33 C
Colombo
Sunday, May 5, 2024

උපකාරයට ස්තුතියි කියනු වෙනුවට බිල්ලන් මැවීම

- Advertisement -

ඉන්දියානු විරෝධය මෙරට දේශපාලනයේ ජනප්‍රිය සටන් පාඨයක් වී ඇත්තේ අද ඊයේ සිට නොවෙයි. ඉන්දු – ලංකා ඓතිහාසික සබඳතාවයේ පරිමාණය සහ පරණාමය තරමටම ඉන්දියානු විරෝධයද මෙරට සමාජයීය හා දේශපාලන ප්‍රපංච හා බැඳී පවතිනවා. මෙරට ඉන්දියානු විරෝධයේ උච්චතම අවස්ථාව ලෙස සැලකෙන්නේ 1987 දී එවකට නාවික කැඩෙට් නිලධාරියෙකු වූ විජේමුනි විජිත රෝහණ විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධිට ආචාර පෙලපාලියකදී පහර දීමට උත්සාහ කිරීමයි. ඊට පෙරත් , පසුත් ඉන්දියානු විරෝධය විවිධ ස්වරූපවලින් කරලියට පැමිණ තිබේ. සුවසැරිය ගිලන් රථ සේවාවට එල්ල වූ විරෝධය, සාම්පූර් ගල් අඟුරු බලාගාරයට එල්ල වූ විරෝධය, නැගෙන ජැටිය සංවර්ධන ව්‍යාපෘතියට එල්ල වූ විරෝධය මෑත නිදසුන්ය.

ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට මේ මොහොතේ සහයට ඉදිරිපත් වී සිටින බලවත්ම ජාතිය ඉන්දියාවයි. නමුත් සාම්ප්‍රදායික ඉන්දියානු විරෝධයේ අඳුරු තිරය ඒ මත පතිත කරවීමට රට තුල ඇතැම් බලවේග ක්‍රියාකරමින් සිටිනු දක්නට ලැබෙනවා.

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකටයි. රට පුරා ඉන්ධන පෝලිම්ය. ගෑස් පෝලිම්ය. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟය ජන ජීවිතය තලා පෙලා දමා ඇත. දිනකට පැය 5කට ආසන්න විදුලි කප්පාදුවක් සිදුවේ. රට බරපතල විදේශ විනිමය හිඟයකට මුහුණ දී සිටී. රුපියලේ අගය ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා අවප්‍රමාණය වී තිබේ. උද්ධමනය ඉතිහාසයේ ඉහළම අගයට පැමිණ ඇති අතර එය තවත් ඉහළ යනු ඇතැයි පුරෝකතනය කර ඇත.

වසර ගණනාවක් පුරා ලංකා‍ව ආර්ථික ගැටලුවලට විසදුම් සෙව්වේ කෙටිකාලීන සහ දිගුකාලීන වශයෙන් ණය ලබාගනිමිනි.

ලංකාව මෑත කාලයේ ණය ලබාගත් පාර්ශව අතර චීනයට හිමිවන්නේ වැදගත් තැනකි. චීනයෙන් අධික පොලියට ලබාගත් ණය යොදවා සිදුකරන ලද ව්‍යාපෘතිවලින් ලංකාවට ඇත්තටම යමක් ලැබුණාදැයි යන්න මේ අවස්ථාවේදී සිහිබුද්ධියෙන් විමසා බැලිය යුතු කරැණකි. කොළඹ නගරය මැදට වී ඔහේ එසවී පවතින නෙලුම් කුලුණ, වැඩි දින ගණනක් වසා තැබෙන නෙළුම් පොකුණ රඟහල, අලි ලගින සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය, මෙන්ම ඔහේ වේලෙන හම්බන්තොට අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව වැනි චීන ණය යටතේ ඉදිකර ඇති සංවර්ධන ව්‍යාපෘති සුදු අලි බවට විවාදයක් නොමැත. රටට සල්ලි උනන තැන් බවට පත්වෙතැයි කියූ පෝර්ට් සිටිය වැනි ව්‍යාපෘති තුළින් පවා අවසාන‍යේ රටටත් ලංකාවේ ජනතාවටත් ලැබෙන්නේ මොකක්දැයි යන්න අද වන විට ජනතාව තුළ බරපතල ප්‍රශ්නකාරී තත්වයක් මතු කර ඇත.

