33 C
Colombo
Sunday, May 5, 2024

චීන නැව නැංගුරම් ලෑම කල් දාන්නැයි ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලයි!

- Advertisement -

ලබන 11 වැනිදා හම්බන්තොට වරායට පැමිණීමට නියමිත චීන පර්යේෂණ නෞකාවක් වන ‘යුවාන් වැන්ග් 5’ (Yuan Wang – 5) පිළිබඳ ඉන්දීය රජය සිය නොසතුටට මෙරට බලධාරීන්ට නිල වශයෙන් දැනුම් දී ඇතැයි රාජ්‍ය තන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කළා.

අභ්‍යවකාශ චන්ද්‍රිකා සහ අන්තර් මහාද්විපික බැලැස්ටික් මිසයිල නිරීක්ෂණය කළ හැකි අති නවීන පහසුකම්වලින් සමන්විත මෙම නෞකාව මෙරටට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දීය නාවික හමුදාව දැඩි විමසිල්ලෙන් පසුවන බව මෙම සතිය ආරම්භයේදී ම ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

චීනයේ පර්යේෂණ නෞකාවට ම්බන්තොට වරායේ නැංගුරම් ලෑමට ශ්‍රී ලංකාව අවසර දී ඇති බව මෙරට බලධාරීන් පසුගියදා පැවසුවේ, ආර්ථික කඩාවැටීමකට ලක්ව ඇති ශ්‍රීලංකාවේ සංවර්ධනය සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවට ඉන්දියාව ප්‍රකාශ කිරීමෙන් දින කිහිපයකට පසුවයි. ‘යුවාන් වැන්ග් 5’ ලබන 17 වැනිදා දක්වා හම්බන්තොට නැංගුරම් ලා තැබීමට නියමිතව තිබෙනවා. ඒ, ප්‍රධාන වශයෙන් ඉන්ධන හා අනෙකුත් සැපයුම් ලබා ගැනීම සඳහා බව සඳහන්.

ප්‍රස්තූතයට භාජනය වී ඇති හම්බන්තොට වරාය පෙරදිග හා බටහිර යා කරන නාවුක මාර්ගය තුළ එහි පිහිටීම අනුව උපාය මාර්ගික වශයෙන් වැදගත් යැයි සැලකෙනවා. “රාජපක්ෂ පවුලේ උපන් ගමේ පිහිටි වරාය බොහෝ දුරට සංවර්ධනය කර ඇත්තේ චීන ණයවලින්” ඉන්දීය මාධ්‍ය මෙම නෞකා ගමන ගැන සදහන් කීරීමේ දී එලෙස වාර්තා කර තිබෙනවා.

චීන අභ්‍යවකාශ යානා නිරීක්ෂණ නෞකාවක් වන ‘යුවාන් වැන්ග් 5’ වරායේ නැංගුරම් ලෑමේ හැකියාව පිළිබඳව කළ විමසීමකදී ආරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශක කර්නල් නලින් හේරත් මහතා පැවසුවේ බොහෝ රටවල වාණිජ සහ යුද නැව්වලට ශ්‍රී ලංකාව පසුකර යාමටත් ශ්‍රී ලංකාවට ඇතුළු වීමටත් අවසර ලබා දෙන බවයි. “අපි එම සන්දර්භය තුළ චීන නෞකාවට අවසර ලබා දී ඇත,” ආරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශකවරයා උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

‘යුවාන් වැන්ග් 5’ නෞකාව අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා ඉන්දියානු සාගර කලාපයේ චන්ද්‍රිකා පාලනය සහ පර්යේෂණ සිදු කරනු ඇති බව විදෙස් වාර්තා වල සදහන් වනවා. ‘යුවාන් වැන්ග් 5’ ද්වි කාර්යය නෞකාවක් වන අතර එය අභ්‍යවකාශ චන්ද්‍රිකා ක්‍රියාකාරකම් නිරීක්ෂණය සඳහා මෙන් ම අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල දියත් කිරීම් පිළිබඳ දත්ත එක්රැස් කිරීම් සඳහා භාවිත කරන බව CNN-News18 වාර්තා කළා.

දකුණු ඉන්දියාවේ කල්පක්කම්, කුඩන්කුලම් වැනි ඉන්දීය පරමාණුක පර්යේෂණ මධ්‍යස්ථාන නිරික්ෂණය කිරීමේ පහසුකම් ‘යුවාන් වැන්ග් 5’ සතු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. එමෙන් ම කේරළය, තමිල්නාඩු, ආන්ද්‍රා ප්‍රදේශ්හි වරයාන් ඇතුලු දකුණු ඉන්දීය වරායන් 6ක් පමණ නිරීක්ෂණයට ලක් විය හැකි බැවින් ඉන්දීය නාවික මර්මස්ථානවල තොරතුරු රැස්කර ගැනීමට චීනයට හැකි වන බවද ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්. එමෙන් ම, ඉන්දියන් සාගරයේ සමහර ප්‍රදේශවල ස්ථානගත කළහොත් ඔඩීෂා වෙරළට ඔබ්බෙන් වූ වීලර් දූපතේ සිදුකරන ඉන්දියාවේ මිසයිල අත්හදා බැලීම් නිරීක්ෂණය කිරීමට නෞකාවට හැකිවනු ඇතැයි NDTV නාලිකාව වාර්තා කළා. ඉන්දියානු බැලස්ටික් මිසයිල අත්හදා බැලීම් නිරීක්ෂණය කිරීමෙන් මිසයිලවල ක්‍රියාකාරීත්වය සහ ඒවායේ නිශ්චිත පරාසය පිළිබඳ තොරතුරු රැස්කර ගැනීමට චීනයට හැකි වනු ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

