25 C
Colombo
Sunday, May 19, 2024

ලංකාවට විහිලු සපයමින්, ගද ගසන මඩවලක සිට අනුන්ගේ කුණු හොයන චීනයේ මාධ්‍ය භාවිතය

- Advertisement -

මෑත වකවානුවේ ලංකාවේ සමාජ මාධ්‍ය ජාලා තුළ චීනය සහ චීන ජාතිකයන් විසින් සිදුකරන ක්‍රියාකාරකම් බෙහෙවින් නිරීක්ෂණය කළ හැකිය.

සිරස ටීවී නාලිකාව , තිස්ස වැව ප්‍රතිසංස්කරණය ව්‍යාපෘතියට හමුදා ඇදුමට සමාන ඇදුමින් සැරසුණු චීන ජාතිකයන් පිරිසක් සම්බන්ධ වී සිටීම පිළිබද ප්‍රශ්න කරමින් ප්‍රවෘත්තියක් ප්‍රචාරය කළ විට ලංකාවේ චීන තානාපති කාර්යාලය ඒ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම හරහා දැක්වූ ප්‍රතිචාරය මේ සදහා හොද උදාහරණයකි. එහිදී, සිරස නාලිකාවේ අදාළ වාර්තාකරණය, කරැණු නිවැරදිව තහවුරැ කර නොගෙන හුදු අවධානය දිනා ගැනීම සදහා පමණක් ඉදිරිපත් කරන ලද වැරදි සහගත තොරතුරක් බවටත් එවැනි ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම මාධ්‍යයේ විශ්වසනීයත්වට හානිකර බවටත් චීන තානාපති කාර්යාලයේ ට්විටර් ගිණුම ප්‍රතිචාර දක්වා තිබිණ. ඊට පිළිතුරැ වශයෙන් සිරස පාර්ශවය ප්‍රකාශ කළේ තමන්ගේ වාර්තා කිරීම තුළ කිසිදු වැරද්දක් නොමැති බව හා නිරීක්ෂණය වූ සත්‍ය කරැණු පමණක් එහි ඇතුළත් වූ බවයි.

සිරස පාර්ශවය සිය ප්‍රතිචාරය තුළ මෙම පිලිතුරට අමතරව, චීන තානාපති කාර්යාලය වෙත තවත් වැදගත් කරැණක් ද සිහිපත් කර දී තිබිණ. ඒ, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මගින්  සිය ට්විටර් ගිණුම හරහා ලංකාවේ මාධ්‍යවලට යහපත් මාධ්‍ය භාවිතයේ නිරත වන ආකාරය පිළිබද කරැණු පෙන්වා දෙමින් ලංකාවේ ක්‍රියාත්මක මාධ්‍ය නිදහස උපරිම ලෙස භුක්ති විදිමින් කටයුතු කළ ද චීනය තුළ ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ගණනාවක් තහනම් කර ඇති බවයි.

 මෙය සිරසේ ප්‍රතිචාරයක් ලෙස මතුවූ කරැණක් වුවද එය ගැඹුරින් සහ විමසිල්ලෙන් අවධානයට යොමු කළ යුතු කරැණක් බවට විවාදයක් නැත්තේ චීනය ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ සිය ක්‍රියාකාරකම් පවත්වාගෙන යන ආකාරය තවදුරටත් නිරීක්ෂණය කරන විටය. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ට්ව්ටර් ගිණුම සිය නිවේදන ලංකාවට සංනිවේදනය කරන ප්‍රවේශයකින් ඔබ්බට ගොස් තමන්ගේ අදහස්, විවේචන ලංකාවේ සිට ලෝකයට සංනිවේදනය කරන ප්‍රවේශයකින් හැසිරෙන බව පෙනේ. මේ සදහා හොදම උදාහරණය වන්නේ ඔලිම්පික් උළෙලේ දී ප්‍රථම රන් පදක්කම දිනාගත් චීන ජාතික ක්‍රීඩිකා හවු ෂීහුයි ක්‍රීඩිකාවගේ අවලස්සන ඡායාරෑපයක් රොයිටර් පුවත්සේවය මගින් දක්වා තිබූ බවට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මගින් නිකුත් කළ ට්විටර් පණිවිඩයයි. එමගින් බටහිර සුදු මාධ්‍ය භාවිතයක් ලෙසට රොයිටර් වාර්තාකරණය විවේචනයට ලක් කර තිබූ අතර ලංකාවේ චීන තානාපති කාර්යාලය හැර ලෝකයේ වෙනත් රටක පිහිටි චීන තානාපති කාර්යාලයක් මෙම ඡායාරෑපය පිළිබද එවැනි ප්‍රශ්නයක් මතු කර තිබෙන ආකාරය නම් සොයාගැනීමට හැකි වූයේ නැත.

