සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ කොස්ගොඩ තාරක හෙවත් ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර හට බස්නාහිර උතුර බුද්ධි කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ මීරිගම පොලිස් වසමේ රේන්දපොළ ප්‍රදේශයට විශේෂ මෙහෙයුමක් සඳහා සැකකරු අද (13) අලුයම රැගෙන ගිය අවස්ථාවේදී ඇතිවූ සිද්ධියකදී කොස්ගොඩ තාරක මියගිය බවයි.
විශේෂ විමර්ශනය සඳහා සහභාගීවී සිටි තාරක විසින් පොලීසියට ප්‍රහාරයක් එල්ල කිරීමට තැත්කළ අවස්ථාවේ බස්නාහිර උතුර කොට්ඨාශයේ නිලධාරීන් විසින් ගිනි අවි භාවිතාකර බලය පාවිච්චිකිරීමක් සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.
එහිදී ඇතිවූ සිද්ධියේදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුද තුවාල ලබා ප්‍රතිකාර කිරීම සඳහා වතුපිටිවල රෝහලට ඇතුලත් කර තිබෙනවා.
වෙඩි පහරකෑ කොස්ගොඩ තාරක මීරිගම රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදීත් මියගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
බස්නාහිර උතුර බුද්ධි කොට්ඨාස භාරයේ සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “කොස්ගොඩ තාරක”, මීරිගමදී සිදුවූ වෙඩි තැබීමකින් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
සැකකරුගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට බස්නාහිර පළාත උතුර නියෝජ්‍ය පොලිපතිවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ කණ්ඩායමක් පත්කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයේ රැදවුම් නියෝග මත රදවා සිටි කොස්ගොඩ තාරකව හදිසියේ පෑලියගොඩ විශේෂ අපරාධ ඒකකයට රැගෙන ගොස් තිබුණා.
අදාළ සැකකරුව ආයුධ පෙන්වීමට ගෙන ගොස් ඝාතනය කිරීමට ඉඩක් ඇති බව සඳහන් කරමින් කොස්ගොඩ තාරක හෙවත් ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකරගේ මව අවස්ථාවන් දෙකකදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටද පැමිණිලි කර තිබුණා.
එමෙන්ම ඇයගේ උපදෙස් මත නීතිඥ අනෝජ් හෙට්ටිආරච්චි මහතා ඊයේ (12) දිනයේ මානව හිමිකම් කොමිසන් සභාවට, පොලිස්පතිවරයාට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට හා පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට ලිපි 4 ක් යොමු කර තිබුණා.
අදාළ ලිපිවලින් කොස්ගොඩ තාරකගේ මව පෙන්වා දී ඇත්තේ අවස්ථා කිහිපයකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි රැදවියන් ප්‍රසිද්ධ ස්ථාන වෙත රැගෙන ගොස් ප්‍රශ්න සහගත ලෙස මරණයන් සිදුවීමේ පූර්ව අත්දැකීම් ඇති බැවින් සිය පුත්‍රයාගේද මානව අයිතිවාසිකම් කුමන මොහොතක හෝ උල්ලංඝණය වීමට ඉඩ ඇති බවට සාධාරණ බියක් ඇති බවයි.
එමෙන්ම පොලිස්පතිවරයාට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට හා පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට දැනුම්දී ඇත්තේ හදිසියේ පෑලියගොඩ විශේෂ අපරාධ ඒකකය වෙත රැගෙන ගිය තම දරුවාගේ ජීවිතයට එල්ලවී ඇති තර්ජනය පිළිබදව මීට පෙර මානව හිමිකම් කොම්සම හා අධිකරණය දැනුවත් කර ඇති බවයි.
ඉන් අනතුරුව අද අලුයම මෙම සිද්ධිය සිදුවීමද විශේෂත්වයක්.