ඉන්දියාව ශ්‍රී ලංකාවට පැමිණෙන මෙම චීන නෞකාව, “ඔත්තු නෞකාවක්” ලෙස සලකන අතර එහි කටයුතු සමීපව නිරීක්ෂණය කරමින් සිටින්නේ මෙවැනි වාතාවරණයක් තුලයි. යාත්‍රාව මෙරට වරායට පැමිණෙන්නේ රට දරුණු ආර්ථික හා දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවකයි. කෙසේ වෙතත් මෙරට ආර්ථික අර්බුදයට උපරිම සහය ඉන්දියාව දැනටමත් ලබාදී ඇති අතර මෙම නෞකාවේ සංචාරයට එරෙහිව ඉන්දීය විරෝධය එල්ල වන්නෙ එවැනි පසුබිමකයි.

චීන නෞකාවේ සැලසුම්කළ සංචාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පසුගිය අඟහරුවාදා ඉන්දියානු කනස්සල්ල සහ විරෝධතාව පසෙක දැමුවේ, එය පැමිණෙන්නේ ඉන්ධන පිරවීමට පමණක් බව පවසමිනි. කැබිනට් ප්‍රකාශක ආචාර්ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ නෞකාවේ සංචාරය පිළිබඳ පසුගිය සඳුදා දිනයේ දී කැබිනට් මණ්ඩලය සාකච්ඡා කළ බවත් ඊට අවසර දෙන බවයි. “අපි පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මේ ඉතා තීරණාත්මක අවස්ථාවේ ඉන්දියාව සහ චීනය යන රටවල් දෙකම අපට උදව් කරනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා මේ ප්‍රශ්නය රාජ්‍ය තාන්ත්‍රිකව හැම පැත්තෙන් ම කතා කරලා විසඳගන්නවා කියලා. දෙන්නම වැදගත් යාළුවෝ” අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවා. නෞකාව ඉන්ධන සහ අනෙකුත් සැපයුම් ලබා ගැනීම සඳහා හම්බන්තොට සතියක පමණ කාලයක් ගත කිරීමට නියමිත අතර ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සිටියදී කිසිදු පර්යේෂණ කාර්යයක් සිදු නො කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූ අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසුවේ මීට පෙර ශ්‍රී ලංකාවට එවැනි වරාය සංචාර 18ක් චීන පර්යේෂණ යාත්‍රා මගින් සිදු කර ඇති බවත් යුවාන් වැන්ග් 5 නවත්වන්නේ “සැපයුම් ලබා ගැනීම සඳහා පමණක්” බවයි. නවදිල්ලිය පසුගිය සතියේ පැහැදිලි කළේ “ඉන්දියාව සිය ආරක්‍ෂාව සහ ආර්ථික අවශ්‍යතා කෙරෙහි බලපාන ඕනෑම දෙයක් සමීපව නිරීක්ෂණය කරන බවත් ඒවා ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවත්” ය.

ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4ක වැඩි විශාල මුදල් ප්‍රමාණයක් හම්බන්තොට වරාය ඇතුළු යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා චීනය වෙත ශ්‍රීලංකාව විසින් ගෙවිය යුතු අතර දකුණු අසල්වැසි ශ්‍රී ලංකාව තුළ චීනයේ වර්ධනය වන බලපෑම පිළිබඳව ඉන්දියාව තවමත් පසුවන්නේ දැඩි සැකයකින්. නැඟෙනහිර-බටහිර ප්‍රධාන ජාත්‍යන්තර නැව් මාර්ග ඔස්සේ පිහිටා ඇති හම්බන්තොට වරායේ ණය ආපසු ගෙවීමට නොහැකි වීමෙන් 2017 දී ශ්‍රී ලංකාව චීන සමාගමකට එය වසර 99 ක බද්දකට ලබා දුන්නා. එය ඉන්දියාවේ සැකය තවත් වර්ධනය කිරීමට හේතු වුණා.

