33 C
Colombo
Sunday, May 5, 2024

ලොව ඉහළම බලවතුන් එකට හමුවන G20 අනාගතය

- Advertisement -

ඉන්දියාව යනු අද වන විට ලොව වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයකන් අතර පෙරමුණේ පසුවන්නක් බව අවිවාදිතය. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රක්ෂේපණයන්ට අනුව මෙම වසරේ (2023) ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය සියයට 6.8ක අගයකට ළඟාවනු ඇත. එසේම ඉන්දියාව මේ වසරේදී චීනය සමග එක්ව ලොව සමස්ත ආර්ථික කටයුතුවලින් අඩක් මෙහෙයවනු ඇතැයිද IMF සිය නවතම වාර්තාවලින් පූර්වේක්ෂණය කර ඇත( එහිදී චීනයේ ආර්ථික වර්ධනය 2023දී සියයට 05ක අගයක පවතිනු ඇතැයිද IMF අනාවැකි පළකර තිබේ). ඒ අනුව ඉන්දියාවට 2023 වසර යනු අතිශය සුවිශේෂී වසරක් වනු ඇති අතර, වසර අවසානයේ සිය ගෝලීය දැක්ම සහ මහා උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව උදාවී තිබේ. මෙම සුවිශේෂී අවස්ථාව හිමිවන්නේ පසුගිය (2022) දෙසැම්බර් 01 වැනිදා සිට ලොව ප්‍රබල G20 රටවල් කණ්ඩායමේ සභාපතිත්වය ඉන්දියාවට හිමිවීමත් සමගිනි. ඉන්දියාව දෙසැම්බර් 01 වන දින ඉන්දුනීසියාවෙන් G20 සභාපතිත්වය භාර ගත් අතර 2023 සැප්තැම්බර් 09 සහ 10 යන දිනවල නවදිල්ලියේ දී G20 නායකයන්ගේ මීළඟ සමුළුව රාජ්‍ය නායකයන්ගේ මට්ටමින් කැඳවනු ඇත.

G20 හෙවත් විස්සේ කණ්ඩායම යනු රටවල් 19ක් සහ යුරෝපා සංගමයෙන් සමන්විත දැනට ලෝකයේ ක්‍රියාත්මක බලවත්ම අන්තර් රාජ්‍ය සංසදයකි. එය ලොව දෙවැනි වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට පමණකි. එමනිසාම G20 කණ්ඩායම වත්මන් ගෝලීය අභියෝග හමුවේ, ලොවට සැබෑ බලාපොරොත්තුවක් තැබිය හැකි මධ්‍යස්ථානයක් බවට මේ වන විට පත්ව තිබේ. G20හි වැදගත්කම පවතින්නේ සංවර්ධිත ආර්ථිකයන් සමූහයක් වන G7 කණ්ඩායමට වෙනස්ව මෙමගින් එකට කාණ්ඩගත කර ඇති රටවල විවිධත්වය තුළ ය. G20 විසින් ගෝලීය දකුණට (ලතින් ඇමරිකාව, ආසියාව, අප්‍රිකාව සහ ඕෂනියාව තුළ කලාප) හඬක් ලබා දෙන අතර,එහි සාමාජික රටවල් එක්ව ගෝලීය ජනගහණයෙන් සියයට 60 කට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය කරයි. එය අන්තර්ජාතික මූල්ය ස්ථාවරත්වය, දේශගුණික විපර්යාස අවම කිරීම සහ තිරසාර සංවර්ධනය වැනි ගෝලීය ආර්ථිකයට සම්බන්ධ ප්‍රධාන ගැටළු විසඳීමට ක්‍රියාකරනු ලබයි. එමනිසාම G7කණ්ඩායමේ සිටින ලෝක බලවතුන්ට, බොහෝවිට තමන් විසින් මගහැර යන ගෝලීය දකුණ පිළිබදව, තමන් නැවත සාමාජිකත්වය දරන G20 කණ්ඩායම තුළදී අනිවාර්යයෙන්ම මැදිහත්වීමට සිදුවීම වැළක්විය නොහැකිවේ. ලෝකයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 85 ක් පමණ සහ ගෝලීය වෙළඳාමෙන් සියයට 75 කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන කණ්ඩායමක් තුළ G7 සාමාජිකයන්ට එලෙස කරහැර යෑමේ අවස්ථාව ඉතා අඩු බවද පෙන්වාදිය යුතුය.

