25 C
Colombo
Sunday, May 19, 2024

ප්‍රශ්නය ක්‍රීඩකයන් සිගරැට් බීමද? ඔබට 438 මතකද?

- Advertisement -

නිරෝෂන්, කුසල් සිගරැට් බොන වීඩියෝ එක සහ.. ක්‍රීඩකයො කන, බොන, සිගරැට් බොන එක අවුලක් වගේ අපේ අය දක්වන ප්‍රතිචාර දැකපු ගමන් මතක් වුනේ 438. ඒ ඓතිහාසික ක්‍රිකට් මැච් එක වගේම හර්ෂල් ගිබ්ස් කියන යස්ස පැටියා.

ක්‍රිකට් අර්බුදයෙ පැත්තක් තමයි ක්‍රීඩකයන්ට විනයක් නැතිකම. ඒත් අපේ අය ‘විනය’ කියල කිව්වම හදාගන්න සදාචාරාත්මක විනය නෙවෙයි අපේ ක්‍රීඩකයන්ගෙ ප්‍රශ්නය. සමහරවිට රෑට එළියට යන්න එපා, මැච් එකකට කලින් රෙස්ට් කරන්න වගේ නීතියක් කැඩුවට කමක් නැති වේවි. මොනවා කළත් මේ ඉන්නේ අවුරුදු විසි ගණන්වල තරුණයන්. තරුණ කාලෙ ඕවා නොකර කවද කරන්නද? විශේෂයෙන් එංගලන්තයට ගිය වෙලාවක? ඒත් ඔවුන් රකින්න ඕනෑ නිසි වෙලාවට පුහුණුවීම් කිරීම, ෆිට්නස් හදාගැනීම, උපක්‍රම අධ්‍යන කිරීම, කම්මැලි නොවී ඒවාට කාලය වෙන් කිරීම වගේ ක්‍රීඩක විනයට අදාල කෑලි.

කුසල් සහ නිරෝෂාන් සිගරැට් බොන්න ලෑස්තිවෙන වීඩියෝ එක නිසා ඔවුන්ට තරග තහනමක් පැනවීම සිතාගත හැකි දෙයක්. ඔවුන් නිරෝධානයට අදාල නීති හෝ තරග පවතින කාලසීමාවට අදාල විනය නීති කඩ කළා නම්. එහෙත් අපි ඒ වරදට ඔවුන් පස්සේ පැන්නීමේ තේරුමක් නැහැ. ඔවුන්ගේ වරද, ඔවුන්ගේ අඩුපාඩුව වෙන එකක්.

සිගරැට් බීම ශරීරයට අහිතකර වෙන්න ඇති. හෘදයාබාධ වගේම පිළිකා ඇතිවීමේ අවධානමක් ඇති. ඒත් එවැනි අවදානමක් එන්නේ කාලයක් ඒ ඇබ්බැහිය තියෙන අයට, මැදි වයස එළඹෙද්දී. මේ ක්‍රීඩකයන් අවුරුදු 36-40 අතර කාලයේ විට ක්‍රීඩාවෙන් සමුගන්නවා.

ඒත් ඇත්තටම ලංකාවෙ ක්‍රිකට්වල ප්‍රශ්නය ඒ වීඩියෝවෙන් පේන්න තියෙනවනං. මට පේන්න තියෙන්නෙ උං දෙන්න සිගරැට් එකක් බොන්න ගියත් කොච්චර ටෙන්ෂන් එකකින්ද ඉන්නෙ කියන කෑල්ල විතරයි.

මොකද, ලංකාවෙ ක්‍රිකට්වල ප්‍රශ්නයට හේතු අතරින් එකක් තමයි ක්‍රීඩකයන් මත පැටවිච්ච දරාගන්න බැරි පීඩනය.

