33 C
Colombo
Sunday, May 5, 2024

ණය අර්බුදය ශ්‍රී ලංකාව පැටලු චීනය අහක බලයි

- Advertisement -

නිදහසෙන් පසු මෙතෙක් මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයට අද ශ‍්‍රී ලංකාව ඇද වැටී තිබෙනවා. මෙම අර්බුදයට මුලික හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ විදේශ සංචිත පහළ යෑමයි.

රට පුරා විදුලිය විසන්ධි වන අතර, LP ගෑස්, කිරිපිටි සහ ඉන්ධන මිලදී ගැනීමට සැතපුම් ගණනක් දිග පෝලිම්වල දින ගණන් බලා සිටින්නට ජනතාවට සිදුව තිබෙනවා. නුදුරේදීම රට උග්‍ර ආහාර හිඟයකටද මුහුණ පෑමට ඉඩ ඇතැයි අනාවැකි පළවනවා. මහජනතාවට මූලික ප්‍රවාහන පහසුකම් සැපයීමට ඉන්ධන නොමැති බැවින් ජුලි10 දක්වා අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වා ගෙන යමින් අර්ධ වශයෙන් රට වසා දැමීමට රජය විසින් තීරණයක් ගනු ලැබුවා.

ආර්ථික අර්බුදය රට අස්ථාවර කරමින් සමාජ හා දේශපාලන අර්බුදයක් දක්වා පුළුල් වී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ව්‍යවස්ථාදායකයන්ට එරෙහිව සාමාන්‍ය ජනතාව පාරට බැස දැන් මාස 3කට ආසන්නයි. උද්ගතව ඇති අර්බුදය සම්බන්ධයෙන් වගකීම භාර ගෙන ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බව විරෝධතාකරුවෝ ඉල්ලා සිටිනවා.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේ බලපෑම ලිහිල් කර ගැනීම සඳහා ජාත්‍යන්තර සහය ඉල්ලා සිටි එම ඉල්ලීමට ඉන්දියාව සක්‍රීයව හා කඩිනමින් ප්‍රතිචාර දැක්වීය. ඉන්දියාව නොවන්නට රට බිම ඉන්දවෙන්නේ මීට මාස කිහිපයකට පෙරදීයි. ඉන්දියාව මේ දක්වා ශ්‍රී ලංකාවට සපයා ඇති ණය හා ආධාරවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 4කට ආසන්න වනවා. ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනක් සුරක්ෂිත කරන තෙක් ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් තවත් උපකාර බලාපොරොත්තු වනවා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට ආධාර සැපයීමේදී චීනය අනුගමනය කර ඇත්තේ අඩු ප්‍රවේශයක් බව දක්නට ලැබෙනවා. චීනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන හවුල්කරුවෙකු වන අතර ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති සඳහා අරමුදල් ලබා ගැනීම සඳහා දැඩි ලෙස චීනය මත රඳා පැවතුනි. එවන් පසුබිමක බලාපොරොත්තු වූ පරිදි ශ්‍රී ලංකාවට උදව් කිරීමට චීනය ඉදිරිපත් නොවීම බොහෝ දෙනාගේ විමතියට හේතුවක් වී තිබෙනවා. අප්‍රේල් 12 දා ශ්‍රී ලංකාව විදේශ මුදල් සංචිත අවසන් වී ඇති බැවින් සියලුම විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවන බවත් සියලු විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරන බවත් නිවේදනය කළා. ඊට ප්‍රතිචාර වශයෙන් චීනය ප්‍රකාශ කළේ තමන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පක්ෂ නොවන බවත්, අනෙකුත් ණය ගැතියන්ට ද එසේ කිරීමට සිදුවනු ඇති බවයි. ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ සංඛ්‍යාලේඛනවලින් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවට දැනට පවතින චීන ණය ඩොලර් බිලියන 3.38 ක් පමණ වන බවයි. නමුත් පසුගිය දිනෙක කෝප් කමිටුව හමුවේ අනාවරණය වුණේ හම්බන්තොට වරාය ඉදි කිරීම සඳහා චීනයෙන් ගත් ණය පිළිබඳ කිසිදු සටහනක් නොමැති බවයි. එලෙස සටහනක් නැති තවත් ණය කොපමණ දැයි කවුරු දනී දැයි අපි දන්නේ නැහැ.

ජූනි මස මුලදී චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Zhao Lijian ප්‍රකාශ කළේ වත්මන් දුෂ්කරතාවලට සහ ණය බර ලිහිල් කිරීමට සහ තිරසාර සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරයට සහය දැක්වීම සඳහා අඛණ්ඩව ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීම සඳහා අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ කටයුතු කිරීමට චීනය සූදානම් බවයි. නමුත් එය වචනයට පමණක් සීමා වී තිබෙනවා.