ඉන්දීය විරෝධය නො තකා 2014 වසරේදී චීන සබ්මැරීන දෙකක් ශ්‍රී ලංකාවේ නැංගුරම් ලා තිබූ අතර ඉන්පසුව ශ්‍රී ලංකාවේ වරායන් වෙත එවැනි චීන සබ්මැරීන සංචාරයක් සිදු නොවීමත් කැපී පෙනවා.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ මෙරට ප්‍රධානත ම දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂය වන දෙමල ජාතික සන්ධානය, බාහිර රටවල් අතර බල අරගලවලදී ශ්‍රී ලංකාව කිසිදු පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී නොසිටිය යුතු බවයි. ඉන්දීය සාගරය තුල චීන හමුදා ක්‍රියාත්මක වීම යනු ඉන්දියාවට ආරක්ෂාව සම්බන්ධයෙන් නීත්‍යානුකූල අවධානය යොමු කිරීමට හේතුවක් වන බව පෙන්වා දෙන දෙමළ ජාතික සන්ධානය ශ්‍රී ලංකාව තුල චීන හමුදා සඳහා අවකාශ සැලසීමෙන් එම තත්ත්වය තහවුරු නො කළ යුතු බවද අවධාරණය කරනවා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් පැවසුවේ ශ්‍රී ලංකාවේ භූමිය තුළ හෝ මුහුදු සීමාව තුළ ඉන්දියාවේ ආරක්ෂාවට අහිතකර ක්‍රියාකාරකම්වල නිරත වීමට විදේශීය බලවතුන්ට ශ්‍රී ලංකාව ඉඩ නොදිය යුතු බවයි. එබැවින්, මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය සියලු අර්ථවත් ක්‍රියාමාර්ග ගැනීම සහතික කිරීම ශ්‍රී ලංකා රජයට දැන් වගකීමක් බව මන්ත්‍රීවරයා පවසනවා.

ශ්‍රී ලංකාව අප්‍රේල් මාසයේදී ඩොලර් බිලියන 51 ක විදේශ ණය ගෙවීම පැහැර හැර ඇති අතර එතැන් සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙරට ආර්ථිකය ප්‍රකෘර්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. පසුගිය වසරේ අගභාගයේ සිට බොහෝ ආනයන සඳහා මුදල් සැපයීම සඳහා රජයට විදේශ විනිමය හිඟ වූ විට රටේ මිලියන 22 ක ජනතාව දැඩි ආහාර, ඉන්ධන සහ ඖෂධ හිඟයකට මුහුණ දුන්නා.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මෙම දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන, ආහාර හා ඖෂධ මිලදී ගැනීම් සඳහා වසර ආරම්භයේ සිට මේ දක්වා ඉන්දියාව ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3.5 කට ආසන්න මූල්‍ය ආධාර ලබා දී තිබෙනවා. මීට අමතරව ඉන්දීය ජනතාවගේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට පිරිනමනු ලබන රුපියල් බිලියන 5කට අධික මානුෂීය ආධාර තොගයක් ද පසුගිය මැයි 22 දා නිල වශයෙන් මෙරටට භාර දුන්නා.

එම සහයන් සිහිපත් කරන ඉන්දීය මාධ්‍ය මෙම චීන නෞකා අර්බුදය සලකන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහට රට ඉදිරියට ගෙන යාමට අවශ්‍යද නැතහොත් චීන ඉල්ලීම් ලබා දීමට අවශ්‍යද යන්න සම්බන්ධයෙන් ලිට්මස් පරීක්‍ෂාවක් ලෙසයි. කෙසේ වෙතත්, චීනයෙන් ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කරගැනීම සම්බන්ධයෙන්ද මේ වන විට සාකච්ඡා ආරම්භ වී ඇති අතර සෙසු ස්වෛරීත්ව ණය ප්‍රතිව්‍යුහගතකරණය ප්‍රධාන වශයෙන් චීනය දක්වන ප්‍රතිචාරය මත මුලුමනින්ම පාහේ රැඳී තිබෙනවා.

යුවාන් වැන්ග් නෞකාව කාර්යබහුල මලක්කා සමුද්‍ර සන්ධිය මගහැර වෙනත් ඉන්දුනීසියානු සමුද්‍ර සන්ධියක් හරහා ඉන්දියන් සාගරයට ඇතුළු වීමට ඉඩ තිබෙනවා. නෞකාව චීනයේ ජාතික අභ්‍යවකාශ අධිකාරිය විසින් පාලනය කරනු ලබන නමුත් ඉතා වැදගත් යුධ යෙදවුම් එහි අන්තර්ගතයි. නෞකාවේ කාර්ය මණ්ඩලය 400ක් පමණ වනවා. චන්ද්‍රිකා ආවේක්ශණ විශාල පරාවලයික ඇන්ටෙනාවකින් සහ විවිධ සංවේදක උපකරණවලින් නෞකාව සමන්විතයි.

මේ අතර, උපදේශන හා අධ්‍යන ක්‍රියාවලිය අවසන් වන තුරු, යුවාන් වැන්ග් 5 අභ්‍යවකාශ චන්ද්‍රිකා නිරීක්ෂක නෞකාවට අවශ්‍ය නාවික පහසුකම් ලබා ගැනීම සඳහා හම්බන්තොට වරායේ නැංගුරම් ලෑම කල් දමන ලෙස ශ්‍රී ලංකා රජය චීන රජයෙන් ඉල්ලා ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කළා.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...