වඳුරු උණ නමින් හඳුන්වන මන්කිපොක්ස් රෝගය ශ්‍රී ලංකාවටද ඇතුළු වීමේ හැකියාවක් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පවසනවා.
එහි රෝග ලක්ෂණ හොඳින් නිරාවරණය වන බැවින් පහසුවෙන් රෝගීන් හඳුනා ගැනීමේ හැකියාව පවතින බවයි එම විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ.
එසේ රෝග ලක්ෂණ වලින් පැහැදිලිව හඳුනාගත හැකි බැයින් රෝගීන් ඉතා ඉක්මනින්ම නිරෝධායනයට යොමු කිරීමට හැකියාව පවතින බවත් මහාචාර්යවරයා පෙන්වා දෙනවා.
කොරෝනා රෝගය මෙන් නොව මෙම රෝගය පැතිරෙන වේගය අඩු බවත් මෙම රෝගීන් හඳුනාගැනීමේ රසායනාගාර පහසුකම් තම විශ්වවිද්‍යාලයේ ප්‍රමාණවත් පරිදි පවතින බවත් ඔහු පවසනවා.
මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය මන්කිපොක්ස් පිළිබඳ ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට කර තිබෙනවා. ඒ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛරස් පිළිබඳ හදිසි කමිටුව රැස්වී ගත් තීරණයකට අනුවයි.
ලොව රටවල් 75කින් මේ වනවිට ආසාදිතයින් වාර්තා වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ට්‍රෙඩ්රෝස් ඇඩ්නම් පෙන්වා දෙනවා.
රෝග ලක්ෂණ මොනවාද?
ආරම්භක රෝග ලක්ෂණ වන්නේ උණ, හිසරදය, ඉදිමීම්, කොන්දේ වේදනාව, මාංශ පේශි කැක්කුම සහ උදාසීනත්වයයි.
උණ අඩුවී ගිය පසු, බොහෝ විට මුහුණේ කැසීමක් ඇති වී, පසුව ශරීරයේ අනෙකුත් කොටස් වලට (බොහෝ විට අත් සහ පාද වෙත) ද පැතිර යා හැක.
කැසීම දරුණු විය හැකි අතර, අවසානයේ විවිධ අවධීන් හරහා ගොස්, හැලී යන කබොල්ලක් බවට පත්වේ. අවසානයේ තුවාල කැළැල් ඉතිරි විය හැක.
ආසාදනය සාමාන්‍යයෙන් ස්වයං ව පහව යන අතර දින 14 සිට 21 දක්වා පවතී.
- තද උණ
- වසා ගැටිති ඉදිමීම
- මාංශ පේශි සහ ශරීර කැක්කුම
- ඇඟපුරා බිබිලි මතුවීම
- කුෂ්ඨ වැනි තුවාල
- පිටෙහි වේදනාව
එය වැළඳෙන්නේ කෙසේද?
වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ තුවාල, ශරීර තරල, ශ්වසන ජල බිඳිති සහ ඇඳ ඇතිරිලි වැනි දූෂිත ද්‍රව්‍ය සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීමෙන් මන්කිපොක්ස් වෛරසය එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වන බවයි.
යමෙක් ආසාදිත පුද්ගලයෙකු සමඟ සමීපව ඇසුරු කරන විට වඳුරු උණ රෝගය පැතිර යා හැක. තුවාල වූ සම, ශ්වසන මාර්ගය හෝ ඇස්, නාසය හෝ මුඛය හරහා වයිරසය ශරීරයට ඇතුළු විය හැකිය.
එය ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන ආසාදනයක් ලෙස මීට පෙර විස්තර කර නැති නමුත් එය ලිංගිකව එක්වීමේදී සිදුවන සෘජු ස්පර්ශයකින් සම්ප්‍රේෂණය විය හැක.
වඳුරන්, මීයන් සහ ලේනුන් වැනි ආසාදිත සතුන් සමඟ සම්බන්ධ වීමෙන් හෝ ඇඳ ඇතිරිලි සහ ඇඳුම් වැනි වෛරසය ගෑවුණු වස්තූන් මගින් ද එය පැතිර යා හැකිය.
ඔබේ සම මත ඇතිවී ඇති කුෂ්ඨය මන්කිපොක්ස් රෝගය විය හැකි ද?
කුෂ්ඨයක් ඇතිවීම සඳහා බොහෝ හේතූන් බලපෑමට හැකි ය. කලාතුරකින්, ඒ හේතූන් අතර මන්කිපොක්ස් වෛරසය – එනම්, වඳුරු උණ වෛරසය – ද වේ.
ඉතින් මේ සම්බන්ධයෙන් ඔබ දත යුතු හා සැලකිලිමත් විය යුතු කරුණු කාරණා මොනවා ද?
රෝග ලක්ෂණ ඇතිවන්නේ මන්කිපොක්ස් වෛරසය නිසා විය හැකි ද?