පෙර සදහන් කළ පරිදි අද වන විට ලංකාවේ ජනතාවට අවශ්‍යව ඇත්තේ එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාමේ අභියෝගයයි. ඉන්ධන, ගෑස්, විදුලිය, ආහාර, ඖෂධ කිරිපිටි ආදියයි. මේ දුෂ්කර මොහොතේ ලංකාවේ ජනතාවට ඒ දේ සපයාගන්න‍ට යම් විදේශ රටක් ඉදිරිපත් වන්නේ නම් එය සැබැවින්ම ඇගයීමට ලක්විය යුතුය. ඇතැම් අන්තර්ජාතික විශේෂඥයන් විසින් බංකොළොත් රටක් ලෙස හංවඩු ගසද්දීත්, දේශපාලඥයන්ගේ සිහින ව‍්‍යාපෘති වෙනුවෙන් අධික පොලියට ණය දුන් රටවල් ජනතාවගේ දෛනික ගැටලු විසදාගැනීමට සහය අවශ්‍යම ඇති මො‍හොතේ අහක බලා ගනිද්දීත්, මේ මොහොතේ ලංකාවේ ජනතාව වෙනුවෙන් ඵළදායී කුමක් හෝ යමක් දෙන්නට ඉදිරිපත්ව සිටින්නේ අන්කවරකුවත් නොව දේශපාලඥයන් ඇතුළු ඇතැම් පාර්ශව විසින් විසින් බිල්ලෙකු ලෙස හංවඩු ගැසූ සහ තවමත් විවේචනයට ලක්කරන ඉන්දියාවයි.

ඉන්ධන මිලදී ගැනීම සදහා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව වෙත මේ වන විට ඩොලර් මිලියන 500 ක ණයක් ලබා දී ඇති අතර ඒ යටතේ පළමු ඉන්ධන තොගය රැගත් නැව ඊයේ කොළඹ වරායට සේන්දු විය. වර්ෂාව ලැබී ජල විදුලි උත්පාදනය යථා තත්ත්වයට පත් වන තුරු ශ්‍රී ලංකා බලශක්ති අවශ්‍යතාව සපුරා ගැනීම මුලුමනින්ම රඳා පවතින්නේ ඉන්දියානු ණය සහනාධාරය මත ලැබෙන ඉන්ධන මත බව අමතක නොකළ යුතුයි.

පසුගියදා ඉන්දියාවෙි සංචාරය කළ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දීය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ඉන්ධන ලබා ගැනීම සඳහා අතිරේක ඩොලර් මිලියන 250ක් ලබා දෙන ලෙසයි.

අද වන විට ලංකාවේ ජනතාව මුහුණ දී සිටින තවත් විශාල අර්බුදයක් වන්නේ ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිගවීම වන අතර ඊට ද බලපා ඇත්තේ ඩොලර් නොහොත් විදේශ විනිමය හිගයයි. මේ සදහා තාවකාලික විසදුමක් ලෙස ඉන්දියාව විසින් ඩොලර් බිලියන එකක පමණ ණයක් සපයනු ලැබ ඇති අතර ඒ යටතේ ඉන්දීය රාජ්‍ය බැංකුව විසින් සපයන ණය පහසුකම් යටතේ එම ද්‍රව්‍ය ආනයනය කිරීමට අවස්ථාව ලැබී තිබේ.

සිය දෙදින ඉන්දීය සංචාරය අතරතුර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශන්කර් යන මහත්ම මහත්මීන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.

එම සාකච්ඡා වලදී මෙරට වත්මන් ආර්ථික අභියෝග පිළිබඳව දෙරට අතර කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගු කාලීන සහයෝගීතාව සඳහා සැලසුම් සකස් කිරීමට එකඟතාව පළවූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළේය.

එම අරමුණ ඇතිව අමාත්‍යවරු තිදෙනා නිරන්තරයෙන් සම්බන්ධ වීමට එකඟ වූ අතර නිරන්තර සංවාදයක් පවත්වා ගැනීම සඳහා දෙරටේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත සම්බන්ධීකරණ යාන්ත්‍රණයක්ද පිහිටුවනු ලැබීය.
ඊයේ (මාර්තු 17) අත්සන් කෙරුණු ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය ගිවිසුමට අමතරව ඉන්දියාව මේ වසර තුල පමණක් ශ්‍රී ලංකාවට ලබා දී ඇති සමස්ත මූල්‍ය පහසුකම්හි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4කි.
රට මුහුණ දී සිටින බලශක්ති අර්බුදයට පිලියමක් ලෙස පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කිහිපයක් ඇරඹීම කෙරෙහි ද ඉන්දීය රජයේ අවධානය යොමු ව තිබේ.

සිය දෙදින ඉන්දීය නිල සංචාරය අතරතුර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද ඉන්දියාවේ විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ශ්‍රී රාජ් කුමාර් සිං හමුවී පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට සහ පුළුල් කිරීමට ඇති අවස්ථාවන් සහ ක්‍රමවේද පිළිබඳ සාකච්ඡා කළේය.