කොහොම නමුත් මේ අකුරු කරන්නෙ ඒ පීඩනය ගැන නෙවෙයි. ඒ වගේම අපි කලින් කී විදියෙ ක්‍රීඩක විනයක් තියෙනවානම් ක්‍රීඩකයන් දුර්වල වෙන්නේ නෑ. පුහුණුව වගේම තර්ක බුද්ධිය එක්ක පීඩනය පරාද කරන්නත් පුළුවන්. ‘අනේ අපට ටෙන්ෂන් එකනෙ’ කියා වගකීමෙන් ගැලවෙන්න ක්‍රිකටර්ස්ලට බෑ.

ක්‍රිකට් රසිකයන්ට අපි කලින් කී ඓතිහාසික මැච් එක මතක් වෙන්න නම් 438 කියන ඉලක්කම ඇති. පෞද්ගලික කැමැත්ත අනුව නං ක්‍රිකට් ඉතිහාසයේ හොඳම මැච් එක ඒක. ඒ වගේ රසවත් මැච් හරි දුර්ලභයි.

මේ මැච් එක සිද්ධ නොවුණා නම්, කිසි කෙනෙක් කතාන්දරයක් විදියට විශ්වාස කරන එකක් නෑ. ඒ කියන්නෙ මේක වෙන්න කලින් කවුරුහරි ස්පෝට් ෆිල්ම් එකක පිටපතකට මේ වගේ මැච් එකක් ලීවොත්. ‘ෆැන්ටසි’ චිත්‍රපටි අතරට ඒ ෆිල්ම් එක දායි.

මොකද, තර්ක බුද්ධියෙන් එහෙම තරගයක් අනුමාන කරන්නත් බෑ.

2006 අවුරුද්ද ඒ. විස්සයි විස්ස ආකෘතිය ඇවිත් නෑ. ආවේසයෙන් ගහන පිතිකරුවන්ගේ කල්චර් එක අද තරම් එදා තිබුණෙ නෑ. රිවර්ස් ස්වීප්, රිවර්ස් පුල්, ස්කූප්වලින් හතරෙ සීමාවට බෝලෙ යවාගන්න පිතිකරු සංස්කෘතිය එදා පැළපදියම් වෙලා නෑ.

ඒ නිසා එක්දින තරගයක ලකුණු 250 තමයි හොඳ ඉලක්කය. 300ක් ගැහුවොත් විශිෂ්ඨයි. 330 පැන්නොත් දිනුම් තමයි.

මේ තරගයේදී, 330 නෙවෙයි තව සීයකුත් ගැහුවා. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාව මුලින් ගහලා ලකුණු 434ක් ගහලා. ලෝකෙ වැඩිම ලකුණු ගාණ කියන වාර්තාව තිබ්බා.

ලෝකෙ වැඩිම ලකුණු ගාණ නෙවෙයි ලකුණු 400 පැන්නීමත් වැඩක්. තව අවුරුදු ගාණකට ප්‍රාන්ත ටීම් එකක්වත් ලකුණු 400ක් ගහන එකක් නෑ. ඉතින් එදා රෑම ඒ වාර්තාව කඩයි කියල බය වෙන්නෙ මොකද?

ඒත් කිසිදා නොවෙන දේ වුණා. දකුණු අප්‍රිකාව ලෝකෙ වැඩිම ඉලක්කය හඹා ගියා. ඕස්ට්‍රේලියාවට ඉතිහාසගත වෙන්න තිබුණ ඓතිහාසික වාර්තාව පැය තුනක් ඇතුළෙ කැඩුවා. ලකුණු 438ක් ගැහුවා. ඒ නිසයි ඒ මැච් එකට 434 කියන අංකය නොලැබී 438 අංකය ලැබුණේ.

දැන් කුසල් මෙන්ඩිස්ගෙ කතාවට මේක සම්බන්ධ මොකද? මේ මැච් එකේ ඉතිහාසය මතක අය ඒ ගැන දන්නව ඇති.

