30 C
Colombo
Tuesday, May 7, 2024

නව මානයකට එළැඹුණු ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා

- Advertisement -

කලාපීය අසල්වැසියන් ලෙස ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇත්තේ සුවිශේෂි ආර්ථික, සාමාජයීය හා සංස්කෘතික සබඳතාවයකි. එමෙන්ම භූ දේශපාලනිකවද දෙරට අතර සහයෝගීතාව කලාපීය ස්ථාවරත්වයට හා සාමය රැක ගැනීම සඳහා ඉතා වැදගත් වනවා. පසුගිය කාලයක් පුරා ශ්‍රී ලංකාව චීනය දෙසට තිබූ නැමියාව යම් තරමකින් ඉන්දියාව නොසතුටට පත් කර තිබූ බව අතිශයෝක්තියක් නොවේ. විශේෂයෙන්ම හම්බන්තොට වරාය චීනයට වසර 99කට බදු දීම හේතුවෙන් මෙම තත්ත්වය වර් ධනය වූ අතර කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා නොදීමට ගත් තීරණය රාජ්‍යතාන්ත්‍රික නොසතුටට වඩාත් ප්‍රභල ස්ථානයකට රැගෙන යනු ලැබුවා.


නමුත් කොවිඩ් 19 වසංගතයේ පැතිර යාමත් සමග බරපතල ආර්ථික අර්බුදයක ගිලිණු ශ්‍රී ලංකාවට සහය පැතිය හැකි විශ්වසනීයම හවුල්කරුවා වූයේ සම්ප්‍රදායික මිතුරා වන අසල්වැසි ඉන්දියාවයි. ඒ අනුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ බිඳුණු සිත් සුවපත් කරගනිමින් දෙරට අතර හොඳ හිත වර්ධනය කර ගැනීමේ නිල සංචාරයක් සඳහා පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ නවදිල්ලියට පැමිණියා. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට තමන් මුහුණ දී සිටින ආර්ථික අගාධයෙන් ගොඩ ඒම සඳහා ඉන්දියාව සුවිශාල සහන පැකේජයක් හඳුන්වා දෙනු ලැබුවා.


ලෝකයේ අලුත් බලවතා ලෙස සිය ගමන ආරම්භ කළ චීනය ඉන්දියාවට ප්‍රබල අභියෝගයක් වුණා. චීනය ශ්‍රී ලංකාවට පය තබන්නේ ඉන්දීය සාගරයේ උපාය මාර්ගික පිහිටීම සැලකිල්ලට ගනිමින්. ඒ අනුව චීන ඇස ත්‍රිකුණාමලය තෙල් ටැංකි වෙත ද යොමු වනු ඇතැයි ඉන්දියාවට සැකයක් ඇති වුණා. නමුත් ඉන්දු ලංකා ගිවිසුම අනුව තුන්වන පාර්ශ්වයකට එහි සංවර්ධන අවස්ථාවක් නොමැති වුවද තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීම ඉන්දියාව සැලකුවේ තමන්ගේ පාර්ශ්වයෙන් ඉතා වැදගත් කරුණක් ලෙසයි.
ඒ අනුව එම ගිවිසුම සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට එළැඹෙන තුරු ශ්‍රී ලංකාවට ආධාර සැපයීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගත යුතු බවට දැනුම් දීමක් පැවැති බව “ද හින්දු” වෙබ් අඩවිය වාර් තා කර තිබුණා.

පසුගිය 6 වැනිදා ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධන ගිවිසුම අත්සන් තැබෙන්නේ මෙවැනි පසුබිමකයි. ගිවිසුම අත්සන් කොට සතියක් ගත වන අවස්ථාවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමඟ මාර්ගත සාකච්ඡාවක් පැවැත්වූ ඉන්දීය විදේශ කටයුුතු අමාත්‍ය එස්. ජයිශංකර් ට්විටර් සටහනක් තබමින් පැවසුවේ ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ස්ථිර හවුල්කරුවෙක් බවයි. එමෙන්ම දැවැන්ත ආර්ථික සහන පැකේජයක් සම්බන්ධයෙන් අවසන් එකඟතාවට ද අමාත්‍යවරු දෙපළ පැමිණි බව ඉන්දීය විදේශ අමාත්‍යංශය පසුව නිවේදනය කළා.


