කුලී රැකියාවක් නොමැති වීම නිසා සිත් තැවුලට පත් වූ පුද්ගලයෙකු සිය නිවස තුළ ගෙළ වැළලාගෙන සියදිවි හානි කර තිබෙන බවට වාර්තා වෙනවා.
පොලීසිය පවසන්නේ මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ 34 හැවිරිදි මාතලේ අළුවිහාර ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙක් බවයි.
එදිනෙදා කුලී වැඩට යමින් ජීවත් වූ මෙම පුද්ගලයා මාතලේ නගරයට ගොස් කුලී රැකියාවක් සෙවුවද සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා.
ඔහු නිවසට පැමිණ කෙසේ හෝ රුපියල් දාහක් සොයාගෙන එන ලෙසට බිරිඳට පවසා තිබෙනවා.
ඒ අනුව බිරිඳ යාබද නිවසට ගිය ද එය ඉටුකර ගැනීමට නොහැකි වී තිබෙන අතර දෙවන වරටද සැමියා පවසා ඇත්තේ තවත් එක් සැරයක් උත්සහ කර මුදල් සොයාගෙන එන ලෙසයි.
ඒ අනුව ඇය නිවසින් පිටව ගොස් මුදල් සොයාගෙන එන අතරතුර සැමියා ගෙල වැලලාගෙන මිය ගොස් තිබෙන බව පොලීසිය පවසනවා.