28 C
Colombo
Monday, May 6, 2024

බුදු දහම මත ගොඩනැගුණු ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා

- Advertisement -

විවිධත්වයේ දේශය වන ඉන්දියාව ලෝක සංස්කෘතික හා අධ්‍යාත්මික උරුමයන් සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබෙනවා.
බුදුදහම, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකට සම්බන්ධ කරන යෝධ පාලමයි.
මහා භාරතයේ ප්‍රතාපවත් රාජ්‍ය පාලකයා වූ අශෝක අධිරාජ්‍යයා මිහිඳු මහරහතන් වහන්සේ සහ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ධර්මය ප්‍රචාරය සඳහා යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ පාලකයා වූ දේවානම්පියතිස්ස රජු හා පැවැති සම්බන්ධය පදනම් කරගෙනයි.
එම අන්‍යොන්‍ය මිතුදමෙහි මහිමය අද දක්වා ලාංකීය සමාජයේ ප්‍රගමනය කෙරෙහි බලපෑම් ඇති කිරීමට සමත් ව තිබෙනවා.

මෙරට බෞද්ධයකුගේ ජීවිත කාලය තුළදී අත්කර ගැනීමට අපේක්ෂා කරන බලාපොරොත්තු අතුරින් බුදුහිමියන් වැඩසිටි දඹදිව වන්දනාමාන කිරීම ප්‍රමුඛ කාරණයක් වනු නොඅනුමානයි.
බුදුන් උපන් දේශය වූ ඉන්දියාව බුද්ධාගමේ දියුණුව හා ව්‍යාප්තිය සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළා.

පොසොන් පොහෝ දාක සිදු වූ මහින්දාගමනය ශ්‍රී ලංකා ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් ලෙස සැලකෙන්නේ එය මෙරටට බුදුදහම හඳුන්වාදීම සනිටුහන් කළ බැවිනුයි.
ශ්‍රී ලංකාවේ බුදුදහම ප්‍රචලිත කිරීමෙහිලා මිහිඳු මහ රහතන්වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ අතර, සැලකිය යුතු පිරිසක් බුදුදහමට හරවා ගැනීමට ඔවුහු සමත් වුණා.

මහින්දාගමනයේ වැදගත්ම ජයග්‍රහණයක් වූයේ පාලි භාෂාව ශ්‍රී ලංකාවට හඳුන්වා දීමයි.
එය බෞද්ධ සංස්කෘතිය රට තුළ ප්‍රචලිතවීමට තීරණාත්මක සාධකයක් වූ අතර බෞද්ධ ඉගැන්වීම් ලිඛිතව ආරක්ෂා කිරීමට ද එය මගපෑදුවේය.
ශතවර්ෂ ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ බුද්ධ පණිවිඩය ප්‍රචාරය කළ මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්‍රාවකයන් සහ අනුගාමිකයන් හරහා බොදු උරුමය අඛණ්ඩව ශ්‍රී ලංකාද්වීපය පුරා ආරක්ෂා වුණා.

ඇත්ත වශයෙන්ම, ශ්‍රී ලංකාව ආසියාවේ බුද්ධාගමේ වැදගත් මධ්‍යස්ථානයක් බවට පත් වූ අතර, එය ලෝකයේ අනෙකුත් ප්‍රදේශවලට බුදුදහම ව්‍යාප්ත කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළා.

බුද්ධාගම ශ්‍රී ලාංකේය සමාජයට ප්‍රබල බලපෑමක් ඇති කළ අතර එය රටේ සංස්කෘතිය හා සම්ප්‍රදායන් හැඩගැස්වීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළා.
ශ්‍රී ලාංකේය කලාව, ගෘහ නිර්මාණ ශිල්පය, සාහිත්‍යය සහ සංගීතය තුළ බුදුදහමේ බලපෑම අදටත් දැකිය හැකියි.

ශ්‍රී ලංකාවේ බෞද්ධ ආරාම සහ විහාරස්ථාන වාස්තුවිද්‍යාත්මක ආශ්චර්යයන් වන අතර ඒවා රටේ පොහොසත් බෞද්ධ උරුමය පිළිබඳ සාක්ෂියක් ලෙස නැඟී සිටිනවා.