මේ අතර,  මේ දිනවල ශ්‍රී ලංකාවේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ සැරිසරන්නන්ට චීන ජාතික කාන්තාවන් සහ පිරිමින් විසින් සිංහල භාෂාවෙන් අදහස් පළකරමින් නිකුත් කර ඇති වීඩියෝ ඇතුළත් චීන ජාතික පිරිමින් සහ කාන්තාවන් සිංහල නම්වලින් පවත්වාගෙන යන ෆේස්බුක් පිටු සුලබ දසුනක් වී තිබේ. ෆේස්බුක්හි ඇති දත්ත අනුව ඒවා චීනයේ සිට රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වාගෙන යන ෆේස්බුක් පිටු වන අතර එක් පුද්ගල නාමයකින් සමන්විත වුවද මෙම පිටුවල ඇඩ්මින්ලා හෙවත් පරිපාලකයන් කිහිපදෙනෙකුම සිටින ඒවා වේ.

මෙම සියල්ල පැහැදිළි කරන්නේ මාධ්‍ය නිදහස අගයන සහ ඒ වෙනුවෙන් සටන් කර ඊට අදාළ අයිතිවාසිකම් දිනාගත් ජනතාවක් ජීවත්වන ලංකාවේ ඇති මාධ්‍ය නිදහස චීනය විසින් දේශසීමා බාධාවකින් තොරව උපරිමයෙන් භුක්ති විදින අන්දමයි. මාධ්‍ය නිදහස අගයන රටක ජනතාවක් ලෙස ශ්‍රී ලාංකිකයන්ට මේ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක්ද ඇති බව පෙනෙන්නට නොමැති අතර ඔවුහු මෙම චීන මාධ්‍ය සමාජ හැසිරීම් සතුටින්ද උපහාසයෙන්ද විද දරා ගනිමින් සිටිති.

කෙසේවෙතත්, මෙහි ඇති හාස්‍යය වන්නේ ලංකාවේ සිට සමාජ මාධ්‍ය හරහා යහපත් මාධ්‍ය භාවිතාවක නිරත වන ආකාරය පිළිබද ලෝකයට උගන්වන්නට චීනයට කිරීමට සදාචාරාත්මක අයිතියක් ඇද්ද යන්නයි. ඊට හේතුව වන්නේ චීනය සිය රට තුළ ට්විටර්, ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලා තහනම් කරමින් ද සෙසු මාධ්‍යවලට ද දැඩි ලෙස සීමා පනවමින් ද ස්වාධීන මාධ්‍යවේදීන්ට විවිධ බලපෑම් සහ තාඩනපීඩන කරන රටක් ද වීම නිසාය.

ලෝකයේ මාධ්‍ය නිදහස පිළිබද තක්සේරැකරණයේ නිරත  දේශසීමා රහිත මාධ්‍යවේදීයෝ (ආර්එස්රෆ්)  සංවිධානයට අනුව චීනය 2020 වසරේ ඔවුන්ගේ මාධ්‍ය නිදහස් දර්ශකයේ රටවල් 180 ක් අතරින් චීනයට හිමිව ඇත්තේ 177 වන ස්ථානය වන අතර ඔවුන්ට පසුපසින් ඇත්තේ පිළිවෙළින් ටර්ක්මේනිස්තානය, උතුරැ කොරියාව සහ එරිත්‍රියාව යන රටවල් පමණි. මාධ්‍ය  නිදහස ද ඇතුළත් කොට ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද දර්ශකයක් පිළියෙළ කරන ෆ්‍රීඩම් හවුස් ආයතනයට අනුව ද චීනය යනු ප්‍රජතන්ත්‍රවාදී නිදහස නොමැති ඛාණ්ඩයේ රටකි. මෙම දර්ශන ලෝකයේ බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් විසින් පිළිගත්ත ද චීනය වැනි ඇතැම් රටවල් ඒවා බටහිර ප්‍රවේශයන් ලෙස ඉවත දමන බව ද මෙහිදී සදහන් කළ යුතුය. කෙසේවෙතත්, චීනය මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබද විමසිල්ලෙන් අධ්‍යයනය කරන විට මෙම සංවිධාන විසින් චීනය සම්බන්ධයෙන් නගන චෝදනා අසාධාරණ නොවන බවක් පෙනේ.

මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් චීන ප්‍රවේශය සාකච්ඡා කිරීමේදී කොරෝනා වෛරසය වසංගතයක් ලෙස පැතිරෙන්නට වූ අවස්ථාවේ එරටේ හැසිරීම විමසා බැලීම අතිශය වැදගත් වේ. බොහෝ විචාරකයන් පෙන්වා දී ඇති ආකාරයට චීනය කොරෝනා වෛරසය පැතිරයාම ආරම්භ වූ මුල් අවස්ථාවේදීම ඒ පිළිබද සැබෑ තොරතුරැ නිදහසේ වාර්තා කිරීමට මාධ්‍යයට ඉඩදුන්නා නම් මෙම වසංගතය මීට වඩා සාර්ථක ලෙස පාලනය කර ගන්නට අවස්ථාව තිබිණ. සැබෑ තොරතුරැ වාර්තාකරණය සහ ඊට අවශ්‍ය පහසුකම් සැපයීම වෙනුවට චීනය සිදුකළේ රෝගයේ භයානක ව්‍යාප්තිය සගවා තැබීම සහ ඒ පිළිබද වාර්තා කිරීම මාධ්‍යයට ඉඩ ලබා නොදීමයි. එහෙත් ඇතැම් නිර්භීත පුරවැසි මාධ්‍යවේදීහු සිය සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ මේ පිළිබද ලෝකයට කරැණු කී අතර මේ හේතුවෙන් වසංගතය සහ එහි භයානක බව සම්බන්ධයෙන් යම් ආකාරයක වැටහීමක් ලබා ගැනීමට බාහිර ලෝකයට අවස්ථාව ලැබිණ.

මෙම පුරවැසි මාධ්‍යවේදීන් ලෝකය පුරා ජනතාවගේ ඇගයීමට ලක්වෙද්දී චීනය විසින් ඔවුන් ජනතාව අතර අනිසි කළබලයක් ඇති කළ බවට චෝදනා කොට අත්අඩංගුවට ගන්නා ලදී. පුරවැසි මාධ්‍යවේදීන් සිව්දෙනෙකු මෙහිදී චීන බලධාරීන්ගේ ප්‍රධාන ඉලක්කය බවට පත්ව තිබිණ. මෙහිදී සිය සමාජ මාධ්‍ය හරහා ලෝකයට හුබෙයි ප්‍රාන්තයේත්  වූහාන් නගරයේත් සැබෑ තත්වය ලෝකයට පවසා අවධානය දිනාගත් පුරවැසි මාධ්‍යවේදිනියක වූ 37 හැවිරිදි ෂැන්ග් ෂාන් ට එරෙහිව වසර හතරක සිර දඩුවමක් ද නියම කෙරිණ.

එක් අතකට චීනයේ යකඩ තිරයට අභියෝග කරමින් වාර්තාකරණයේ යෙදෙන  මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම අලුත් කරැණක් ද නොවේ. ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානවල වාර්තාවන්ට අනුව මේ වන විට විවිධ හේතු මත චීනය විසින් බන්ධනාගාරවලට ගාල් කොට ඇති මාධ්‍යවේදීන් සංඛ්‍යාව විස්සකට අධිකය. මෙම පිරිස අතර, පාලක කොමියුනිස්ට් පක්ෂයට එරෙහිව අදහස් පළ කළ අය, අන්තර්ජාල නිදහස ඉල්ලා තොරතුරැ වාර්තා කළ අය, එරට විසින් හදුන්වාදී ඇති සමාජ ජාලා ඔස්සේ ආන්දෝලනාත්මක තොරතුරැ වාර්තා කළ අය මෙන්ම වීපීඑන් වැනි තාක්ෂණයන් ඔස්සේ තහනම් සමාජ මාධ්‍ය ජාලාවන්ට  පිවිසීම සම්බන්ධයෙන්ද චෝදනා ලැබූ අය වෙති.

එමෙන්ම, පවතින සියලු දැඩි සහ මර්දනකාරී නීතිවලට යටත්ව වාර්තාකරණයේ නිරත වන මාධ්‍යවේදීන්ට වුව ද දැඩි සුපරීක්ෂාකාරී වාතාවරණයක් යටතේ සිය රාජකාරිය ඉටු කිරීමට සිදුව තිබේ. විශේෂයෙන් එරට සිටින විදේශ වාර්තාකරැවන්ගේ සියලු හැසිරීම්, ක්‍රියා සහ වාර්තා දැඩි ලෙස විමර්ශනයට ලක්වන බව අවස්ථා ගණනාවකදී හෙළිදරව් වී ඇත.

