28 C
Colombo
Sunday, May 5, 2024

ජාතික නිදහස් පෙරමුණ ඉදිරි මැතිවරණවලට වෙනම ද?

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එල්ල වන අනවරත ප්‍රහාර හමුවේ ඉදිරියේදී එන මැතිවරණවලදී වෙනම තරග කිරීමේ වාසි අවාසි ගැන ජාතික නිදහස් පෙරමුණ මේ වනවිට ගණන් හදමින් සිටින බව වාර්තා වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තෝරාගැනීම් අනුව අපේක්ෂකත්වය හිමිව මන්ත්‍රීවරුන් වූ පිරිසත් කොමියුනිස්ට් සමසමාජ ශ්‍රී ලංකා මහජන පක්ෂය ආදී කොටසුත් ඒකාබද්ධ කරගත් වෙනම කණ්ඩායමක් නිර්මාණය ගැන ද ඒ සමගම සාකච්ඡාවට ගෙන තිබේ.

කෙසේ වෙතත් මෙම දේශපාලන ගැටුම ගැන මත පළ කරන ඇතැමුන් එය අර්ථදක්වන්නේ ජීවන වියදම, බඩු මිල සහ කොවිඩ් මර්දන වැඩපිළිවෙල කඩාවැටීම ඇතුඵව රජය මුහුණදෙමින් සිටින අසාර්ථකභාවයේ ප්‍රකාශන වසාදැමීමේ සඵවක් හැටියටය.

කිසියම් ආකාරයකට විමල් බැසිල් ගැටුමට ලැබෙන ජනමාධ්‍ය ඉඩ හා පුවත් මැවීම් දෙස බලනවිට එවැනි සිතුවිල්ලක් මතුවීම ස්වාභාවිකය. මන්දයත් පාලක පන්තියේ කැමැත්ත මත යැපෙන ප්‍රධාන යැයි කියන ජනමාධ්‍යට ආණ්ඩුවේ අභ්‍යන්තර ආරාවුල් හෙළිකරන මුවාවෙන් රටේ සැබෑ ජනතා ප්‍රශ්න වසාදැමීමට ද අවස්ථාවක් එයින් ලැබෙන බැවිනි. ජනප්‍රිය තර්කයේ පරිදි විමල් බැසිල් ගැටුම කෘතිම නිර්මාණයකැයි සිතුව ද එමගින් දෙපාර්ශ්වයට හිමි වන ප්‍රතිලාභ දෙස බැලීමේදී නම් වෙනත් කරුණු ගැන ද අවධානය යොමු වේ.

විමල් වීරවංශගේ හා බැසිල් රාජපක්ෂගේ දේශපාලන ගමන්මග හා ඉලක්ක ගැන සිතුවොත් මෙම තත්ත්වය තේරුම්ගැනීම පහසුය. සාමාන්‍ය පහළ පන්තියේ පවුලකින් ජවිපෙ කාඩරය නියෝජනය කරමින් ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණි විමල්ට පක්ෂයේ පඩිපෙළ හැදෙන්නේ ද නිර්මාණශීලීත්වය නිසාය. මුඛරිකම නිසාම ජවිපෙ ප්‍රචාරක ලේකම් වූ විමල්ට පක්ෂය නැති කළ වුවද පැවැත්මක් හිමිවූයේ තනතුර හිමි කාලයේ එය නිවැරැදිව ආයෝජනය කිරීමට තිබූ දේශපාලන ඥානය නිසාය.

යුදවාදී පිළිවෙත් සමග සිංහල බෞද්ධ ජාතිකවාදයට ජනතා විමුක්ති පෙරමුණ ද වේගයෙන් තල්ලු කිරීමට දායක වූ හෙතෙම එක්සත් ජනතා නිදහස් සන්ධානයෙහි මහින්ද රාජපක්ෂට හිතෛශී වූයේ පවුලේ අයකු පරිද්දෙනි. ජනතා විමුක්තිය නමැති වාමාංශික හැව ද ගලවා ජාතිය නිදහස් කරගැනීමේ අර්ථයෙන් පක්ෂයක් පිහිටුවීමෙන් හෙළ උරුම හා ජවිපෙ ධාරාවල මුසුවක වර්ණය ගැනීමට තරම් ද විමල් සුළං අත බලා දේශපාලනය කළ චරිතයක් විය. බලය ඒකාරම්මණය කරගත් නමුත් විමල්ට ඒ වෙනුවෙන් ආයෝජනය කරන්නට තිබුණේ මතවාදයයි. මුදල් යම් ආකාරයකට සොයාගැනීමට හැකි වෙතත් එය ප්‍රධාන ද්විපක්ෂයේ ප්‍රධානින්ට කළ හැකි තරමින් නොවේ.