ඔබ ඔබෙන් ඇසිය යුතු පළමු ප්‍රශ්නය වන්නේ, ‘මා මෙම වෛරසයට නිරාවරණය වී ඇති ද’ යන්න යි. වෛරසයට නිරාවරණයවීමට නම් ආසාදිත තැනැත්තෙකු හා සමීප, දීර්ඝ ස්පර්ශයක් (බොහෝවිට සමට සම) සිදුවිය යුතු ය. මේ වන විට ලොව පුරා වෛරසය ආසාදිතයින් සිටින්නේ ඉතා සුළු සංඛ්‍යාවක් බැවින්, ඔබට මෙම වෛරසය ආසාදනයවීමට ඇති ඉඩකඩ අවම ය.
මෙම වෛරසය ඉඳහිට පැතිරෙන ඇතැම් අප්‍රිකානු රටවල දුරබැහැර ප්‍රදේශයන්හි පවා, කුඩා දරුවන්ට මෙය වැළඳෙන්නේ ඉතා කලාතුරකිනි.
ඔබට මන්කිපොක්ස් (වඳුරු උණ) වැළඳී ඇතිනම් ඔබට නිරීක්ෂණය වනු ඇති පළමු රෝග ලක්ෂණ වනුයේ හෙම්බිරිස්සාවේ රෝග ලක්ෂණ – එනම්, නිතර විඩාව දැනීම, ගතට දැනෙන “ලෙඩ ගතිය” සහ උණ ස්වභාවය යි. මෙය වෛද්‍යවරුන් විසින් රෝගයේ “ආක්‍රමණ සමය” ලෙස හඳුන්වන අතර, මෙසමයේ දී වෛරසය ඔබේ සෛල තුළට ඇතුළුවෙමින් පවතියි.
ඔබේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය වෛරසයට එරෙහිව සටන් කිරීමට “බලමුළු” තරකර ගනිමින් සිටින නිසා ඔබේ වසා ග්‍රන්ථි ඉදිමී තිබෙන්නාක් මෙන් දැනෙනු ඇත.
මීළඟට මතුවන්නේ විවිධ අවධීන් හරහා වර්ධනය වන කුෂ්ඨයකි. එය රතු පැහැ, පැතලි කුෂ්ඨයක් ලෙස මතුවන අතර, ක්‍රමයෙන් බිබිලි සේ ඉහළට ඉලිප්පුණු, දියබිබිලි සහිත කුෂ්ඨයක්බවට හැරී, අනතුරුව සම මත කබොලු ඇතිකර යි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා වැඩසටහනේ වෛද්‍ය රොසමුන්ඩ් ලෙවිස් මෙය මෙසේ පැහැදිලි කරන්නී ය: “ඒක ආරම්භ වෙන්නේ අපි “මැකූල” කියලා හඳුන්වන දෙයක් විදියට. ඒ කියන්නේ හම මත ඇතිවෙන රතු පාට ප්‍රදේශ. ඊට පස්සේ ඒවා පැපියුල විදියට වර්ධනය වෙනවා. මේවා අපට අතට අහුවෙනවා. මොකද ඒවා බිබිලක් වගේ උඩට නෙරා එනවා.”
මීළඟට මෙම රතු පැහැ බිබිලි හා ගැටිති දියබිබිලිබවට පරිවර්තනය වන අතර, සැරවා මෙන් පෙනෙන සුදු පැහැ ස්‍රාවයකින් පිරී යයි.
අනතුරුව මෙම සැරවා බිබිලි වියළීගොස් කබොලු සෑදේ. අවසානයේ දී මේවා සුවවී, කබොලු හැළී යනු ඇත.
“ඒ නිසා තමයි මේක පැපොල රෝගය කියලා කට්ටිය වරදවා වටහාගන්න ඉඩක් තියෙන්නේ,” වෛද්‍ය ලෙවිස් පවසයි.
මන්කිපොක්ස් කුෂ්ඨය සාමාන්‍යයෙන් මුලින්ම මතුවන්නේ මුහුණෙන්, සහ ඇතැම්විට මුඛයෙනි. ඉන්පසු ඒවා බාහු සහ ගාත්‍රාවලටත්, අත්පාවලටත්, කඳ ප්‍රදේශයටත් පැතිරේ.
මෑතක දී වාර්තා වූ ඇතැම් රෝගීන්ට කුෂ්ඨය මතුව තිබුණේ ලිංග ප්‍රදේශය අවට ය. “[ඇඳුම්වලින්] වැහිලා තියෙන නිසා කුෂ්ඨය සමහර වෙලාවට පිටතට නොපෙනෙන්න පුළුවන්,” වෛද්‍ය ලෙවිස් ප්‍රකාශ කරයි.
රෝගියාගේ සමේ වර්ණය මත පදනම්ව තරමක් වෙනස් වර්ණ ගතහැකි මෙම කුෂ්ඨය හරහා, ඇඳ ඇතිරිලි හා කොට්ට උර මත වෛරසය තැවරිය හැකි ය.
බ්‍රිතාන්‍යයේ චර්ම රෝග විශේෂඥයින්ගේ සංගමයේ සභාපතිනී, වෛද්‍ය ටාන්‍යා බ්ලීකර් මෙසේ පවසයි: “විවිධ වර්ගයේ කුෂ්ඨ එකිනෙකින් වෙන්කර හඳුනාගැනීම අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා, ඔබට යම් සැකයක් ඇත්නම්, මෙම උපදෙස් අනුගමනයකර එය පරීක්ෂා කරවාගන්න.”
