32 C
Colombo
Sunday, May 5, 2024

චීන ආර්ථික කොරිඩෝව නිසා දරුණු වූ පාකිස්තාන ගංවතුර

- Advertisement -

මෑතකදී පකිස්ථානයට බලපෑ දරුණු ගංවතුරට හේතුව මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික විපර්යාස බව විශේෂඥයින් පවසනවා.
ආන්තික කාලගුණය පිළිබඳ තත්‍ය කාලීන අධ්‍යයනයන් කරන ලොව පුරා සිටින බොහෝ ස්වේච්ඡා විද්‍යාඥයින්ගේ එකමුතුවක් වන The World Weather Attribution, පසුගියදා ඔවුන්ගේ වාර්තාව නිකුත් කළා.
එක් අවස්ථාවකදී රටෙන් තුනෙන් එකක් ජලයෙන් යටවී, මිලියන 33 ක ජනතාවකට බලපෑ මෙම ගංවතුරෙන් 1500කට වැඩි පිරිසක් මිය ගිය අතර නිවාස මිලියනයකට වඩා විනාශ වුණා.

මෙතරම් ව්‍යසනකාරී ගංවතුරක් ඇති වීමට හේතුව ගෝලීය උණුසුම නොවන බව අධ්‍යයනය මඟින් හෙලිව තිබෙනවා.
අධ්‍යයනයට එක් වූ ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි දේශගුණ විද්‍යාඥයෙකු වන ෆ්‍රෙඩ්රික් ඔටෝ පැවසුවේ මිනිසා විසින් ඇති කරන ලද “දේශගුණික විපර්යාස මෙහි ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බවයි.

“පකිස්තානයේ අප දුටුවේ වසර ගණනාවක් තිස්සේ කාලගුණ අනාවැකි පුරෝකථනය කර ඇති දෙයයි … එය මානවයා වායුගෝලයට හරිතාගාර වායු විශාල ප්‍රමාණයක් විමෝචනය කිරීමට පටන් ගත් දා සිට කලාපයේ වර්ෂාපතනය අධික ලෙස ඉහළ ගොස් ඇති බව පෙන්වන පැරණි වාර්තාවලට අනුකූල වනවා,” ඇය පවසනවා.

මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදු වූ හරිතාගාර වායු විමෝචනය වර්ෂාපතනයට හේතු වූ ප්‍රමාණය පිළිබඳ නිශ්චිතව ගණනය කිරීම දුෂ්කර වුවද ගෝලීය උණුසුම ඉහළ යෑම තුළ එහි බලපෑම පැහැදිලිව දක්නට ඇතැයි ඔටෝ පෙන්වා දෙනවා.
අධ්‍යයනයෙන් හෙළි වූයේ දරුණුතම බලපෑමට ලක් වූ සින්ද් සහ බලුචිස්තාන් පළාත්වල අගෝස්තු වර්ෂාපතනය – ස්පාඤ්ඤයේ වාර්ෂික වර්ෂාපතනයට ආසන්න එනම්, සාමාන්‍ය ප්‍රමාණය මෙන් හත් ගුණයක් වන බවයි.

සමස්ත රටේ වර්ෂාපතනය සාමාන්‍ය වර්ෂාපතනයට වඩා තුන් ගුණයක් ඉක්මවා තිබෙනවා.
විද්‍යාඥයන් 1961 දක්වා පමණ අතීත වර්ෂා පිළිබඳ වාර්තා පරීක්ෂා කළා පමණක් නොව, පසුගිය මාසයේ සිදු වූ දේ, ගල් අඟුරු, තෙල් සහ ස්වාභාවික වායු දහනය කිරීමෙන් තොර ලෝකයක් සමග සංසන්දනය කිරීමට පරිගණක අනුකරණයන් ද භාවිතා කළා.
එම සංසන්දනයේ වෙනස දේශගුණික විපර්යාසවල බලපෑම ලෙස සලකා මෙම අධ්‍යයනයේ අවසන් නිගමනයන්ට එළැඹ තිබෙනවා.
පාකිස්ථානයේ අගනුවර වන ඉස්ලාමාබාද්හි දේශගුණික විපර්යාස සහ තිරසාර සංවර්ධන මධ්‍යස්ථානයේ දේශගුණ විද්‍යාඥයෙකු වන ෆාහාඩ් සයීඩ් පැවසුවේ, ලා නීනා ඇතුලු බොහෝ කරුණු මෙම මෝසම් කාලයේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා බොහෝ සෙයින් වැඩි වර්ෂාපතනයක් වාර්තා වීමට හේතු වූ බවයි.