බුදු දහම ආරක්ෂා කිරීමේ ඉන්දියාවේ වත්මන් කාර්යභාරය

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යටතේ ඉන්දියාව තුළ බුදුදහම හා එහි සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා මෙන්ම බුදුදහම විශ්වීය වශයෙන් ප්‍රචාරය කිරීම සඳහා ප්‍රමුඛ පෙළේ වැඩසටහන් රාශියක් දියත් කර තිබෙනවා.

ඒ අතර ඉන්දියාවේ සහ නේපාලයේ ඇති බෞද්ධ උරුමයන් සංරක්ෂණය කිරීමේ නොනවතින මැදිහත් වීම් විශේෂයෙන් සිහිපත් කළ යුතුමයි.
ලුම්බිණි ආරාම පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත බෞද්ධ සංස්කෘතිය සහ උරුමය පිළිබඳ ඉන්දියානු ජාත්‍යන්තර මධ්‍යස්ථානය ඒ අතරින් සුවිශේෂී වනවා.
මෙය බෞද්ධ වන්දනාකරුවන් සහ සංචාරකයන් සඳහා ධර්ම ශාලා, භාවනා මධ්‍යස්ථාන, පුස්තකාල, ප්‍රදර්ශන ශාලා, ආපන ශාලා සහ වෙනත් පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ මධ්‍යස්ථානයක්.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 2017 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවති 14 වන ජාත්‍යන්තර වෙසක් දින සැමරුමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ද සහභාගි වෙමින්, බෞද්ධ ක්ෂේත්‍රය තුළ දෙරට අතර තිබෙන ශක්තිමත් සබඳතා තවත් සවිමත් කරමින් බොදු සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රදානයක් ප්‍රකාශයට පත් කළා.
බෞද්ධ විහාරාරාම ඉදිකිරීම/නවීකරණය කිරීම, ධාරිතා සංවර්ධනය, සඳහා මූල්‍ය සහයෝගය ලබා දීම මෙම ප්‍රදානයේ අරමුණයි.

එමෙන්ම 2020 වසරේදී කුෂිනගර් ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙසට ප්‍රකාශයට පත් කිරීමට ඉන්දීය රජය විසින් ගනු ලැබූ පියවර දෙරටේ සබඳතා බුදුදහම පදනම් කර ගෙන තවත් ශක්තිමත් වූ අවස්ථාවක් ලෙසට දැක්විය හැකියි.

බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිදු වූ ස්ථානය සඳහා ප්‍රවේශය පහසුකරමින් ශ්‍රී ලාංකිකයන් ඇතුළු බෞද්ධ ජනයා වෙත පහසුවෙන් එම බෞද්ධ උරුමයන් වැඳපුදා ගැනීමට අවස්ථා මේ මගින් හිමි වනවා.

බුදු දහම විශ්වීය උරුමයක් ලෙස ප්‍රචලිත කිරීම සඳහා ඉන්දියාවේ කැපවීම පිළිබඳ මනා නිදර්ශනය නම් පසුගිය මැයි මාසයේ නවදිල්ලියේදී පැවති ගෝලීය බෞද්ධ සමුලුවයි.
යුද්ධය, ආර්ථික අර්බුදය, ත්‍රස්තවාදය සහ දේශගුණික විපර්යාස හේතුවෙන් සමස්ත ලෝකයම සියවසේ වඩාත්ම අභියෝගාත්මක කාලයකට මුහුණ දී සිටින බවත්, මෙම සියලු සමකාලීන ගෝලීය අභියෝගවලට බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් තුළින් විසඳුම් ලබා ගත හැකි බවත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එහිදී පැවසුවා.

අද ඉන්දියාව ලෝකයේ ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන් නව මුල පිරීම් සිදු කර ඇති බවත්. එම මුලපිරීම් පිටුපස ඇති අපගේ ලොකුම ආභාසය බුදු රජාණන් වහන්සේයි. “ මිත්‍රවරුනි, බුදුන් වහන්සේගේ මාර්ගය ‘පරියත්ති’, ‘පටිපත්ති’, ‘පටිවේධ’ බව ඔබ සැවොම දන්නා කරුණකි. එනම් න්‍යාය, ප්‍රායෝගිකත්වය සහ අවබෝධය. ඉන්දියාව පසුගිය වසර නවය තුළ මේ කරුණු තුනෙන්ම වේගයෙන් ඉදිරියට යනවා. ” අග්‍රමාත්‍යවරයා සඳහන් කළා.
ඉන්දියාව විවිධ ක්ෂේත්‍රවල මෑත කාලීන ගෝලීය සන්ධිස්ථාන කරා ළඟා වීම පිටුපස ඇති ආභාෂය බුදුන් වහන්සේ බවයි ඔහු පැවසුවේ.
පසුගිය වසර නවය පුරාවට ඉන්දියාව බුද්ධ ධර්මය ප්‍රචාරය කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කළ බව මෝදි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.
ගෝලීය බෞද්ධ සමුළුවේ තේමාව වූයේ “සමකාලීන අභියෝගවලට ප්‍රතිචාර: දර්ශනය ප්‍රායෝගිකව” යන්නයි.