පවතින ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පක්ෂ නොවන බව චීනය ශ්‍රී ලංකාවට ප්‍රකාශ කිරීමෙන් පසු, චීන බැංකුවලට සිය ණය ගෙවීම සඳහා චීනයෙන් තවත් ණයක් ලබා ගැනීමට සාකච්ඡා කරමින් සිටින බව ජුනි 21 දා ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කළා.
නමුත් අදාල කොන්දේසි සපුරාලීමට අසමත්ව ඇති බැවින්, ශ්‍රී ලංකාව විසින් ඉල්ලා තිබෙන ඩොලර් බිලියන 1.5 ක ස්වැප් ණය පහසුකම ලබා දීමට නොහැකි බව, චීන රජය දැනුම් දී ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත පසුගියදා වාර්තා කළා.
ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන මහතා හරහා චීන රජය ඔවුන්ගේ මෙම ස්ථාවරය දැනුම් දී ඇති බවයි පැවසෙන්නේ.

චීන මූල්‍ය ආයතන විසින් පනවා තිබෙන කොන්දේසි සහ නියමයන් සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාව අසමත්ව තිබීම ශ්‍රී ලංකාව ඉල්ලා ඇති ස්වැප් ණය පහසුකම ලබා දීමට නොහැකි වීමේ ප්‍රධාන හේතුව වී ඇති අතර, ඊට අමතරව, ඇමරිකාව විසින් පනවා ඇති සම්බාධක හේතුවෙන් චීනයද මේ මොහොතේ මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බව චීන රජය ශ්‍රී ලංකා තානාපතිවරයාට දැනුම් දී තිබෙනවා.
පසුගිය ජූනි 22වැනිදා බීබීසී පුවත් සේවය විසින් නිකුත් කළ ‘ශ්‍රී ලංකාව චීන ‘ණය උගුල්වල’ ගොදුරක් ද?'(Is Sri Lanka a victim of Chinese ‘debt traps’) නම් වාර්තා වැඩසටහනක් ඔස්සේ චීන ණය යොදා ගෙන ඉදිකර නඩත්තු කරන සුදු අලි පිළිබඳව නැවත වතාවක් ලොවට සිහිපත් කර තිබුණා.

බීබීසීය විසින් මෙලෙස ශ්‍රී ලංකාව අදටත් දැවැන්ත ණයක් ගෙවමින් සිටින මෙම සුදු අලි වශයෙන් හඳුන්වා තිබුණේ ජාතික ආර්ථිකයට කිසිදු ප්‍රතිලාභයක් එක් නොකරමින්, හුදු දේශපාලන උවමනාවන් වෙනුවෙන් පමණක් ඉදිකරන ලද නෙළුම් කුළුණ, හම්බන්තොට වරාය, සුරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ හම්බන්තොට රෝහල ඇතුළු චීන අධික පොළී ණය මත ඉදිකෙරුණු ව්‍යාපෘති රැසක්.

මේ අතරින් හම්බන්තොට රෝහල ඉදිකිරීමේදී සිදුකෙරුණු දැවැන්ත මුල්‍ය අක්‍රමිකතාවන් පිළිබඳව පසුගිය මැයි මාසයේදී ඕස්ට්‍රේලියාවේ ABC පුවත් සේවය අනාවරණය කරනු ලැබුවා. හම්බන්තොට වරාය මේ වන විට චීනය විසින් උපක්‍රමශීලිව නැවත සිය පාලනය යටතට ගෙන ඇති අතර, අවම තරමින් එය චීනයට බදුදිමෙන් ලබාගත් මුදල් පවා, අදාළ චීන ණය ආපසු ගෙවීම වෙනුවෙන් වැය නොකර, වෙනත් රජයේ වියදම් වෙනුවෙන් වැයකර ඇති බව අනාවරණය වුයේ පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේදීය.

ශ්‍රී ලංකාවට මේ වසරේ ආපසු ගෙවීම සඳහා ඩොලර් බිලියන 7 කට ආසන්න විදේශ ණය ප්‍රමාණයක් ඇති අතර ඉදිරි වසර පහ තුළ ඩොලර් බිලියන 25ක් ණය ආපසු ගෙවීමට අවශ්‍ය වනු ඇත. නමුත් එම ණය ආපසු ගෙවීමේ තිරසර මාර්ග සිතියමක් තවමත් සකස් කරගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති අතර දිනෙන් දින ආර්ථික අර්බුදයේ පතුලටම ගමන් කරමින් සිටිනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...