ඉස්ලාමාබාද්හි දේශගුණ විශේෂඥයෙකු වන මුහම්මද් ඉර්ෆාන් තාරික් අල් ජසීරා වෙත පැවසුවේ මෙම අධ්‍යයනය “දේශගුණික විපර්යාස සහ අනුගමනය කරන සංවර්ධන ආකෘතිය අතර සම්බන්ධතා අවබෝධ කර ගැනීමට මග පෙන්වීමක්” බවයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයක් වන දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ (IPCC) ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකයෙකු වන තාරික් පැවසුවේ දේශගුණික අර්බුදය තීව්‍ර වන විට ස්වාභාවික විපත් නිතර නිතර හා ආන්තික වනු ඇති බවයි.
“අපි මෙය කලින් වාර්තා කළ අතර ඔබ පකිස්ථානයේ මේ වසරේ දිග හැරුණු සිදුවීම් දෙස බැලිය යුතුයි. අපට උෂ්ණ තරංග තිබුණා, අපට නියඟ තිබුණා, අපට ආන්තික මෝසම් තිබුණා. චක්‍රය ඉතා වේගයෙන් වෙනස් වෙමින් පවතින අතර දැන් සියල්ල විශාල ව්‍යසනයක් බවට පත්වෙමින් තිබෙනවා, ”තාරික් පෙන්වා දෙනවා.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය මේ සතියේ ප්‍රකාශ කළේ පකිස්ථානයේ කාලගුණය ආශ්‍රිත ව්‍යසනයන් පසුගිය වසර 50 තුළ පස් ගුණයකින් වැඩි වී ඇති අතර සාමාන්‍යයෙන් දිනකට පුද්ගලයින් 115 දෙනෙකු මිය යන බවයි.
මේ අතර අල් අරාබියා ප්‍රවෘත්ති සේවය වාර්තා කලේ සංවේදී කලාපවල ඉදිකිරීම් සිදුකරමින් “චීන පාකිස්තාන ආර්ථික කොරිඩෝව” යටතේ ඇතිකරන ලද ව්‍යසනයේ ගොදුරක් බවට පාකිස්තානය පත්ව ඇති බවයි.
පකිස්ථානයේ මෙම දරුණු ගංවතුර ඇති වීමට බලපෑ මානව ක්‍රියාකාරකම් අතර ඇතැම් මාර්ග ඉදිකිරීමේදී ජනාවාස ප්‍රදේශවලට වඩා උසින් පිහිටීම නිසා වතුර බැස යාමට මාර්ගයක් නොමැතිව එම ජනාවාස විල් බවට පත්වන බව ගෘහ නිර්මාණ ශිල්පියෙක් වන අරිෆ් හසන් පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ සහ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇතැම් කොටස්වල ද පසුගිය ගංවතුර සමයන්හිදී මෙම තත්ත්වය දැක ගන්නට ලැබුණා.
තවද, චීන-පකිස්තාන ආර්ථික කොරිඩෝ (CPEC) ව්‍යාපෘතිය ඉදිකිරීම, පාකිස්තානයේ වඩාත් අවදානමට ලක්විය හැකි ප්‍රදේශ කිහිපයක් හරහා දිවෙන බැවින් ග්ලැසියර දියවීම, නායයෑම්, දැවැන්ත වනාන්තර විනාශය සහ ගංගා අවහිර වීම් සඳහා හේතු වන බව අල් අරාබියා වාර්තා කරනවා.
සෞඛ්‍ය දෙපාර්තමේන්තු දත්ත වලට අනුව පකිස්ථානයේ ගංවතුරින් පීඩාවට පත් ප්‍රදේශවල මිලියන 2.5 කට වැඩි පිරිසක් බෝවන රෝගවලින් පීඩාවට පත්ව සිටිනවා.

පකිස්ථානයෙන් තුනෙන් එකක් යටවූ ව්‍යසනකාරී ගංවතුරෙන් පසු “දෙවන ව්‍යසනයක්: රෝග සහ මරණ රැල්ලක්” ඇතිවීමේ විභවය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය මෑතකදී දැඩි අවධානමක් මතු කළා.
සෞඛ්‍යයට වන බලපෑම් පැහැදිලි කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සෞඛ්‍ය ආරක්ෂා කිරීමට සහ අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා සැපයීමට කඩිනමින් ක්‍රියා කරන ලෙස යෝජනා කළා.
යම් ලෙසකට උත්ප්‍රාසජනක වුවත් මෙම ගංවතුර “චීන පාකිස්තාන ආර්ථික කොරිඩෝව” නිසා ඇති වූ ආර්ථික අර්බුදයේ බලපෑමෙන් මිදීම සඳහා පරිත්‍යාග ලබා ගැනීමට ද පාකිස්තාන රජයට ලැබුණු අවස්ථාවක් ලෙස සැලකිය හැකියි.
දැනට ඇස්තමේන්තු කර ඇති ආකාරයට පසුගිය ජුනි මාසයේ සිට පවතින මෝසම් වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් පාකිස්තානයට සිදු වූ හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 30ක්.

විනාශකාරී ගංවතුර හේතුවෙන් ඇතිව තිබෙන මානුෂීය හදිසි අවස්ථා තත්ත්වය සලකා පාකිස්තානය ණය ආපසු ගෙවීම අත්හිටුවිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) යෝජනා කරනවා.
එමගින් පාකිස්තාන රජයට ආපදා ප්‍රතිචාර මුල්‍යකරණයට වැඩි අවදානයක් යොමු කිරීමට හැකිවනු ඇති බවයි UNDP යේ අදහසයි.
ඇමෙරිකානු ඩොලර් බිලියන 100කට අධික ණය බරක් ඇති පාකිස්තානය මෙම ගංවතුර ඇති වීමට පෙර සිටම දරුණු ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දී සිටියා.

ගංවතුර ව්‍යසනය ආර්ථික අර්බුදය තවදුරටත් විස්තාරණය කර ඇති අතර පාකිස්තානය මේ වනවිටත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1ක මූල්‍ය පහසුකමක් ලබා ගෙන සිටිනවා.
පාකිස්තානයේ ඇතිව තිබෙන තත්ත්වය ශ්‍රී ලංකාවට ද පූර්වාදර්ශයකි.

ඉදිරියේ දී එළැඹෙන මෝසම් වැසි සමය මෙරට ගංවතුර ඇතුලු ස්වභාවික ආපදා ඉහළ යන කාලයක් වන අතර පාකිස්තානයට වඩා ආර්ථික අර්බුදය දරුණුය.

මේ මොහොතේ එය කලමනාකරණය කර ගැනීමට අපොහොසත් වීම තුල රටක් ලෙස අපට මුහුණ දීමට සිදුවන්නේ අතිශය ව්‍යසනයකට විය හැකියි.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...