එක් පසෙකින් ඉන්දියාව වසර 16කින් අවසන් වීමට තිබූ ගිවිසුම වසර 50කින් දීර්ඝ කරගනිමින් ත්‍රිකුණාමලය යන සාධකය ස්ථාවර කර ගනු ලැබුවා. එය භූ දේශපාලනිකව ඉන්දියාවට ඉතා වැදගත්. අනික් අතට ශ්‍රී ලංකාවට මේ අවස්ථාවේ ඉන්දියාවෙන් ලැබෙන ආර්ථික පැකේජය රට මුහුණ දී සිටින අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අත්‍යාවශ්‍ය වනවා.


සාර්ක් මුදල් හුවමාරු විධිවිධානය යටතේ ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක් ලබා දීම සහ ACU (Asian Cleaning Union) වෙත ගෙවීමට ඇති ඩොලර් මිලියන 515.2 මාස දෙකකින් පියවීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් බැසිල් රාජපක්ෂ සමග පැවති සාකච්ඡාවේදී එකඟතාවට එළැඹ තිබෙනවා. එමෙන්ම අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක් සහ ඉන්දියාවෙන් ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 500ක ඉන්දියානු ණය පහසුකම් දීර්ඝ කිරීමේ ප්‍රගතිය අමාත්‍යවරුන් දෙදෙනා විසින් සමාලෝචනය කළ බව ද ඉන්දීය විදේශ අමාත්‍යංශය නිවේදනය කළා. ඒ අනුව ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුම සහ ආධාර පැකේජය අතර සබඳතාවක් ඇතැයි පැවසීම හුදු හිතලුවක් නොවන බව පැහැදිලියි.


නමුත් මෙම ගිවිසුම හරහා ආර්ථික පැකේජයට අමතරව තවත් වාසි රැසක් අත්පත් වන බවත් අමතක කළ යුතු නැහැ. මෙතෙක් කල් පූර්ණ වශයෙන් ඉන්දියාව සතුව තිබූ තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 85ක අයිතිය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා. ඉන් 24ක පූර්ණ අයිතිය ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු වනවා. ඒ අනුව සංස්ථාවේ තෙල් ගබඩා ධාරිතාව ඉහළ නැංවීමට මෙන්ම උතුර, උතුරු මැද හා නැගෙනහිර ඉන්ධන බෙදා හැරීමේ ප්‍රවාහන වියදමෙන් සැලකිය යුතු කොටසක් ඉතිරි කර ගැනීමටත් හැකි වනු ඇති. ටැංකි 61ක් ඛනිජ තෙල් සංස්ථාවට කොටස් 51%ක අයිතිය ඇති සංස්ථාවේ පාලිත සමාගමක් වන ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම මගින් සංවර්ධනය කරනු ඇති.


මෙම තෙල් ටැංකි ගනුදෙනුව දෙස භූදේශපාලනික ප්‍රවේශයකින් අවධානය යොමු කිරීම‍ වත්මන් සන්දර්භය තුළ අනිවාර්යෙන්ම සිදුකළ යුත්තකි. ඉන්දු පැසිෆික් කලාපයේ බල තුලනය පිළිබද පුලුල් අවධානයක් යොමුව ඇති පසුබිමක මෙම ගිවිසුම සම්බන්ධයෙන් එම පදනම මත පිහිටා විවිධ අදහස් පළව තිබෙනු නිරීක්ෂණය කළ හැකි විය.


නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා “ද හින්දු” වෙබ් අඩවියට පවසා තිබුණේ, “තෙල් පරිභෝජනය අතින් ඉන්දියාව ලෝකයේ තුන්වන ස්ථානයට පත්ව ඇති බවත්, වසර 2030 වන විට ඉන්දියාවේ එම අවශ්‍යතාවය තවත්50% කින් වැඩි වනු ඇතැයි පුරෝකථනය කර ඇති බවත්ය. මෙම යථාර්ථයන් මනසේ තබා ගනිමින්, ත්‍රිකුණාමලයේ තෙල් ගබඩා පහසුකම් සංවර්ධනය කිරීමෙන් අපගේ සෑම රටකටම ගෙන යා හැකි දේ අප අගය කළ යුතු” යැයි ඔහු එහිදී වැඩිදුරටත් සදහන් කර තිබිණ.


එක් ටැංකියක් ප්‍රතිසංස්කරණය සඳහා අවම වශයෙන් ඩොලර් මිලයන 100ක් වැයවනු ඇතැයි ගණන් බලා තිබෙනවා. නමුත් තවත් අවුරුදු 16කින් පසු ශ්‍රී ලංකාව මෙම ටැංකි ප්‍රතිසංස්කරණයට තීරණය කළේ නම් එය කිසිසේත්ම යථාර්තයක් නොවන බව පැහැදිලියි. එවැනි ආයෝජනයක් සඳහා කිසිවෙකු හෝ අවම වශයෙන් ඉන්දියන් ඔයිල් සමාගම හෝ ඉදිරිපත් වනු ඇතැයි විශ්වාස කළ නොහැකියි. එමෙන්ම ටැංකි සංවර්ධනය කීරීමෙන් පසු ඉන්ධන ගබඩා කිරීමට අමතරව වෙනත් ද්‍රව ගබඩා කිරීම සඳහා පහසුකම් සැලසීමට ද අවස්ථාව හිමි වනවා. එමගින් අමතර ආදායමක් උපයා ගැනීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හැකි වනු ඇති. එමෙන්ම ගිවිසුමට අනුව තෙල් ටැංකි සංකීර්ණය පිහිටි අක්කර 827ක් වන භූමිය සූර්ය බල විදුලි උද්‍යානයක් බවට පරිවර්තනය කෙරෙණු ඇති. එය මෙරට බලශක්ති සුරක්ෂිතතාවටද අමතර ශක්තියකි.


මේ අනුව පැහැදිලි වන්නේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුම හුදු ඉන්ධන ක්ෂේත්‍රයට පමණක් අදාළ සංවර්ධන ගිවිසුමක් පමණක් නොව එය තවත් ක්ෂේත්‍ර ගණනාවකට ප්‍රවේශයක් බවයි. එමෙන්ම ගිවිසුම හරහා ශ්‍රී ලංකාවට අහිමි වී ඇත්තේ තෙල් ටැංකි 14ක අයිතිය පමණක් වන අතර එයත් වසර 50ක කාලයකට පමණි. නමුත් ශ්‍රී ලංකාවට හිමිව ඇති දේ බොහෝයි. ආර්ථික ප්‍රතිලාභවලට අමතරව කලාපීය අසල්වැසියාගේ විශ්වසනීයත්වය තහවුරු කර ගැනීමට ලැබීම ශ්‍රී ලංකාවට මහත් පිටිවහලක් වන බවට සැක නැහැ. එමෙන්ම චීන සාධකය ඉදිරියේ කලාපීය සාමය හා ස්ථාවරත්වය රැක ගැනීම පිළිබඳ සැලකීමේදීද ඉන්දියාව සමග එක්ව තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට ගත් තීරණය භූ දේශපාලනික වශයෙන්ද වැදගත්ය. එබැවින් ඵල රහිත විවේචනයන්ගෙන් තොරව මෙම සහයෝගීතාව දෙස විවෘත මනසින් බැලීම වඩා සුදුසු වනු ඇති.

RECENT ARTICLES - SINHALA

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...

මහ බැංකුවේ අරමුණ ලාබ ලැබිම ම නෙමෙයි -නන්දලාල් වීරසිංහ

මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ලැබීමේ අරමුණින් නොවන බවත් මහ බැංකුව, නියාමනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...