31 C
Colombo
Friday, May 3, 2024

2047 වන විට ලෝකයේ ආර්ථික බලවතා වන කවුරුත් නොසිතන රට

- Advertisement -

මේ වසරේ අගෝස්තු 15 වන දින ඉන්දියාවේ 75 වැනි නිදහස් දිනය නිමිත්තෙන්, දිල්ලියේ රතු කොටුවේ සිට ජාතිය අමතමින් අගමැති නරේන්ද්‍ර මෝදි අනාවැකි පළ කළේ, ඉදිරි වසර කිහිපය තුළ තම රට ජපානය සහ ජර්මනිය අභිබවා ලොව තුන්වන විශාලතම ආර්ථිකය බවට පත්වනු ඇති බවයි. මීට දශකයකට පෙර ඉන්දියානු දළ දේශීය නිෂ්පාදිතය, එනම් ඉන්දියානු ආර්ථිකය ලෝකයේ විශාලත්වය අතින් එකොළොස්වැන්න විය. එහෙත් දැන්, 2022 වර්ෂය සඳහා සියයට 07ක වර්ධන පුරෝකථනයක් සහිතව, ඉන්දියාවේ ආර්ථිකය විශාලත්වය අනුව එක්සත් රාජධානිය අභිබවා ගොස්, ලොව පස්වන විශාලතම ආර්ථිකය බවට පත්ව ඇත. ඒ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නවතම සංඛ්‍යා ලේඛනවලට අනුවය.

2021 අවසාන කාර්තුවේදී ඉන්දියානු නිෂ්පාදනය එක්සත් රාජධානිය අභිබවා යෑමට හේතු වූ අතර, 2022 පළමු කාර්තුව අවසන් වන විට නිල වශයෙන් ලොව 05වන ස්ථානය තහවුරු කරගැනීමට ඉන්දියාව සමත් විය. මුල්‍ය අරමුදල(IMF) විසින් වැඩිදුරටත් පුරෝකථනය කර ඇති ආකාරයට, ඉන්දියාව 2027 දක්වා එක්සත් රාජධානිය අභිබවා ස්ථාවරව රැඳී තිබෙනු ඇති අතර, ඒ වන විට ඉන්දීය ආර්ථිකය ලොව සිව්වැනි ස්ථානය කර ලඟාවී තිබෙනු ඇත.

IMF හෝ වෙනත් ලෝක මට්ටමේ ආයතනයක් නොකීවද, ඉන්දියාවේ වර්ධනය වන ස්ව-විශ්වාසය සහ අධිෂ්ඨානය විසින් දේශීයව පුරෝකථනය කෙරී ඇත්තේ 2047 වන විට චීනය සහ එක්සත් ජනපදය අභිබවා ලොව ප්‍රථම විශාලතම ආර්ථිකය බවට පත්වීමේ ශක්‍යතාව තමන්ට ඇති බවයි. ඇතැමකුට එය ප්‍රාර්ථනා සහගත සිතුවිල්ලක් ලෙස පමණක් පෙනුණ ද, ගෙවුණු දශකයක් ඇතුලත ලොව 11වැන්නාගේ සිට 05වැන්නා දක්වා පැමිණි වේගවත් ගමන සහ වර්තමානයේ ගෝලීය ආර්ථික අවපාතයක් මධ්‍යයේ ස්ථාවරව සිය ආර්ථිකය මෙහෙයවා ගන්නා ආකාරය දෙස විමසුම් සහගතව බලන විට, ඉදිරි වසර 25දී ඉන්දියාව සිය ප්‍රාර්ථනා මුදුන්පත් නොකරගනු ඇතැයි කිසිවකුටත් අනාවැකි පලකිරීමට නොහැකිය.

