28 C
Colombo
Saturday, May 4, 2024

දත්ත මැකු බවට සැකපිට අත්අඩංගුවට ගත් මෘදුකාංග ඉංජිනේරුවා රිමාන්ඩ්

- Advertisement -

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඩිජිටල් දත්ත පද්ධතියේ දත්ත මැකිමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එපික් ලංකා ටෙක්නොලොජීස් ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා ඔක්තෝම්බර් 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අද නියෝග කළා.

ඒ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඩිජිටල් දත්ත පද්ධතියේ දත්ත මැකියාම සම්බන්ධයෙන් එම දත්ත පවත්වාගෙන ගිය එපික් ලංකා ටෙක්නොලොජීස් ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුනේ ඊයේ දිනයේයි.

එලෙස අත්අඩංගුවට ගැනුනේ දිවුලපිටිය, වැල්ලපිට ප්‍රදේශයේ පිහිටි එපික් ලංකා ටෙක්නොලොජීස් ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා ලෙස සේවය කළ 34 හැවිරිදි අයෙක්.

සැකකරුගෙන් සිදුකළ මුලික ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් සහ වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපතිවරයා අද පස්වරුවේ සැකකරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කළා.

එහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සදහන් කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඩිජිටල් දත්ත පද්ධතියේ ඖෂද ආනයන සංයුතින්ට අදාළ ලිපිගොනු ලක්ෂ 11ක් මැකියාම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ ඉදිරි පියවරක් ලෙස මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුගෙන් සිදුකළ මුලීක ප්‍රශ්න කිරීම්වලදි මෙම දත්ත මැකීයාම හුදු තමන්ගේ අතින් සිදුවූ අත්වැරදිමක් බව සදහන් කර සිටියද, එය ඖෂධ ජාවාරම්කරුවෙකුගේ හෝ කණ්ඩායමකගේ ඉල්ලීම මත සිතාමතා චේතනාන්විතව සිදුකළ වංචාවක් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවා.

” ස්වාමිනි අද දින අධිකරණයට ඉදිරිපත් කරන මෙම සැකකරු 2021 ජුලි 09 වැනිදා අලුයම 3.47 සිට පෙරවරු 10.29 දක්වා රහස් ජංගම දුරකතන අංකයකින් මෙම ප්‍රශ්න ගත දත්ත පද්ධතියට ඇතුළු වී තිබෙනවා. එවැනි අලුයම් කාලයක පැය 7ක් තුළ ඔහු මෙම දත්ත පද්ධතියට පිවිස මොනවාද කළේ කියන එක ප්‍රශ්නයක්. ජාතික ඖෂධ නියාමන අධිකාරිය තමන්ට අදාළ දත්ත පද්ධතියට පිවිසීමට නොහැකි බව දැනගන්නේ පස්වරු 2ට පමණ. ඔවුන් ඒ සම්බන්ධයෙන් මෙම සැකකරු සේවය සැපයූ එපික් ලංකා ආයතනය දැනුවත් කර තිබෙනවා. එවිට එම ආයතනය දත්ත පද්ධතිය පරික්ෂා කිරීමට භාර දී තිබෙන්නේත් මෙම සැකකරුටමයි. පසුව සැකකරු යළි එම දත්ත ගබඩාවට පිවිසීමෙන් පසුවයි තමන්ගේ අතින් දත්ත මැකී ගිය බව ආයතනය දැනුවත් කර තිබෙන්නේ ” යැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පැවසුවා.

