25 C
Colombo
Sunday, May 19, 2024

සුදු අලියකු ලෙස චීනයෙන් ලැබුණු නොරොච්චෝලේ

- Advertisement -

ගල් අඟුරු විදුලි තාක්ෂණය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා රජය තම අවදානය යොමු කලේ 1980 දශකයේ මැදභාගයේයි.

දිගින් දිගටම වර්ධනය වන විදුලිබල ඉල්ලුමත්, ජල මුලාශ්‍ර මගින් විදුලිය නිපදවීම උපරිමයට ලඟාවීමත් යන කරුණු ඒ සඳහා හේතු වුණා.

ලක් විජය බලාගාරල්නොරොච්චෝලෙ ගල් අඟුරු බලාගාරය ලෙසද හඳුන්වන අතර මෙම බලාගාරය ශ්‍රී ලංකාව තුල ඉදිකල පළමු ගල් අඟුරැ විදුලි බලාගාරයයි.

බලාගාරයේ ඉදිකිරීම් 2006 මැයි මස 11 ඇරඹූ අතර වැඩ නිම කල මෙගා වොට් 300 ක විදුලියක් ලබා දෙන පලමු අදියර 2011 මාර්තු 22 වැනි දින විවෘත කෙරුණා.

නොරොච්චෝලේ පිහිටි ලක්විජය බලාගාරය, මෙගාවොට් 300 බැගින් නිපදවන විදුලි උත්පාදක යන්ත්‍ර තුනකින් සමන්විත වනවා.

බලාගාරයේ දෙවන අදියර 2010 මැයි මස දී, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ අතින්, ආරම්භකරනු ලැබූ අතර, වැඩ අවසන් කරන ලද එම අදියර 2014 සැප්තැම්බර් 16 වන දින දී චීන ජනපති ෂී ජිංපිං සහ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්ව, ජාතික විදුලි බල පද්ධතියට තවත් මෙගා වොට් 600ක් එකතු කරමින් විවෘත කරනු ලැබුවා.

මෙගා වොට් 900ක ධාරිතාවක් ලබාදෙන ලක්විජය විදුලි බලාගාර ව්‍යාපෘතියෙහි ප්‍රධාන කොන්ත්‍රාත්කරු චීනයේ CMEC ආයතනය යි.

මෙම ව්‍යාපෘතිය සඳහා චීනයේ එක්සිම් බැංකුව මඟින් මූල්‍යාධාර සපයා ඇත.

ලක්විජය විදුලි බලාගාරය වෙනත් ගල් අඟුරු බලාගාර මෙන්ම කොටස් ගණනාවකින් සමන්විත දැවැන්ත පද්ධතියක් හා අතිශයින් සංකීර්ණ ක්‍රියාවලියකින් සමන්විත වන බැවින්, එය එකවර නතරකර ගැනීම හෝ නතර වූ විට එය නැවත එකවර පණගැන්වීම හෝ කළ නොහැකි කටයුත්තක්.

ඒ අනුව එය සිසිල් වන තුරු දින ගණනාවක් බලා සිටිය යුතු වනවා.

මෙහි නඩත්තු කටයුතු සඳහා, වසර හතරකට වරක් නියමිත දින ගණනක් ඒ ඒ ඒකකය මුළුමනින්ම අක්‍රියකර තැබීම අනිවාර්ය අවශ්‍යතාවකි.

මෙය ‘A මට්ටමේ අලුත්වැඩියාවක්’ ලෙස හදුන්වනු ලැබෙන අතර ඒ සඳහා එක් ජනක යන්ත්‍රයක් දින 100ක පමණ කාලයක් බැගින් අක්‍රියකර තැබීමට අවශ්‍ය වනවා.

මහා පරිමාණයේ විදුලි බිඳවැටීමක් ජාතික විදුලිබල පද්ධතියේ සිදුවුවහොත්, එවැනි විචල්‍යයක් ක්ෂණිකව දරා ගැනීමේ හැකියාවක් ගල් අඟුරු බලාගාරයක් සතුව නොපවතින අතර නොරොච්චෝලේ බලාගාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකිකයන්ට ඒ පිලිබදව සිය ගනනක් නිදසුන් පවතිනවා.