සංඛ්‍යාලේඛනවලට අනුව, 07%ක ආර්ථික වර්ධන වේගය, ඩොලර් ට්‍රිලියන 3.469 දළ දේශීය නිෂ්පාදිතය, ඩොලර් බිලියන 537.52 විදේශ විනිමය සංචිත, ඩොලර් බිලියන 311.82 අපනයන, ඩොලර් බිලියන 100 ක සෘජු විදේශ ආයෝජන, වාර්ෂිකව සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 08 ක ආදායමක්, ඩොලර් බිලියන 87 ක ප්‍රේෂණ සහ තොරතුරු තාක්ෂණ අපනයනයෙන් ඩොලර් බිලියන 156.7 ක් සමඟ ඉන්දියාවේ මෙම විශ්වාසය ඵල නොදරනු ඇතැයි කිසිවකුටත් කිව නොහැකිය. අනෙක් අතට මෙම ආර්ථික වර්ධනය පවත්වා ගෙන යෑමෙන් පමණක් 2028 වන විට ජර්මනිය සහ ජපානය අභිබවා ලොව තෙවැනි විශාලතම ආර්ථිකය බවට ඉන්දියාව පත් වන බවට IMF විසින්ම පුරෝකථනය කර ඇත.

දියුණු ආර්ථිකයන් ඇතුළු ප්‍රධාන ලොව රටවල් මේ මොහොතේ විශාල ප්‍රශ්නයකට මුහුණ දී සිටින බව රහසක් නොවේ. 2021 මුලදී කොවිඩ් වසංගතය ලොව පුරා පැතිරීමෙන් අනතුරුව, 2022 වසර ආරම්භයේ පැමිණි යුක්රේන යුද්ධය හේතුවෙන් රුසියාවට පනවා ඇති සම්බාධක නිසා ලොව පුරා සැපයුම්දාම බිඳවැටී ඇත.

විශේෂයෙන් රුසියාවෙන් සිදුකෙරෙන ඉන්ධන සහ බලශක්ති සැපයුම බිඳවැටීම යුරෝපයේ සමහර සංවර්ධිත රටවල් ඇතුළු බොහෝ දුප්පත් රටවලට දැරිය නොහැකි අර්බුදයන් නිර්මණය කරදී තිබේ. එහෙත් ඉන්දියාව සිය ශක්තිමත් ආර්ථික මුලධර්මයන් හේතුවෙන් යුක්රේන යුද්ධයෙන් මෙතෙක් සෘජුව පීඩාවට පත්ව නැත. ඒ වෙනුවට සෘජු ඉන්ධන සහ ගල්අඟුරු සැපයුම් සඳහා රුසියාව සමග නව ගිවිසුම්වලට එළඹීම මගින් ලොව බොහෝ දියුණු වෙනත් රටවලට වඩා ඉන්දියාව සිය වඩා දියුණු රාජ්‍යතාන්ත්‍රිකභාවය ප්‍රදර්ශනය කර ඇත. අප ඉන්දියාවේ වර්ධනය පිළිබඳව සාකච්ඡා කළ යුත්තේ එතැන් සිටය.

1990 දශකයේ මුල් භාගයේදී ආචාර්ය මහමෝහන් සිං ඉන්දියාවේ මුදල් අමාත්‍යවරයාව සිටියදී ඉන්දියානු ආර්ථිකය විවෘත වීමෙන් පසු, චීනය මෙන් විශාල ඉදිරි පිම්මක් ඇති වූ අතර, එම ගමන අඛණ්ඩව පවත්වාගෙන යමින් අද වන විට වසර 30 ක කාලයක් තුළ ඉන්දීය ආර්ථිකය ලෝකයේ 05 වැනි විශාලතම ආර්ථිකය ලෙස නැගී සිටීමට සමත් විය.

ඇත්තෙන්ම බ්‍රිතාන්‍යයන් පිටව ගොස් දශක 04ක් ගතවනතුරුත් දිළිඳු සහ ඌන සංවර්ධිත රටක් ලෙස ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් නම් කළ ඉන්දියාව මෙවැනි දැවැන්ත පෙරළියක් කළමනාකරණය කළේ කෙසේද යන්න සොයාබැලීම වටී.විශේෂයෙන් 90 දශකය ආරම්භ වීමෙන් අනතුරුව ඉන්දියාව ස්වයංපෝෂිත ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර, ආනයනය මත පදනම් වූ ආර්ථිකයක් සඳහා ක්‍රියා කරනවා වෙනුවට කාර්මීකරණය සහ දේශීය නිෂ්පාදන හරහා තම ආර්ථිකය නැංවීම කෙරෙහි අවධානය යොමු කළේය. එසේම තවද, අන්තර්ජාතික මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි අන්තර්ජාතික මූල්‍ය ආයතන මත යැපීමට හෝ විදේශ රටවලින් ආධාර ලබාගැනීමට ඉන්දියාව කැමැත්තක් දැක්වූයේ නැත.

