27 C
Colombo
Monday, May 6, 2024

බොරු පොරොන්දු මල්ලකින් යටවුණු ප්‍රියන්ත කුමාරගේ ඝාතනයට වසරයි

- Advertisement -

ප්‍රියන්ත කුමාර දියවඩනගේ පාකිස්තානයේදී ඝාතනයට ලක්වී අදට හරියටම වසරක් ගතවී අවසන්ය. වසරක් ගතවුවද එම අමානුෂික ඝාතනය ප්‍රියන්තගේ පවුලේ සාමාජිකයන්ගේ පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම සිත් තුලින් තවමත් ඉවත්ව ගොස් නැත්තේ, මීට පෙර විදේශයකදී ශ්‍රී ලාංකිකයකුට එවැනි කෘර මරණයකට මුහුණ දීමක් පිළිබඳව අත්දැකීමක් ක්සිවකුටත් නොමැති බැවිනි. පාකිස්තානයේ සියල්කොට් දිස්ත්‍රික්කයේ කම්හලක කළමනාකරුවෙකු ලෙස සේවය කළ 49 හැවිරිදි ප්‍රියන්ත කුමාර ඝාතනයට ලක්වුයේ 2021 දෙසැම්බර් 03වැනිදාය. ඔහුගේ කම්හලේ සේවකයින් ඇතුළු සිය ගනනක් විරෝධතාකරුවන්ගෙන් සමන්විත මැර පිරිසක් විසින් ඝාතනය කරන ලදී. මැර පිරිස ඔහුට වධ දී ඝාතනය කර පසුව ඔහුගේ සිරුර මහ මගදී පුළුස්සා දැමූහ.

ප්‍රියන්තව ඝාතනය කර තිබුණේ “දෙවියන්ට අපහාස කළේයැ”යි පවසමිනි.කර්මාන්ත ශාලාව ආසන්නයේ දී ඔහු වධහිංසාවට පමුණුවා මරා දැමීමෙන් පසු, ඔහුගේ සිරුරට ගිනි තබන ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දර්ශනවල පැහැදිලිව සටහන්ව තිබිණි. මෙම ඝාතනයට අදාලව, සිදුවීමෙන් දින කිහිපයක් ඇතුලත පුද්ගලයන් 700කට අසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණු අතර පසුව ඉන් 89 දෙනෙකුට ඝාතන චෝදනා සම්බන්ධයෙන් පාකිස්තානයේ ත්‍රස්ත විරෝධී අධිකරණය විසින් අධිචෝදනා ගොනු කළේය. 26/11 දින මුම්බායි ප්‍රහාරය මෙන්ම අන්ත පාකිස්ථාන ත්‍රස්තවාදය පෙන්නුම් කරන ලද ප්‍රධානතම අවස්ථාවක් වූ මෙම ඝාතනය, ආරක්ෂිත ලෝකයක් සඳහා ත්‍රස්තවාදය අවසන් කිරීමට පියවර ගැනීම පකිස්ථාන රජයේ බරපතල වගකීමක් බව තවමත් ලෝකය විසින් සිහිපත් කිරීමේ සංකේතයක් බවට පත්ව ඇත.

ප්‍රියන්ත කුමාරගේ ඝාතනයට හේතුව බවට පත්වී තිබුනේ ඔහු දෙවියන්ට අපහාසයක් කර ඇති බවට කර්මාන්තශාලාව තුළ පැතිර හිය කටකතාවකි. එහෙත් ඇත්තෙන්ම ඔහු එවැන්නක් සිදුකර නැති බව පසුව අනාවරණය විය. එහෙත් දීර්ඝ කාලයක් තිස්සේ පාකිස්තානයේ සේවය කළ ප්‍රියන්තගේ සමීප හිතවතුන්ට හෝ ඔහුව ගලවා ගැනීමේ හැකියාවක් පැවතුනේ නැත. ඒ වෙනුවට ඔහුට හිතවත්ව සිටි බොහෝ පිරිසක්ද අවසානයේ ප්‍රියන්තට එරෙහිව දෙවියන්ගේ නාමයෙන් මෙම ම්ලේච්ඡ ඝාතනයට හවුල්වී තිබිණි.

“මේ කටකතාව කම්හල ඇතුලේ ඉක්මණින්ම පැතිරිලා ගියා. ඊට පස්සේ කර්මාන්තශාලා සේවකයන් විශාල පිරිසක් එළියට ගිහින් මුලින්ම විරෝධය පළ කළා”
එලෙස ජනමාධ්‍ය වෙත අදහස් පළකර තිබුණේ ප්‍රියන්තගේ හිතවතකු වූ මුහම්මද් බෂීර් නම් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකි. සිද්ධිය ඇසින් දුටු තවත් පුද්ගලයන් පවසා තිබුණේ, බොහෝ වේලාවක් පැවති කර්මාන්තශාලා සේවකයින්ගේ විරෝධතාවට අවට ප්‍රදේශවල ජනතාව ද විශාල වශයෙන් එක්වූ බවත්,තමන්ගේ දෙවියන්ට අපහාස කළ බව පැවසුණු මෙම පුද්ගලයාව, කිසිදු සොයාබැලීමකින් තොරව ඝාතනය කිරීමට ඝාතකයන්ට උල්පන්දම් ලබාදුන් බවත්ය.