එහිදි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේ,

” ස්වාමිනි මෙම සැකකරු පවසනවා මෙය අත්වැරදීමක් කියලා. එසේනම් කොහොමද ඔහු දත්ත පද්ධතියට පිවිසිමට අදාළ History එක මැකී යන්නේ. මොහු දත්ත පද්ධතියට පිවිසී බවට වන ඉතිහාස සටහන් මොහු විසින් මකා දමා තිබෙනවා. මට අහන්න තියෙන්නේ තමන්ගේ අතින් අත්වැරදීමක් වුනානම් ඒක ඔප්පු කරන්න තියෙන සාක්ෂි ඇයි ඔහු විසින් මකා දැමුවේ කියලා. අනික ස්වාමිනි ජංගම දුරකතනයක Delete Button එක එබුව සැනින් දත්ත මැකෙනවා වගේ මෙවැනි දත්ත පද්ධතියක දත්ත මැකෙන්නේ නැහැ. ඒකට අවස්ථා ගණනාවකදී පියවර කිහිපයකට විධාන ලබාදිය යුතුයි. ” යැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සදහන් කළා.

එසේම මෙහිදි විශේෂ කරුණු අනාවරණයක් කරමින් දිලීප පීරිස් මහතා සදහන් කළේ මෙම සැකකරු විසින් දත්ත මැකින් දත්ත මැකීම සිදුකර ඇත්තේ ඔහු එපික් ලංකා ආයතනයෙන් අස්වීමට ලිපියක් පවා භාර දී තිබියදී බවයි.

දත්ත පද්ධතියේ මෙහෙයුම් කටයුතු සදහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් මසකට එපික් ලංකා ආයතනයට ලක්ෂ 05ක ගෙවීමක් කරන පසුබිමක ආයතනයෙන් ඉවත්වීමට දින 10ක් පමණක් ඉතිරිවී තිබු සේවකයෙකු මෙම වගකීම් සහගත කාර්යයට යෙදවීමෙන් ආයතනයේ වගකීම් විරහිත බව පෙන්නුම් කරන බවද ඔහු අධිකරණය හමුවේ පැවසුවා.

එහිදි වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙසේ කරුණු දැක්වුවා.

” ස්වාමිනි, මෙම දත්ත මැකීමේ අරමුණ බවට පත්වෙලා තියෙන්නේ ඖෂධ නියාමන අධිකාරියට ආනයනය කරන ලද ඖෂධ වල ප්‍රමිතින්, සංයුතින් හදුනාගැනීමට බැරි තත්ත්වයක් උද්ගත කිරීම. මෙහෙම දෙයක් සිදුකිරීමට අවශ්‍ය ඖෂධ ජාවාරම්කරුවන්ට. එවිට ජාවාරම්කරුවන්ට ඕනෑම ඖෂධයක් රට තුළට ගෙන ආ හැකියි.රටක ඖෂධ සැපයීම කියන කාරණය බලපාන්නේ රටේ රෝගි ජනතාවට. විශේෂයෙන් වසංගතයක් පවතින අවස්ථාවක ඖෂධ ජාවාරම්කරුවන්ගේ වුවමනාවට මෙවැනි සංවේදි දත්ත මකාදැමීම කියන්නේ රෝගී ජනතාව මරාදැමීමේ අරමුණින් කළ අමානුෂීක ක්‍රියාවක්. මේකට කියන්නේ ඩිජිටල් ත්‍රස්තවාදය කියලා ” යැයි සදහන් කළා.

ඒ අනුව මෙම සැකකරු විසින් දත්ත මකා දැමුවේ කුමන අරමුණකින්ද, ඒ සදහා ඔහුව පෙළඹවූ ජාවාරම්කරුවන් කවුරුන්ද, මෙම දත්ත මකාදැමීමට එපික් ලංකා ආයතනයෙන් අනුබලදීමක් සිදුවුනිද යන්න පිළිබද වැඩිදුර විමර්ශනයක් සිදුකරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය සැකකරු විසින් සිදුකර ඇති වරද ඉතා සූක්ෂම අන්දමින් සිදුකර ඇති බවට පැමිණිල්ල කරුණු දක්වා ඇති බැවින් විමර්ශන සදහා සුදුසු කාලයක් ලබාදිය යුතු බව පවසමින් සැකකරු ඔක්තෝම්බර් මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත් කිරීමට නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...