විශේෂයෙන් 2014දී වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි බලයට පැමිණීමෙන් අනතුරුව, ආර්ථිකය ස්ථාවර හා ශක්තිමත් වූ විට, ඉන්දියාව විදේශ ආයෝජන ආරාධනා කිරීමට සහ ආයතනික අංශයේ ශක්තිමත්භාවය ප්‍රවර්ධනය කිරීමට තීරණය කළේය. ඉන්දියානු ඩයස්පෝරාව යනු මෑත ඉතිහාසයේ ආඩම්බරකාර විදේශ විනිමය ඉපැයීමේ ප්‍රධාන මූලාශ්‍රයකි. එමනිසා අගමැති මෝදිගේ ආරාධනයට අනුව රට තුළට වැඩිවැඩියෙන් විදේශ විනිමය සම්ප්‍රේෂණය කිරීමට විදේශගත ඉන්දියානුවන් කිසිවිටෙකත් මැලිවුයේ නැත.

ඒ අනුව පැමිණි ගමනේ ප්‍රධානම සන්ධිස්ථානයක් වූ, 2022 සැප්තැම්බර් 3 වන දින ප්‍රකාශයට පත් කරන ලද ‘ඉන්දියාව එක්සත් රාජධානිය අභිබවා ලෝකයේ 5 වන විශාලතම ආර්ථිකය බවට පත් වේ’ යන ප්‍රවෘත්ති වාර්තාවත් සමග, එය ප්‍රසිද්ධියට පත්කළ ප්‍රසිද්ධ ඉන්දියානු පුවත්පතක් වන ඩෙකෑන් හැරල්ඩ් මෙසේ සඳහන් කළේය.
“ඉන්දියාව එක්සත් රාජධානිය අභිබවා ලෝකයේ පස්වන විශාලතම ආර්ථිකය බවට පත් වී ඇති අතර, IMF ප්‍රක්ෂේපනවලට අනුව දැන් එයට පිටුපසින් සිටින්නේ එක්සත් ජනපදය, චීනය, ජපානය සහ ජර්මනිය පමණකි. දශකයකට පෙර, ඉන්දියාව විශාල ආර්ථිකයන් අතර 11 වැනි ස්ථානයට පත් වූ අතර එක්සත් රාජධානිය ලෝකයේ පස්වන විශාලතම ආර්ථිකය දරමින් පසුවිය.

ඉන්දියාව එක්සත් රාජධානිය අභිබවා යාමේ උපකල්පනය පදනම් වී ඇත්තේ, 1991 ලිබරල්කරණයත් සමඟ අපේ වෙළෙඳපොළ විවෘත කිරීමත්,අපි වඩාත් ස්වයංව රැකෙන ආර්ථිකයක් බවට පත්වීමත්ය. ආනයන ගාස්තු අඩු කිරීම සහ නියාමනය නොකළ වෙළඳපල වැනි ප්‍රතිසංස්කරණ ඉහළ විදේශ ආයෝජන සහ ඉහළ තරඟකාරිත්වයට හේතු විය. ගෝලීය තරඟකාරිත්වය අපේ රට තුළ සරුසාර නව වෙළඳපොලක් සොයා ගැනීමත් සමඟ ඉන්දියානු කර්මාන්ත උද්යෝගයෙන් අභියෝගයන්ට මුහුණ දුන්නේය. පසුගිය වසර 30 තුළ, අපි හොඳම දේ සමඟ තරඟ කිරීමටත්, නව්‍යකරණයන් සමග ඉදිරියට යෑමට සුදානම් බවත් ඔප්පු කර ඇත්තෙමු. 1990 දශකයෙන් පසු දළ දේශීය නිෂ්පාදිතයේ සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය සියයට 6.25 ක් පමණ වූ අතර එය පෙර දශකවලට වඩා සාමාන්‍ය සියයට 3.5ට වඩා සැලකිය යුතු ලෙස ඉහළ ය. අද ඉන්දියාව, මිලදී ගැනීමේ බලයේ සමානාත්මතාවය අනුව ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකයයි.”