මේ නිසා බලය සඳහා මතවාද සංවිධානය කිරීමත් එහි හිමිකාරිත්වයට අයිතිකම් කීමේත් වැදගත්කම විමල් හොඳින් දැන සිටියේය. විශේෂයෙන්ම මහින්දගෙන් අවසන් වන යුගයක දේශපාලනයෙන් පසු බල ධූරාවලියෙහි පළමු හෝ දෙවැනි තැනක් කරා යෑමට නම් තමාට හිමි තැන තරම් නොවන බව විමල් දනී. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ප්‍රශ්නයේදී කෝ දැන් විමල් යනුවෙන් පොදු සමාජයෙන් ප්‍රශ්න කරද්දී තීරණාත්මක හැරවුමක් ගන්නට විමල් සිතන්නේ ඒ නිසාය.

අනෙක් අතට ප්‍රධාන මාධ්‍යයෙන් වාර්තා නොකළ ද කොහොමටත් විමල්ට දැන් තිබෙන්නේ ඇතුලෙන්ම කැපිල්ලකි. මේ දේශපාලන ගැටුම ප්‍රකාශයට පත්වෙන්නටත් පෙර සිටම විමල්ට දැනට හිමි ඇතැම් ආයතන වෙනත් ඇමැතිවරුන්ට පැවරීමේ සූදානමක් තිබිණි. මේ කැපිල්ල අවසන් වන්නේ කොහෙන්දැයි තේරුම්නොගැනීමට තරම් විමල් දේශපාලන ළදරුවෙක් නොවේ. ජැටිය ගැන මුල් කාලයේදී නොකර සද්ද සිටි විමල් එක්වරම ගෝරනාඩු කරන්නට පටන්ගත්තේ ඒ නිසාය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් ද මාධ්‍ය හමුවේ විමල් විවේචනය කරද්දී ප්‍රධාන කරුණක් කරගෙන තිබුණේ විමල්ගේ ජැටි පිළිවෙතය. ආණ්ඩුව පොදුවේ යම් තීන්දුවක් ගනිමින් සිටියදී විමල් වෙනම පක්ෂ එකතු කරගෙන කල්ලිවාදීව හැසිරුණු බවය. සාගරට මේ දේශපාලන රැල්ල ගැන තේරුමක් තිබේදැයි පැහැදිලි නැත. එහෙත් විමල් මේ මොහොතේ කරමින් සිටින්නේ කුමක්ද? කලක් ජනතා විමුක්ති පෙරමුණේ අනන්‍යතා ලක්ෂණයක් වූ ඉන්දීය විරෝධය තමාගේ අතට ගැනීමය.

අනෙක් අතට විමල්ගේ මේ හැසිරීම සමාන කළ හැක්කේ අසූව අගභාගය වනවිට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙහි රණසිංහ ප්‍රේමදාස රඟදැක්වූ භූමිකාවටය. එදා ජවිපෙ ඉන්දීයවිරෝධී වෙද්දී ප්‍රේමදාස ද ඉන්දීය විරෝධියෙක් විය. එපමණක් නොවේ. නව ලිබරල් ආර්ථිකය දර්ශනය කරගත් එක්සත් ජාතික පක්ෂය තුළ සිටිමින්ම ප්‍රේමදාස ගෙනාවේ ජනතාවාදී සටන් පාඨය. අනෙක් අතට ප්‍රේමදාස ස්වරය ප්‍රභූවිරෝධී ද විය. විමල් සිය පක්ෂය හරහා පාර්ලිමේන්තු ගෙන ආ චරිත වන නිරෝෂන් ප්‍රේමරත්න හා උද්ධික ප්‍රේමරත්න වැනි අය දෙස බැලීමේදී ද මෙම ස්වරයේ තරම කැපී පෙනේ.

ඉතින් මෙසේ නිශ්චිත ඉලක්කයක් ඇතිව සංවිධිත ලෙස දේශපාලනය කරන විමල් වීරවංශ, ආණ්ඩුවේ අසාර්ථකභාවය වැසීම වෙනුවෙන් සැකසූ නාට්‍යකයක නළුකම් කරන තැනට වැටෙනු ඇතිද? අනෙක් අතට එවැනි නාට්‍යකින් පවා මතවාදී තලයෙහි දුර්වර්ණ වන්නේ විමල්ගේ ප්‍රතිරූපයයි. බැසිල්ට ඉන් හානියක් නැත. එනිසා සිදුවන දේ ආණ්ඩුවේ අසමත්කම් වසන කඩතුරාවක් විය හැකි සේම එය විමල් රඟපාන නාට්‍යක් වීමට ඇති ඉඩ අවමය.

2015 ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 58 ක් තිබුණු එ.ජ.නි.සට එම වසරේම මහමැතිවරණයේදී ලබාගැනීමට හැකිවූයේ ලක්ෂ 48කි. ඒ අනුව 2020 ජනාධිපතිවරණය වන විට ඡන්ද ලක්ෂ විස්සකට වැඩි පිරිසක් රාජපක්ෂවරුන්ගේ සහායට සිටියහ. විමල් ඇතුළු පිරිස අහන්නේ මේ ඡන්ද ආවේ කොහෙන්ද කියාය. වෙනම තරග කිරීමක් හරහා ජාතික නිදහස් පෙරමුණ අපේක්ෂා කරන්නේ ද මේ ඡන්ද ගොඩය.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...