල ඇය කිව්වේ සත්තු ගැන. හින්දු ආගමේ දෙවිවරුන් ගැන කතාන්දරත් ඇය කීවා. ඇය කියන  කතාන්දර තුළ මම ලෝකයක් මවා ගත්තා. ඒ මම අහලා නැති කතාන්දර.


මම එදිනෙදා කතාකළේ ඉංග්‍රසියෙන් අම්මම්මා සමග විතරයි මම දෙමළෙන් කතා කළේ. 1994 අවුරුද්දේ ඇය හදිසියේ මිය ගියා. එදා ඉඳලා මම දෙමළෙන් කතා කිරීමත් නැවැත්තුවා. 


මම උයන වෙලාවට, පායාසම්වලට දාන්න කුරුදු අඔරන වෙලාවල කල්පනා කරන්නේ අම්මාම්මා ගැන. නමුත් ඇය හිටියේ මම හිටපු  ලෝකයට වඩා වෙනස්ම ලෝකයක. ඇගේ සාරියක් ඇඳගෙන ඉදිද්දී හිතෙන්නේ ඇයට මම ළඟයි කියලා. මට ඇගේ ලෝකයේ අත්දැකිම්, ඇගේ ලෝකය තේරුම් ගන්න පුළුවන් කියලා හිතෙනවා. ඇය මේ සාරි ඇඳගෙන ඉන්නා වෙලාවල් වල මොනවා කල්පනා කරන්න ඇතිද. ඇයට දැනුණු හැඟීම් මොනවා වෙන්න ඇතිද කියලා මම කල්පනා කරනවා.මගේ අම්මාම්මා මහේෂ්වරි රාජසේකරම්. ඇය ඉපදිලා තියෙන්නේ 1925 දී. ඇය පාසල් යන අවදියේදි පාසලේ හොඳම ශිෂ්‍යාව වෙලා. එහෙත් ඇයට තිබුණු ලොකු අසනීපයක් නිසා ඇයගේ පාසල් ගමන නතර වෙලා.ඇය මගේ සීයා, මුතුතම්බි රාජසේකරම් සමඟ වයස අවුරුදු 27 දී විවාහ වෙලා. විවාහයෙන් පසුව කිහිපවතාවක්ම ඇයට දරුවන් ලැබෙන්න ඉදලා ගබ්සාවීම් වෙලා. ඒ ගබ්සා වීම් වලින් අනතුරුව  ඇය උමාදේවි සහ කලදේවි යන දියණියන් දෙදෙනා බිහි කළා. උමාදේවි තමයි මගේ අම්මා. යුද්ධය නිසා මගේ සීයා මියගිහින්. 1989 දි යුද්ධය තවත් වර්ධනය වෙමින් තිබුණ නිසා ඇය තමන්ගේ දියණියන් දෙදෙනා එක්ක ඕස්ට්‍රේලියාවට පලා ආ බව ඇය කියනවා. ඇය ඇගේ ජීවිතය බේරගන්න හිතුවේ නැත්නම්, අද අපේ ජීවිත සැහෙන්න වෙනස් වෙන්න තිබුණා.මම ඇයගේ සාරි නිතරම අඳිනවා. මම ඇගේ සාරි ඇඳගෙන ඉන්න විට මට  දැනෙන්නේ ඇය මගේ ලඟින් ඉන්න බව. අම්මම්මාගේ සාරි අඳින විට මට දුකකුත් දැනෙනවා. ඇය මගේ ලඟ නැති නිසා. මට මගේ භාෂාව නැති වුණ නිසා, මගේ සංස්කාතිය, මගේ රට නැති වුණ නිසා.’


වාසුකි


‘මම පුංචි කාලයේ ඇයට තිබුණු දැනුම ගැන පුදුම වුණා. කවුරුහරි ඇගෙන් අහන ඕනෑ ප්‍රශ්නයකට ඇයට උත්තර තිබුණා.මම වැඩියෙන්ම කැමති ඇගේ ඇය දෙමළ භාෂාව උසුරුවනවා බලන්න, ඇගේ කරුණාවට. ඇය ජීවත් වුනේ භක්තියකින්. ඇය දිනපතා අපි වෙනුවෙන් දෙවියන් යාඥා කළා. අපි කළේ පිරිසිදු වෙලා ඇය යාඥා කරන මේසය වටේ ඉදගෙන හිටපු දේ විතරයි.තවමත් මම ඇය ලඟ හුරතල් වෙනවා. ඇගේ වර්ණවත් සාරි මම ඇන්ද වෙලාවට මට දැනෙන්නේ, මම ඇය සමඟ මැජික් ලෝකයකට ගිහින් යාඥා කරනවා වගේ.


ඇය අපිට කාරණා කියලා දෙන්නේ ඇගේ අත්දැකීම් මතක්කරමින්. ඇය කරන හැමදෙයක් ගැනම ඇයට අවබෝධයක්, අරමුණක් තිබුණා. වැඩිවියට පත්වෙමින් සිටි අපේ පවුලේ තරුණ අය ඇය කියන දේවල් ගැන ඇහුම්කන් දුන්නේ නැහැ. නමුත් මම ඇය කියනා දේවල් ඇහුවා. ඒ නිසාම ම ලෝකය ගැන විශාල අවබෝධයක් ඇයගෙන් ලැබුණා.මම ඇයව අන්තිමට හමුවුණ දවසේ ඇය බොහෝම අමාරුවෙන් හිටියේ. ඇගේ වේදනාව නැති කරන්න මම ඇගේ පපුවේ බාම් තැවරුවා. බේබි ඔයිල් ඇගේ ඇගේ තැවරුවා. අපි දෙදෙනාම අපේ දෙපා වලින් මේ ලෝකයේ සිටගත්ත ගැහැණු. ඇය ඇගේ මාතෘ භූමියේදි  දරාගත්ත වේදනා සියල්ලම විඳදරා ගනිමින්, ඒවාට මුහුණු දුන්න ගැහැණියක්.’