එමනිසා එවැනි අවස්ථාවක දී බලාගාරය ස්වයංක්‍රීයව අක්‍රීයවන්නේ අඛණ්ඩව ධාවනය වුවහොත් යන්ත්‍රසූත්‍රවලට හා පද්දතියට සම්බන්ද කර ඇති උපකරණ වලට සිදුවිය හැකි හානිය නවතා ගැනීමට යි.

එසේ අක්‍රීය වූ බලාගාරය නැවත පණගැන්වීමට අවම වශයෙන් දින තුනක පමණ කාලයක් ගත වනවා.

එමෙන්ම ශ්‍රී ලංකාව සතු වන්නේ එක් ගල් අඟුරු බලාගාරයක් පමණක් බැවින් හා එය රටෙහි විදුලි ඉල්ලුමෙන් හරි අඩක්ම සපයන බැවින්, මෙය අක්‍රිය වන සෑම අවස්ථාවක දීම ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල පද්ධතියට දැඩි බලපෑමක් සිදුවන බවට විදුලි ඉංජිනේරුවන් පවසයි.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ තුන්වන ජනක යන්ත්‍රය 2021 වසරේ දීද දෙසැම්බර් සිට අලුත්වැඩියා සඳහා අක්‍රීයව තැබුණු අතර, ඒ සඳහා චීන විශේෂඥයින් ද මෙරටට පැමිණිමට සිදුවුණා.

චීනය විසින් ඉදිකරන ලද නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය නිතර වසා දැමීම් මේ වන විට සුලබ කාරනයක් බවට පත්ව තිබෙනවා.

ඒ අනුව ආරම්භයේ සිටම, බලාගාරය රටේ විදුලි බල සැපයුම මත බරපතල බලපෑමක් ඇති කරමින් නිතර වසා දැමීම්වලට ලක් වුණා.

ඒ අනුව චයිනා මැෂිනරි ඇන්ඩ් ඉංජිනියරින් කෝපරේෂන් (සීඑම්ඊසී) විසින් ඉදිකරන ලද මෙම නොරොච්චෝලේ බලාගාරය  අවස්ථා  20 කට වඩා වැඩි ගනනකදී බිඳවැටීම්වලට ලක්ව ඇති බව වාර්තා වීම කණගාටුවට කරුණක්.

මේ නිසා ලං.වි.ම.ට  සැලකිය යුතු මූල්‍ය පාඩුවක්ද සිදුවුණා.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ගැටළු සහ අක්‍රියවීම්වලට ලක් වූ අවස්ථා වාර්තා වන්නේ එය ඉදිකිරීම් ආරම්භයේ සිටමයි.

2010 ඔක්තෝම්බර් මාසයේදී බලාගාරයේ ගින්නක් ඇති වූ අතර ගල් අඟුරු දහනයෙන් අපද්‍රව්‍ය පිටවන චිමිනියක සිරවීම හේතුවෙන් ගින්න හටගෙන ඇති බව විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් එකල සදහන් කලා.

2012 ජුලි 22 වන දින බොයිලේරු අතර ජලය ගෙන යන එක නලයක කාන්දුවක් හේතුවෙන් බලාගාරයේ ක්‍රියාකාරිත්වය නතර වූ අතර එය යලි සැකසීමට හා විදුලිය ඉල්ලුම ස්ථාවරව පවත්වාගෙන යාම සදහා  කලාපීය වශයෙන් විදුලිය ඇනහිටීම්වලට ලක් කිරීමටද සිදුවුණා.

2012 අගෝස්තු 8 වන දින ලක්විජය බලාගාරයේ සිට  විදුලිය ගෙනයන රැහැනක මතුවූ ගැටලුවක්  හේතුවෙන් බලාගාරයේ ක්‍රියාකාරිත්වය නතර වුණා.

2013 ජනවාරි 29 වැනි දින ද විදුලි බලාගාරයේ තාක්ෂණික දෝශයක් හේතුවෙන් එය සම්පූර්ණයෙන් වසා දැමීමට සිදුවුණා.

වාර්තා වල දැක්වෙන්නේ 2013 දෙසැම්බර් 13 වන දිනද වාෂ්ප කාන්දුවක් බලාගාරයෙන් අනාවරණය වූ බවයි.