දෙවැනි ඉනිමේ ඇවිත් යක්සයා වගේ හර්ෂල් ගිබ්ස් ගැහුවෙ කලින් දවසෙ හොඳටම බීලා හැන්ග්ඕවර් එකක හිටපු අතරේ. එදිනෙදා භාෂාවෙන් ‘වැලේ වැල් නැතිව’ හෝ ‘නස්පුක් වෙලා’ වගේ තත්වයක ඉඳගෙන තමයි හතරෙ ඒවා 21 ක් සහ හයේ ඒවා 7ක් එක්ක ඔහු ලකුණු 170ක් ගැහුවේ.

මේ තරගය ගැන මතක් කරද්දී ගොඩක් අය කියනවා, පළවැනි ඉනිම ඉවරවෙලා පිතිකරණයට පිටියට යන්න කලින් දකුණු අප්‍රිකානු කණ්ඩායම හිටපු මානසික තත්වය. සාමාන්‍යයෙන් දෙවැනි ඉනිමකට කලින් ලකුණු ගාණ හඹායෑමට සැලසුම් හදනවා. ඒත් ලෝක ඉතිහාසයේ වැඩිම එක්දින ලකුණු ගණන හඹා යන්නට සැලසුම් හදන්නේ කොහොමද? කිසි කෙනෙක් තරගය ඉදිරියට ගෙන යන්නට සැලසුමක හිටියේ නැහැ.

ඒ වෙනුවට විනය කඩකරමින් මත්පැන් සාදයක හිටපු හර්ෂල් ගිබ්ස් තමයි අර ලකුණු ප්‍රමාණය හඹා යන්නට බලාපොරොත්තුව හැදුවේ. මාක් බවුචර් ඇතුළු පිතිකරුවන් තරගය අවසන් කරන්නට උදව් කළේ.

දැන් කවුරුහරි ඇහුවොත් හර්ෂල් ගිබ්ස් විනය කඩ කරමින් මේ වගේ ඉනිමක් ක්‍රීඩා කළේ කොහොමද? කියලා. ඔහුට ‘සදාචාරාත්මක විනය’ වෙනුවට ක්‍රීඩක විනය තිබුණා. ඔහු නිසි ආකාරයට පුහුණුවීම් කළ, උපක්‍රම අධ්‍යනය කළ, ආතතිය පරාජය කළ කෙනෙක්. ඒ නිසා ඔහුට ඕනෑ තත්වයක සිට තරගයට මුහුණදීමේ හැකියාව තියෙනවා.

මීට පෙර ලසිත් මාලිංග වැනි ක්‍රීඩකයන් විලාසිතා කිරීම, පච්චා කෙටීම වගේ හේතු නිසා විනයක් නැති බව ඇතැමුන් කීවා. එහෙත් ඔහු ක්‍රීඩක විනය ඉහළින්ම තිබුණු කෙනෙක්. තරග අධ්‍යනය, සැලසුම් හැදීම වගේම ක්‍රිකට් ක්‍රීඩාවම වෙනස් කරපු සැලසුම් ක්‍රියාත්මක කිරීම අතින් ඔහු ක්‍රිකට් විද්වතෙක් කියා කියන්න පුළුවන්.

ඒ අනුව රසිකයන් විදියට ‘ඉඳහිට හොරෙන් පැනලා සිගරැට් එකක් බීවාට කමක් නෑ. ඒත් හරියට ක්‍රීඩක විනය රකින්න’ කියන එක තමයි අපේ නම් යෝජනාව.

– තරිඳු උඩුවරගෙදර –

RECENT ARTICLES - SINHALA

යකදුරාට බැණවැදුණු කාන්තාව ඝාතනය කරලා

යකදුරෙකු විසින් ආරක්ෂාව සඳහා පැළඳූ සුරයකින් කිසිඳු සෙතක් නොවීම නිසා ඔහුට බැන වැදුණු කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. ඒ අදාළ යකදුරාගේ ආධාර අනුබල යටතේ ඔහුගේ ගෝලයා...

දිස්ත්‍රික්ක 07කට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 07ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා...

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...