ලංකාවේ පමණක් නොව ලෝක ගුවන්විදුලි ඉතිහාසයේම අමරණීය තැනක් සලකුණු කළ ලංකාවේ ප්‍රාදේශීය ගුවන්විදුලි නාලිකා 17ක්, මේ මස 31 වැනි දායින් පසු ව අවසන් ගමන් යනු ඇත. “ප්‍රතිව්‍යුහගත කිරීම” යන ලේබලයට මුවා වී මේ කරන්නේ, කිසිදු සැකයකින් තොරව එම නාලිකා මරාදමීමකි. මේ ඒ ගැන කරුණු විමසීමකි.
80 දශකයේ ආරම්භ වන ප්‍රාදේශීය ගුවන්විදුලි විසින් ලංකාවට දායක කළ නිවේදක නිවේදිකාවන්, ගායක ගායිකාවන් ගණන අතිමහත් ය. සේනානායක වේරලියද්ද සහ කරුණාරත්න දිවුල්ගනේ වැනි කැලේට පර වී යාමට තිබුණු මල්, රටටම ඇහෙන්න සහ අහන්න සැලැස්වූයේ ප්‍රජා ගුවන්විදුලි සේවා විසිනි. 90 දශකයේ අගවනතෙක්ම ලංකාවේ රේඩියෝ නාලිකා වල ඉහළින් ම සිටිමින් පෞද්ගලික අංශයට හොඳ තරගයක් දෙන්නට ප්‍රජා ගුවන්විදුලි සේවාවන්ට හැකියාවක් තිබුණි. එහෙත් රජය කියන පරිදි, මැයි 31 වැනිදා සිට මෙම නාලිකා 17 “ප්‍රතිව්‍යුහගත කරනු ලබයි”. මෙහි සරල තේරුම වන්නේ සියලුම සිංහල නාලිකා කොළඹ ජාතික ගුවන් විදුලියේ සිංහල සේවය සමඟ ද, දමිළ නාලිකා ජාතික දමිළ සේවය සමඟද සම්බන්ධ කරන බවයි.
දැන් මේ ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව සේවකයන්ට සිදුවන්නේ කුමක් ද? නුවර සිට වව්නියාවේ සිට ප්‍රාදේශීය සේවයන් මෙහෙයවූ ශිල්පීන්, ජූනි මස 01 වැනි දා සිට රාජකාරි සඳහා කොළඹට පැමිණිය යුතු වේ. එක්කෝ ඔවුන් කොළඹ නැවතිය යුතුය; නැත්නම් දිනපතා කොළඹට පැමිණිය යුතුය. අවම වැටුපක් ලබන ඔවුන් ඉන් ප්‍රවාහන සහ නවාතැන් කුලිය ගෙවූ පසු කන්නෙ බොන්නේ කෙසේ ද? මේවා යෝජනා කරන්නේ කවුද? අඩුවශයෙන් මේ තීන්දු තීරණ ගන්නට පෙර රජය එම විෂය පිලිබඳ දැනුමක් ඇති මණ්ඩලයක් පත් කළ යුතුය. එය හොර රහසේ නොව කෝප් කමිටුව මෙන් ප්‍රසිද්ධියේ කළ නොහැක්කේ මන්ද?
දැන් මේ නාලිකා මරාදැමීමෙන් පසුව ඒවායේ සම්පත්වලට සිදුවන්නේ කුමක්ද? සම්පත් යනු රජයේ ඉඩම් සහ ගොඩනැගිලි පමණක් නොවේ. ට්‍රාන්ස්මීටර් පද්ධති, පටිගත කිරීමේ සහ ගබඩා කිරීමේ තාක්ෂණික උපාංග සහ මිල කළ නොහැකි පටිගත කිරීම් අඩංගු ශ්‍රව්‍ය පුස්තකාල ද මීට අයත් ය. දැන් මේවා යන්නේ කාගේ අතටද? ප්‍රතිව්‍යුහගත කිරීමේ නමින් මේවා පෞද්ගලික සමාගම්වලට ලබාදෙන්නේ ද? එසේ කළහොත් එය සමාන වන්නේ ත්‍රිකුණාමලයේ තෙල්ටැංකිවලට කළ විනාශයට ය. අපේම තෙල්ටංකි අසල්වැසි ඉන්දියාවට දී අපි අපේ ටැංකි මළකඩ කන්නට ඉඩ හැරියෙමු. එහි වන්දිය අප ගෙව්වේ ලෝක තෙල් අර්බුදය වෙලාවේ පෝලිම්වල මරණ 24ක් ලෙසය. දැන් මේ කරමින් ඉන්නේ ද එවැනිම ඓතිහාසික වරදකි. අනෙක් අතට පසුගිය කාලයේ රටේ ඓතිහාසික ගොඩනැගිලිවලින් අතුරුදන් වූ සමහර චිත්‍ර, කොළඹ හතේ ප්‍රභුන්ගේ මන්දිරවලින් හමු වූවා සේ ම, ප්‍රාදේශීය ගුවන්විදුලි නාලිකා සතු සම්පත් සියල්ල, පවත්නා පාලනයේ හිතවතකු වෙත පිල්ලි නොයාවි යැයි දිය හැකි සහතිකය කුමක් ද? වඩාත්ම වැදගත් කාරණය: මේ නාලිකා වසාදමීමෙන් පසුව හිස්වන සංඛ්‍යාත යන්නේ කාගේ නමට ද? එම සංඛ්‍යාත පරාසයන් ආණ්ඩුවේ සුරතලකු වෙත තිලිණ නොකරනු ඇතැයි විශ්වාස ද? රටේ ගුවන්විදුලි සංඛ්‍යාත යනු මහජන දේපළක් බව දන්නේ කීයෙන් කී දෙනා ද?
වසර 25ක සාඩම්බර අතීතයක් ඇති, ලෝක ගුවන්විදුලි ඉතිහාසයේ නොමකෙන සලකුණක් තැබූ ලංකාවේ ප්‍රාදේශීය සහ ප්‍රජා ගුන්වන්විදුලිය මේ 31 වැනිදායින් පසු අවසන් ගමන් යනු ඇත. ප්‍රතිව්‍යුහගත කිරීම යනුවෙන් සීනි තැවරුවත් මෙය අමු අමුවේම රටේ සම්පත් මරාදමීමක් සහ ඒ මෘතදේහය විකුණාගෙන කෑමක් බව හෘදය සාක්ෂියක් ඇති කවුරුත් දනිති. දැන් මේ සම්බන්ධයෙන් කළ හැකි දෙයක් ද නැත. ගමෙන් පැමිණ රටම ජයගත් දිවුල්ගනේලා, වේරලියද්දලා මින්පසු බිහි නොවනු ඇත. කැලේ පිපුණු මල් කැලේටම පර වී යනු ඇත. අද ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි දෙස බලමින් හූල්ලනවා මෙන්ම, අනාගතයේ දවසක ප්‍රාදේශීය සහ ප්‍රජා ගුවන්විදුලි නාලිකා සිහි කර “අනේ මෙහෙමත් කාලයක් අපට තිබුණා” කියා තැවෙන්නට පමණක් අපට උරුම වනු ඇත