‘මම ඉන්නේ ඩෙන්මාකයේ. ඇගේ නම මාරි මුත්තු. ඇය ඉපදිලා තියෙන්නේ  තියෙන්නේ ත්‍රිකුණාමලයේ. ඊලාම් යුද්ධයත් සමග අපි හැමෝම ලංකාව දාලා මුහුදු මාර්ගයෙන් තමිල්නාඩුවට ආවා. අපේ පවුලේ ගොඩක් අය වෙනත් ජාතීන්ගේ අයව විවාහ කරගෙන හිටියේ . ඒ නිසා අපි නිවාඩුවට  කොළඔ ගියා. අම්මම්මා අපව දෙහිවල සත්වෝද්‍යානයට එක්ක ගෙන ගියා. 


පෙර පාසල් යන වයසේ  මම හැදුණේ ත්‍රිකුණාමලයේ. ඇය මට භරත නාට්‍යම් ඉගැන්වුවා. මගේ ඇදුම් මහනවා. ඇය චිත්‍ර අඳිනවා. ඇගේ පාසල් කාලය ගැන ඇය නිතර මට කියනවා. ඇය ඉගෙන ගෙන තිබුනේ 10 වසරට වෙනකම් විතරයි. ඉන්පස්සේ ඇය මගේ සීයා එක්ක විවාහ වෙලා තිබුණා. ඇය දක්ෂ කාන්තාවක්. ඒ වගේම ඇය ශරීරයෙන් ශක්තිමත් කාන්තාවක්. ඇය නිතරම අහල පහල කාන්තාවන් සමඟ රණ්ඩු කරගත්තා. ඇයට ඒ පැත්තේ ගොඩක් අය බයයි.ඇය තමයි අපේ පවුලේ භද්‍ර කාලි. ඒ නිසා ම පවුලේ අය ඇයට විරුද්ධව කිසිම දෙයක් කිව්වේ නැහැ. යුද්ධය පටන් ගත්ත දවස්වලම මගේ සීයා ඔහුගේ ළමයින් කිහිපදෙනෙක්වම පිටරට යැව්වේ ඔවුන්ගේ ජීවිත බේරා ගන්න. 1997 දී මගේ අම්මාම්මා මිය ගියා. ඇය මිය ගියේ දියවැඩියාව නිසා. 


ඇය මිය ගියේ මට වයස අවුරුදු 12 දි. ඇයට භද්‍රකාලිය යැයි කීවත් ඇය ගැන මතක් කරනකොට මුලින්ම මතක් වෙන්නේ ඇගේ හිනාව. ඇය සීනී වලට හරි කැමතියි.  ඒ නිසා ඇය කාටවත් ඇහුම්කන් දෙන්නේ නැතිව සීනී වැඩියෙන් දාපු කෝපි නිතරම බිව්වා. ඇය නිතරම පැණිරස, චොක්ලට් වගේ දේවල් කෑවා.


ඇගේ මරණයෙන් පස්සේ අපිට ඇයගේ දේහය බලන්න යන්න බැරි වුණා. එහෙත් පුංචි අම්මා අපව බලන්න ඩෙන්මාකයේ  ආපු වෙලාවක ඇගේ සාරි කිහිපයක් අරගෙන ආවා. ඇයගේ සාරි ඇඳගෙන ඉන්න වෙලාවට පුදුම ශක්තියක් දැනෙනවා. මගේ දරුවන්ට මම කියලා දෙනවා ඇය කොතරම් ශක්තිමත් කාන්තාවක් කියලා.’

RECENT ARTICLES - SINHALA

ගවඝාතනයට එරෙහි වූ අගමැතිට උපහාර

0
ගවඝාතනයට එරෙහිව අග්‍රාමාත්‍යවරයා ගත් තීරණයට කෘතවේදී වීම උදෙසා උපහාර පිදීමක් පසුගියදා සිදු කෙරිණි. ඒ, යාපනය ඥානවෛරවර් දේවස්ථානයේ පැවැති පට්ටිපෙන්ගල්...

ඉන්ධන මිල ඉහළ යයිද?

0
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල පෙරේදා (19) වනවිට ඩොලර් 89ක් දක්වා ඉහළ ගොස් තිබූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

අදත් විදුලි කප්පාදුවක් ?

0
දැවිතෙල් හිඟ වීමෙන් සපුගස්කන්ද විදුලි බලාගාරය යළි අක්‍රිය වීමේ අවදානමක් මතුව ඇති බව ඉංජිනේරුවන් පවසනවා. ඒ තෙල් සංස්ථාවෙන් විදුලිබල...

RECENT ARTICLES - ENGLISH

Royal college gets brand new bus from PM

0
Prime Minister Mahinda Rajapaksa yesterday (21) attended an event in Temple Trees, to handover a new bus to Royal College Colombo.

Kuwait Airways suspends flights to Sri Lanka

0
Kuwait Airways Corporation has suspended flights to Sri Lanka this week, in the midst of what the airlines called the “dollar crisis”...

At least 29 worshippers killed in Liberian church stampede

0
At least 29 people, including 11 children and a pregnant woman, have died in a stampede at an open-air Pentecostal church service...