ලංකා විදුලිබල මණ්ඩලය, නොරොච්චෝලේ වසා දැමීම්වලදී විකල්ප ඩීසල් බලාගාර වලින් විදුලිය මිලදී ගැනීම සඳහා දිනකට ඇමෙරිකානු ඩොලර් මිලියන ගනන් වැය කිරීමට සිදුවීම හේතුවෙන් ලක්විජය ගල් අඟුරු බලාගාරයෙන් සිදුවන මූල්‍ය පාඩුව තවදුරටත් ඉහළ යමින් පවතිනවා.

වාර්තා වල දැක්වෙන්නේ 2013 වසරේ මුල් මාස හය තුළ බලාගාරය දින 32 ක් සහ වසරේ දෙවන භාගයේ දින 90 ත් 100 ත් අතර කාලයක් වසා දමා ඇති බවයි.

2014 ජනවාරි 23 වන දින විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ 2011 වසරේ ආරම්භ කර දින 1086 කින් දින 271 ක් විදුලි බලාගාරය අක්‍රියව පැවති බවයි.

2014 අගෝස්තු අගදී නැවත වරක් ගැටළු මතු වුණා.

අගෝස්තු 27 වන දින ලංවිම ප්‍රකාශකයෙකු පැවසුවේ “උපකරණවල දෝෂයක්” ඒකකය 1 හි ආරක්ෂණ පද්ධතියට වැරදි සංඥාවක් යවා ඇති අතර එමඟින් ඒකකය ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත වූ බවයි.

2015 දෙසැම්බරයේදී, මෙන්ම 2016 මාර්තු මාසයේදී බලාගාරයේ ඇති වූ දැවැන්ත පද්ධති බිඳවැටීමකින් පසු පැය අටකට වැඩි කාලයක් රට පුරා විදුලිය විසන්ධි විය.

2020 අගෝස්තු මාසයේදීද, බලාගාරයේ ‘තාක්ෂණික දෝෂයක්’ රටපුරා විදුලිය ඇනහිටීමක් ඇති කළා.

2021 දෙසැම්බරයේදී,  ඉංජිනේරුවන් කියා සිටියේ නොරොච්චෝලේ බලාගාරය සදහා ගල් අඟුරු හිඟයක් පවතින බැවින් විදුලිය විසන්ධි වීම් අපේක්ෂා කළ හැකි බවයි.

බිද වැටීම් ලැයිස්තුව අලුත්  කරමින්, අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනක යන්ත්‍රයක් 2022 ජුනි 17 වන දිනද වසා දැමූ අතර එය නවතම වසා දැමීම වනවා.

විදුලිබල මණ්ඩලයට අනුව, ඒකක 02 අවම වශයෙන් දින 75 ක් ක්‍රියා විරහිත වනු ඇත; එහි ප්‍රතිඵලයක් ලෙස ගල් අඟුරු බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට සපයනු ලබන විදුලිය සියයට 45 සිට සියයට 30 දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

නවතම වසා දැමීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 270 ක ධාරිතාවක් අහිමි වන අතර විදුලිය සැපයීම සඳහා තාප බලාගාරවලට  ජනනය වැඩි කිරීමට සිදුවනු ඇති.

මීට අමතරව, ලබන වසරේ විදුලිය නිපදවීමට ලක්විජය ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ඇ.ඩො. මිලියන 640ක් පමණ අවශ්‍ය වන බව ද වාර්තා වනවා.

එසේ නොවුවහොත්, විදුලි කප්පාදුවේ කාලසීමාව වැඩි වනු ඇත.

මේ අතර, ශ්‍රී ලංකා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ ඩීසල් යොදා තාප විදුලිය නිපදවීමට මසකට ඩොලර් මිලියන 100 ක් වැය කරන බවත් එය රටට දරාගත නොහැකි වියදමක් බවයි.

ඒ අනුව පෙනී යන කරුණ වන්නේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ඉදි කර මේ වන විට වසර ගණනාවක් ගත වී ඇතත් නිරන්තරයෙන් එහි සිදුවන බිදවැටීම් හේතුවෙන් එයින් නිසි ප්‍රයෝජන ශ්‍රී ලංකාවට ඇත්ද යන්නයි පිලිබදවයි.

මක්නිසාදයත් ඊට යෙදවූ මුදල් “ගගට කැපූ ඉනි” වැනිවීම හේතුවෙන්….

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

තත්පර 12න් ඩොලර් මිලියන 25ක් සොරකම් කරලා

තත්පර 12කින් ඩොලර් මිලියන 25ක් (පවුම් මිලියන20ක්) සොරකම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලැබූ සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...