එවකට පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙම ඝාතනය හෙළාදක තිබිණි.
“සියල්කෝට්හි කර්මාන්තශාලාවක දී නීතිය අතට ගත් කණ්ඩායමක් එල්ල කළ කෲරතර ප්‍රහාරය සහ ශ්‍රී ලාංකික කළමනාකරුවෙකු පණපිටින් පුළුස්සා දැමීම පාකිස්ථානයට ලැජ්ජාසහගත දිනයක්” බව ඔහුගේ අදහස විය. මේ සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනය තමා පෞද්ගලිකව අධීක්ෂණය කරන බවත්, වගකිව යුත්තන් සියලුදෙනාටම උපරිම දඬුවම් ලබාදීම අනිවාර්යයෙන්ම සිදුකරන බවත්, අත්අඩංගුවටගැනීම් දිගටම ක්‍රියාත්මක බවත් පාකිස්තාන අගමැතිවරයා එදා අවධාරණය කර තිබුනේය. මේ වන විට සේවයෙන් ඉවත්ව සිටින, එවකට පාකිස්තාන හමුදා ප්‍රධානී ජෙනරාල් කමර් ජාවෙඩ් බජ්වා ද මෙම සිදුවීම දැඩි ලෙස හෙළා දැක තිබිණි. එය “ලැජ්ජාසහගත සිදුවීමක්” ලෙස හඳුන්වන හමුදාපතිවරයා, අධිකරණ ක්‍රියාමාර්ගවලින් බැහැර එවැනි ක්‍රියා කිසිසේත්ම පිළිගත නොහැකි බව ද පවසා තිබිණි.

ඉස්ලාමයට අනුව ‘අපහාස කිරීම’ යනු, දෙවියෙකුට අපහාස වන අයුරින් කථා කිරීම ලෙස අර්ථ දැක්වේ. ආගමික රැස්වීමකට බාධා කිරීම, සුසාන භූමියට අනවසරයෙන් ඇතුළුවීම, ආගමික විශ්වාසයන්ට අපහාස කිරීම හෝ හිතාමතාම වන්දනාමාන කරන ස්ථානයක් හෝ වස්තුවක් විනාශ කිරීම හෝ අපවිත්‍ර කිරීම රටේ දේව අපහාස නීතිය අනුව තහනම් වේ. ඉස්ලාමීය පුද්ගලයන්ට එරෙහිව අවමන් සහගත ප්‍රකාශ කිරීම වරදක් වන අතර 1982 දී, මුස්ලිම් ශුද්ධ ග්‍රන්ථය වන කුරානය “හිතාමතා” කෙලෙසීම සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන වගන්තියක් ද එකතු කොට තිබේ. 1986 දී, මුහම්මද් නබිතුමාට අපහාස කිරීමට එරෙහිව දඬුවම් කිරීම සඳහා වෙනම වගන්තියක් ඇතුළත් කරන ලද අතර ඒ සඳහා නිර්දේශිත දඬුවම වූයේ “මරණය හෝ ජීවිතාන්තය දක්වා සිරගත කිරීම” ය. පකිස්ථානයේදී, ඉස්ලාම් ආගමට අපහාස කරන ඕනෑම කෙනෙකුට මරණීය දණ්ඩනය නියම කළ හැකිය.