ඉන්දියාව විසින් සිය G20 නායකත්වය උපයෝගී කරගනිමින් ගෝලීය දකුණට හඬක් සැපයීමට උත්සාහ කරන බව මේ වන විටත් ප්‍රදර්ශනය කර ඇති අතර, සංවර්ධනය වෙමින් පවතින රටවලට බලපාන න්‍යාය පත්‍රයන්ද මෙහිදී සංශෝධනයට ලක්කිරීමටද කැමැත්ත පළකර ඇත. එහිදී අන්තර්ජාතික ආයතන ප්‍රතිසංස්කරණය කිරීම, සෞඛ්‍යය, අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂභාවය, දේශගුණය සහ පරිසරය ශ්‍රී ලංකාව ඇතුළු ගෝලීය දකුණට ඉතා සමීප ගැටළු පිළිබඳව ඉන්දියාව වැඩි අවධානයක් යොමුකර තිබේ. විශේෂයෙන් එක්සත් ජාතින් වේවා, ලෝක බැංකුව වේවා, ආසියාන් සංවිධානය වේවා, මෙම කිසිදු ගෝලීය ආයතනයකින් හෝ සංවිධානයකින් මේ මොහොතේ සැබෑ ලෙස ගෝලීය දකුණේ ගැටළු සාකච්ඡාවට ලක්වන්නේ නැත. වඩාත් අභියෝගත්මකවී ඇති ඉහත ගැටළු හමුවේ සම්ප්‍රදායික බටහිර බලවතුන් සමග තවදුරටත් පොදු ගැටලුවලට පිළිතුරු සෙවීම අසාර්ථකවී ඇති බව ගෙවීගිය දෙවසරක කාලය ඇතුළත නැවත නැවත තහවුරුවී තිබේ.

ඉන්දියාව G20 සංවිධානයේ සභාපතිත්වය භාර ගැනීම තවත් ආකාර කිහිපයකින් වැදගත් වේ. පළමුව, සංවර්ධනය වෙමින් පවතින රටවල් G20 හි සභාපතිත්වය දරා ඇත්තේ හතර වතාවක් පමණකි. ඒ, 2012 දී මෙක්සිකෝව, 2016 දී චීනය, 2018 දී ආර්ජන්ටිනාව සහ මෑතක 2022 දී ඉන්දුනීසියාව වශයෙනි. ඒ අනුව එක් අතකින් ඉන්දියාවට පළමු වතාවට සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙනුවෙන් නිල වශයෙන් ලොව ඉදිරියේ හඬක් නැගීමට අවකාශය උදාවී ඇත. පළමු වරට යනුවෙන් මෙහි සඳහන් කෙරෙන්නේ, මින් පෙර එම තනතුර දැරූ ඉහතකී අනෙක් රටවල් එම නියෝජනය නියමිත පරිදි ඉටුකළ බවට සාක්ෂි නොමැති වීම හේතුවෙනි. දෙවනුව, ලොව බලවත්ම ආර්ථිකයන් අතර 05වැනි තැනට පැමිණ ඇති ඉන්දියාවට, අනෙක් බහුතරයක් බලවතුන් සම්බන්ධීකරණය කිරීමේ හැකියාව පවතී. තෙවනුව, මෙම වසරේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත G20 සමුළුව, 1983 දී පැවැත්වූ නොබැඳි ජාතීන්ගේ සමුළුවෙන් පසු රට තුළ පවත්වනු ලබන වඩාත්ම කීර්තිමත් රාජ්‍යතාන්ත්‍රික උත්සවය බවටද පත්වීමට නියමිතය.

බෙදුණු ලෝකයක හිඩැස් පිරවීම සහ එකිනෙකා අතර සම්මුතියක් ඇතිකරගැනීම පහසු නැත. දේශගුණික විපර්යාස, රුසියාව-යුක්රේන ගැටුම සහ කොවිඩ්-19 නිසා ඇති වූ විශාල බාධා කිරීම් හමුවේ ධනවත් රටවල්ද ඇතුළුව ලොව පුරා වාර්තාගත උද්ධමන මට්ටම්, ආහාර සහ ඉන්ධන හිඟය, වෙළඳ සීමා කිරීම් සහ සම්බාධක නිර්මාණය වී අර්බුද සහ අභියෝගය වඩාත් සංකීර්ණ වී තිබේ. කෙසේ වෙතත් G20 නායකයා ලෙස, මෙම අභියෝගවලට මුහුණදීමේදී සම මට්ටමේ බලවතුන්ට සාපේක්ෂව ඉන්දියාවට අමතර වාසියක් පවතී. එනම්, ලෝකයේ සෑම පැතිකඩක්ම නියෝජනය කරනු ලබන චතුරශ්‍රාකාර ආරක්ෂක සංවාදය(Quad), IBSA හෙවත් ඉන්දියාව,බ්‍රසීලය සහ දකුණු අප්‍රිකාවේ සහයෝගිතාව මෙන්ම ෂැංහයි සහයෝගිතා සංවිධානය (SCO) වැනි බොහෝ තීරණාත්මක කණ්ඩායම්වල ඉහළ සාමාජිකත්වය දැරීම සහ ඒවායේ අභියෝග සහ විසඳුම් නියෝජනය කිරීමයි. ඒ අනුව මෙම සියලු නියෝජනයන් G20 සභාපතිත්වය තුළ ඵලදායී ලෙස භාවිත කිරීමට ඉන්දියාවට හැකියාව ලැබී ඇත.