බුදුදහම පදනම ලෙස තබා ගනිමින් ගෝලීය වශයෙන් මානව වර්ගයා මුහුණ දෙන බහුවිධ ගැටලුවලට පිළිතුරු ගවේෂණය කිරීම මෙම සමුළුවේ අරමුණ වී තිබුණා.

සංස්කෘතිය පදනම් කර ගත් ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා

කොළඹ පිහිටි ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය ඉන්දියාවේ අධ්‍යාත්මික නායකයකු ලෙසට සැලකෙන ස්වාමි විවේකානන්දතුමාගේ නමින් නම් කිරීමට ඉන්දීය රජය පසුගිය වසරේදී තීරණය කළා.
මෙම සංස්කෘතික මධ්‍යස්ථානය මගින් දෙරට අතර ඇති සංස්කෘතික සම්බන්ධතා නව මානයකට රැගෙන යනවා.
සංස්කෘතිය වටිනාකම් හුවමාරු කර ගැනීම සඳහා මෙම සංස්කෘතික මධ්‍යස්ථානය වේදිකාවක් බවට පත් වී ඇති අතර මේ සඳහා බෞද්ධයන් වෙත සමීප වීමට ද විශේෂ වැඩසටහන් ආරම්භ කර තිබෙනවා.

මෙරට පිරිවෙන් සහ විශ්වවිද්‍යාල වැනි අධ්‍යාපන ආයතන මෙන්ම හික්ෂූන් වහන්සේ සහ විද්වතුන් කේන්ද්‍ර කරගෙන ආගමික සංස්කෘතික වැඩසටහන් මෙම සංස්කෘතික මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගෙන සිදු කරනු ලබනවා.
හින්දි සහ යෝග පන්ති ද මෙම සංස්කෘතික මධ්‍යස්ථානය හරහා මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සංස්කෘතික, ආගමික, භාෂාමය, දැනුම හුවමාරු කර ගැනීම සහ අධ්‍යාත්මික සම්බන්ධතාවල ඉතිහාසය අවුරුදු 2500 ට එහා දිවයනවා.
ඓතිහාසික මූලාශ්‍ර හෙළි කරන ආකාරයට බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ සිට තෙවරක් ලංකාවට වැඩම කිරීම, විජය රජු ඇතුළු 700 ක පිරිසකගේ සම්ප්‍රාප්තිය, අශෝක රජු දවස මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලක්දිවට බුදුදහම හඳුන්වා දීම ආදී ඓතිහාසික සංසිද්ධීන් රැසක් මුල් කරගෙන රටවල් දෙකෙහි අන්‍යොන්‍ය සම්බන්ධතා වෙන් කළ නොහැකි ආකාරයට වර්ධනය වී තිබෙනවා.

මෙම ඓතිහාසික සබඳතාවල වර්තමාන මුහුණුවර ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය අතර 1977 නොවැම්බර් 29 දින නවදිල්ලි නුවරදී ඇති කරගත් සංස්කෘතික සහයෝගිතා ගිවිසුම සඳහන් කළ හැකියි.

නිදහස් ඉන්දියාවේ රාජ්‍ය ලාංඡනයෙහි නිරූපණය වන්නේ ධර්මාශෝක මහාධිරාජ්‍යයා විසින් බුදු රදුන් ඉපදුණු, බුද්ධත්වයට පත්වුණු සහ පිරිනිවන් පෑ ස්ථානවල ඉදිකරන ලද සිංහ හිස් තුනක් සහ ධර්ම චක්‍රය සහිත ශෛලමය කුලුනුවල හිසෙහි ප්‍රතිරූපයයි.
ඒ අනුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති අන්‍යොන්‍ය සම්බන්ධතාවල මූල බීජය බුද්ධ ධර්මය මත පදනම් වී ඇති බවත් එය මානව ශිෂ්ටාචාරය පවතින තක් නොනැසී පවතිනු ඇති.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...