බ්‍රිතාන්‍යයන්ගේ පාලන කාලයේ සිට පවත්වාගෙන පැමිණි මෙම නීති, වසර 05 හෝ 03 වැනි සිර දඬුවම් ලබා දෙමින් ක්‍රියාත්මක කළ පකිස්තානය, 1980 දශකය තුල දී සිය ආගමික ශාස්තෲවරයා හට අගෞරව කරන්නන් හට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමි විය යුතු බවට සංශෝධනය කරනු ලැබීය. කෙසේවෙතත් එය ශිෂ්ඨසම්පන්න ලෝකය විසින් කිසිවිටෙකත් අනුගමනය කරන්නක් නොවේ. අන්තර්ජාතික ජනමාධ්‍යයන්ට අනුව, පකිස්තානය තුල පෞද්ගලික පලිගැනීම් වලට පවා බහුල වශයෙන් මෙම නීති භාවිත කෙරේ. පොලීසිය විසින්, දේශපාලකයන් විසින්, ප්‍රාදේශීය නායකයන් විසින්, තමන්ට විරුද්ධව යන බොහෝ අය නිහඬ කිරීම සඳහා මෙම නීති අනිසි ආකාරයෙන් භාවිත කෙරෙන බව නිරන්තරයෙන් පාකිස්ථානයෙන් අසන්නට ලැබේ. ඒ වෙනුවෙන් පවතින අධිකරණ ක්‍රියාවලියද අපක්ෂපාති නොවන බවට චෝදනා එල්ලවේ. එම නිසාම මෙවැනි චෝදනාවක් හමුවේ අධිකරණය පෙර සාමාන්‍ය ජනතාව විසින් නිතිය ක්‍රියාත්මක වීම පාකිස්තානයේ බහුලව වාර්තාවේ. ඒ අනුව පාකිස්තානයේදී, පදනම් විරහිත චෝදනාවලට පවා, එම චෝදනා ලබන අපරාධකරුවන්ට එරෙහිව විරෝධතා සහ මැර ප්‍රචණ්ඩත්වය අවුළුවාලිය හැකිය. මානව හිමිකම් ක්‍රියාකාරීන් දිගු කලක් තිස්සේ තර්ක කරමින් කියා සිටින්නේ පාකිස්තානයේ සුළු ජාතීන් බොහෝ විට මෙම චෝදනාවල ඉලක්කකරුවන් බවට පත්වෙන බවයි.

පේරාදෙණිය සරසවියෙන් 1993 වසරේදී ඉංජිනේරු විද්‍යාවේදී උපාධියක් ලද ප්‍රියන්ත කුමාර දියවඩන පාකිස්ථානය වෙත ගොස් ඇත්තේ මෙලෙස මහා මග කෘර ලෙස ඝාතනයට ලක්වීමට වසර 11 කට පෙරය. 2010 වසරේදී ඔහු පාකිස්ථාන ක්‍රසන්ට් ටෙක්ස්ටයිල් ඇඟළුම් කර්මාන්තශාලාවේ කාර්මික ඉංජිනේරු කළමනාකරු ලෙස සේවයට එක්වූ අතර, 2012 වසරේදී සියල්කොට් හි රාජ්කෝ කම්හලේ සාමාන්‍යාධිකාරී ලෙස සේවයට එක්වී තිබේ. එහිදී ඔහු සිය සේව්‍යයාට ඉතාම පක්ෂපාති අයුරින් සේවය කළ බවට ඕනෑතරම් සාක්ෂි පවතී එහෙත් ඔහුගේ ඝාතකයන්ට එහි වගක් පැවැත නැත.

අනෙක් අතට ඔහුගේ ඝාතකයන් හුදෙක් සිය දෙවියන්ට අපහාස කලැයි ප්‍රකෝප වූවෝ පිරිසක් පමණක් නොවූහ. පසුව අනාවරණය වූ ආකාරයට මෙම ඝාතනය මෙහෙයවා ඇත්තේ දැඩි මතධාරී Tehreek-e-Labbaik Pakistan (TLP) ඉස්ලාම් සංවිධානයේ පිරිසකි. TLP යනු පාකිස්ථාන එවකට අගමැති ඉම්රාන් ඛාන්ගේ ආණ්ඩුව පිහිටුවීමට දේශපාලනිකවද සක්‍රියව දායකත්වය ලබාදුන්, එසේම නිරන්තරයෙන් ත්‍රස්ත ක්‍රියා වෙනුවෙන් චෝදනා ලබන, රාජ්‍ය අනුග්‍රහය ලත් අන්තවාදී කණ්ඩායමකි. ඒ අනුව, මිට වසරකට පෙර ම්ලේච්ඡ ලෙස මරා දැමුණු ප්‍රියන්ත කුමාර යනු හුදෙක් ඉම්රාන් ඛාන්ට හෝ වත්මන් නව ආණ්ඩුවට හෝ පාකිස්ථාන රජයට හෙලාදකිමකින් හෝ චුදිතයන් කිහිපදෙනකුට දඬුවම් පැමිණවීමෙන් අතපිසදාගත හැකි සිදුවීමක් නොවේ. එය පැහැදිලිවම පාකිස්තානයේ රාජ්‍ය ත්‍රස්තවාදය සමග ගැටගැසුණු කෘරත්වය ලොවට පෙන්නුම් කළ අවස්ථාවක් වන අතර, ලෝක ආරක්ෂාව වෙනුවෙන් පාකිස්ථානයට ත්‍රස්තවාදයට තවදුරටත් අනුග්‍රහය නොදැක්විය යුතු බවට නැවත නැවත හඬගා කියන සිදුවීමක්ද වේ.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...