අනෙක් අතට යුක්රේන යුද්ධය සහ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ලෝකයට මගහැරී ගොස් ඇති, එහෙත් අනිවාර්යයෙන් 2030 ගෝලීය තිරසාර සංවර්ධන ඉලක්ක සපුරාගැනීමේදී අවධානය යොමුකළ යුතු තවත් අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර කිහිපයක කටයුතුද ආවරණය කිරීමට ඉන්දියාවට වගකීම් පැවරී ඇත. එනම් හරිත බලශක්තිය, පාරිසරික ආරක්ෂාව සහ තිරසාර ලෝක ආර්ථිකයේ වර්ධනය යන විෂයන්ය. එහිදී විශේෂයෙන් හරිත බලශක්තිය පිළිබඳව අවධානය යොමුකිරීමේදී, බලශක්ති ප්‍රවේශය සහ බලශක්ති සුරක්‍ෂිතතාවය යන ද්විත්ව අවශ්‍යතා ආමන්ත්‍රණය කිරීම කෙරෙහි ඉන්දියාව දැනටමත් කටයුතු කරමින් සිටින බව දැකගත හැකිය. එහිදී 2070 වන විට සම්පුර්ණයෙන් පුනර්ජනනීය බලශක්තියට යොමුවුණු රටක් බවට ඉන්දියාව පත්කරලීමේ තිරසාර සැලැස්ම ලෝකයට හඳුන්වාදීමේ අවස්ථාව තමන් විසින් උදාකරගන්නා බව ඉන්දියාව මේ වන විටත් ප්‍රකාශ කර තිබේ. මහාද්වීප හරහා සූර්ය බලශක්තිය යෙදවීම වැඩි දියුණු කිරීම අරමුණු කරගත් අන්තර්ජාතික සූර්ය සන්ධානයේ (ISA) සභාපතිත්වය දරනු ලබන්නේද ඉන්දියාව බව මෙහිදී සිහිපත් කළයුතුය.

කෙසේවුවත් බොහෝ සෙයින් කඳවුරු වලට ඒකරාශී වී, ගෝලීය උතුර සහ දකුණ වශයෙන් බෙදී ඇති ලෝකයක, ඉන්දියාවට සිය පෞද්ගලික අදහස්වලට පිළිගැනීමක් ලබාදීම, සම්මතයන් සැකසීම සහ පොදු පදනමක් සොයා ගැනීම පහසු වන්නේ නැත. එහෙත් අතීතයේ පැවති නොබැඳි පිළිවෙත, වත්මන් සාමුහික උපායමාර්ග වෙනුවෙන් වන කැපවීම සහ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්ති විසින් ලෝකයට මැදිහත් වීමට, එකිනෙකා සමග සාකච්ඡා කිරීමට සහ පාර්ශවිය ලෝකය මධ්‍යස්ථ කිරීමට ඉන්දියාවට දැන් අවස්ථාව උදාවී ඇත. අනෙක් අතට, අඛණ්ඩව ක්‍රියාත්මක බටහිර අධිරාජ්‍යවාදී ආඛයානයන් හමුවේ වුවද, දැන් බටහිරට ඉන්දියාව යනු අනිවාර්යයෙන් පිළිගතයුතු සත්‍යයක් බවට පත්ව ඇත. විශේෂයෙන් යුක්රේන යුද්ධය අවසන් කර, යුරෝපයට සන්සුන්භාවයක් උදාකරගැනීමට නම්, අනිවාර්යයෙන්ම රුසියාවේ සමීපතමයකු වන ඉන්දියාවේ සහාය ලබාගැනීමට බටහිරට සිදුවේ. එම නිසා පෙරකී සියලු අවශ්‍යතා සහ සුදානම් වෙනුවෙන්, G20 සභාපතීත්වය යටතේ සැලකිවයුතු බලපෑමක් ලෝකයට එල්ල කිරීමට මේ වසරේදී ඉන්දියාවට අවස්ථාව උදාවී ඇතැයි පැවසීම සහතික කළහැකි සත්‍යයකි

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...