ඉන්දියාවේ ජාතික තාප බලශක්ති සංස්ථාව (National Thermal Power Corporation – NTPC) සහ ලංකා විදුලිබල මණ්ඩලය එක්ව සාම්පූර් හි සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා පසුගියදා ගිවිසුමකටද එළැඹුණි.

ඒ හරහා ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට අපේක්ෂිත ධාරිතාව මෙගා වොට් 100ක්.
ඉන්දීය එක්සිම් බැංකුව හරහා මෙරට සූර්ය විදුලි ව්‍යපෘති සඳහා ඉන්දියාව පසුගිය වසරේ ජූනි මාසයේදී ද ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ණය සහනයක් ලබා දුන්නේය.
මීට අමතරව ඉන්දියාවේ අදානි සමූහය දැවැන්ත පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 2ක් ආරම්භ කිරීම සඳහා මෙරට සමග ගිවිසුමකට එළැඹ ඇතැයි ද හින්දු පුවත්පත වාර්තා කරයි.

මන්නාරමේ සහ පුනරීන් හි ඉදි කෙරෙන එම බලාගාර සඳහා අවබෝධතා ගිවිසුමට පසුගිය සිකුරාදා (මාර්තු 11) අත්සන් තැබුණු බව ද හින්දු වාර්තාවේ සඳහන්.
යෝජිත පුනර්ජනනීය විදුලි බලාගාර ව්‍යාපෘති දෙකෙහි සම්පූර්ණ ධාරිතාව මෙගා වොට් 500කි. ව්‍යාපෘතිය සඳහා අපේක්ෂිත මුළු ආයෝජනය ඇමෙරිකානු ඩොලර් 500කි.

මෙම ඉන්දියානු විදුලි උත්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ 2030 වන විට සියයට 70ක් පුනර්ජනනීය බලශක්ති ඉලක්කය සපුරා ගැනීමේ ශ්‍රී ලංකා රජයේ වැඩපිළිවෙලට සමගාමීවයි.
ඉන්දියාව මීට පෙර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ශ්‍රී ලංකාව සමග ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා ගිවිසුමකට එළැඹියේය.
ඒ අනුව මෙරට විදුලිබල හා බලශක්ති සුරක්ෂිතතාව සම්බන්ධයෙන් සාධනීය මැදිහත්වීමක් ඉන්දීය පාර්ශ්වයෙන් සිදුවෙමින් තිබේ.

මෙම ඉන්දියානු ණය සහ ආයෝජනවල ඇති විශේෂත්වය වන්නේ මේ කිසිවක් කිසිදු දේශපාලඥයෙකු පිම්බීමට හෝ ඔවුන්ට කොමිස් ලබා ගැනීමට අවස්ථාවක් ලබා නොදී සෘජුව ලංකාවේ ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ඒවා ලෙස ක්‍රියාත්මක වීමයි. මේ අවස්ථාවේ දී මෙම ණය සහ ආයෝජන නොලැබුණේ නම් තත්වය ජනතාවගේ ජීවන තත්වය තවත් දුෂ්කර වන බවට විවාදයක් නොමැත. සත්‍යය එසේ වුවත් තවමත් ඇතැමුන් ඉන්දියාවෙන් ලංකාවේ ජනතාව වෙත ලැබුණු මෙම සහන හරහා බිල්ලන් මැවීමට උත්සහ ගනී.

පසුගියදා මෙරට සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක කතුවැකියක දැක්වුණේ විදේශ සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 631ක් ඇති ඉන්දියාව ශ්‍රී ලංකාවට ඩොලර් බිලියනයක් ලබා දීමට කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කර ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රිකව “බ්ලැක් මේල්” කර ඇති බවයි.

නමුත් දීර්ඝ කාලායක් තිරසර නොවන ව්‍යාපෘති සඳහා ඉහළ අනුපාත යටතේ ණය ලබා දෙමින් ශ්‍රී ලංකාව බරපතල ණය උගුලක සිර කළ චීනය මේ අවස්ථාවේදී කරන්නේ කුමක්දැයි ප්‍රශ්න කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් වන්නේ නැහැ.

නමුත් මැදිහත්ව බලන විට පෙනීයන්නේ ඇතැමුන් විවිධ දේශපාලන න්‍යාය පත්‍රවලට මුවාවී ඉන්දියාව බිල්ලෙක් බවට පත් කර ඇතත් මේ දුෂ්කර අවස්ථාවේ අපේ සැබෑ ගැලවුම්කරුවා වී ඇත්තේ බිල්ලෙක් ලෙස මවා පෑ ඉන්දියාව පමණක් බවයි.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...