2028 වන විට ඉන්දියාව ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය බවට පත්වුවහොත්, එක්සත් ජනපදයටද ලෝක බලවතුන් ලෙස දැඩි අභියෝග ගණනාවකට මුහුණදීමට සිදුවීම වැළක්විය නොහැකිවනු ඇත. දැනටමත් රුසියාවෙන් සහ චීනයෙන් නොලැබෙන නිෂ්පාදන වෙනුවෙන් නව වෙළඳපොල ලෙස යුරෝපය තෝරාගෙන ඇත්තේ ඉන්දියාවයි. යුරෝපා සංගමය සහ ඉන්දියාව අතර ද්වි-මාර්ග වෙළඳාමේ සහ ආයෝජනයේ මෙතෙක් ප්‍රයෝජනයට නොගත් විභවයන් විවෘත කිරීම සිය අරමුණ බව සිය නවතම වාර්තාවල යුරෝපා කොමිසම ප්‍රකාශ කර ඇත. මේ වසර අවසන් වන විට සිය දෙපාර්ශවය අතර නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමට හැකිවනු ඇතැයි දෙපාර්ශ්වයම විශ්වාසය පළකර තිබේ. අනුව විශේෂයෙන් චීන නිෂ්පාදන වෙනුවට ඉදිරියේදී ඉන්දීය නිෂ්පාදන වැඩිවැඩියෙන් යුරෝපා වෙළඳපොලේ දැකගත හැකිවීම වැළක්විය නොහැකිවේ. එය මෙතෙක් යුරෝපය ආක්‍රමණය කර තිබූ චීන වෙළඳපොළට එල්ලවන මරු පහරකි.

අනෙක් අතට එක්සත් ජනපදයේ හෝ යුරෝපයේ තහංචි නොතකා රුසියාව සමග සාර්ථක ද්විපාර්ශවිය සම්බන්ධතා යාවත්කාලින කරගැනීමට ඉන්දියාව සමත්ව සිටි. එමනිසාම විශේෂයෙන් යුරෝපය ප්‍රතික්ෂේප කරන රුසියානු බලශක්තිය වැඩි වැඩියෙන් සිය රටට යොමුකර ගැනීමට ඉන්දියාව සමත්ව ඇත. එය තවත් අතකින් එක්සත් ජනපදයට දැඩි අභියෝගයක් වන නමුත්, සිය ආසියා-පැසිෆික් කලාපීය උපාය මාර්ග ක්‍රියාත්මක කරවීමෙහිලා එක්සත් ජනපදයට ඉන්දියාව අනිවාර්යයෙන් අවශ්‍ය වේ. එමනිසා ඉන්දියාවේ වෙළඳ හෝ රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්ති අභියෝගයට ලක්කිරීමට තවදුරටත් එක්සත් ජනපදයට හැකියාවක් නොපවතී. ඒ අනුව අද වන විට ඉන්දියාව සමස්ත ලෝකයටම නොවැලක්විය හැකි අභියෝගයක් මෙන්ම, බැහැර කළ නොහැකි හිතවතකුගේ තත්වයට පත්ව ඇතැයි පැවසීම අසත්‍යයක් නොවේ.

RECENT ARTICLES - SINHALA

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

අමාත්‍ය මණ්ඩල තීරණය අභියෝගයට ලක් කරන අයට එරෙහිව පියවර

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් රටට ඇතුළුවීමේදී On Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගමක් වෙත පවරා ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව බව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...