නිදහස් මාධ්‍ය සම්බන්ධයෙන් වන චීනයේ මෙම ප්‍රවේශය වඩාත් හොදින් නිරීක්ෂණය කළ හැකි තවත් භූමියක් වන්නේ හොංකොං දේශය තුළ ඔවුන්ගේ හැසිරීමයි. බි්‍රතාන්‍ය යටත් විජිතයක්ව පැවති හොංකොං 1997 වර්ෂයේදී යළි චීනයට භාර කෙරැණේ එය ප්‍රජාතන්ත්‍රවාදී ස්වයංපාලන ඒකකයක් ලෙස පවත්වාගෙන යන බවට වන එකගතාවයකිනි. එහෙත් දැන් සිදුවෙමින් පවතින්නේ චීනයේ ඒකපාක්ෂික කොමියුනිස්ට් රෙජිමයේ පාලනය හොංකොංහි දේශපාලනය තුළ විවිධාකාරයෙන් ස්ථාපිත කිරීමයි. ඒ අනුව නව ජාතික ආරක්ෂක නීතියක් ක්‍රියාවට නංවා ඇති අතර ඒ හරහා ප්‍රජතාන්තවාදී ප්‍රවේශයන් සියල්ලේ මං අහුරා තිබේ.

මෙහි භයානකම ප්‍රතිඵළයට මුහුණදීමට සිදුව ඇත්තේ දීර්ඝ කාලයක් තිස්සේ එරට තුළ පැවති ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් මාධ්‍ය සම්ප්‍රදායටයි. හොංකොංහි ප්‍රධානතම සහ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී පුවත්පත වූ ඇපල්ඩේලි පුවත්පත පසුගියදා වසා දැමුණු අතර එය ක්‍රමානුකූලව පියවරෙන් පියවර සිදුවූ නාට්‍යයක් වැනිය. මුලින්ම විවිධ මුල්‍ය නීති සහ ආරක්ෂක නීති යටතේ ඇපල්ඩේලි හිමිකරැ ජිමී ලායි අත්අඩංගුවට ගෙන කෙටි නඩු විභාගයකින් අනතුරැව බන්ධනාගාර ගත කෙරැණු අතර ඔහුගේ සහ සමාගමේ වත්කම් ද තහනම් කරනු ලැබිණ. පසුව පුවත්පතේ ප්‍රධාන කතුවරයා, අධ්‍යක්ෂවරැන් සහ තවත් මාධ්‍යවේදීන් පිරිසක් අවස්ථා කිහිපයක දී අත්අඩංගුවට ගැනුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස අවසානයේ පුවත්පත ප්‍රකාශයට පත් කිරීම නවතා දැමීමට සිදුවිය. මෙම මර්දනයේ හස්තය සාම්ප්‍රදායික මාධ්‍යයෙන් ඔබ්බට ද විහිදී ගොස් ඇති අතර අන්තර්ජාල වේදිකා ඔස්සේ මාධ්‍යකරණයේ නිරත වූ මාධ්‍යවේදීන් විශාල පිරිසක් ද පෙර කී ජාතික ආරක්ෂක නීතිය යටතේ අත්අඩංගුවට ගෙන ඇත.

මේ කරැණු අනුව පැහැදිළි වන්නේ චීනය , ලංකාවේ මාධ්‍ය ආයතනවලට යහපත් මාධ්‍ය කලාවක් පිළිබද පාඩම් උගන්වන්නේත්, ලංකාවේ සිට රොයිටර් වැනි අන්තර් ජාතික මාධ්‍ය ආයතන වෙත මාධ්‍ය වාර්තාකරණයේ ගුණදොස් කියමින් විවේචනය කරන්නේත්, ෆේස්බුක් වැනි සමාජ ජාලා ඔස්සේ ලංකාවේ ජනතාවට සංනිවේදනය කරන්නේත් මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ගද ගසන කුණු මඩවලක සිට බවය. චීනය , ලංකාවේ හෝ වෙනත් රටක ඇති මාධ්‍ය නිදහස උපරිමයෙන් භුක්ති විදීම සම්බන්ධයෙන් ගැටලුවක් නැත. එහෙත් ප්‍රශ්නය ඇත්තේ තමන්ගේ දෑතේ දැලි කුණු තවරාගෙන ඒවා පිරිසිදු කිරීම ගැන නොසිතා අනුන්ගේ දෑත්වල ඇති කුණු සෙවීමට යාමේය. තමන්ගේ රටේ සහ තමන්ගේ බලපෑම යටතේ ඇති ස්වාධීන පාලන කලාපවල මාධ්‍ය නිදහස අවහිර කර ඊට වඩා වැඩි නිදහසක් ඇති රටවල මාධ්‍යයන්ට යහපත් මාධ්‍යකරණය ගැන පාඩම් උගන්වන්නට යාමේය.

– ධනංජන හේරත් –

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...